11142925_le-rayon-162x130

පහතින් පළ වන්නේ පැට්‍රික් කොක්බර්න් ගේ (Patrick Cockburn) “The Jihadis Return : ISIS and the new Sunni uprising” නම් කෘතියේ කොටසේ සිංහල අනුවර්තනයක දෙවැනි කොටසයි. මෙහි ඉතිරි කොටස් කියවීම සඳහා ‘Patrick Cockburn’ නම් ටැබ් එක යොදා ගෙන මෙම ලිපි මාලාව පිළිවෙලකට කියවිය හැකිය. ලිපියේ මාතෘකාවේ මෙය කීවෙනි කොටසද කියා දැක්වෙනු ඇත. මේ කෘතියේ එන මූලික තොරතුරු මෙන්ම මෙම කෘතිය පළ වීමෙන් පසුව අයිසිස් ව්‍යාපාරයේ වූ වෙනස්කම් සම්බන්ධයෙන් අදාළ ලියවිලි ‘බව’ හී පරිවර්තන ලෙස පළ කරන්නට අප සැලසුම් කර තිබේ. සුපුරුදු පරිදි, ටික දිනකින් අයිසිස් සම්බන්ධයෙන් මෙන්ම ඉස්ලාම් අන්තවාදයේ ජාත්‍යන්තර සන්දර්භය ගැනද බොහෝ දෙනෙකුට තිබෙන උනන්දුව අඩු වී යනු ඇත. නමුත් මෙම ප්‍රශ්නයට බැරෑරුම් ලෙස මුහුණ දීමට සූදානම් අයට සහ මෙය සංකීර්ණ ලෙස සිතා බැලීමට උත්සාහ කරනා අයට මෙවැනි පහසු තෝරා ගැනීමක් නොමැති වේ. මෙම ඉතිහාස කතාව ලියවෙන්නේ ඔවුන් වෙනුවෙන් සහ එවැනි උනන්දුවක් ඇති පිරිසක් බිහි කිරීම වෙනුවෙනි. අනාගතයේ ලංකාව වෙනස් කරනු ඇත්තේ මෙවැනි පිරිසකගේ එකතුවකින් පමණි.

***

අයිසිස් හි නැගී සිටීම හා එහි සාර්ථකත්වය හේතු කොට ගෙන සුන්නිවරුන් ජීවත්වන රටවල් බොහෝමයක් වැඩි ආයු නැති සතුටක් භුක්ති විදියි. ඔවුන්ගෙ ප්‍රීතියට එකම හේතුව වන්නේ මේ වන විට බලය ඇත්තේ ශියාවරුන් සතුව නොවීම පමණි. නමුත් සත්‍ය වශයෙන්ම  අයිසිස් විසින් සිරියානු සහ ඉරාක ප්‍රජාවන් තුළ නායකත්වය අත්පත් කර ගැනීම එම සමාජයන්ට අතිශය අනතුරුදායක බව බොහෝ අය නොදකියි. අයිසිස් යනු පහසුවෙන් පරාජය කළ හැකි සංවිධානයක් නොවන අතර 1920-1930 කාලයේ තම බලය අබිබවා යන්නා වූ ඕනෑම අයෙක් සුනුවිසුණු කළ ජර්මනියේ සහ ඉතාලියේ ෆැසිස්ට්වාදීන්ට මොවුන් දෙවැනි වන්නේද නැත. සුන්නිවරුන් සිය නායකත්වය සඳහා පත්කර තිබෙන්නේ තමන් දිව්‍යමය වරමකින් දේශපාලනය කරනවා කියා විශ්වාස කරනා ව්‍යාපාරයකි. ඔවුන්ගේ න්‍යාය පත්‍රය සකස් වී තිබෙන්නේ නිරාගමිකයන් ට සහ මිත්‍යා විශ්වාසවල සිටිනා මිනිසුන් සියලු දෙනාට එරෙහි වූ නොනිමි සහ කිසිදා ජයගත නොහැකි යුද්ධ වලිනි. ඉරාකය හා සිරියාව බෙදා වෙන් කළ හැකිමුත් මෙම බෙදීම් කිසිම ආකාරයකින් සාමකාමී ඒවා වන්නේ නැත. මෙයට හේතුව වන්නේ බෑග්ඩෑඩ් නගරයේ ජීවත් වන මිලියනයකට ආසන්න සුන්නිවරුන් මෙන් තවත් බොහෝ සුළු ජාතීන් සිටීන්නේ බෙදුම් රේඛාවේ වැරදි පැත්තේ  වීමයි. කිසියම් ආකාරයකින් එම බෙදීම් සිදු වුවහොත් මුහුණපාන්නට සිදුවන සිදුවීම් දෙකක් සලකා බැලිය හැක. එක්කෝ සිරියාව සහ ඉරාකය දිගුකාලීන සිවිල් යුද්ධයකට මුහුණ දෙනු ඇත – මේ අවම හානිදායක දෙයයි. නැතිනම්, වඩාත් බිහිසුණු ලෙස, 1947 දි ඉන්දියාව සහ පාකිස්තානය විභේදනය කිරීමේදි සිදුවූවාක් මෙන් සමූල ඝාතන හේතුවෙන් හෝ එවැනි සමූල ඝාතණයන්ට ඇති බිය නිසා සදාකාලිකව ගැටුම් සහිත දේශ සීමාවන් බිහි වනු ඇත.

