03-tilt

 

“අද දවසේ සාතිශය බහුතරයක් ජනයා හට නමක් නොමැති වේ. ඔවුනට ඇති එකම නම වන්නේ ‘බහිශ්කරණය කරන ලද’ යන්නයි. නමක් නොමැති මිනිසුන්ගේ නම වන්නේ එයයි. අද දවසේ මිනිස් වර්ගයාගෙන් සාතිශය බහුතරයක් දෙනා සඳහා ඇති වටිනාකම ශුන්‍ය වේ. මේ අනුව දර්ශනය සඳහා ඇති එකම යුක්තිසහගත ඉලක්කය වන්නේ අප විසින් බලාපොරොත්තුවෙන් සිටින නිසාම අපව බලාපොරොත්තුවෙන් සිටින එම නොදන්නා ලෝකය වෙත පැවැත්මක් ලබා දීමට සමත් අලුත් නම් සොයා ගැනීමට උපකාර කිරීමයි.”

-ඇලේන් බදියු-

 

‘ලංකාව’ යනුවෙන් දකුණේ පරිකල්පනය කරනා සමාජ සමස්තය යනු බෙහෙවින් සීමාකාරී එකක් බව තේරුම් ගැනීම අපහසු නැත. දකුණේ මධ්‍යම පන්තිකයාගේ දෘෂ්ඨිකෝණයට අනුව ‘ලංකාව’ යනු සිංහල බෞද්ධයාගේ රටයි. මෙහි ඉතිහාසය, ශිෂ්ඨාචාරය, සංස්කෘතිය ගොඩ නගා තිබෙන්නේ සිංහලයාය. එම නිසා මෙම රටේ අයිතිකරුවන් – ‘භූමිපුත්‍රයන්’ – වන්නේ සිංහල බෞද්ධයා ය. ප්‍රායෝගිකව ගත්විට මෙම පරිකල්පනීය සිතියම අවුල් වෙන අවස්ථාවන් බොහෝ තිබෙනා බව අපි දනිමු. මේ සඳහා තිබෙනා ඓතිහාසිකව වැදගත්ම නිදර්ශනය වන්නේ උතුරේ දෙමළ ජාතික විමුක්ති අරගලයයි. නමුත් මේ සඳහා තිබෙනා එකම උදාහරණය වන්නේ එය නොවේ.

සමහරවිට සිංහල බෞද්ධයාගේ මෙම පරිකල්පනීය සිතියම අවුල් කරන නිදර්ශන අතර වැදගත්ම එකක් විය හැක්කේ මෙරට කඳුරට දෙමළ ජාතික මිනිසාගේ දෛවයයි. මෙය වටහා ගැනීම සඳහා තැබිය යුතු පළමු පියවර වන්නේ උතුරු-නැගෙනහිර දෙමළ ජාතික අරගලය තුළ කඳුරට දෙමළ ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී ඉල්ලීම් නියෝජනය නොවූ බව මතක තබා ගැනීමයි. උතුරේ දෙමළ වැසියන්ගෙන් වෙනස් වූ වාර්ගික අනන්‍යතාවයක් වෙනුවෙන් කඳුරට දෙමළ වැසියන් පෙනී සිටින්නේද මෙම නිසාය.

කඳුරට දෙමළ ජනයා බහුලව වාසය කරනා ප්‍රදේශ වල සංචාරය කර ඇති ඕනෑම කෙනෙක් ඉක්මනින් හඳුනා ගන්නා පරිදි, එය වෙනමම ආගමික, සංස්කෘතික සහ පාරිසරික අනන්‍යතාවයකි. මේ සියල්ලට වඩා, ප්‍රජාවක් ලෙස, ඔවුනගේ දේශපාලන ඉල්ලීම සුවිශේෂ වන්නේ යටත් විජිත යුගය දක්වා දිව යන වතු ආර්ථිකය සමග ඔවුන්ගේ ජීවිත අවියෝජනීය ලෙස බැඳී ඇති නිසාය. එම නිසාම මෙරට කිසිදු කම්කරුවෙකු සඳහා අදාළ නොවන බිහිසුණු ශ්‍රම කොන්දේසි යටතේ ජීවත් වීමට එම මිනිසුන්ට සිදු වී තිබේ.

