s-l1600

 

නලින් ද සිල්වා ගේ දර්ශනය සහ දේශපාලනය අතර සම්බන්ධය පිළිබඳව ඇති වී තිබෙනා ඉතාම වැදගත් සාකච්ඡාවට එකතු කිරීමකි. මා සිතනා පරිදි මේ වනවිට එම සම්බන්ධය මෙලෙස සාරාංශගත කළ හැක. නිවන යනු අපේ පරිමිත දැනුමින් කිසිසේත්ම තේරුම් ගත නොහැක්කකි. එම නිසා එය අපේ දැනුමේ ප්‍රවර්ග වලින් වටහා ගත නොහැක. ඒ සඳහා කළ යුත්තේ දැනුම නැති කිරීමයි. නමුත් මේ අදහස ද දැනුමක් ලෙස ගත්විට බොරුවක් වන බැවින්, අපට නිවන සම්බන්ධයෙන් තිබිය හැක්කේ හුදු විශ්වාසයක් පමණි. නිවන ප්‍රත්‍යක්ෂ කළ කිසිවෙක් අප දන්නේ නැති නිසා මෙය මුළුමනින් රැවටිල්ලක් විය හැකිය. නිදර්ශනයක් ලෙස අපගේ මරණයත් සමග අපගේ පැවැත්ම මුළුමනින් අවසන් ව යනවා විය හැක. එවැනි තත්වයකදී නිවන් දැකීම සඳහා විශේෂ අවශ්‍යතාවයක් ඇති වන්නේ නැත. එම නිසා නිවන පිළිබඳව මේ සමස්ත අදහස අපගේ කතන්දරයක්, අපට සංයුක්තව තේරුම් ගත නොහැකි වියුක්ත කතන්දරයක් පමණි. නමුත් මෙය, අප විශ්වාස කරනා ලෙසම, හුදු රැවටිල්ලක් පමණක් නොවේනම් සහ ‘නිවන’ කියන වචනය මගින් නම් කරන නොදැනුම වෙත අපට ප්‍රායෝගිකව ළඟා විය හැකිනම්, ඒ සඳහා අපගේ මේ සංස්කෘතිය ආරක්ෂා කරගත යුතුය. අපට ඒ වෙත (‘ඒ වෙත’ ආදී යෙදුම් නිවැරදි නොවුවත් අපි වෙන කරන්නට දෙයක් නැති නිසා ඒවා යොදා ගමු) ළඟා වීම සඳහා මග පෙන්විය හැක්කේ – ‘නිවන් මග’ – එම ආකාරයේ සංස්කෘතියකට පමණි.

දැන් අප මුහුණ දෙන්නේ අපූරු තත්වයකටයි. අපගේ සංස්කෘතිය මගින් මග පෙන්වන අවසාන විමුක්තිය මුළුමනින් රැවටිල්ලක් විය හැකිය. එමෙන්ම, එයට වෙනස් වූ අනෙකුත් සංස්කෘතීන් වලින් පෙන්වා දෙන විමුක්ති වලට වඩා මෙය නිවැරදි බව අපගේ දැනුමේ සීමාව තුළ පෙන්වා දිය නොහැක – මෙය හුදු විශ්වාසයක් වන්නේ එම නිසාය. නමුත් මේ හුදු විශ්වාසය වෙනුවෙන් අපි විශාල වන්දියක් ගෙවීමට සූදානම් වෙමු. අවශ්‍යනම් යුද්ධ කරන්න, මිනිසුන් මරන්න, විවිධ ප්‍රජාවන්ගේ ඉල්ලීම් ප්‍රතික්ෂේප කරන්න ආදිය මේ සඳහා කිරීමට අප සූදානම් වේ.

දැන් අපට ජාතිකවාදී දේශපාලනයට එරෙහි වන්නෙක් මුහුණ දෙන ප්‍රශ්නය නිවැරදි ලෙස ලිවිය හැකිය: මේ ආකාරයේ අවිනිශ්චිත අරමුණක් වෙනුවෙන් මෙතරම් විශාල වන්දියක් ගෙවන්නට මේ අය සූදානම් වන්නේ ඇයි? දර්ශනයේ ඇති දේශපාලන කාර්යභාරය සම්බන්ධයෙන් මගේ තර්කය අදාළ වන්නේ මෙතැනටයි. ඉහත ප්‍රශ්නය සඳහා දිය හැකි පහසු පිළිතුර වන්නේ ‘මේ අය අන්තවාදීන් වේ’ යන්නයි. අවශ්‍යනම් මේ ලැයිස්තුව ‘ගෝත්‍රික’, ‘ලේ පිපාසිත’, ‘primitive’, ‘වහල්’ ආදී ලෙස තවත් දිගු කළ හැකිය. එයට අනුව වඩා ‘මධ්‍යස්ථ’, ‘ශිෂ්ට’, ‘මානුෂික’, ‘advanced’, ‘නිදහස්’ ආස්ථානය වන්නේ අපගේ දැනුමේ පරිමිතත්වය පිළිගනිමින්, සියලු දෙනාට එකඟ විය හැකි දේශපාලන ක්‍රමයක් සම්බන්ධයෙන් සමාජ සම්මුතියක් ඇති කර ගැනීමයි.

