Lucie Stahl

අපි ඉක්මනින් පසුබිම් කතාව සටහන් කරමු. බැසිල් රාජපක්ෂ විසින් අනිද්දා පුවත් පතට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවකදී මෙරට ජනවාර්ගික ප්‍රශ්නය සම්බන්ධයෙන් එම මට්ටමේ නායකයෙක් මෑත කාලීනව සිදු කළ වඩාත් නිශ්චිත සහ තරමක් පුදුමාකාර ප්‍රකාශයක් කරයි. එම ප්‍රකාශය සහ එයට තුඩු දුන් ප්‍රශ්නය මෙසේය:

‘අනිද්දා’ පුවත්පත: ඔබ ජාතිභේද නැතිව දේශපාලනය කිරීම ගැන කීවත්, පොදුජන පෙරමුණේ ඉන්න බොහෝ අය උත්සාහ කරන්නේ සිංහල ජාතිකවාදය වඩ වඩාත් ශක්තිමත් කරමින් බලයට එන්නයි.

බැසිල් රාජපක්ෂ: ඒක නම් වෙනස් කරගත යුතුමයි. කවුරු මොනවා කිව්වත්. මම නම් ඒකට කැමතිම නැහැ. මම කියන්නේ නැහැ කිසිම ජාතියකට අසාධාරණයක් වෙන නීති හදන්න ඕනෑ කියලා. සමානත්වය ඇති කරන්න නීතිමය පසුබිම හදන්න ඕනෑ. මගෙනුත් අහන අය ඉන්නවා, ලංකාවේ වෙන ජනවර්ගවලට තියෙන ප්‍රශ්නය මොකක්ද කියලා. හැමෝටම සමාන අයිතීන් තියෙනවා නේද කියලා. ඒත් සුළු ජාතිකයෙකුට තියෙන ප්‍රශ්න මොනවාද කියලා ලේසියෙන් පැහැදිලි කරන්න බැහැ. තමනුත් සුළුතරය බවට පත්වුණොත් තමයි ඒ අමාරුව තේරුම් ගන්නේ. මම වෙනත් රටවල සුළුතරය විදියට ඉඳලා ඒ අත්දැකීම් ලබලා තියෙනවා. යම්කිසි කෙනෙක් දේශපාලනයෙන් බලයට එන්න ඒක යොදාගන්නවා නම් මම අනුමත කරන්නේ නැහැ.

(සමස්ත සාකච්ඡාව මෙතනින්)

මෙය තරමක් පුදුමාකාර වන්නේ මෙම ප්‍රකාශය පැමිණෙන්නේ ‘රාජපක්ෂවාදී දේශපාලන කඳවුරෙන්’ පමණක් නොව රාජපක්ෂ පවුලේම, සමහරවිට එහි වඩාත් සංවිධිත, සාමාජිකයෙකුගෙන් වීමයි. අපගේ සාමූහික අනාගතය සකස් විය යුත්තේ ජාතිය පිළිබඳව අදහස පදනම් කරගෙනයි යනුවෙන් සිතන දකුණේ දේශපාලන බලවේග වලට නායකත්වය දෙන්නේ රාජපක්ෂ කඳවුර වටා ගොණු වී ඇති දේශපාලනය සන්ධානය බව අපි දනිමු. විමල් වීරවංශ, උදය ගම්මන්පිල, දිනේෂ් ගුණවර්ධන වැනි අය එහි ජනප්‍රිය ප්‍රකාශකයන් වේ. එතරම් ජනප්‍රිය නොවන්නේ වුවත් එහි මතවාදී නායකයන් ලෙස නලින් ද සිල්වා, ගුණදාස අමරසේකර වැනි අය මෙන්ම මැදගොඩ අබේතිස්ස, බෙංගමුවේ නාලක වැනි භික්ෂූන් හඳුනා ගත හැක. මේ බොහෝ දෙනා රාජපක්ෂ පවුලේ නායකත්වය පිළිගන්නේ සහ වත්මන් ආණ්ඩුවට විරුද්ධ වන්නේ ‘රට බෙදීම’ යන සටන් පාඨය යටතේය. එයට අනුව උතුරේ දෙමළ ජනයාට කුමන මට්ටමේ හෝ ස්වාධීන පාලන බලයක් ලබා දීමට එකඟ වීම යනු ‘රට බෙදීම’ දෙසට පියවරක් – හෝ පියවර කීපයක් හෝ – තැබීම හා සම වේ.