සත්‍ය වශයෙන්ම අප බොහෝ දෙනෙක් අසා තිබෙනා ‘දෛනික වැටුප රුපියල් 1000 ක් කිරීමේ අරගලය’ යනු ඔවුන්ගේ ජීවිතය නම් අයිස් පර්වතයේ මතුපිටට පෙනෙන කුඩා කොටස පමණි. එහි දිය යට කොටස පරීක්ෂා කරන්නෙකුට මෙම අර්බුධයේ විශාලත්වය වටහා ගැනීමට අපහසු වන්නේ නැත.පරම්පරා තුනක් පමණ වාසය කර තිබුනත් මේ මිනිසුන් බොහෝ දෙනෙකුට ඔවුන් ඉපදී හැදී වැඩුණු නිවාස වලට හිමි කමක් නොමැත. එය අයිති වන්නේ වතු හිමිකරුවාටයි. එහි කුඩා වෙනස්කමක් කරන්නට වුවත් හිමිකරුගේ අවසරය ලබා ගත යුතුය. නමුත් මේ සියල්ල හිමි වන්නේ ඔවුන් වත්තේ වැඩට යාමට තවදුරටත් එකඟ වන්නේනම් පමණි. එසේ නොමැති වනවා යනු සිය පාරම්පරික ඉඩ කඩම් වලින් ඔවුන්ව පන්නා දැමීමට වතු හිමියාට හැකි වනවා යන්නයි.

මේ අනුව වතු කම්කරුවෙකු ගේ දරුවෙක් සඳහා තිබෙන්නේ තෝරා ගැනීම් දෙකකි. එක්කෝ යහපත් රැකියාවක් සොයාගෙන සිය සම්ප්‍රදායික වාසභූමියෙන් පිටව, නිවසක් නොමැති මිනිසෙක් සේ යා යුතුය. එසේ නැතිනම් අකණ්ඩව තේ වතු වල අසාධාරණ ශ්‍රම කොන්දේසි යටතේ කම්කරුවෙක් වීමට එකඟ විය යුතුය. දකුණේ සිංහලයන් වඩාත් කැමති වන්නේ මේ – බිහිසුණු – තෝරාගැනීම් දෙක අතරින් දෙවැන්නට යන්නත් අපි දනිමු. දකුණේ නිවෙස් වල මෙහෙකරුවන් සෙවීමේදී කඳුරට දෙමළ ජනයා සඳහා විශේෂ කැමැත්තක් තිබෙන්නේ මෙම නිසාය. ඔවුන් සොයන්නේ කුමක්ද කියා පැහැදිළි වේ. ඔවුන් සොයන්නේ සිය නිවසේ කිසිදු ප්‍රශ්න කිරීමකින් තොරව නියෝග කර සිටින ඕනෑම වැඩක් කිරීමට එකඟ වීම හැර වෙනත් විකල්පයක් නොමැති හරකෙක් මිස මිනිසෙක් නොවේ.

කඳුරට දෙමළ ජනයා යනු මධ්‍යම පාන්තික ලාංකිකයන්ගේ නිවෙස් වල වැඩ කරන්නට තිබෙනා හරකෙකි.

වහල්බව නිල වශයන් අහෝසි කර තිබෙනවා කියා උදම් අනන ලෝකයක කිසිදු කණගාටුවක්, සානුකම්පිතබවක් නොමැතිව මෙරට නූතන වහල් සේවයක් පවත්වාගෙන යන්නේ මේ ආකාරයටයි.

