pieter bruegel the elder death of the virgin

පහතින් පළ වන්නේ අනන්ත එදිරිසූරිය ගේ අප්‍රකට දින පොත් තුළ හමු වන රචනයකි. මෙය පුද්ගලික ලියුමක් බව පැහැදිළි වුවත් එහි අන්තර්ගතය මුළුමනින් වැය වන්නේ න්‍යායික කරුණු වෙනුවෙන් නිසා එය මෙහි පළ කිරීම ප්‍රයෝජනවත් වේ. විශේෂයෙන් මෙයසූ පිළිබඳව ඇතිව ඇති උනන්දුව නිසා බදියු පිළිබඳව මෙයසූ ගේ කියවීමක් මෙහි තිබීම මේ මොහොතේ මෙය පළ කිරීමට හේතු විය.

ලියවිල්ල තිබෙන්නේ අනන්ත එදිරිසූරිය ගේ පළමු දින පොත් ගොණුව තුළ වුවත්, ලිපිය සඳහා දිනයක් දමා නොමැත. නමුත් මෙය බොහෝ දුරට ලියවෙන්නට ඇත්තේ අනන්ත සිය පර්යේෂණ කටයුතු සඳහා පොළොන්නරුවේ ගල් විහාරය අසල පදිංචි ව සිටි සමයේ කියා සිතිය හැකිය.

***

ආදරණීය ආන්‍යා,

බදියු ගේ දර්ශනය ගැන මෙයසූ කළ විශිෂ්ට කියවීමක් මට බෙදා ගන්න ඉඩ දෙන්න.

බදියු ගේ දර්ශනයේ කේන්ද්‍රීය සංකල්පය වෙන්නේ ‘සත්‍යය’ කියන එක අපි දන්නවා. ඉතාම සරල අර්ථයෙන් ගත්තොත් බදියු සත්‍යයක් කියල කියන්නේ කිසියම් ක්‍රියාවලියකට. බලාපොරොත්තු නොවන මොහොතකදී, අපට පවත්නා අවස්ථාවේ තිබෙන දැනුම තුළින් තේරුම් ගත නොහැකි යම් යම් දේවල් සිදුවෙන්න පුළුවන්. එම නිසා සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ පවත්නා අවස්ථාවේ දැනුම තුළින් එම සිදුවීම අමතක කිරීම – නොවැදගත් අතිරේකයක්, වැඩිම උනොත්, තරමක උනන්දුවක් ඇති කරන අමුත්තක්. නමුත් මේ සාමාන්‍ය ප්‍රතිචාරයට වෙනස් ලෙස කෙනෙක්ට පුළුවන්, අවශ්‍යනම්, මේ සිදුවීම මොකද්ද කියල ගවේෂණය කරන්න. නමුත් ඇත්තටම මේ සිදුවීම, සිදුවීම ලෙසම අපිට හමු වෙන්නේ නැහැ. ඒක සාමාන්‍යයෙන් ඉක්මනින් ඇති වී නැති වී යන, ක්ෂණභංගුර ‘දෙයක්’ (‘දෙයක්’ කියන එක සද්භාවවේදී අර්ථයෙන් වැරදියි). ඒ නිසාම මේ සිදුවීම ගැන ගවේෂණය කරන්න තීරණය කරන කෙනෙක්ට සිද්ධ වෙන්නේ මූලික වශයෙන් කරුණු දෙකක් කරන්න. එකක් තමයි සිදුවීම ඇත්තටම සිද්ධ වුනා කියල කියන එක – තමන්ට සහ අනිත් අයට ප්‍රකාශ කරන එක. දෙවෙනි එක තමයි මේ ඇත්තටම සිද්ධ වෙච්ච සිදුවීම නිසා පවත්නා අවස්ථාව වෙනස් වෙන ආකාරය හොයල බලන එක. මොකද, පවත්නා අවස්ථාවේ දැනුම විසින් එවැන්නක් තේරුම් කරන්න බැහැ. ඒ නිසා මේ දැනුමට එරෙහිව පවත්නා අවස්ථාව යළි අර්ථකථනය කරන්න කෙනෙක්ට සිද්ධ වෙනවා. සැබැවින්ම සිදු වූ මේ සිදුවීමේ දෘෂ්ඨිකෝණයෙන් ගත්විට පවත්නා අවස්ථාව නැවත සකස් කළ යුතු ආකාරය කුමක්ද? බදියු ‘සත්‍යය’ කියල කියන්නේ මේ ප්‍රශ්නයට උත්තර දෙන ක්‍රියාවලියට (මේ ක්‍රියාවලිය මෙහෙයවන ඒජන්තයට, මෙහෙයුම්කාරකයට තමයි ‘ආත්මය’ කියල කියන්නේ).