බොහෝ දෙනෙකු දන්නා ඔවුනගේ තර්ක කිරීමට අනුව මෙම සමස්ත ක්‍රියාවලියම මුළුමනින් අර්ථවිරහිත වන්නේ මෙසේ බලය බෙදා හැරීමේ අවශ්‍යතාවයක් කිසිසේත් නොමැති වීම නිසාය. එයට හේතුව වන්නේ එවැනි ප්‍රවේශයක් හරහා විසඳාගැනීමට තිබෙනා ප්‍රශ්නයක් නොමැති වීමයි. ඉමහත් ජනප්‍රිය නලින් ද සිල්වා ගේ සූත්‍රගත කිරීම අනුව ‘දෙමළ ජනතාවට දෙමළ වීම නිසාම ඇති විශේෂ ප්‍රශ්නයක් නොමැත’. එම නිසා දශක ගණනක් ඇදෙන දෙමළ ජනයාගේ ස්වයං තීරණ බලය ඉල්ලා සිටීමේ අරගලයට හේතුව ලෙස ඔවුනට දෙමළ වීම නිසාම ඇති ප්‍රශ්නයක් හඳුනා ගත නොහැක. ඒ වෙනුවට අප එය වටහාගත යුත්තේ වෙනත් අර්ථකථන වලට අනුවයි. එම ‘වෙනත් අර්ථකථන’ මොනවාද යන්න සම්බන්ධයෙන් සිංහල ජාතිකවාදී දේශපාලනය තුළ පුළුල් එකඟතාවයක් තිබෙනවාද යන්න එතරම් පැහැදිළි නැත. සමහර දෙනෙකුට අනුව එය ප්‍රභාකරන් ගේ ලේ පිපාසිත මිනීමරු මානසිකත්වය නිසා ඇති විය. තවත් සමහර දෙනෙකුට අනුව මෙය අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයකි. සමහරවිට මේ සම්බන්ධයෙන් වඩාත් දිගු පැහැදිළි කිරීම තිබෙන්නේ නලින් ද සිල්වා ගේ ‘දෙමල ජාතිවාදය’ පිළිබඳව අදහසේ විය හැකිය. කෙසේ වුවත් මේ සියලු දෙනා එකඟ වන පොදු කරුණ වන්නේ උතුරට සහ වෙනත් ප්‍රදේශ වලට ස්වාධීනව තීරණ ගැනීමේ අයිතිය ලබා දිය හැකි දේශපාලන ප්‍රතිසංස්කරණයක් ඉල්ලා සිටීමට තරම් විශේෂ ප්‍රශ්නයක් දෙමළා සඳහා නොමැති බවයි.