2003 මාර්තු මස ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍ය විසින් මෙහෙයවන ලද ආක්‍රමණය හරහා සදාම් හුසේන් ව බලයෙන් නෙරපා දැමීමෙන් පසුව ඉරාක ඉතිහාසයේ විශේෂ කාල පරිච්ඡේදයක් ආරම්භ විය. මොසුල් හි කඩා වැටීම සහ අයිසිස් නායකත්වයෙන් යුත් සුන්නිවරුන්ගේ කැරැල්ල මගින් සනිටුහන් කරනුයේ  එම යුගයේ අවසානයයි. ඉරාක විපක්ෂය විසින්, විදෙස් සහයෝගය සහිත එරට පාලන තන්ත්‍රය බලයෙන් පහ කොට බෑග්ඩෑග් හි ප්‍රධාන සමාජ කොටස් තුනෙහි බල අධිකාරීත්වයෙන් යුත්  නව ඉරාකයක් නිර්මාණය කිරීමට උත්සහ කරන ලදී. එහෙත් මෙම ප්‍රයත්නය අතිශය අවාසනාවන්ත ලෙස අසාර්ථක විය.  කුර්ද්, සුන්නි සහ ශියා ප්‍රජාවන් අතර ඇති බෙදීම් යළි සමථයකට පත් කළ නොහැකි ලෙස බලවත්වීම හේතුවෙන් ඒකාබද්ධ පාලනයක් ගොඩ නැගීම හුදෙක්ම කළ නොහැක්කකි. ඉරාකය තුළ ඇති බල තුලනය මේ වන විට වෙනස් වෙමින් පවතියි. මෙහිදී අවධානය යොමු කළ යුතු තවත් කරුණක් වනුයේ ඉරාක දේශසීමාවන් ද වෙනස් ස්වරූපයක් ගනිමින් සිටීමය. එයට බලපෑ එක් හේතුවක් වූයේ කුර්දිස්තානය වඩා විශාල ප්‍රදේශයක් පුරා ව්‍යාප්ත වීමයි. වෙනත් ආකාරයකින් පැවසුවහොත්, පවතින අර්බුදකාරී අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගත් කුර්දිවරුන් ඔවුන් ඒවනවිටත් අයිතිවාසිකම් කියා සිටි භූමි ප්‍රෙදේශ තමන් සතුකර ගත්තෝය.  ඉරාක භූ මායිම් වෙනස් වීමට හේතු වු අනෙක් සාධකය වනුයේ ඉරාක-සිරියානු දේශ සීමාව තවදුරටත් නොපැවතීමයි. මෙම සිදුවීම් සියල්ලෙහි බලපෑම කෙතරම් වීද යත්,  මැදපෙරදිග රාජ්‍යන් විශ්වාස කරනු ලැබුයේ අල්-කයිඩා ත්‍රස්ත කණ්ඩයමට සම කළ හැකි මිලේඡ්චත්වයෙන් අනූන වූ, ආගමික අන්තවාදී ව්‍යාපාරයක් ඉරාකය සහ සිරියාව පුරාම පැතිර යන්නා වූ සුන්නි කලිෆේටයක් නිර්මාණය කිරීමට සමත් වී ඇති බවයි.

