Co4ffjqWgAQUDd7

 

2018.12.15 වන දින රාවය පුවත් පතේ ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි විසින් ලියා තිබූ ලිපියක් සම්බන්ධයෙන් විවේචනාත්මක අදහස් දැක්වීමක් මෙහි අඩංගු වේ. ලිපියෙහි ශීර්ෂය වූයේ ‘මම සිතමි, එම නිසා මම වෙමි.“ – (දාර්ශනික ඬේකාර්ට්ස් 1637) “මම සිතමි, එම නිසා මම වෙමි.” (පැසිස්ට් සිරිසේන 2018) යනුවෙනි (එම ලිපිය මෙතැනින්). මෙවැනි විවේචනයක් කිරීම මගින් අප උත්සාහ කරන්නේ ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි වැනි කෘතහස්ථ ශාස්ත්‍රඥයෙකුගේ බුද්ධිමය සම්ප්‍රදායන් සියල්ල අවප්‍රමාණය කිරීම නොවේ. එවැනි ශාස්ත්‍රඥයෙක් ලෙස ඔහුගේ මෙම දේශපාලන පෙනී සිටීම වඩා සාධනීය තලයකට ඔසවා තැබීම මෙම විවේචනයේ එක් අරමුණක් වන අතර එවැනි පෙනී සිටීම් සඳහා සිදු කරන දාර්ශනික මැදිහත්වීම දිශානත විය යුතු ආකාරය පැහැදිලි කිරීම මෙහි මූලික අරමුණ වේ.

මෙම ලිපියේ ඡායාරූප ලෙස රෙනේ ඩෙකාර්ට්, හිට්ලර් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යන තිදෙනාගේ ඡායාරූප එක්කර තිබුණි. බැලූ බැල්මට මෙම රූපවල සම්බන්ධය වටහා ගැනීම ම අපහසු කරුණකි. මෙය ඩෙස්මන්ඩ් ගේ තේරීමක් නොව පුවත් පතේ තීරණයක් වීමට බොහෝ ඉඩ ඇති බව අපි දනිමු. මල්ලිකාරච්චිගේ සමස්ථ ලිපියෙහි අරමුණ වන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සම්බන්ධයෙන් විවේචනයක් ගෙන ඒමටයි. පසුගිය ඔක්තොම්බර් 26 වන දින ජනාධිපතිවරයා විසින් ගනු ලැබූ දේශපාලන තීන්දුව මත එම විවේචනය එල්ල කර තිබේ. එම විවේචනය සම්බන්ධයෙන් මැදිහත්වීමක් හෝ අදහස් දැක්වීමක් කිරීම මෙම ලිපියෙහි අරමුණ නොවේ. අපගේ අවධානය මූලික ව යොමු වන්නේ ලිපියෙහි සඳහන් රෙනේ ඩෙකාට්ගේ අදහසට මහාචාර්යවරයා විසින් ගෙනෙන අර්ථ කථනය පිළිබඳව යි. එම කොටස් පමණක් අප මෙහි සඳහන් කරමු. නමුත් අවසානයේ මේ මැදිහත්වීම තුළ දේශපාලනයේ මූලික පෙනීසිටීමක් සළකුණු නිසා මෛත්‍රීපාල සිරිසේනට එරෙහි දාර්ශනික විවේචනය සංවිධානය කළ යුතු ආකාරය පිළිබඳව යෝජනාවක් ද මෙහි හමුවනු ඇත.

