53369498_10156689402992012_3306564668285255680_n

අද (9 වෙනිදා) දහයයි තිහට මා කටුගස්තොට ඇරීනා සිනමා ශාලාවෙන් දැකල පුරුදු කෙනෙක් නරඹා මගේ ඉස්කූටරයේ එන අතර මෙන්න මේ වැකි හිතේ ගොනු කර කර ආවෙමි. “හෙට නං උදේ කොහෙවත් යන්න දාගන්න එපා. දැකල පුරුදු කෙනෙක් ඔයත් බලන්න ඕනෙ. මමත් ආයෙ බලනවා.” මා මෙය කියන්නට සිතා සිටියේ බිරිදටය.

‍මහනුවර යනු විශාල වෛද්‍ය සේවා වෙළද මධ්‍යස්ථානයක් නිසා අපේ නෑදෑහිතවතුන් වෙනුවෙන් දොස්තර අංත ගැනීම, ලෙඩුන් බැලීමට යාම ආදී රාජකාරී නිතර පැවරේ. දැකල පුරුදු කෙනෙක් බලන්නට අද මා තනිව ගියේ ඒ නිසාය. ලෙඩෙකුට බත් එකක් ගෙනියන්නට ඇයට පැවරී තිබිණි. එසේ අනෙකාට උදව් කිරීම ඉතා යහපත් සංස්කෘතික කාරණයකි. එහෙත් විශිෂ්ට සිනමාව යනුද සංස්කෘතියයි.

දැකල පුරුදු කෙනෙක් සැමියා සහ බිරිද යනු දෙදෙනාම බැලිය යුතු කෘතියකි.

සිනමාව විවිධය. එය විවිධ ආකාරවලින් ප්‍රකාශ වේ. සමහර චිත්‍රපටි නළුනිළියන් නිසාද, සමහර චිත්‍රපටි සටන් ජවනිකා නිසාද. සමහර චිත්‍රපටි කතන්දරය නිසාද, සමහර චිත්‍රපටි තාක්ෂණික ශිල්පක්‍රම නිසාද යනාදී වශයෙන් විවිධ හේතු නිසා ආකර්ෂණීය වේ.

දැකල පුරුදු කෙනෙක් වෙත මා ආකර්ෂණය වීමට හේතු දෙකකිි. එකක් නම් එහි කාව්‍යමය සිනමා රීතියයි. සිනමාත්මකයද සිනමාත්මක රංගනයද නිසි ලෙස මුසු කරන මේ කාව්‍යමය සිනමාව සිනමාත්මක භාවනාවක් වැනිය. සිනමාත්මක රංගනය යනු කුමක්දැයි ආදර්ශයෙන් පෙන්විය හැකි නළුනිළි පිරිසක් එහි රංගනයේ යෙදෙයි. “ජනේලයෙන් පනින්නද” නාට්‍ය මුල් වරට දුටු දා සිට මගේ ප්‍රියතම නිළියක වූ සමාධි ලක්සිරි දිනිතිගේ චරිතය ගොඩනගන්නේ පුදුමාකාර දක්ෂතාවකිනි. අනෙක් සියලු දෙනාම, කැමරාවට පිටුපස හරවා අෂ්ටක කියන ප්‍රියන්ත සිරිකුමාර පවා, පුදමාකාර ශූරකමකින් ඒ ඒ චරිත අප හමුවේ මවති. තිර රචනයද, රංගනයද. කැමරාකරණයද, සංස්කරණයද ඇතුළු සිනමාත්මකය අතින් මෙම සිනමා කෘතිය අතිවිශිෂ්ටය.

“දැකල පුරුදු කෙනෙක්” මට ආකර්ෂණීය වීමට දෙවැනි හේතුව එහි තේමාත්මකයයි. මෙහි විසාල කතන්දරයක් නැත. තරුණ බිරි‍දකට අනපේක්ෂිත ලෙස නියම ආදරය හමුවීමෙන් එක් න්‍යෂ්ටික පවුලක ජීවිතයට සිදු වන දේය. දිනිතිට සැබෑ ආදරය හමුවන්නේ අනපේක්ෂිත ලෙසය. ඒ සිය සැමියාගෙන් නොවේ. ඇය සමග වැඩ කරන කෙනෙකුගෙනි. එය සැබෑ ආදරයක් වන්නේ කෙසේදැයි තමා ගෙන් නොඅසන්නැයි ඇය කියයි. ගැහැනියකට සැබෑ ආදරය දැනෙන බැවිනි. ඇගේ ඒ සැබෑ ආදරවන්තයා නළුවෙකුගේ ශරීරයක් ලෙසින් අපට හමු වන්නේ නැත. සිය සැමියා නිවසෙහි නැති විට ඇය තේ බොන්නට භාවිත කරන මග් එක ඒ ආදරවන්තයා දුන් තෑග්ගකියි පෙනේ. ඈ එම මග් එක ඇගේ දෙතොලෙහි ගටන්නේ ආදරවන්තයාගේ දෙතොල සමග ආදර හුරතල් කරන්නාක් මෙනි. ඒ මග් එකෙහි තේවලින් නගින උණුසුම් හුමාලය ඇයට ආදරවන්තයාගේ උණුසුම් සුසුම් පොදක් සේය. ඇය කායික ස්පර්ෂය, ආදර හුරතල්, පෙම්බස් දෙඩුම් බෙහෙවින් අපේක්ෂා කරන උණුසුම් හදැති ගැහැනියක බව පෙන්වන දර්ශන රැසක් සිනමා කෘතියෙහි තිබේ. සිය මාමාගේ පුතා හෙවත් “මල්ලී” වැළ‍ද ගන්නා ආකාරය තුළ පවා ස්පර්ශයෙන් ආදර ඇගෑලුම් දැක්වීමේ ඇගේ ස්වභාවය පෙනේ.
ඇගේ මේ ආදර සම්බන්ධය එළිදරව් වූ පසු සැමියා හැසිරෙන ආකාරයත් ඒ නිසා දිනිතිට ගෙවන්නට සිදුවන ජීවිතයත් ගැන භාවනාව මේ සිනමා කෘතියෙහි තේමාත්මකය සාදයි. මෙය සිනමා කෘතිය නරඹා නිවසට පැමිණි මොහොතේම මා නිතර නැවත කියවන නවකතාවක් වන ඇනා කැරනිනා කෘතියෙහි මා හයිලයිට් පෑනකින් ලකුණු කර ඇති මෙම වැකිය නැවත කියවීමි: “He’s not a man, but a machine, and a spiteful machine, when he gets angry.” පුරුෂාධිපත්‍යවත් විවාහය නම් ආයතනය තුළ පිරිමියා යන්ත්‍රයක් සේ කටයුතු කරන සැටි පෙන්වන සාහිත්‍ය කෘති අපමණ තිබේ. ඇනා කැරනිනා ඉන් එකක් පමණි. එය ඒ අතින් ඉතා විශිෂ්ටම කෘතියක් බව ඇත්තය.