‘සත්‍යය’ ගැන මේ අදහසේ ප්‍රතිඵල මොනවද? එකක් තමයි සත්‍යය කියන එක දාර්ශනිකයාගේන් ඉවත් වීම. මොකද සත්‍යය කියන එක දැනුම හරහා – පවත්නා අවස්ථාවේ දැනුම හරහා – තේරුම් ගන්න පුළුවන් එකක් නෙමෙයි. එම නිසා සත්‍යය කියන්නේ සීතල රාත්‍රියක, ගිණි මැලයක් අසලට වී ලෝගුවක් හැඳ මෙනෙහි කිරීම් කරනා දාර්ශනිකයාගේ සොයා ගැනීමක් නෙමෙයි. ඒ වෙනුවට සත්‍යයට තියෙන්නේ සටන්කාමී (militant) ස්වභාවයක්. පවත්නා අවස්ථවේ දැනුම විනිවිද යන, එයට එරෙහිව තහවුරු කර පෙන්වා දිය යුතු, අවධානම්කාරී, අනාගතයේ සාර්ථක වූ පසුව පමණක් ආපසු හැරී බලා නිවැරදි බව පෙන්විය හැකි, කිසිවෙකුගේ පිළිගැනීමට ලක් නොවීමට ඉඩ තිබෙන දෙයක්. ඒ නිසා, බදියු ට අනුව, සත්‍යය නිර්මාණය වෙන්නේ දර්ශනය තුළ නෙමෙයි එයින් පරිබාහිරව. අපි දන්නවා ඒ මොනවද කියල: ආදරය, දේශපාලනය, කලාව සහ විද්‍යාව.

සත්‍යය ගැන මේ අදහසේ තියෙන දෙවෙනි ලක්ෂණය තමයි සත්‍යය කියන එක තවදුරටත් එකක් නොවීම. මේක බදියු ගේ දර්ශනයේදී ඉතාම වැදගත් කරුණක්. ඇත්තටම, ඒකට අනුව, ‘සත්‍යය’ කියල ඒකවචනයෙන් ලිවීමම වැරදියි. තිබෙන්නේ ‘සත්‍යය’ නෙමෙයි ‘සත්‍යයන්’. ඒ නිසාම බදියු ට තරමක විස්මිත නිගමනයක් වෙත එන්න අවස්ථාව හම්බ වෙනවා. ඒ තමයි බදියු ගේ දර්ශනය තුළ නාදුනන යුවලකගේ ආදර සම්බන්ධයක් දරා සිටින්නේ ප්‍රංශ විප්ලවය නැතිනම් නිව්ටන් ගේ භෞතික විද්‍යාව වැනි දේවල් දරා සිටිනා සදාකාලිකත්වයේ බලයක් මගින්. මේවා අතර උස් පහත් බෙදීමක් කරන්න බදියු ගේ පද්ධතිය ඉඩ දෙන්නේ නැහැ.