ලිපියෙහි අපට අවශ්‍ය කරුණ මෙසේ උපුටන්නේ නම්,

///“මම සිතමි එමනිසා මම වෙමි.” ඩෙකාර්ට්ස්ගේ ඉහත වාක්‍යය තුළ තාර්කික දෝෂ ඇත. අනුභූතික වශයෙන්ද එය අසම්පූර්ණය. එපමණක් නොව බොහෝ විවරණකරුවන් නොදුටුවද ඩෙකාර්ට්ස්ගේ ඉහත ප්‍රකාශය තුළ අත්තනෝමතික, අන්‍යයන් නොසලකා හරින පැසිස්ට්වාදි අර්ථයක්ද ගැබ්වී නැතුවා නොවේ. එහෙත් ඩෙකාර්ට්ස් සිය ප්‍රකාශය පැසිස්ට් දේශපාලන තේරුමකින් ඉදිරිපත් කළේ නැත. ඇත්ත. ඩෙකාර්ට්ස්ගේ එම නිගමනය ඥානවිභාගාත්මක වශයෙන් පැසිස්ට්ය. පුද්ගලවාදීය. අන්‍යයන්ගේ පැවැත්ම සුළුකොට නැතිනම් නොසලකා හැර තමා හෙවත් ‘මම’ ඉහළ නංවා ගැනීමට යොමුවී ඇති නිසා ඩෙකාර්ට්ස්ගේ ඉහත ප්‍රකාශය පැසිස්ට් දර්ශනයකට පදනම් වාක්‍යයක් ද විය හැකිය. හේතුව මුසෝලිනී (ඉතාලියේ), හිට්ලර් (ජර්මනියේ) ෆ්‍රැන්කෝ (ස්පාඤ්ඤයේ) ඉඩිඅමින් (උගන්ඩා), පොල්පොට් (කාම්බෝජයේ), බැටිස්ටා (කියුබාවේ) ආදීන් සිතුවේ සහ ක්‍රියා කළේ “මම සිතමි, එම නිසා මම වෙමි” හෝ “මම පමණක් වෙමි’ යන මෝඩ සිතුවිල්ල හිත සහ හිස දරාය. ///

එක්තරා අර්ථයකින් ගත් විට, රෙනේ ඩෙකාට් නූතන බටහිර දර්ශනයෙහි සමාරම්භ දාර්ශනිකා වේ. ‘මම සිතමි එනිසා මම පවතිමි’ නම් අතිශය ජනප්‍රිය තිසීසය ඔහු විසින් ගොඩ නැගීමෙන් පසුව මුළු මහත් දර්ශනය ම නව දැනුමක් ඔස්සේ ඉදිරියට ඇදුණි. එම නිසා ම දර්ශනයේ මහා සම්ප්‍රදාය තුළ ඩෙකාට් යනු කේන්ද්‍රීය චරිතයකි. අද වන තුරු ම ඩෙකාට්ගේ අදහස් වෙනුවෙන් පෙනී සිටිනා දාර්ශනිකයන් හඳුනා ගත හැකිය. (මෙයින් එක් අයෙක් වන්නේ ස්ලැවෝයි ජිජැක් ය). ඩෙකාට්ගේ ඇති විශේෂත්වය වන්නේ ඔහු විසින් ඉතා සාධාරණ ලෙස හා තර්කානුකූලව ගෙන එන ‘කොජිටෝව’ (සිතනා-දෙය) නම් අදහස අද දවස වන විටත් බිඳ හෙළිය නො හැකි දාර්ශනික ආස්ථානයක් වීම හා එය නූතන බටහිර දර්ශනයේ සමාරම්භක අදහසක් වීමයි. ‘කොජිටෝව’ ඉතා ම සරල හා සංෂිප්ත ලෙස සඳහන් කරන්නේ නම් අප මේ මොහොතේ සිතමින් ඉන්නවා නැතිනම් සිතනා-දෙය යන්න අප ප්‍රශ්න කළ නො හැකි, සැක කළ නො හැකි ප්‍රාථමික පැවැත්මක් බවට හඳුනා ගැනීමයි. එලෙසම දෙවියන් පිළිබඳ අදහස එකල ඩෙකාට් ජීවත් වන යුගයේ යුරෝපය තුළ මුල් බැස ගත් අදහසකි. දෙවියන් පිළිබඳ අදහස සමඟ තාර්කික ව සටන් කිරීමට ඩෙකාට් උත්සහ කරන්නේ එම යුගයේ ම ගැලීලියෝ විද්‍යාවෙන් කළ සටනට සමාන හා එවැනිම රැඩිකල්, විටෙක පරෙස්සම්සහගත ප්‍රවේශයක සිටිය. තවත් ආකාරයකට කියන්නේ නම් දෙවියන් පිළිබඳ අදහසට දාර්ශනික වලංගුතාවයක් සැපයීමට ඩෙකාට් උත්සහ කරයි.