අපි දැන් වඩාත් අපහසු ප්‍රශ්නය වර නගමු: මෙය වෙනස් කරන්නේ කෙසේද? මෙම ප්‍රශ්නය සඳහා ලබා දිය යුතු මැජික් පිළිතුර අප දන්නේ නැති බව පැහැදිළි විය යුතුය. සැකයකින් තොරවම සංකීර්ණ ඉතිහාසයක් සහිත මෙවැනි ගැටලු සඳහා පහසු පිළිතුරු නොමැත. එම නිසාම මෙහිදී තිබෙනා වඩාත් අභියෝගාත්මක කොටස වන්නේ මෙම මිනිසුන් දීර්ඝ කාලීන අරගලයක් තුළට සංවිධානය කිරීමයි. අවම දෛනික වැටුපක් සමග නොනිමි අරගලයක යෙදෙන මිනිසෙක් සඳහා විකල්ප අනාගතත්වයක් යෝජනා කිරීම ප්‍රායෝගිකව එතරම් පහසු දෙයක් නොවේ. එවැන්නක් වෙනුවෙන් මේ වනවිට ඔවුන්ගේ පණ නල ගැට ගසා තිබෙන සොච්චම වෙන්දේසි කරනා ලෙස ඉල්ලා සිටීමේ හෝ බලාපොරොත්තු වීමේ ආචාර ධාර්මික හැකියාවක් නොමැත. මෙම නොහැකියාවෙන් පූර්ණ වාසි ලබන්නේ පවත්නා පාලන තන්ත්‍රයන් සමග අතරමැද එකඟතා වලට එළැඹෙමින්, මෙම මිනිසුන්ගේ ඡන්ද කුට්ටිය වෙන්දේසි කරන තැරව්කාර දේශපාලනඥයන්ය. එම එකඟතා හරහා අතපල්ලෙන් වැටෙන ඉඳුල් ගිල දැමීම එම මිනිසුන්ගේ ජීවිත වල ‘සංවර්ධනය’ ලෙස දශක ගණනක් පුරා අර්ථකථනය කර තිබේ.

එම නිසා, මේ මොහොතේ, පළමුවෙන් කළ යුතු වන්නේ මෙම ඓතිහාසික අර්බුධය හැකිතාක් පිරිසක් අතරට ගෙන යාමයි. ‘වතු කම්කරු දිනක මූලික වැටුප 1000 කරනු’ යන සටන් පාඨය වැදගත් වන්නේ මෙම නිසාය. මේ තිබෙන්නේ වතු කම්කරු ගැටලුවේ ‘විසඳුම’ නොවේ. මේ තිබෙන්නේ එම ගැටලුව හඳුනා ගැනීමේ පළමු පියවරයි.

අයිස් පර්වතයක් ඇති බව හඳුනාගත හැකි වන්නේ එහි ජලයෙන් උඩට පෙනෙන්නට ඇති කුඩා කොටස දැක ගැනීමෙනි. මේ සම්බන්ධයෙන් සංවිධානය කෙරෙන මාධ්‍ය සාකච්ඡා, උද්ඝෝෂණ, මහජන දැනුවත් කිරීම් ආදිය ඉතාම වැදගත් වන්නේ එම නිසාය. අප දැන් උත්සාහ කළ යුත්තේ  දාර්ශනික සංවාද තුළට, සිනමාව තුළට, වේදිකාව තුළට, සාහිත්‍යය තුළට, චිත්‍රය තුළට මෙම හඳුනා ගැනීම රැගෙන යාමට උත්සාහ කිරීමයි.

මේ මොහොතේ මෙරට දේශපාලනයේ වඩාත්ම තීරණාත්මක වන්නේ මෙම වතු කම්කරු අරගලය සහ මාධ්‍යය බලයට එරෙහි අරගලය යන්න සම්බන්ධයෙන් එතරම් සැකයක් නොමැත. මෙයින් අදහස් කරන්නේ මේවා සඳහා කිසිදු සද්භාවවේදී අනිවාර්යතාවයක් තිබෙනවා යන්න නොව වඩාත් පුළුල් සන්ධානයක් ගොඩ නැගීමේ ශක්‍යතාවය තිබෙන්නේ මෙම අරගල දෙකට බවයි. නුදුරේදී පැවැත්වෙන මැතිවරණ ව්‍යාපාර තුළ මෙලෙස ගොඩනැගෙන බලවේග විසින් තීරණාත්මක කාර්යභාරයක් කිරීමට ඉඩ තිබේ. එම නිසාම ඒවා සඳහා දැන් ඉහළ කේවල් කිරීමේ බලයක් ලබා ගැනීමට උත්සාහ කළ හැක.

‘වතු කම්කරු දිනක මූලික වැටුප රුපියල් 1000 කරනු’ යන සටන්පාඨය, සමහරවිට, මේ අරගලය සියල්ල එකතු කරනා සටන් පාඨය විය හැකිය.

හෙට – 23 දා – සවස 3 ට ගෑස්පහ හන්දියට ඔබත් එකතු වෙන්න.

ඔබ එකතු වන්නේ ‘අනාගතත්වයේ භෞතිකය’ සමගයි.

වංගීස සුමනසේකර 

 

uditha1

 

 

 

***