pierre huyghe4

අපි නැවතත් අපේ තර්කයේ මුලට යමු. මනසින් තොරව කිසිවක් හිතන්න බැහැ කියන අදහසේ හරය වන්නේ කුමක්ද? ඒ තමයි අප සිතනා දෙය වෙත ඇති අපේ මානසික සම්බන්ධයෙන් තොරව එම දෙය ගැන සිතීම කිසිසේත් කළ නොහැකි බව. අපි දැන් මේ තර්කය අපේ මනසේ මතකයේ සීමාවෙන් එහා පැත්ත පිළිබඳව සිතන්නට යොදා ගමු. මෙහිදී, ඉහත තර්කයට අනුව ගිය විට, මෙම ‘එහා පැත්ත’ යනුද ‘මෙහා පැත්තේ’ සිට පමණක් සිතිය හැකි දෙයක් බව පෙනී යයි. මන්ද මෙහිදී ‘එහා පැත්ත, එහා පැත්ත ලෙසම’ කවදාවත් අපට සිතිය නොහැකි බව පැහැදිළි  වේ. අපට සිතිය හැකි වන්නේ ‘මෙහා පැත්තේ සිට සිතා බලනා එහා පැත්ත’ ගැන පමණි. එම නිසාම එවැනි ‘එහා පැත්තක්’ තිබෙනවාද යන්නද අපට පරීක්ෂා කර බැලිය නොහැක. එම අර්ථයෙන් අපේ මනසේ මෙම ප්‍රාග්ඉතිහාසය ද පරිබාහිර යථාර්ථය පිළිබඳව අදහස හා සමාන වේ. දෙකෙන්ම යෝජනා කරන්නේ අපේ වත්මන් සිතීමේ හැකියාවෙන් වෙන් වූ තත්වයක් පිළිබඳවයි. මෙවැන්නක් කළ නොහැකි බව අප මේ වනවිටත් පෙන්වා දී තිබේ.

නමුත් මේ අවස්ථාවන් දෙකේ එක්තරා වෙනසක් ද ඇති බව පෙනී යයි. ‘පරිබාහිර යථාර්ථය’ යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න අපට කිසිදා සිතා ගත හැකි දෙයක් නොවේ. එම නිසාම එවැන්නක පැවැත්ම සැක කිරීමට කෙනෙකුට සාධාරණ අවස්ථාවක් තිබේ. නමුත් ‘මානසික යථාර්ථය’ යනු මේ ආකාරයට සැකයට බඳුන් කළ හැක්කක් නොවේ. මා මෙම මෙහොතේ සිතමින් සිටිනවා යන්න සැකයට බඳුන් කළ නොහැක. එම අර්ථයෙන් ‘පරිබාහිර යථාර්ථය’ මෙන් නොව ‘මානසික යථාර්ථය’ යනු අවම වශයෙන් මේ මොහොතේ නියත ලෙස පවතින්නක් බව පෙනී යයි. මෙම මානසික යථාර්ථයේ මතකයේ සීමාවෙන් ‘එහා පැත්ත’ පිළිබඳව ගැටලුව සුවිශේෂ වන්නේ මෙම නිසාය. පරිබාහිර යථාර්ථය මෙන් නොව එවැන්නක පැවැත්මේ හැකියාව අපට ප්‍රතික්ෂේප කිරීමට නොහැකි වේ. මේ හරහා සාකච්ඡා කරන්නේ නියත ලෙස පවත්නා බව පැහැදිළි වන පැවැත්මක අපගේ මතකය හරහා ළඟා විය නොහැකි කොටසක් පිළිබඳවයි. එවැනි ‘කොටසක්’ තිබෙනවාද යන්න නියත නැති වුවත් මෙය එක්තරා සීමාවක් දක්වා පවත්නා බව මෙය නියත වශයෙන් පවත්නා බව පැහැදිළි වේ. එම නිසාම එම සීමාවට පෙර තිබෙනා තත්වය කුමක්ද යන්න සිතා බැලීම තීරණාත්මක වන බව පෙනී යයි. එහිදී අපට තෝරා ගැනීම් දෙකක් – අවම වශයෙන් – ඇති බව පෙනී යයි. එක්කෝ අපගේ සිතා ගැනීමේ ශක්‍යතාවයෙන් ඔබ්බෙහි මෙවැනි මානසික යථාර්ථයක් පවතියි. අප මෙයට එකඟ වන්නේනම් පරිබාහිර යථාර්ථය මෙන්ම මෙයද අපට රැඩිකල් ලෙස සිතා බැලිය නොහැකි වූවක් කියා පිළිගැනීමට සිදු වේ. වෙනත් ආකාරයකට කියන්නේනම්, එයද, ‘පරිබාහිර යථාර්ථය’ හා සම ලෙස, අපේ වත්මන් මානසික යථාර්ථය තුළ හිඳ ළඟා වීම කිසි සේත් කළ නොහැකි වූ තත්වයකි. එවිට අවම වශයෙන් අපට මෙය පිළිගැනීමට සිදු වේ: අපට සිතා ගත නොහැකි තත්වයන් පැවතිය හැකිය.