මෙහිදී මම සිතමි එනිසා මම පවතිමි යන්න ඩෙකාට් සාධනය කරන්නේ පිළිවෙලින් මේ ආකාරයට යි. ඩෙකාට්ට අවශ්‍ය වන්නේ අපට සැකයට බඳුන් කළ නොහැකි සැබෑ පැවැත්මක් (හරයාත්මක පැවැත්මක්) හඳුන්වා දීමටය. එහි තාර්කික අවසානය වන්නේ අපගේ හා භෞතික ලෝකයේ පැවැත්ම දෙවියන්ගෙන් විනිමුර්ක කිරීමේ උත්සාහයකි. පළමුව ඩෙකාට් සියලුම පැවැත්මල් සැකයට බඳුන් කරයි. එනම් ඉන්ද්‍රීය සංජානනය, අපගේ හිඳීම, ගනුදෙනු කිරීම්, සිහින, ලෙස මෙම පෙනීසිටීම් අපට ඉතා නිවැරදිව සිදුවනවා හෝ පවතිනවා හෝ සැකහැර දැනගත නො හැකි බව සාධනය කර පෙන්වයි. අවසානයේ මෙලොව පවතින සියල්ල සැක කළ හැකි තාර්කික යාන්ත්‍රනයක් සංවිධානය කරන ඩෙකාට් මා මේ මොහොතේ සිතමින් ඉන්නවා ඉන්න සැක කළ නොහැකි බව පෙන්වා දෙයි. එය සිතනා-දෙය ලෙස නම් කරමින් එය වෙනත් කිසිදු බලපෑමක් නොමැති හරයාත්මක පැවැත්මක් නැතිනම් සැබෑ ලෙස පවතින ස්වායක්ත පැවැත්මක් ලෙස හඳුනාගැනීම සිදුවෙයි.

එසේ නම් සිතනා දෙය හා එහි මැදිහත්වීම සහ අනෙක් පැවැත්මල් පවතින්නේ කෙසේද? ඒවා පවතින්නේ දුෂ්ට දෙවියෙකුගේ මැවුම්කාරී බලපෑම නිසා බව සැක කළ හැකි ය. නමුත් දෙවියන් වහන්සේ යනු සර්වබලධාරී, සර්වඥ වන නිසාත් අප කෙනෙක් රවටන්නේ අප තුළ අඩුපාඩුවක් හෝ අහිමි වීමක් ඇති නිසාත් දෙවියන් වහන්සේට අපව රැවටීමට කිසිලෙසකින් හෝ අවශ්‍යතාවයක්, ඔහු තුළ අඩුපාඩුවක් නොමැතිබව ඩෙකාට් තාර්කික ව පැහැදිලි කරයි. අවසානයේ ඒ සියල්ල අතරින් අපට සැක කළ නොහැකි පෙනී සිටීමක් ලෙස මා දැන් සිතමින් ඉන්නවා යන්න නැතිනම් සිතනා-දෙය යන්න තහවුරු කර පෙන්වයි. එහි මම සිතන්නේ නම් මම නොපවතිම යන්න හෝ මම යනුවෙන් කෙනෙකුගේ හිඳීම ප්‍රතික්ෂේප කිරීම විසංවාදයක් වන නිසා මම සිතන්නේ මම පවතින නිසා බව තහවුරු කරයි. එලෙසම මෙම ක්‍රියාවලිය තුළ අපගේ පැවැත්මේ ආරම්භය හා සිතනා-දෙය අනෙක් පැවැත්මල් සමඟ සම්බන්ධ කරනා මාඳිලිය ලෙස දෙවියන් වහන්සේ යෝජනා කරයි. සිතනා පැවැත්ම වන්නේ මම ය. එම නිසා මම පවතිමි. (ඩෙකාට්ගේ සාධනය කිරීමේ ගැටලුව තිබෙන්නේ හෛඩගර් පවසන ආකාරයට ලෝක විරහිත පැවැත්මක් පිළිබඳ අපට සිතා ගත නො හැකිය.  අප සිතන්නේ කොතැන සිටද? සිතන දේවල් පවතින කුමන ලෝකයකද? ඒව නොමැතිව සිතය හැකිද?) නමුත් මම සිතමි යන්න සැබෑ පැවැත්මක් බවට පත්වන්නේ එය කිසිලෙසකින්වත් සැකයට බඳුන් කළ හැකි ක්‍රියාවක් නොවන නිසා හා සිතීම නො පවතිනවා හෝ නො සිතීම පවත්වාගෙන යන පැවැත්මක් යන්න අර්ථ විරහිත ප්‍රකාශ වන නිසා ය. මම සිතමි එනිසා මම පවතිමි යන්නෙහි දාර්ශනික අර්ථය එය යි.

