9fc1f2849f564e71e216f91d65bfea41

බ්‍රිතාන්‍ය නෛතික ප්‍රත්‍යක්ෂවේදය පදනම් වන්නේ ආනුභුතිකවාදය මත ය. ඔවුහු එම නිසා නීතිය පිළිබද පාරභෞතික හෝ අද්භූත පැහැදිළි කිරීම ප්‍රතික්ෂේප කරයි. ඒ අනුව නීතිය පවතින්නේ සාමාජීය කරුණක් මිස ය. නීතිය සාමාජීය නිර්මාණයකි. නමුත් ජර්මන් ප්‍රත්‍යක්ෂවේදී ගුරුකුලය පදනම්ව ඇත්තේ ආනුභුතිකවාදය මත නො ව කාන්ටියානු උත්තරානුභුතික දර්ශනය මත ය. මේ නිසා බ්‍රිතාන්‍ය ප්‍රත්‍යක්ෂවේදීන් නීතිය කරුණක් ලෙස සදාචාරයෙන් වෙන් කොට දැක්වීමට උත්සහ කරන අතර ජර්මානු ගුරුකුලය එය සදාචාරය සහ කරුණු යන දෙකෙන් ම වෙන් කොට දක්වයි. මෙහි දී අප උත්සාහ ගන්නේ නීතිය පිළිබද මෙම ජර්මානු අදහස නියෝජනය කරන හාන්ස් කෙල්සන්ගේ නීතිය පිළිබද පාරිශුද්ධ න්‍යාය ඉදිරිපත් කිරීමට යි.

හාන්ස් කෙල්සන් ඔස්ට්‍රියානු දාර්ශනිකයෙකි. ඔහු ප්‍රෙගු නම් ප්‍රදේශයේ උපත ලබා ඇති අතර පසුව පවුල සමග වියානාවට ගොස් ඇත. ඔහු වියානා, බොලොඤ්ඤෝ සහ බාර්ක්ලිහී කැලිෆෝනියා විශ්ව විද්‍යාලවල ආචාර්ය වරයෙකු ලෙස කටයුතු කර ඇත. ඔස්ට්‍රියානු ආණ්ඩුක්‍රමයේ නිර්මාතෘ වන්නේ ද ඔහු ය.

කෙල්සන්ගේ නීතිය පිළිබද මූලික මූලධර්ම වන්නේ මේවා ය. කරුණු සැදුම්ලත් වන්නේ භෞතික ලෝකයේ ඇති දේවල් සහ සිදුවීම්වලින් ය. කරුණු යනු පවතින දේවල් ය. අප කරුණක් ඇති වීමට හේතුව දෙස බලන විට අප යොමු වන්නේ තවත් කරුණකට ය. ගලක් උඩ විසිකල විට පෘථිවියේ ගුරුත්වාකර්ෂණය විසින් එය පහළට හෙළයි. මේ සියල්ල කරුණු දාමයක් සහ ඒ අතර සම්බන්ධයකි. නමුත් නෝමයක් කරුණක් වැනි දෙයක් නො වේ. එමගින් පවතින යමක් පිළිබද අදහස් නො වේ. එයින් අදහස් වන්නේ කළ යුතු යමක් හෝ විය යුතු යමක් ගැන ය. කරුණු භෞතික ලෝකය තුළ පවතින්නවා මෙන් නෝමයන් පවතින්නේ චින්තනයට අදාළ ලෝකයේ ය. සොරකම් කළ අයෙකුට දඩුවම් කළ යුතු ය යනු නෝමයකි. මෙම නෝමයන්ගේ විශේෂයත්වය වන්නේ ඒ අනුව කොතරම් සොරුන් සොරකම් කළත් මේ නෝමය අවලංගු නො වීම ය. ඒ අනුව ඔහු දඩුවමට යටත් නොකළා කියා දඩුවම් කළ යුතු ය යන නෝමය අක්‍රිය නො වේ. එම නෝමය පවතින්නේ තවත් නෝමයක් මගින් බලය ලබන නිසා ය. නමුත් සියලු නෝමයන් නෝමයන් නො වේ. නෛතික නෝමයන් දණ්ඩනීය ය. සදාචාරාත්මක නෝමයන් එසේ නොවේ.