මෙය පිළිගැනීම ප්‍රතික්ෂේප කරනවා යනු අපගේ මනස අපගේ මතකයේ ඈතම ඉම තුළ ප්‍රාදුර්භූත වූ බව පිළිගැනීමයි. නමුත් එවැන්නක් සිදු වූයේ කෙසේද කියා අපට, නැවතත්, පැහැදිළි කළ නොහැකි වන බැවින් අප ඉහත ප්‍රශ්නයට අලුත් වටයකින් මුහුණ දීමට සිදු වේ. එම ප්‍රාදුර්භූත වීමට හේතුව කුමක්ද? එම හේතුව අපෙන් බාහිර වූ එකක් නොවන්නේද?

නමුත් මෙය ප්‍රතික්ෂේප නොකරනවා යනු, අනෙක් අතට, අපට සිතා ගත නොහැකි වූ මානසික පැවැත්මක් ඇති බව පිළිගැනීමට සිදු වීමයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස අපට සිතා ගත නොහැකි වූ දේ පැවතිය හැකිය යන්න පිළිගැනීමටද එවැනි කෙනෙක්ට සිදු වනු ඇත. මෙය අපගේම මානසික ලෝකයේ ප්‍රාග්ඉතිහාසය වීම මගින් මෙහිදී විශේෂ වාසියක් අත්වන්නේ නැත. මෙය අපගේ වර්තමාන මනසට සාපේක්ෂ නොවන පැවැත්මක් බව මේ වනවිටත් පිළිඅරගෙන තිබේ.

‘පරිබාහිර යථාර්ථය’ මෙන් නොව මෙවැන්නක් පැවතිය හැකි බව අපගේ වර්තමාන මානසික ලෝකය පෙන්වා දී තිබේ. එම නිසා මෙය කිසිසේත්ම රසල් ගේ තේ පෝච්චිය වැනි දෙයක් කියා කිව නොහැක. රසල් ගේ උපමා කතාවෙන් කියා සිටින්නේ පෘථිවිය සහ අඟහරු අතර දුරේක්ෂයකට හසුවීමට තරම් විශාල නොවන කුඩා තේ පෝච්චියක් සූර්යා වට භ්‍රමණය වන බව කිවහොත් එය ප්‍රතික්ෂේප කිරීම ඉතාම අපහසු වන බවයි. නමුත් මෙය ඇදහිය නොහැකි මෝඩ කතාවක් බවද පැහැදිළි වේ. රසල් ගේ තර්කය වන්නේ මෙවැනි කතාවක් යෝජනා කරනා අය විසින්ම එය තහවුරු කිරීම ද කළ යුතු බවයි. එසේ නොමැතිව එය ප්‍රතික්ෂේප කරනා අය විසින් එවැන්නක් නොමැති බව පෙන්වා දිය යුතුයැයි යෝජනා කිරීම සාධාරණ නොවේ. අදහස තහවුරු කිරීමේ වගකීම තිබෙන්නේ මෙවැනි ආධානග්‍රාහී ප්‍රකාශ වෙනුවෙන් පෙනී සිටිනා අයට මිස ඒවාට එරෙහි වන අයට නොවේ. අපගේ අදහස් වැරදි වනවා කියා තහවුරු කළ නොහැකි වූ පමණින් ඒවා නිවැරදි වනවා කියා නිගමනය කළ නොහැක. ඒවා තහවුරු කිරීමේ වගකීම තිබෙන්නේ යෝජකයින් වෙතයි. (යන එන ගමන් වුවත් මේ කරුණත් කිව යුතුය. රසල් මෙම තර්කය ගෙන එන්නේ ආගමික විශ්වාසයන් වලට එරෙහි වූ තර්කයක් ලෙසයි. නමුත් ලංකාවේ මේ තර්කය ගෙන එන්නේ ආධානග්‍රාහී ආගමික විශ්වාසයන් වල මුළුමනින් ගිලිහී ඉන්නන් විසින් ‘යථාර්ථය ප්‍රශ්න කිරීම වෙනුවෙනි!)