එවැනි ප්‍රවේශයක සිට බලනා විට බැසිල් රාජපක්ෂ ගේ උක්ත ප්‍රකාශය අතිශයින් ගැටලුසහගත වන්නේ කෙසේද යන්න වටහා ගැනීම අපහසු නොවේ. එක අතකින් එහි ප්‍රශ්න විචාරකයා විසින් ප්‍රශ්නය රාමුගත කරන්නේම රාජපක්ෂ දේශපාලනය තුළ සිටිනා ඉහතින් සඳහන් බලවේග වලට ඍජුව චෝදනා කරමිනි (‘පොදුජන පෙරමුණේ ඉන්න බොහෝ අය උත්සාහ කරන්නේ සිංහල ජාතිකවාදය වඩ වඩාත් ශක්තිමත් කරමින් බලයට එන්නයි’). බැසිල් රාජපක්ෂ විසින් ප්‍රශ්නය රාමුගත වන ආකාරය අභියෝගයට ලක් නොවනවා පමණක් නොව ඔහු එය වෙනස් කර ගැනීම – ‘කවුරු මොනවා කිව්වත්’ – අනිවාර්ය වන බව ප්‍රකාශ කරයි. “අනිද්දා” පුවත්පතේ දේශපාලන පක්ෂපාතීත්වයන් නිසා බැසිල් ප්‍රකාශ කළ කරුණු මේ ආකාරයට රාමුගත වීමේ ඉඩ ඉවත් කළත්, මෙහි බැසිල් කියනා දෙය තුළ අව්‍යාජ නිමේශයක් ඇති බව මග හැරී යන්නේ නැත. එය විශේෂයෙන් පැහැදිළි වන්නේ සිය පුද්ගලික අත්දැකීම් ඇසුරින් වාර්ගික සුළුතරයක් වීමේ දේශපාලන අත්දැකීම පැහැදිළි කිරීම තුළයි (‘සුළු ජාතිකයෙකුට තියෙන ප්‍රශ්න මොනවාද කියලා ලේසියෙන් පැහැදිලි කරන්න බැහැ. තමනුත් සුළුතරය බවට පත්වුණොත් තමයි ඒ අමාරුව තේරුම් ගන්නේ. මම වෙනත් රටවල සුළුතරය විදියට ඉඳලා ඒ අත්දැකීම් ලබලා තියෙනවා.’).

එක්තරා අර්ථයකින් ගත්විට මෙය මෙරට – විශේෂයෙන් – දෙමළ ජනයාගේ ප්‍රශ්නය සම්බන්ධයෙන් සිදු කළ ඉතාම නිවැරදි, නිශ්චිත, සංක්ෂිප්ත අදහස් දැක්වීමක් කියා කිව හැකිය. පුවත් පත් සම්මුඛ සාකච්ඡාවක ඉඩ තුළ මෙම ගැටලුව මෙයට වඩා හොඳින් පැහැදිළි කිරීමට තිබෙනු ඇත්තේ අඩු ඉඩකි. බැසිල් වැනි නායකයෙක් අතින් එය ප්‍රකාශ වීමේ වැදගත් කම වන්නේ මෙයයි.

අනෙක් අතට, මෙම කරුණු සලකා බැලීමේදී, සිංහල ජාතිකවාදී දේශපාලනයේ බුද්ධිමය වශයෙන් සංවේදී ස්තරය මෙම ප්‍රකාශයට එරෙහි විරෝධය පල කිරීම සහ එය අභියෝගයට ලක් කිරීම එතරම් පුදුමසහගත දෙයක් වන්නේද නැත. දින කීපයක් තුළ නලින් ද සිල්වා විසින් මෙම ප්‍රකාශය උපුටා දක්වමින් බැසිල් රාජපක්ෂ වෙත ප්‍රසිද්ධ විවාදයකට ආරාධනා කරන අතර බැසිල් එම ආරාධනයට නිශ්චිත කාලයක් තුළ පිළිතුරු දීම ප්‍රතික්ෂේප කරන්නේනම් ඒක පාර්ශවීය ලෙස අදහස් දක්වන බව වැඩිදුරටත් කියා සිටියි (සම්පූර්ණ ලිපිය මෙතැනින්).

අපේක්ෂා කළ හැකි ලෙසම බැසිල් විසින් මෙයට ප්‍රතිචාර නොදක්වන අතර පොරොන්දු වූ පරිදි නලින් ද සිල්වා විසින් සිය ඒක පාර්ශවීය අදහස් දැක්වීම ආරම්භ කර තිබේ.

අප සිතනා පරිදි මෙහිදී බැසිල් වෙනුවෙන් – නලින් ද සිල්වාට එරෙහිව – පෙනී සිටීමේ දේශපාලන ප්‍රමුඛතාවයක් තිබේ. පොදුවේ ගත්විට සිංහල ජාතිකවාදයේ දේශපාලන නායකත්වය උසුලන පාර්ශවයේ අතිශය කේන්ද්‍රීය මෙවන් නායකයෙක් අතින් කියවීම මෙරට දේශපාලනයේ අනාගතය වෙත සුභවාදී බලාපොරොත්තුවක් එකතු කරනා බව ඉතා පැහැදිළි වෙයි. නමුත් මේ සඳහා පෙනී සිටීමට මෙයට වඩා සුවිශේෂ හේතුවක් ද තිබේ.