මල්ලිකාරච්චි මෙහෙදී භාවිතයට ගන්නේ ඔහුට අනුව මෙතෙක් කල් සැගවී තිබූ ඩෙකාට්ගේ මෙම අදහසේ සැඟවුණු අර්ථය යි. එනම් එහි බිහිසුණු, පැසිස්ට් අර්ථයක් ඇති බවයි. ///ඩෙකාර්ට්ස්ගේ එම නිගමනය ඥනවිභාගාත්මක වශයෙන් පැසිස්ට්ය. පුද්ගලවාදීය. අන්‍යයන්ගේ පැවැත්ම සුළුකොට නැතිනම් නොසලකා හැර තමා හෙවත් ‘මම’ ඉහළ නංවා ගැනීමට යොමුවී ඇති නිසා ඬේකාර්ට්ස්ගේ ඉහත ප්‍රකාශය පැසිස්ට් දර්ශනයකට පදනම් වාක්‍යයක් ද විය හැකිය./// මම සිතමි එනිසා මම පවතිමි යනු අනෙක් අය අමතක කර හෝ ප්‍රතික්ෂේප කොට මම ගැන පමණක් සිතීම නොවේ. එය දැනුම පිළිබඳ ගැටලුවක් මිස වෙනත් දේශපාලනික ඒකාධිපතිත්තවයක් දරනවා යනුවෙන් ප්‍රකාශ කිරීම තේරුම් ගැනීමට අපහසු තර්කයකි. තවත් ආකාරයකට කියන්නේ නම් කාටිසියානු යථාර්ථවාදී ප්‍රවේශයට සද්භාවවේදී පදනමක් පවතියි. එනම් ඒ මාගේ පැවැත්ම ගොඩනැගෙන්නේ මා සිතනා නිසාය යන්න යි. එය මා ගැන හෝ මා පමණක් සිටිය යුතු බව සිතීම නොවේ. කිසිවක් නොසිතනවා කියා සිතීමද ඩෙකාට්ගේ අදහස මත වලංගු වන්නකි. මෙම පැහැදිලි කිරීම් තුළින් අපට ඒත්තු යන්නේ මහාචාර්යවරයා බලාපොරොත්තු වන අදහස කාටිසියානු ආත්මය තුළින් ව්‍යුත්පන්න නොවන බව යි. නමුත් මෙහිදී සඳහන් කළ යුතු අතිශය වැදගත් කරුණයක් වන්නේ ඩෙකාට් ඔහුගේ මූලික තීසීසය සාධනය කිරීමේදී ආධනග්‍රාහී ලෙස කටයුතු කරනවා යන්න පිළිගත යුතුය. ඒ ඔහු ලෝකයේ බලපෑමකින් තොරව ආත්මයටත්, ආත්මයේ බලපෑමකින් තොරව භෞතික ලෝකයටත් පැවතිය හැකිය යන නිගමනය දෙවියන් තුළින් සාධනය කරන නිසා ය. එම නිසා ඩෙකාට්ගේ දර්ශනය තුළ ආධානග්‍රාහවාදයක් තිබෙන්නේ මම සිතමි එනිසා මම පවතිමි කියනා අදහසේ නොව ඔහු ආත්මය (කොජිටෝව) භෞතික ලෝකය හා දෙවියන් හරයාත්මක පැවැත්මවල් ලෙස ඒවායේ සහසම්බන්ධය පිළිබඳ අදහසක් නොමැතිව වෙන් කිරීම හේතුවෙනි. එම වෙන්කිරීම සිදුකරන්නේ ආගමික භක්තිවාදයට එරෙහි යථාර්ථවාදයක් නිර්මාණය කිරීමට මිස කිසිසේතම බිහිසුණු පැසිස්ට් අදහසක් ගොඩනැංවීමට නොවේ.