දැන්, මෙම තර්කය අපගේ ගැටලුව සඳහා අදාළ නොවන්නේ ඇයිද කියා තේරුම් ගැනීම අපහසු නොවේ. අපගේ මානසික ලෝකය පවත්නා බව පිළිගැනීමට බොහෝ දෙනෙක් මැලි නොවනු ඇත. එමෙන්ම මෙය ආරම්භ වූ ආකාරය අපට මතක නැති බවත් අපගේ පැරණිතම මතකයට පෙර සිදු වූයේ කුමක්ද කියා අපට නොවැටහෙන බවත් ඉතාමත් පැහැදිළි වේ. එවිට එම අතීතයට පෙර මනස තිබීම මෙන්ම නොතිබීමද විය හැකිය. එය නොතිබූ බව කිවහොත් ඉක්මනින් මනසට පරිබාහිරත්වයක් ඇති බව පිළිගැනීමට සිදු වේ. නමුත්, එයට පෙර, අපගේ මතකයෙන් ඔබ්බෙහි, එය අකණ්ඩව පවත්නා බව කෙනෙක් යෝජනා කරන්නේ වුවත් මෙහිදී කතා කරන්නේ අපගේ වර්තමාන මානසික ලෝකය හරහා රැඩිකල් ලෙස ළඟා විය නොහැකි ආකාරයේ පැවැත්මක් වෙතයි. එවැනි පැවැත්මක් ඇති බවට අප කරන්නේ උපකල්පනයකි – සමපේක්ෂණයකි. අපට ඉතාම නිශ්ච්ත වශයෙන් කිව හැක්කේ අපගේ ස්මරණය කිරීමේ සීමාවෙන් ඔබ්බෙහි මානසික ලෝකය පවතිනවාද නැතිද යන්න සම්බන්ධයෙන් අපට ඇත්තේ නොදැනුමක් වන බව පමණි. එවැන්නක් පවත්නා බව පිළිගන්නේ වුවත් එමගින් අදහස් වන්නේ ද අපට තවදුරටත් මානසිකව ළඟා විය හැකි ආකාරයේ පැවැත්මක් නොවේ. එම නිසාම එය ‘මේ අපේ දැන් මනස’ හා සමාන බව අපට තහවුරු කළ නොහැක.

මේ අනුව අපට මෙහි ඇති සුවිශේෂත්වය පැහැදිළි වේ. ‘පරිබාහිර යථාර්ථය’ මෙන් නොව මෙහිදී අපගේ සැලකිල්ලට බඳුන් වන්නේ පවත්නා බව මේ වනවිටත් තහවුරු වී ඇති පැවැත්මක අතීතය පිළිබඳවයි. එහි පැවැත්මේ ඉතිහාසය අපට ළඟා විය හැක්කේ එක්තරා සීමාවක් දක්වා පමණි. එතැනින් පසුව එය තිබෙන්නේ කෙසේද කියා අපට සිතා ගැනීම කළ හැකි නොවේ. එය ‘මේ දැන් තිබෙනා ආකාරයටම පවත්නා බව’ අප පවසන්නේ වුවත්, එය එසේ වනවාද නැතිද යන්න අපට තහවුරු කළ නොහැක. මක් නිසාද යත්, මේ මගින් හඳුන්වා දෙන්නේ අපේ වත්මන් මානසික ලෝකය හරහා ළඟා විය නොහැකි පැවැත්මකි. එවැන්නක් පැවතිය හැකි බව පිළිගැනීම සදහා, මේ අනුව, අපගේ මානසික ලෝකයට අයත් නොවන, එයින් ස්වායත්ත වූ පැවැත්මක හැකියාව පිළිගත යුතුය. ගැටලුව වන්නේ මෙය පිළිගැනීම හැර වෙනත් විසඳුමක් නොමැති වීමයි.

 

 

 

 

***

Advertisements