Jean-Luc-exhibit-large-_055

පොතක් පළ කිරීමේ ඇති එක් තෘප්තියක් වන්නේ එමගින් නිරායාසයෙන් ඇති කරනා නව ආකාරයේ ප්‍රජාවයි. ‘පොත කියවූ පිරිස’ ලෙස අනුභූතිකව නම් කළ හැකි මෙය බෙහෙවින් විෂමජාතීය වන්නකි. එම ප්‍රජාවේ සාමාජිකයෙක් වීම සඳහා අවශ්‍ය එකම කොන්දේසිය වන්නේ අදාළ පොත කියවීම පමණි. පරිවර්තන සාහිත්‍යයේ වර්ධනය සමග තවදුරටත් මෙවැනි ප්‍රජාවක් යනු එක් භාෂාවක් කතා කරනා පුද්ගලයන්ගෙන් සැදුම්ලත් එකක් වන්නේ ද නැත. ජාතිය, ආගම, වයස, ප්‍රදේශය, ලිංගය, කුලය ආදී බෙදීම් ඒ සඳහා කිසි සේත් අදාළ නොවන බව ඉතාමත් පැහැදිළි වේ. සමහර පොත් කියවීමට තරමක් කාලයක් ගත වියහැකි හෙයින් එවැනි පොත් කියවූ අයගේ ප්‍රජාව තුළ ප්‍රවීණයන් සහ ආධුනිකයන් යනුවෙන් බෙදීමක් පැවතීමට ඉඩ තිබේ. නමුත් මෙම බෙදීම අනිවාර්යයෙන් අහෝසි වී යාමට යටත් වන තාවකාලික බෙදීමක් පමණි. ඊයේ ආධුනිකයන් වූ අය අද දවසේ ප්‍රවීණයන් අභිබවා යයි. එම නිසාම මෙම ප්‍රජාව යනු නිරන්තරයෙන් සමානාත්මතාවය ස්ථාපිත කරනා ප්‍රජාවකි.

සෑම කෙනෙකුටම අදාළ පොත පිළිබඳව එක්තරා අර්ථකථනයක්, සිය පුද්ගලික ජීවිතය හා බැඳුනු අත්දැකීමක්, පොතේ වඩාත් වැදගත් කොටස මෙන්ම වඩාත් ආකර්ෂණීය කොටස පිළිබඳව අදහසක් ආදිය තිබේ. එම නිසාම මෙම ප්‍රජාව අතර පහසුවෙන් සංවාද ඇති විය හැකිය. එය සහෘදත්වයේ මෙන්ම සංවාදයේ ප්‍රජාවකි. එහි මත ගැටුම් ඇති විය හැකි වුවත් එමගින් අවසානයේදී සිදු වන්නේ ප්‍රජාවේ ශක්තිමත්බව වැඩි කිරීමයි.

පොත් අර්ථකථනය කිරීම වෙනුවෙන් යුද්ධ කරන්නේ නැත, ලේ හලන්නේ නැත. එහිදී වෙනස් මත ඉවසන්නේ ලිබරල් සදාචාරයක් ලෙස නොව එම ප්‍රජාව පැවැත්වීමේ අනිවාර්ය කොන්දේසියක් ලෙසයි.

මෙයට එකම ව්‍යාතිරේකය වන්නේ ඉඳ හිට ශාස්ත්‍රාලයේ රැකියා ලබා ගැනීම වැනි අවස්ථා වලදී සිය ප්‍රතිවිරුද්ධ පාර්ශවයේ අයව ඉවත් කිරීම ආදී බල අරගලයි. නමුත් එහිදී අප සත්‍ය වශයෙන්ම සිටින්නේ ‘පොත කියවූ පිරිස’ නම් ප්‍රජාවෙන් බාහිර වූ වෙනත් අරගලයක බල ව්‍යාපෘති තුළයි. ‘පොත’ විසින් ඉල්ලා සිටින්නේ චින්තනයේ, තර්ක බුද්ධියේ, රසාස්වාදයේ මූලධර්ම වෙත කොන්දේසි විරහිතව පක්ෂපාති වීමයි. එය කිසිදු බාහිර බල අරමුණක් වෙනුවෙන් යටත් වීමට එකඟ වන්නේ නැත. එසේ කිරීම මගින් අප සත්‍ය වශයෙන්ම පොත් කියවන ප්‍රජාවෙන් බාහිරව සිටින්නේ එම නිසාය.