සමස්ත ලෝකයටම බලපෑමක්  ඇති කළ හැකි හෝ මේ වන විටත් සැලකිය යුතු මට්ටමේ බලපෑමක් එල්ල කරමින් තිබෙන මැදපෙරදිග ආශ්‍රිතව සිදුවෙන අතිශය තීරණාත්මක  වර්ධනයන් කිහිපයක් වෙත මෙම ග්‍රන්ථය අවධානය යොමු කරයි. මේ අතරින් වඩාත් වැදගත් වනුයේ උතුරු සහ බටහිර ඉරාකයේ මෙන්ම නැගෙනහිර සහ උතුරු සිරියාවෙහි විශාල පෙදෙසක් පාලනය කරන්නා වූ අල්-කයිඩා වැනි ව්‍යාපාරයන්ගේ නැවත නැගී සිටීමයි.   2011 දි ඔසාමා බින් ලාඩන්ගේ ඝාතනය, ගෝලීය ත්‍රස්තවාදයට එල්ල වූ මරු පහරක් වේ යැයි සලකන ලදී. කෙසේ නමුත් ඔසාමා බින් ලාඩන් යටතේ පැවති භූමි ප්‍රදේශයන්ට වඩා සිය  ගුණයකින් විශාල ප්‍රදේශයක් මෙම නැගී එන ත්‍රස්ත ව්‍යාපාරයන්ට යටත් වීම අමතක නොකළ යුතු කරුණකි. සත්‍යවශයෙන්ම අල්-කයිඩාවට සම්බන්ධ වුවන් සහ එවැනිම වූ සංවිධාන වඩාත් සාර්ථක වුයේ ඔසාමා බින් ලාඩන්ගේ මරණයෙන් පසුව යැයි කීම නිවැරදිය. නිදසුනක් ලෙස සිරියාවේ නැගෙනහිරින් පිහිටි රකා නගරය මොවුන් විසින් 2013 වසරේදි අල්ලා ගන්නා ලද අතර මෙම නගරය සිරියාවේදි කැරළිකරුවන්ගේ ග්‍රහණයට නතු වූ එකම ප්‍රාදේශීය අගනුවර විය. 2014 ජනවාරි මස බෑග්ඩෑගයට සැතපුම් 40 ක් පමණ බටහිරින් පිහිටි ෆලූජාහ් නගරය අයිසිස් විසින් යටත් කර ගන්නා ලදි. මෙහි විශේෂත්වය වනුයේ මීට වසර දහයකට පෙර ඇමරිකානු නාවුක භටයින් විසින් මෙම නගරය වටලන ලද්දක් වීමයි. තවත් මාස කිහිපයක් ඇතුළත අයිසිස් විසින් මොසුල් සහ ටික්‍රිට් යටත් කර ගන්නා ලදි. ඔවුන් විසින් අත්පත් කරගන්නා භූමි සීමාවන් නිශ්චිතව සළකුණු කළ නොහැකි වුවද අයිසිස් හී සමස්ත ව්‍යාප්තිය ස්ථීර ලෙස හඳුනා ගත හැක. 2014 ජූනි මස මධ්‍යම සහ උතුරු ඉරාකය පුරාම දියත් කරන ලද සියුම්, වේගවත් සහ බහුවිධ ප්‍රහාරයන් හේතුවෙන් අල්-කයිඩා සතුව තිබූ බිහිසුනු බව අභිබවා ගොස් ලොව බලවත්ම සහ  සාර්ථක ම ජිහාඩි සන්විධානය ලෙස අයිසිස් ස්ථාපිත විය.