තරමක කලක සිට මා පෙනී සිටිනා ආස්ථානය වන්නේ මෙම පහසු පිළිතුර අපගේ ප්‍රශ්නය සඳහා ප්‍රමාණාත්මක නොවන බවයි. නැවතත් අවධාරණය – මා කියන්නේ එය වැරදි බව නොව එය ප්‍රමාණාත්මක නොවන බවයි. අප ගේ දේශපාලන ගැටුම් සඳහා වඩාත් සුදුසු විසඳුම් ලෙස ගැටුමේ පාර්ශවකරුවන්ට එකඟ විය හැකි නව සම්මුතීන් ඇති කර ගැනීම අවශ්‍ය බව අමුතුවෙන් කිව යුතු නොවේ. නමුත් මෙමගින් අප අදහස් කරන්නේ දේශපාලනය සම්බන්ධයෙන් අපට කිව හැකි සියල්ල මේ මගින් අවසන් වනවා යන්න නොවේ. අපගේ දේශපාලනය එතනින් මුළුමනින් අවසන් කරනවා යනු අප මෙවැන්නක් ද කියනා බවයි: ‘අපගේ තාර්කික ලෝකය තුළ අපට කළ හැකි වෙනත් කිසිවක් නැත. අපි ඔය ඉන්න ටිකේ ඔහොම ඉඳලා මැරිලා යමු. පරම සමාජ ක්‍රමය, පරමාදර්ශී සමාජය, මිනිසාගේ විමුක්තිය වගේ දේවල් සම්බන්ධයෙන් අපිට මුකුත් කියන්න තේරෙන්නේ නැහැ. ඒවා තම තමන් තනි තනියෙන් විශ්වාස කරන දේවල් වලට අදාළ ප්‍රශ්න. ඕවා දේශපාලනයට අදාළ නැහැ’.