මෙම ප්‍රජාව විෂමජාතීය වනවා පමණක් නොව මෙය මුළුමනින් පාලනය කිරීමට ද නොහැකි වන්නකි. පොත කියවන්නේ කවුද යන්න අපට කිසිදා පුරෝකථනය කළ නොහැක. එම නිසාම පොත යනු සමාජයේ ස්ථාපිත බෙදීම් වලට නෛසර්ගිකව අභියෝග කරන්නක් වෙයි. අපට දැකිය හැකි දේ, දැකිය යුතු දේ ආදිය නියාමනය වන බල ව්‍යාපෘති වලට පොත් මගින් අභියෝග කළ හැකිය. එම අර්ථයෙන් ගත්විට පොත් යනු අත්‍යන්තයෙන් දේශපාලනික වන්නකි.

මෙයින් අදහස් වන්නේ පොත් කියවීමේ මෙම ප්‍රජාවන් සඳහා කිසිදු අභියෝගයක් එල්ල නොවනවා යන්න නොවේ. මෙය විශේෂයෙන් සිහිපත් කළ යුතු වන්නේ ලංකාව වැනි බුද්ධිමය අතින් එතරම් වර්ධනීය නොවන රටවලදීය. මෙරට සිනමාවේ බෙදා හැරීම සිනමා ශාලා හිමිකරුවන් කීප දෙනෙක් විසින් පාලනය කරන සේම, මෙරට දෘශ්‍ය කලාවේ බෙදා හැරීම කලාගාර හිමියන් කීප දෙනෙක් විසින් පාලනය කරන සේම මෙරට පොත් බෙදා හැරීම මුළුමනින්ම පොත් ප්‍රකාශන කර්මාන්තයේ සහ පොත් කඩකරුවන් ගේ පාලනයට යටත්ව තිබේ. මෙයින් උත්සාහ කරන්නේ මෙය ‘ධනවාදයේ’ වැරද්දක් බව කියන්නට නොවේ. සත්‍ය වශයෙන්ම මෙම කැරුණේදී ප්‍රාග්ධනය විසින් කිසිවක් වාරණය කරන්නේ නැත. එයට අවශ්‍ය වන්නේ අතිරික්තය ජනනය කිරීමේ හැකියාව පමණි. එම නිසාම එවැනි හැකියාවක් සහිත ඕනෑම පොතක් සඳහා වෙළඳපොළ තුළ ඉඩක් ලබා දීමට එය විරුද්ධ වන්නේ නැත. ස්ලැවෝයි ජිජැක්, ඇලේන් බදියු, ග්‍රැහැම් හාමන්, ජෝජියෝ අගම්බෙන්, ජාක් රොන්සියර්, ජුඩිත් බට්ලර්, කොන්ටෙන් මෙයසූ වැනි චින්තකයන් ලෝකයේ ජනප්‍රිය වීම පසුපස පොත් ප්‍රකාශන කර්මාන්තයේ බෙදා හැරීමේ වෙළඳ උපක්‍රමද තිබේ. එම අර්ථයෙන් ධනවාදය විසින් සිදු කරන්නේ සාධනීය දෙයකි. මෙහි එකම ගැටලුව වන්නේ එය එවැනි බුද්ධිමය සංවාද සඳහා ඉල්ලුමක් නැති සමාජයකදී සිදු නොවීමයි. එවැනි තැනකදී වුවත් ඉහළ මට්ටමේ බුද්ධිමය නිෂ්පාදිතයන් බෙදා හැරිය යුතු වනවා කියා ධනවාදය තීරණය කරන්නේ නැත.

අප ලංකාවේ මුහුණ දෙන ඓතිහාසික සීමාව වන්නේ මෙයයි. පවත්නා වෙළඳපොළ තුළ බුද්ධිමය අගයෙන් වැඩි ‘පොත්’ යනු බෙදා හැරීමේදී ඉක්මනින් ඉවතට හැලෙනා දේවල් වෙයි. පහ වසර ශිෂ්‍යත්වයේ සිට උසස් පෙළ දක්වා ඇති පාසල් ආධ්‍යාපනයට උපකාරක ලෙස පළ වන පොත්, ජීවිතය ‘ජය ගන්නා’ ආකාරය කියා දෙන පොත්, ජනප්‍රිය ඉංග්‍රීසි නවකතාවල සිංහල පරිවර්තන, ජනප්‍රිය පුද්ගලයන්ගේ චරිත කතා ආදිය මූලික වන මෙරට පොත් කර්මාන්තය තුළ සංකල්පීය සිතා බැලීම් තිබෙනා කෘති බෙදා හැරීමේ විධිමත් ක්‍රමවේදයක් නොමැති වේ. මෙයට තිබෙනා එක හේතුවක් වන්නේ එවැනි දේ සඳහා විශේෂ ඉල්ලුමක් පොදුවේ දක්නට නොමැති වීමයි. නමුත් මෙහි ප්‍රතිඵලය වන්නේ තත්වය තව තවත් දරුණු වීම පමණි. ඉල්ලුමක් නොමැති වන නිසා – නැතිනම් එවැනි ඉල්ලුමක් නොමැති බව සිතනා නිසා – මෙවැනි පොත් සඳහා ලොකු බෙදා හැරීමක්, පොත් කඩ වල ලොකු ඉඩක්, හිමි වන්නේ නැත. නමුත්, අනෙක් අතට, මෙම නිසාම මෙවැනි පොත් කියවන්නට නොලැබෙන නිසා ඒවාට ඉල්ලුමක් නිර්මාණය වන්නේ ද නැත.