බටහිර වාසීන්ට මෙම වර්ධනයන් විශ්මයජනක විය. මන්දයත් දේශපාලනඥයින් මෙන්ම මෙම විෂය සම්බන්ධ විශේෂඥයින්ද මෙම වර්ධනයන් සම්බන්ධයෙන් දැරූ මත, එම සිදුවීම් වන වේගයට සාපේක්ෂව බෙහෙවින් මන්දගාමී විය. මෙම සිද්ධි සම්බන්ධ තොරතුරු ලබා ගැනීමද අපහසු වූයේ වාර්තාකරුවන් සහ නිරීක්ෂකයන් අයිසිස් විසින් පාලනය කරන ප්‍රදේශවලට යාම අතිශය භයානක වූ නිසාය. ඔවුන් පැහැරගැනීම්වලට ලක් වීමේ සහ ඝාතනය වීමේ අවදානමට මුහුණ දී සිටියෝය. තමා තවදුරටත් කැරළිකරුවන් විසින් යටපත් කර සිටිනා සිරියාවට නොයන්නේ මන්දැයි කරුණු දැක්වූ එක් වාර්තාකරුවකු මා හට මෙසේ කියා  සිටියෙය. “විදෙස් මාධ්‍ය වලට  රැකවරණය ලබා දුන් අයට තවදුරටත් ඔවුන්ව වත් ආරක්ෂා කරගත නොහැකිය”. මෙම තත්වය හේතුවෙන් 2013- 2014 වර්ෂවල ඉරාකයේදි අයිසිස් ලැබූ ජයග්‍රහණ බටහිර රටවලට පුදුමය දනවන්නක් වුයේ බොහෝ විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කිරීම අත් හිටුවා තිබූ බැවිනි. සැබවින්ම ගත් කළ  මෙම තොරතුරු හිග වීම ඇමරිකාව ඇතුළු බොහෝ බටහිර රටවලට පහසුවක් විය. මෙමගින් සැප්තැම්බර් 11 ප්‍රහාරයට පසුව ගත වූ කාලය තුළදී ”ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේදී’ ඔවුන් කෙතරම් බියකරු ලෙස අසාර්ථකව සීටියේද යන්න  වසන් කිරීමට බටහිට රාජ්‍යන්ට අවකාශ ලැබිණි.

මෙම පරාජය රාජ්‍යන් විසින් වසන් කරනුයේ ජනතාව මුළා කිරීමෙන් සහ ඔවුනොවුන් ව රවටා ගැනීමෙනි. 2014 මැයි 28 වන දින වෙස්ට් පොයින්ට් හි දී (west point) ගෝලීය වශයෙන් ඇමෙරිකාවේ කාර්යභාර්යය පිළිබද දේශනයක් කරමින් ඇමෙරිකාවට ඇති ප්‍රධාන ම තර්ජනය පිළිබදව ජනපති ඔබාමා අදහස් දැක්වීය. ඔහු පැවසූ අන්දමට එක්සත් ජනපදයට වැඩි ම තර්ජනයක් එල්ල වුයේ මූලික අල්-කයිඩා සංවිධානයෙන් නොව  ”විකේන්ද්‍රීය වූ අල්-කයිඩාවට අනුබද්ධ කණ්ඩායම් සහ අන්තවාදීන් ගෙන් වන අතර ඔවුන්ගෙන් බහුතරයක් ක්‍රියා කරන්නේ ඔවුන් පදනම් වන රටවලට විශේෂ වූ න්‍යාය පත්‍ර අනුවයි”. ඔබාමා තවදුරටත් ප්‍රකාශ කර සිටියේ, ”සිරියානු සිවිල් යුද්ධය දේශ සීමා, මායිම් වලින් ඔබ්බට යාමත් සමග, යුධ අත්දැකීම් වලින් පරිපූර්ණ අන්තවාදී කණ්ඩායම්වලට අපට එරෙහිව සටන් කිරීමට ඇති හැකියාව වර්ධනය වෙයි” යන්නයි. මෙය සත්‍යක් බව සැබවි. නමුත් මෙයට විසඳුමක් ලෙස ජනාධිපතිවරයා යෝජනා කරන්නේ ත්‍රස්තවාදයට එරෙහිව හොඳම විකල්ප ඉදිරිපත් කරනා සිරියානු විපක්ෂයට සහයෝගය දැක්වීමයි. ජූනි මාසය වන විට ඔහු කොන්ග්‍රසයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන පන්සියයක් ඉල්ලා සිටියේ ”සෑහෙන ලෙස සමීක්ෂණයට භාජනය කරන ලද” සීරියානු විපක්ෂයේ සාමාජිකයන් පුහුණු කිරීමට සහ ආයුධ සන්නද්ධ කිරීමටයි. මෙය රාජ්‍යයන් විසින් සිදුකරන ස්වයං වංචාව ඉස්මතු කරන්නාවූ මොහොතකි. මන්දයත් සිරියානු මිලිටරි විපක්ෂය අයිසිස් හි බලපෑමට මෙන්ම වෙනත් ජිහාඩි අන්තවාදි කණ්ඩායම්වලට අමතරව  අල්-කයිඩා හි නිල නියෝජිත ජබ් හත් අල්-නුස්‍රා  (Jabhat al-Nusra (JAN) හි පාලනයට නතු හෙයිනි. සත්‍ය වශයෙන්ම ඔවුන් සහ මධ්‍යස්ථ යැයි සැලකෙන විපක්ෂයේ සිටිනා ඇමරිකානු හිතවාදීන් අතර වෙනසක් නැත.