එහෙත් අපේ කලා ලෝකය තුළ විවාහ ජීවිතයෙහි මෙම මානය මෙතරම් ආකර්ෂණීය ලෙස ගවේෂණය කළ අවස්ථාවක් මට මතක නැත. එහෙයින්, අප බෙහෙවින් “දැකලා පුරුදු” මෙම අත්දැකීම අපට එතරම් පුරුදු නැත. සිය බිරිද වෙනත් පුරුෂයෙකු වෙත ආකර්ෂණීය වීම හේතුවෙන් සැමියා ඇය අධික ලෙස සැක කරන්නට පටන් ගනියි. ඇය කොන් කරමින්. නොසලකා හරිමින්, නිදහස සීමා කරමින් ඇයට අපමණ වධදෙයි. විවාහ වන්නට පෙර ඇයට ආදරවන්තයන් ගැනද, මංගල රාත්‍රිය වන විට ඇය කන්‍යාවියක නොවූ බවද කියමින් ඇය අපහාසයට ලක් කරයි. ඇයට බැහැරින් ලැබී ඇති නියම ආදරය ඇගේ සැමියාගේ නියම ගති මතු කරයි. ඒ ඇතැම් ගති සචිත්‍ර නමැති ඒ පිරිමියා ඉක්මවා ලාංකේය පොදු පිරිමියා සේම පුරුෂාධිපත්‍යවත් සියලු පිරිමියා පෙන්වන සංකේතයත් බවට පත් වේ. ඔහු මෙසේ යන්ත්‍රයක් සේ හැසිරෙන්නේ ඔහුට තවත් ආදරවන්තියන් සිටින බව පෙනෙන පසුබිමකය.

ආදරයේ සහ ප්‍රීතියේ ආයතනයක් සේ සැලකෙන විවාහය දණ්ඩනයේ ආයතනයක් බවට වහා හැරවිය හැකි බව සිනමාකරුවා පෙන්වන්නේ ඉතා දක්ෂ ලෙසය. සාලයේ කතාබහකදී පවා සිය බිරිද බැහැර කරමින්, නිදන කාමරයේදී නොසලකා හරිමින්, කුස්සියේ සියලු වැඩවලට ඇය හිරකරමින් බරපතල වැඩ ඇති සිර දණ්ඩනයක් ඔහු ඇයට දෙයි. එසේ කරමින් ඔහුද දරුණු ජේලර්වරයෙක් බවට පත් වෙයි. විවාහය නම් සිපිරි ගෙය ඇයට මරණීය දණ්ඩනයද පනවන තැන වන්නටද ඉඩ තිබිණි. එහෙත් ඇය ගෙල වැලලාගෙන මිය යන්නට ඇය ගත් තීරණය අතරමග නවතා දමන හෙයින් ඒ දණ්ඩනය ඇය වෙත නොපැනවේ. සිනමා කෘතිය අවසන් වන්නේ ඇය සිය ආදරබර තේ මග් එකද රැගෙන දියණියද කැටුව දෙමාපියන් වෙත යාමෙනි. ඇගේ නිදහස සොයා යාම ඔහුටද නිදහසක්ය යන සැනසිල්ල අපට ඇතිවේ.

ගෘහස්ථ ප්‍රේමයේ ස්වභාවය පිළිබ‍ද අපූරු භාවනාවක් වන මෙම සිනමා සිත්තම ගැන මම තවමත් භාවනා කරමි. දැකලා පුරුදු නමුත් අපට මේ විෂය බලලා පුරුදු නැති බැවිනි. අපි කවුරුත් රොදබැද ගොස් මෙම මනරම් නිර්මාණය නරඹමු.

.

ලියනගේ අමරකීර්ති

 

 

***