මෙම විෂම චක්‍රය බිඳ දැමීම සඳහා සංවිධානගත මැදිහත්වීමක් සිදු කළ යුත්තේ මෙම නිසාය. මෙවැනි රටවල අදහස් වෙනුවෙන් අරගල කරනවා යනු පොත් ලියා ප්‍රකාශන ආයතනයකට බාර දීම පමණක් නොවේ. ඒ වෙනුවට එය මුද්‍රණය කිරීමේ සිට බෙදා හැරීම දක්වා සියලු දේ සමග සම්බන්ධ විය යුතු පුළුල් අරගලයකි. ඇලේන් බදියු ට සිද්ධ වන්නේ පොත ලියා සිය ප්‍රකාශකයාට බාර දීම සහ එහි සෝදු පත් බැලීම පමණි. එතැන් සිට බදියු ගේ පාඨකයා අතට එම පොත ගෙන යාමේ වගකීම කර්මාන්තය විසින් බාර ගන්නෙහිය. අවාසනාවකට අපේ රටේ එවැනි සැහැල්ලුවක් අපට හිමි වන්නේ නැත. අපේ රටේ මෙවැනි පාඨක ප්‍රජාවක් නිර්මාණය කිරීම සහ එකතු කිරීම සිතාමතා සිදු කළ යුතු වැඩකි.

මෙවැනි අරමුණක් වෙනුවෙන් කියවන පිරිසක් එකතු කර ගැනීමට, එවැනි පිරිසක් එකට ජාලගත කිරීමට, අපි ඉදිරියේදී සැලසුම් කර තිබෙන්නෙමු. මෙහි ඉලක්කය වන්නේ තවත් එක් ප්‍රකාශන ආයතනයක් දැමීම නොවේ. අප උත්සාහ කරන්නේ යහපත් පොත් කියවන ‘යටිබිම්ගත ප්‍රජාවක්’ නැතිනම් ‘යටිබිම්ගත සාමූහිකයක්’ ඇති කිරීමටයි. විශේෂයෙන්ම සංකල්පීය සිතා බැලීම් සම්බන්ධයෙන් ගත්විට පොත යනු තවමත් පසුකර යා නොහැකි ආකෘතිය වේ. සන්නිවේදනය කෙතරම් දියුණු වන්නේ වුවත් මෙවැනි බුද්ධිමය මැදිහත්වීම් සඳහා ‘පොත’ යන්නට ආදේශකයක් නොමැත. අවශ්‍ය වන්නේ ‘පොත’ වටා එකතු කළ හැකි ප්‍රජාව එකතු කිරීමට උත්සාහ කිරීමයි. මේ සඳහා ඕනෑම ප්‍රකාශන ආයතනයකට වුවත් අප සමග සම්බන්ධ විය හැක – සිය පොත් පත් අප ගේ ප්‍රජා ජාලය හරහා බෙදා හැරිය හැකිය.

අප සිතනා ආකාරයට කොළඹ කේන්ද්‍රීයව සංවිධානය වන බුද්ධිමය මැදිහත්වීම් ‘කොළඹින් එළියට’ රැගෙන යාමේ අතිශය තීරණාත්මක අභියෝගයට එක විසඳුමක් විය හැක්කේ ‘පොත්’ වටා සංවිධානය වීමයි. ‘ෆේස්බුක්’ වැනි අවකාශයක් යොදාගෙන අද මෙවැනි දේ සඳහා උත්සාහ කිරීම එතරම් අපහසු නොවේ. පොත බෙදා හැරීම සහ එයට අමතරව අදාළ පොත පිළිබඳව අදහස් හුවමාරු කරගත හැකි යාන්ත්‍රණයක් ගොඩ නැගීමට මෙහිදී උත්සාහ කෙරෙනු ඇත.

මේ පිළිබඳව ඔබගේ අදහස් ලබා දෙන්න. මෙය පොදු අරගලයක කොටසක් ලෙස ගත්විට ‘අප’ සහ ‘ඔබ’ යන බෙදීම අහෝසි කරන්නකි.

 

 

***