සිරියාවට ආසන්න රටක බුද්ධි අංශ නිලධාරියෙක් මා සමග පවසා සිටියේ, ඕනෑම  අසාඩ්-විරෝධී කණ්ඩායම් වෙතට අතිශය නවීන ආයුධ ලබාදෙනවාට අයිසිස් සාමාජිකයන් බොහෝ සෙයින් කැමති බවයි. මන්ද යත් එවැනි සෑම අවස්ථාවක ම එක්කෝ තර්ජනය කිරීම මගින් හෝ මුදල් ගෙවීම මගින් එම ආයුධ තමන් සතු කිරීමට ඔවුන්ට හැකියාව ලැබෙන බැවිනි. මේවා හුදු කටමැත දෙඩවීම් නොවේ. ඇමෙරිකානු මිත්‍ර රාජ්‍ය වන තුර්කිය සහ කටාර් යන රටවල්  විසින් සිරියාවේ අසාද්-විරෝධි හමුදාවන් වෙත ලබාදුන් ආයුධ දිනපතාම පාහේ ඉරාකයේදි අල්ලා ගනු ලැබේ. මෙලෙස ආයුධ ගලා ඒමේ ප්‍රතිවිපාකවලට නිදර්ශනයක් මා අත්දුටුවෙමි. 2014 වසරේදී (මොසුල් නගරය කඩා වැටීමට පෙර), බෑග්ඩෑග් වෙත යාමට මා මීට වසරකට පෙර ගමන් කළ යුරෝපීය  ගුවන්යානයක ආසන වෙන්කරවා ගැනීමට උත්සහ දැරුවෙමි. එහිදී මා හට දැන ගැන්මට ලැබුණේ ඉරාක අගනුවරට යන ගුවන්යානාවල ටිකට්පත් සදහා විශේෂ වට්ටම් පිරිනැමෙන බවයි. මෙයට හේතුව වූයේ කැරළිකරුවන් සතුව, මුලදී අසාද්-විරෝධි හමුදාවන්ට ලබා දුන්, උරහිස් මත රදවන, ගුවන්යානා නාශක මිසයිල තිබෙන බවට වූ බියයි. එම ගුවන් ප්‍රවාහන සමාගම බිය වුයේ බෑග්ඩෑග් ජාත්‍යන්තර ගුවන්තොටුපලට පැමිණෙන්නාවූ ගුවන්යානාවලට මෙම ආයුධ භාවිතයෙන් ප්‍රහාර එල්ල කරනු ඇතැයි කියාය. සිරියානු විපක්ෂයට ලැබුණු විදෙස් සහයෝගය අසාද් නෙරපා දැමීමට අසමත් වුවද, ඉරාක දේශපාලනඥයින් බොහෝ කලකට පෙර බලාපොරොත්තු වූ ලෙසටම, එය අති සාර්ථක ලෙස ඉරාකය අඩපණ කිරීමට සමත් විය.