මෙම කාටිසියානු යථාර්ථවාදී ප්‍රවේශයට මෙරට සිංහල බෞද්ධ දාර්ශනික කථිකාව විශාල විරෝධයක් එල්ල කරයි. එනම් ‘මනසින් තොර යථාර්ථයක් පිළිබඳ මනසින් තොරව පෙන්වා දෙන්නේ කෙසේද?’ යන්නයි. මෙම දාර්ශනික අභියෝගය ‘ජෝර්ජ් බාර්ක්ලි’ නම් අයර්ලන්ත ජාතික දාර්ශනික බිෂොප්වරයා විසින් ගොඩනැගූ විඥඥානවාදය පිළිබඳ අදහස තුළින් ව්‍යුත්පන්න වූ තර්කයකි. මෙරට ජාතික ප්‍රශ්නය, විද්‍යාව පිළිබඳ අදහස, සිංහල බෞද්ධ අනන්‍යතාව පිළිබඳ අර්ථ කථනය හා මෙරට ඉතිහාසය පිළිබඳ ඔහුගේ ඉගැන්වීම් මෙම දාර්ශනික ව්‍යාපෘතිය තුළින් අර්ථ කථනය කෙරුණු අතර එහි ප්‍රථිපලයක් ලෙස අද දවසේ ජාතිකවාදී ආස්ථානය ශක්තිමත් විය. ඒ තුළ දෙමළ මිනිසාගේ ඉතිහාය හා ඔහුට මෙරට හිමිවිය යුතු වරප්‍රසාද නිර්ණය කෙරුණි. මෙරට බලය ලබා ගන්නා රජය හැසිරිය යුතු ආකාරය හා රජය හා බුදුදහම අතර පැවතිය යුතු අනන්‍යෝය සම්බන්ධය අර්ථ කථනය කෙරුණි. මෛත්‍රීපාල සිරිසේනගේ දේශපාලන වියහැකිබව තීරණය වන්නේ මෙම කථිකාව තුළ යි. මූලික ව ජනාධිපතිවරයාත් මෙරට බල දේශපාලනයේ ප්‍රධාන චරිත නියෝජනය කරන දේශපාලනයේ ගැඹුරුත ම ලක්ෂයේ තිබෙන්නේද මෙම සිංහල බෞද්ධ දාර්ශනික කථිකාව තුළ යි. නමුත් මේ මඟින් අප කියා සිටින්නේ කාටිසියානු දර්ශනය තුළ මේ සියල්ලට පිළිතුරු තිබෙන බව හෝ සිංහල බෞද්ධ ජාතිකවාදයට එරෙහි දාර්ශනික ව්‍යාපාරය වන්නේ කාටිසියානු දර්ශනය බව නොවේ. ඩෙකාට් කියවීම යනු තවදුරටත් දර්ශන දේපාර්තමේන්තුවල විෂය නිර්දේශ සංවර්ධනය කරන හෝ උපාධි නිබන්ධිකා පෝෂණය කරන ව්‍යාපෘතියක් ලෙස තේරුම් නොගත යුතුය. දර්ශනය කියවීමේ නව භාවිතයක් මේ වන විට අප පෙන්වන්නට උත්සහ කරමින් සිටියි. එනම් දර්ශනය කියවනවා යනු සාමූහිකව සංවිධානය වන, සමාජයට මතවාදී මැදිහත්වීමක් කළ හැකි, අලුත් පරම්පරාවක් සමග විපර්යාසකාරී ලෙස මැදිහත් විය හැකි විභවයක් සංවිධානය කිරීමයි. මල්ලිකාරච්චිගේ මේ නොසැලකිලිමත් කියවීම තුළ සිදුවන්නේ එවැනි උත්සාහයන්වලට හානි වීමයි. ඩෙකාට්ගේ දර්ශනය තුළ නොමැති දෙයක් ඩෙකාට්ට ආරෝපනය කිරීම නිසා දර්ශනයේ ඉතිහාසය හෑල්ලුවට ලක්වීම සිදුවේ. සත්‍ය වශයෙන් මීට සියවස් තුනහමාරකට පෙර ලියවූ මෙම ඓතිහාසික චින්තනයට අප විසින් ලබා දිය යුතු වටිනාකම ඉන් අහිමිවී යයි. එසේනම් මහාචාර්ය ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චිට අවශ්‍ය මෙම මැදිහත්වීම අව්‍යාජ ප්‍රගතිශීලී මාවතක් වෙත ගෙන ඒමට ඩෙකාට් නිවැරදිව කියවීම මඟ හැරිය නොහැකි අවශ්‍යතාවයකි.

රංග මනුප්‍රිය

 

 

***

Advertisements