දැන් මෙයසු ගේ අදහස තමයි මේ නිසා බදියු ගේ දර්ශනය තුළ එක්තරා ආතතියක් හඳුන ගන්න අපිට පුළුවන් කියන එක. එක පැත්තකින් සියල්ල ගැන අවසාන විනිශ්චය ලබා දෙන අවසාන කරකවන්නා ගේ භූමිකාවට දර්ශනය පත් වෙන එකට බදියු විරුද්ධ වෙනවා. එක්තරා අර්ථයකින් බදියු ගේ දර්ශනයේ කේන්ද්‍රීය අදහස වෙන්නේ මේක. ‘එක නොපවතියි – පවතින්නේ බහුගුණාකාරයයි’. වෙනත් විදියකට කියන්නේනම් පැවැත්ම යන්න අප ඉදිරියේ තිබෙනා දෙයක් – ‘මෙනෙහි කිරීමෙන්’ වටහා ගත හැකි දෙයක් නෙමෙයි. එම අර්ථයෙන් බදියු ඉදිරිපිට-පැවැත්මට එරෙහි හෛඩගරියානු සම්භාව්‍ය විවේචනය සම්පූර්ණයෙන් පිළිගන්නවා. පැවැත්ම යනු එක පැවැත්මක් නොවේ – එම නිසා දෙවියන් වහන්සේ පවතින්නේ නැත. පැවතිය හැක්කේ එකකට ඌණනය කළ නොහැකි බහුගුණාකාරයට පමණි. පැවැත්ම, පැවැත්ම ලෙස වටහා ගැනීම කියන එක දර්ශනයට අයිති දෙයක් නෙමෙයි ගණිතයට අයිති දෙයක් කියන බදියානු තිසීසය පදනම් වෙන්නේ මේක මත. මේකේ අවසාන ප්‍රතිඵලය තමයි දර්ශනය සියල්ල සඳහා තීරණ ලබා දෙන අවසාන කරකවන්නා වීමෙන් වැළකීම. ඒ වෙනුවට සත්‍යය කියන එක දර්ශනයෙන් පරිබාහිරව ඇති වෙන දෙයක් කියලා පිළිගන්න දර්ශනයට සිද්ධ වෙනවා. එම නිසාම දාර්ශනිකයාගේ භූමිකාව බොහොම නිහතමානී එකක්. එයාට තියෙන්නේ සත්‍යයන් ගේ ආරක්ෂකයා වෙන්න. සත්‍යයන්ගේ වියහැකිබවේ පණිවුඩය රැගෙන යන්න. එහෙම නැතුව සත්‍යය කියන්නේ මෙන්න මේකයි කියල ප්‍රකාශ කරලා ඒකට ප්‍රතිවිරුද්ධ අදහස් ඔක්කොම මර්ධනය කරන එක නෙමෙයි. බදියුට අනුව එහෙම කරන්න උත්සාහ කළොත් එය සෑම විටම අවසන් වෙන්න නියමිත ඒකාධිපතිවාදයකින්, විනාශයකින්. මේක නම් කරන්න බදියු ත්‍රස්තය (terror) කියන වචනය යොදා ගන්නවා. නමුත් මෙයසු තියුණු ලෙස නිරීක්ෂණය කරන ලෙස බදියු මේක ලියන්නේ ඉංග්‍රීසි සහ ප්‍රංශ වැනි භාෂා වල තියෙන ‘simple letter’ එකින්. ඒ කියන්නේ ‘T’ වෙනුවට ‘t’ (‘Terror’ වෙනුවට ‘terror’).