සැප්තැම්බර් 11 ප්‍රහාරයන්ට පැය කිහිපයකට පසුව විද්‍යාමාන  වූ  සංසිද්ධියක් භාවිත කර ගෙන ”ත්‍රස්තයවාදයට එරෙහි යුද්ධයෙහි” අසාර්ථකත්වය සහ අල්- කයිඩා හි නැවත නැගී සිටීම පැහැදිළි කර ගත හැකිය. සෞදි අරාබිය සහ පාකිස්තානයේ මැදිහත් වීමකින් තොරව සැප්තැම්බර් 11 ප්‍රහාර සිදුවීම විය නොහැකිය යන කරුණ පැහැදිළිව තිබියදී, ‘ත්‍රස්ත-විරෝධි ‍යුද්ධය දියත් වන්නෙ ඇමරිකා එක්සත් ජනපදයේ සමීපතමයන් වන මෙම රටවල් දෙක මගහරිමින්ය. නිව් යෝක් නගරයේ ලෝක වෙළඳ මධ්‍යස්ථානය විනාශයට තුඩු දුන් මෙහෙයුමෙහි අවසාන වගකීම සම්බන්ධයෙන් කුමත්‍රණකාරී හෝ සැගවුනු කිසිවක් නොමැත. ගුවන් යානා පැහැරගත් දහනව දෙනාගෙන් පහළොවක්  සෞදි ජාතිකයින්ය. බින් ලාඩන් පැවත ආවේ සෞදි ප්‍රභූ පන්තියකින් වන අතර ඇමරිකානු නිල වාර්තාවන් නැවත නැවතත් කියා සිටියේ අල්-කයිඩා සහ අනෙක් ජිහාඩි කණ්ඩායම්වලට මූල්‍ය ප්‍රතිපාදන සැපවූයේ සෞදි අරාබිය සහ අනෙකුත් මැද පෙරදිග රාජධානි විසින් බවයි.

එලෙසම 1990 වේ මුල් භාගයේ සිටම ඇෆ්ගනිස්තානයේ තලෙයිබාන්  බලය තහවුරු කරනු වස් පාකිස්තාන හමුදාව සහ එහි ආරක්ෂක සේවාවන් කේන්ද්‍රීය කාර්යයක් ඉටු කෙළේය (ඇෆ්ගනිස්තානයේදී තලෙයිබානුවන් විසින් බින් ලාඩන් ඇතුළු අල්-කයිඩා සාමාජිකයින්ට වාසස්ථාන සපයන ලදී). සැප්තැම්බර් 11 ප්‍රහාරය එල්ල වූ කාලයේ සහ ඊට පසුව පැවති කෙටි විරාමයකින් පසුව පකිස්තානය විසින් ඇෆ්ගන් තලෙයිබාන් හට සහයෝගය දීම නැවත ආරම්භ කළේය. තලෙයිබාන් සංවිධානයට සහයෝගය දැක්වීමෙහි ලා පාකිස්තානයෙහි කාර්යභාර්යය සම්බන්ධයෙන් අදහස් දැක්වමින් ඇෆ්ගනිස්තානය සහ පාකිස්තානය සම්බන්ධයෙන් ඇමරිකාවේ විශේෂ නියෝජිත රිචඩ් සී. හෝල්බෲක් මෙසේ ප්‍රාකාශ කළේය: ”අප වැරදි සතුරා සමග වැරදි රටේ සිට සටන් වැදෙමින් සිටිනවා විය හැකිය”.

පැට්‍රික් කොක්බර්න්

අනුවර්තනය – ශලිනි සමරනායක

මතු සම්බන්ධයි

***

 

Advertisements