තරමක කාලයක් තිස්සේ අප කීප දෙනෙක් විසින් මෙරට ජාතිකවාදී දේශපාලනයේ නැග ඒම පිළිබඳව එක්තරා තිසීසයක් වෙනුවෙන් පෙනී සිට ඇත. කොන්ටෙන් මෙයසූ නම් සමකාලීන ප්‍රංශ දාර්ශනිකයාගේ අදහසක් අනුව යමින් අප කියා සිටින්නේ සිංහල ජාතිකවාදී දේශපාලනය සඳහා පදනම් වන දාර්ශනික මූලයක් තිබෙනා බවයි. මෙයින් අදහස් කරන්නේ ජාතිකවාදී දේශපාලනයේ පැන නැගීම සඳහා සුවිශේෂ ඓතිහාසික-දේශපාලනික හේතු නොමැති බව නොවේ. ඒ වෙනුවට අප කියා සිටින්නේ එම හේතු සාධක අතරට ‘දර්ශනයේ ඉතිහාසය’ පිළිබඳව ප්‍රශ්නයක් ද එකතු කළ යුතු බවයි.

මෙම නිශ්චිත කරුණ සම්බන්ධයෙන් වඩාත් තීරණාත්මක වන්නේ නලින් ද සිල්වා විසින් පසුගිය දශක කීපය පුරා ඉදිරිපත් කර ඇති අදහස් පද්ධතිය බව අමුතුවෙන් කිව යුතු නොවේ. අප යෝජනා කරනා ලෙසට දෙමළ ජනයාගේ දේශපාලන අභිලාශ වලට එරෙහි වීමේදී මෙම දාර්ශනික ස්ථාවරය මගින් ඉටු කරනා භූමිකාවක් තිබේ. නලින් ද සිල්වා විසින් ඉදිරියේදී බැසිල් රාජපක්ෂගෙන් ඇසීමට පොරොන්දු වී ඇති ප්‍රශ්න වලට පිළිතුරු දීමේදී මෙම කරුණ වටහා ගැනීම ඉතාම තීරණාත්මක වනවා කියා අපි පෙන්වා දෙන්නෙමු.

මේ මගින්, සහ අවසන් වශයෙන්, අප කුඩා කණ්ඩායමක් විසින් කලක සිට ආරම්භ කර ඇති දර්ශනය කියවීමේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ‘නිදහසට කරුණු කීමට’ අවස්ථාවක්ද හිමි වෙයි. අපගේ බොහෝ හිත මිතුරන් අතර තිබෙනා එක් චෝදනාවක් වන්නේ අපගේ පරිශ්‍රමයන් වල බුද්ධිමය වටිනාකමක් තිබෙන්නේ වුවත් ඒවායේ දේශපාලන වටිනාකම ඉතාම අල්ප වන බවයි. නමුත් මෙයට පරස්පරව අපගේ අදහස වන්නේ, අර්ථ කීපයකින්, මෙහි දේශපාලන වැදගත්කම අපට පෙන්වා දිය හැකි බවයි. නලින් ද සිල්වා ගේ ප්‍රශ්න කිරීම් වලට එරෙහිව බැසිල් රාජපක්ෂ වෙනුවෙන් පිළිතුරු ලබා දීම මගින් මෙම දේශපාලනය වන්නේ කුමක්ද කියා අපට පෙන්වා දීමට වැදගත් අවස්ථාවක් විවර වී තිබේ.

මෙයසූ සකසුරුවම් ලෙස සූත්‍රගත කළ අයුරින් කියන්නේනම් ‘සිතිය නොහැකි දේ සිදුවීම විය නොහැකි යැයි සිතිය නොහැකිය’!

වංගීස සුමනසේකර 

 

 

Advertisements