අනිත් පැත්තෙන්, ආයිත් මතක් කරනවානම්, බදියුට අනුව දර්ශනය තුළ සත්‍යය මුණ නොගැසෙනවා කියන්නේ එය දැනුම තුළ තහවුරු කරන්න නොහැකි වනවා කියන එකයි. සත්‍යයන්ගේ පැවැත්ම දැනුමේ ලෝකය තුළ ඔප්පු කරලා පෙන්නන්න බැහැ. එම නිසාම තමයි විශ්වාසය, පක්ෂපාතිත්වය, හෙළිදරව්වීම වගේ – ආගමික මූලයන් සහිත – අදහස් බදියු ගේ දර්ශනයේ තීරණාත්මක වෙන්නේ. ආත්මයන් බිහි වන්නේ සිදුවීම් පිළිබඳව ඇති පක්ෂපාතිත්වය නිසාය. පක්ෂපාතිත්වය පදනම් වෙන්නේ විශ්වාසය මත. එම නිසාම තමයි සත්‍යය කියන එකට සටන්කාමී (militant) මානයක් තියෙන්නේ. පවත්නා අවස්ථාව විසින් සිදුවීමේ සැබෑව පිළිගන්නේ නැහැ. එම නිසාම සිදුවීම විසින් විවර කරන ලද නව වියහැකිබව ස්ථාපිත කිරීම අප විසින් අරගලයක් හරහා ස්ථාපිත කළ යුතු එකක් මිසක් ඉබේ ඇති වෙන එකක් නෙමෙයි. සැකයකින් තොරවම මේ අරගලය විනාශකාරී එකක් වීම අනිවාර්ය වෙන්නේ නැහැ. සමහරවිට අවශ්‍ය වෙන්නේ ‘පුංචි දේවල්’ වෙන්න පුළුවන් – තමන්ගේ ජීවන පුරුදු ටිකක් වෙනස් කරගැනීම වගේ දේවල්. හැබැයි මේකෙන් අදහස් කරන්නේ නැහැ මේ අරගලය සෑම විටම සාමකාමී එකක් පමණක් වෙනවා කියලා. සමහර අවස්ථාවන් වලදී තමන් පක්ෂපාතී වන සත්‍යයේ ක්‍රියාවලිය ස්ථාපිත කිරීම වෙනුවෙන් විනාශකාරී දේ සිදු කිරීම අවශ්‍ය වෙන්න පුළුවන්. මේක දේශපාලනය කියන සත්‍ය ක්‍රියාවලියේදී ඉතා පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්, නමුත් අනෙක් අවස්ථාවන් වලදීත් මේක වලංගු වෙනවා. ආදරය නිසා ප්‍රචණ්ඩ විදියට මිනිසුන්ගෙන් වෙන් වෙන්න පුළුවන්. මේක කලා භාවිතයන් නිසාත් වෙනවා. මෙන්න මේ දෙවැනි ආකාරයේ විනාශයන් නම් කරනකොට – මෙයසූ පෙන්නලා දෙනවා – බදියු භාවිතා කරන්නේ capital T අකුරෙන් ලියන ත්‍රස්තය කියන අදහස. ඒ කියන්නේ ‘Terror’.

මේක තේරුම් ගන්න මෙයසූ යොදා ගන්නේ ලැවෝසියර් ගේ ඝාතණය ගැන  බදියු ගේ විශ්ලේෂණය. ලැවෝසියර් කියන්නේ – මම හිතන්නේ මේක ජනප්‍රියයි – රසායන විද්‍යාව විප්ලවවාදී ලෙස පරිවර්තනය කළ විද්‍යාඥයා. නමුත් ඔහුව ඝාතණයට ලක් වෙනවා ප්‍රංශ විප්ලවයේ ජැකොබින් දේශපාලනය තුළ. ඔහුට මරණ දඬුවම නියම කරන ෆුකියර්-තවිල් කියන දේශපාලන ක්‍රියාධරයා ප්‍රකාශ කරන විදියට නව ජනරජය සඳහා විද්‍යාඥයන් අවශ්‍ය වෙන්නේ නැහැ.  බදියු මේ ක්‍රියාවේ තිබෙන ම්ලේච්ඡත්වය ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. නමුත් තවත් අතකින් මේ ප්‍රචණ්ඩත්වයේ ඇති අනිවාර්යතාවය එයා පිළිගන්නවා. බදියු ගේ තර්කය තමයි සත්‍යයේ ක්‍රියාවලියේදී තීරණාත්මක වෙන්නේ නිරාවරණය වූ සිදුවීම මගින් හෙළිදරව් කරනා අදහස පමණක් වන බවයි. එයට වෙන කිසිවක් – ‘විද්‍යාඥයන්’ කියන එක බදියු උපමාවක් ලෙස කියවන්නේ – අවශ්‍ය නොවේ.