අපගේ ප්‍රතිචාරය ප්‍රමාණවත් නොවන්නේ ඇයිද යන්න මේ අනුව පැහැදිළි විය යුතුය. මිනිසත්බව යනු කිසිදා ජෛවීය ශරීරයේ සුඛ විහරණය වෙත පමණක් ඌණනය කළ හැකි දෙයක් නොවේ. මෙයට හේතුව වන්නේම අපගේ වටහාගැනීමේ හැකියාවයි. සත්‍යය, පරමත්වය, යථාර්ථය, මරණයෙන් පසු සිදු වන්නේ කුමක්ද, අප පැමිණ තිබෙන්නේ කොහේ සිටද ආදී ප්‍රශ්න සම්බන්ධයෙන් අපගේ උනන්දුව යනු වරප්‍රසාදිත සුළුතරයකගේ පුද්ගලික උනන්දුවක් නොවේ. එවැනි නිගමනයක් වෙත පැමිණිය හැක්කේ මේවා පිළිබඳව දර්ශනය තුළ විමසා බලන මිනිසුන් සංඛ්‍යාව පමණක් සලකා බලන්නේනම් පමණි. නමුත් මේවා සම්බන්ධයෙන් පිළිතුරු නිර්මාණය වන්නේ දර්ශනය තුළ පමණක් නොවේ. එයට වඩා සාතිශය බහුතරයක් දෙනා මේවා සම්බන්ධයෙන් සිතා බලන්නේ විශ්වාසයේ – භක්තියේ – අවකාශය තුළයි. මෙයට හේතුව වන්නේ මෙම ප්‍රශ්න සම්බන්ධයෙන් සිතා බැලීමේ හැකියාව යනු අපගේ පැවැත්මේ අත්‍යන්ත කොටසක් වීමයි. මිනිසත්බව යනු ජෛවීය පැවැත්මක් නොව අනෙකුත් මිනිසුන් අතර වෙසීම, තවත් දේ සමග සම්බන්ධව සිටීම සිය පැවැත්මේ අත්‍යන්ත කොටසක්, සිය පැවැත්මේ සාරය බවට පත් කරගත් පැවැත්මකි (හෛඩගර් අතින් ‘ලෝකය-තුළ-පැවැත්ම’ යනුවෙන් සූත්‍රගත වන්නේ මෙයයි; ‘ලෝකය’ සහ ‘තුළ’ යන ඒවා සමග එකට නොගත් විට ‘අපගේ පැවැත්ම’ කියා හඳුනා ගත හැකි කිසිවක් නොමැත). එම නිසාම ලෝකය පිළිබඳව අවබෝධය අපගේ පැවැත්මේ අමතර කොටසක් නොව එහි මූලික අණුවකි. අපගේ දැනුමේ සීමාව තේරුම් අරන් දේශපාලන පරිමිතබව වෙනුවෙන් පෙනී සිටිමු කියා යෝජනා කරනා කෙනෙක් හට මෙම කරුණ පහසුවෙන් අමතක වී යා හැකිය. විශේෂයෙන් මෙහිදී අමතක කෙරෙනා කරුණක් වන්නේ තමන්ගේ දේශපාලන සහ දාර්ශනික අවබෝධයද, පවත්නා කථිකාව තුළ තිබෙනා විකල්ප සංවාදයක ප්‍රතිඵලයක් මිස සමාජයේ බහුතරයක් වෙත නිසඟයෙන් ලැබෙනා ආධිපත්‍යධාරී සංවාදය නොවනා බවයි. සත්‍ය වශයෙන්ම පසුගිය දශක කීපය තුළ සිදු වූයේ මෙම මධ්‍යස්ත සංවාදය සඳහා පදනම් වූ දේශපාලනික-දාර්ශනික පොළොව සෝදා පාළුවට ලක් වීමයි. කොමියුනිස්ට් ව්‍යාපාරයේ බිඳ වැටීම සහ එය සමග අන්‍යෝන්‍ය වශයෙන් බැඳී තිබූ සමජා ප්‍රජාතන්ත්‍රවාදී එකඟතාවය බිඳ වැටීම හරහා අප අත්විඳිමින් සිටිනා නව ඓතිහාසික යුගය වන්නේ මෙයයි. ආගමික විශ්වාසය යන්න පුද්ගලික දෙයක් පමණක් වනවා කියා අපට තවදුරටත් ඉවත බැලිය නොහැකි වන්නේ මෙම නිසාය. ආගමිකත්වය පුද්ගලික ගැටලුවක් ලෙස දේශපාලනිකව අමතක කිරීමේ පූර්ව කොන්දේසිය වන්නේ එය සමාජීයව අභියෝගයට ලක් කළ ලෞකිකවාදී දේශපාලන ව්‍යාපාර වල පෙනී සිටීමයි. එසේ නොමැති වනවා යනු දේශපාලන මධ්‍යස්තබව, දේශපාලන අන්තවාදය ඉදිරියේ පරාජය වනවා යන්නයි.

දෙවියන් ගේ පැවැත්ම පිළිගැනීමේ වාසිය සම්බන්ධයෙන් බ්ලේස් පස්කාල් ගේ ජනප්‍රිය තර්කය අපි දනිමු. එයට අනුව දෙවියන්ගේ පැවැත්ම තහවුරු කළ නොහැකි වුවත් එය පිළිගැනීමේ ඉමහත් වාසියක් තිබේ. එම නිසා අප දෙවියන් පවතිනවා කියන උපකල්පනය මත ජීවත් විය යුතුය. යම් හෙයකින් දෙවියන් පවතින්නේ නොමැති වන්නේනම්, අපට විශාල දෙයක් අහිමි වන්නේ නැත. ආගම විසින් අපට අකැප වනවා කියා නම් කර ඇති යම් යම් සීමිත දේවල් ටිකක් පමණක් මෙහිදී අපට අහිමි වනු ඇත. නමුත් අනෙක් අතට දෙවියන් පවතින්නේනම්, අපට අපරිමිත වූ සුවයක් අත්විඳීමේ අවස්ථාව තිබේ. එම නිසා දෙවියන් පවතිනවා කියනා උපකල්පනය අනුව ජීවත් වීම කුමන අර්ථයකින් වුවත් වාසිසහගත වේ.