මෙයසූ අහන ප්‍රශ්නය දැන් ඉතාම සරලයි: විද්‍යාවට ආදරය කිරීමට අපට ඉගැන්වූ  බදියුගේ දර්ශනය කියවන්නන් ලෙස රසායන විද්‍යාවේ ශ්‍රේෂ්ඨතම චින්තකයෙක් ඝාතණය කිරීමට අප එකඟ වෙන්නේ කොහොමද? ලැවෝසියර් ගේ උපමාව මගින් අපි මුහුණ දෙන න්‍යායික අභියෝගය වෙන්නේ මේකයි. ‘t’ සහ ‘T’ වෙනස මගින් අපිට සතුටු වෙන්න පුලුවන්ද?

මෙතන තියෙන න්‍යායික ප්‍රශ්නය ඉතාම පැහැදිළියි. සත්‍යය කියන්නේ අනිවාර්යයෙන් විශ්වාසය, පක්ෂපාතිත්වය වැනි දේ මත ක්‍රියාත්මක වෙන එකක්. ඒ නිසාම සත්‍යයේ ක්‍රියාවලිය තුළ එයින් පරිබාහිර වූ සියල්ල සැලකෙන්නේ සත්‍යය සඳහා අවශ්‍ය නොවන නොවැදගත් දේ ලෙස. ‘ජනරජයට විද්‍යාඥයන් අවශ්‍ය නැහැ’ කියන්නේ මේ නිසා. නමුත් විද්‍යාව යනු ද සත්‍යයේ ක්‍රියාවලියක් කියන එක මේ නිසා මග ඇරිලා යනවා.

මේ හරහා මෙයසූ මතු කරනා තර්කය ඉතාම වැදගත් එකක්. එක සත්‍යයකට ආත්මය වෙනවා කියන්නේ අනෙක් සත්‍යයන් ඉදිරියේ අන්ධ වීමේ හැකියාව තිබෙනවා කියන එක. සත්‍යය තුළ නිතරම තියෙනවා ත්‍රස්තවාදී විනාශයක් ගෙන ඒමේ අනතුරක්. ඒ නිසා තමයි අපි මතක තියා ගන්න ඕන දර්ශනය සඳහා බදියු දෙන භූමිකාවේ වැදගත්මක. දර්ශනය කියන්නේ සත්‍යයේ වියහැකිබව ගවේෂණය කිරීම විතරක් නෙමෙයි පවත්නා සත්‍යයන් එකට ගොණු කිරීමේ උත්සාහයකට. ඒ නිසා තමයි මෙයසූ කියන්නේ – බදියු අර්ථකථනය කරමින් – දර්ශනය සඳහා න්‍යායික භූමිකාවක් මෙන්ම ප්‍රායෝගික භූමිකාවකුත් තියෙනවා. න්‍යායික භූමිකාව වෙන්නේ සත්‍යය දෘශ්‍යමාන වියහැකි තැන් ගවේෂණය කිරීම. ප්‍රායෝගික භූමිකාවන් වෙන්නේ මේ ආකාරයේ විවිධ ක්‍රියාවලීන් එකට ගොණු කිරීමට උත්සාහ කිරීම. මොකද, මේවා කිසිසේත් ස්වභාවිකව එකට තියෙන ඒවා නෙමෙයි. ඒ නිසා තමයි – මෙයසූ කියනවා – අපිට ඕන තරම් නිදර්ශන දෙන්න පුළුවන් වෙන්නේ දේශපාලනිකව පසුගාමී ශ්‍රේෂ්ඨ කලාකාරයෝ, කලා රස වින්දනය අතින් අතිශය දුප්පත් විප්ලවාදීන්, ආදරය කරන්න දන්නේ නැති විද්‍යාඥයන්, විද්‍යාත්මක චින්තනය තේරුම් ගන්න උදාසීන ආදරවන්තයින් ආදීන් ගැන. මේක නිසා තමයි සත්‍යයේ ආත්මයක් තුළ ත්‍රස්තවාදී ප්‍රවණතාවයක් තියෙනවා කියල මෙයසූ කියන්නේ – එය අනෙකුත් සත්‍යයන් සම්බන්ධයෙන් විනාශකාරී විය හැකියි.