පස්කාල් ගේ මෙම තර්කය නලින් ද සිල්වා සහ ඔහුගේ අනුගාමිකයන් වෙත යොදා ගත හැක්කේ කෙසේද කියා තේරුම් ගැනීම අපහසු නැත: ‘අපගේ දැනුම පරිමිත වන බැවින් අපට තිබෙන්නේ නිවන යනු රැවටිල්ලක් වීමට මෙන්ම නොවීමටද ඉඩ තිබේ. නමුත් නිවන රැවටිල්ලක් නොවන්නේනම් මේ අර්ථ විරහිත මානසික ලෝකය සඳහා අවසාන විමුක්තියක් එමගින් ලබා දෙයි. ඒ වෙනුවෙන් සටන් කිරීම තරම් ප්‍රයෝජනවත් වෙනත් කිසිවක් තිබිය නොහැකි වේ. සමහරවිට එම සටන නිසා අපගේ පුද්ගලික නිවන කල් යා හැකිය – අපි අනුන්ගේ නිවන වෙනුවෙන් අපගේ නිවන කල් දමා ඇති මිනිසුන් වෙමු. නමුත් ඒ හරහා වුවත් අප මේ සසුන ආරක්ෂා කර ගත යුතුය වේ. කවදා හෝ දිනක අපගේ නිවන අපට හමුවනු ඇත්තේ එවිට පමණි.’

ක්වින්ටින් ටැරන්ටීනෝ ගේ ‘Pulp Fiction’ චිත්‍රපටියේ ජූල්ස් නම් වූ පාතාල කල්ලි සාමාජිකයා සිය මිනිස් ඝාතන සිදු කිරීමට පෙර, පුරුද්දක් ලෙස, බයිබල් පාඨයක් කියයි. මේ සම්බන්ධයෙන් තිබෙන එක් ජනප්‍රිය අර්ථකථනයක් වන්නේ මෙය අර්ථ විරහිත හිස් ප්‍රලාපයක් වන බවයි. එයට අනුව බැරෑරුම් හඬින් සහ තියුණු බැල්මෙන් යුතුව ජූල්ස් මෙම දෙබස කියනා විට අපට වැටහෙන්නේ මෙම සමස්ත ක්‍රියාවලියේ ඇති අර්ථ විරහිතබව සහ අඳුරු සෝපාහසය පමණි. නමුත් තරමක් සමීප වී බලන විට මෙයට වඩා ඍජු අර්ථයක් මෙම චිත්‍රපටිය සඳහා ලබා දිය හැකි බව අපට පෙනී යයි. මෙම චිත්‍රපටිය ආරම්භක දර්ශනයේදී තමනට වෙඩි නොවැදී සිය ජීවිතය බේරීම ජූල්ස් විසින් අර්ථකථනය කරන්නේ දෙවියන්ගේ හාස්කමක් ලෙසයි. ඔහු ඉන් පසුව සිය පාතාල ජීවිතයෙන් සමු ගන්නා අතර ඔහුට ජීවිත තර්ජන කර වැඩ වරද්දා ගන්නා සුළු පරිමාණික මංකොල්ලකරුවෙක් හට අභය දානය දෙයි. එම අර්ථයෙන් ගත්විට මෙම සමස්ත චිත්‍රපටිය පුරා සිය ජීවිතයේ විමුක්තිය පිළිබඳව අනාගතවාදී වන එකම චරිතය වන්නේ ජූල්ස් පමණි. ජීවිතය නම් වූ අනිත්‍ය, ඉක්මනින් දිරා යන ප්‍රබන්ධය – ‘pulp fiction’ එක නැතිනම් ‘මගේ ලෝකය’ – මධ්‍යයේ සිට අපට තිබෙනා එකම බලාපොරොත්තුව ලබා දෙන්නේ මෙම ආගමික විශ්වාසයයි. ජූල්ස් හට මිනී මැරීමට මෙන්ම එයින් වැළකීමට ද හැකි වන්නේ මෙම විශ්වාසය මගින් පමණි. මෙතෙක් කල් කළ මිනිස් ඝාතණ නවතාලීමට දැන් පැමිණ ඇති බව ජූල්ස් හට කියන්නේ දෙවියන් වහන්සේය.

ජූල්ස් ලා හට එකතු විය හැකි ලෞකිකවාදී ලෝක දැක්මක් නිර්මාණය කිරීම අද දවසේ ප්‍රමුක අවශ්‍යතාවයක් වන්නේ මෙම නිසාය. එසේ නොමැතිවනවා යනු ආගමික අන්තවාදය ඉදිරියේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ඉල්ලීම් නිරන්තරයෙන් පරාජය වීම පමණි.

වංගීස සුමනසේකර

 

 

 

 

***