දර්ශනය සතු ප්‍රායෝගික භූමිකාව වෙන්නේ මෙන්න මේ විනාශය නවත්වා සත්‍යයේ ආරක්ෂකයින් බවට පත්වීම. බදියු අපට නැවත නැවතත් මතක් කරන ලෙස මිනිසත්බව සතු අපරිමිත ශක්‍යතාවය වෙත ළඟා වෙන්න පුළුවන් වෙන්නේ මේ සියල්ල එකතු කරන්නේනම් පමණයි – ආදරයේ සත්‍යය ගොඩ නගන්න, විප්ලවවාදීව සමාජ අවස්ථාවන් වෙනස් කරන්න, කලාවේ විශ්වීයත්වය වෙනුවෙන් පෙනී ඉන්න, විද්‍යාත්මක සබුද්ධිකත්වය ආරක්ෂා කරන්න. අඩ සියවසකට වඩා දිගු විප්ලවවාදී දේශපාලන භාවිතයක් තියෙන බදියු වගේ චරිතයකට දේශපාලනය තුළ සමහරවෙලාවට අවශ්‍ය ප්‍රචණ්ඩත්වය ගැන අනුරාගයක් තියෙනවා – යථාව වෙත අනුරාගය කියල එයා කියන්නේ මේක. නමුත් මේ නිසාම අපිට බදියු ගේ දර්ශනයේ තියෙන එක්තරා ආතතියක් හමු වෙනවා. එක පැත්තකින් එයා සත්‍යයන් ගේ බහුමානය රැක ගැනීම වෙනුවෙන් පෙනී ඉන්නවා. අනිත් පැත්තෙන් එක් සත්‍යයක ආත්මයක් අතින් තවත් සත්‍යයක් විනාශවීමේ අනතුර ඉවසනවා. මෙයසු කියන්නේ මේ ඉවසීම නිසා බදියුම යෝජනා කරන අර අපරිමිත ශක්‍යතාවය අපට මග හැරෙනවා කියන එකයි. එම නිසා, බදියු වෙනුවෙන්ම අප දර්ශනයේ බදියානු භූමිකාව තව තීව්‍ර කරන්න ඕන.

මගේ ජීවිතයේ බොහෝ තීරණාත්මක වෙනස්කම් සිද්ධ වෙනකොට මම යන්නේ බදියු වෙත. මට හිතුනා ආන්‍යා එක්ක බදියු ගේ අදහසක් – මෙතනදී බදියු ගේ ජනප්‍රියම ශිෂ්‍යයා ගේ අර්ථකථනයක් එක්ක – බෙදා ගන්න එක ප්‍රයෝජනවත් වෙන්න පුළුවන් කියල. එක සත්‍යයේ ක්‍රියාවලියක් තුළ අනෙක් සත්‍යයන් ඉදිරියේ අන්ධ වීමේ අනතුරක් තියනවා…

මෙයට බදියු ගේම වචන වලින් කියන්නේනම් විශ්වාසයෙන් සහ පක්ෂපාතිත්වයෙන්,

අනන්ත එදිරිසූරිය

 

 

 

***