නෛතික නෝමයකට වලංගු බව නැමති ගුණය ඇත. භෞතික ලෝකය තුළ ඇති දේවල් කාරණත්වය මගින් ක්‍රියා කරනවා මෙන් නෝමයන් නෝමයන් අතර වන වලංගුතාවයෙන් ක්‍රියාත්මක වේ. එක් වලංගු නියමයක් අනෙක් නියමයට වලංගු භාවය ලබා දේ. නමුත් මේ සියලු ම නෝමයන් පදනම් වන්නේ එක් ප්‍රධාන නෝමයක් මත ය. එය ග්රුන්ඩ් නෝමය වශයෙන් හදුන්වයි. මෙය නෛතික පද්ධතියක පදනමයි. මෙය නෛතික අර්ථයකින් සමපේක්ෂණය කළ හැකි දෙයක් නොවේ. එය තිබෙනවා යැයි මුලින් උපකල්පනය කළ යුතු ය. මෙය කාන්ට්ගේ උත්තරානුභුතික බිමට සමානය. කාන්ට් පාරිශුද්ධ දැනුම ගැන විමසා බලනවා සේ කෙල්සන් පාරිශුද්ධ නීතිය පිළිබද සහ එය හැකි වන්නේ කෙසේ ද යන්න පරික්ෂා කර බලයි.

ආනුභුතිකවාදයෙන් උත්තරානුභුතික දර්ශනයට

ඩේයිඩ් හියුම් බ්‍රිතාන්‍ය ආනුභුතිකවාදයේ පියා ලෙස සලකයි. හොබ්ස් සහ ලොක් ද ඒ ගෞරවයේ කොටස්කරුවන් ය. කාන්ට් හියුම්ගෙන් බලපෑම් ලබා ඇති අතර ඔහු වරක් ප්‍රකාශ කළේ  ආධානග්‍රාහි නින්දෙන් ඔහුව අවදි කළේ හියුම් කියා ය. හියුම් මනුෂ්‍යයාගේ දැනුම පිළිබද වැදගත් සීමා දෙකක් හදුනා ගනියි. පළමුව, භෞතික ලෝකය පවතින ආකාරය සහ අප එය වටහා ගන්නා ආකාරය අතර සුවකළ නො හැකි බෙදීමක් පවතින බව ඔහු පෙන්වා දෙයි. මෙයට හේතුව වන්නේ මනසට දේවල් ඍජුව හමු නොවීමත් ඒවායේ සංවේදනා පමණක් ඉදිරිපත් වීමත් ය. වෛරය, තරහව, ආදරය, දැනීම, දැකීම මේ සියල්ල ම අපගේ මානසික නියෝජනයන් ය. අපට ඒවා ඇති වන ආකාරය විස්තර කළ නො හැකි ය. නමුත් මෙය ගැටලුවක් නො වන්නේ අපට මෙතැන දී වරණයක් හිමි නො වීමත් මේ සංවේදනාවන්ගෙන් පිරුණු ලෝකයේ ඒවා සත්‍ය හෝ මායාවක් වූවත් ජීවත්වීමට සිදුවීමත් නිසා ය. ඒවා මගින් ස්වභාව ධර්මය නියෝජනය කරනවා ද? නැත්නම් ඒවා සංවේදනාවන්ගේ හුදු මායාවන් ද? කෙසේවෙතත් අප මෙම සංවේදනාවන් හෝ අදහස් සම්බන්ධ කරමින් න්‍යායන් ගොඩ නගයි. මෙතැන දි හියුම්ට අනුව අප දෙවන ප්‍රශ්නය වෙත ගමන් කරයි. එනම් අපට දේවල් වල සැබෑ හේතුව ඔප්පු කළ නොහැකි වීමයි. නමුත් අප නිශ්චිත සිදුවීම්වලට පසුව එහි ප්‍රතිඵල ලෙස නිශ්චිත සිදුවීම් බලාපොරොත්තු වේ. ගින්දර ආසන්නයේ රස්සනය ඇත යන්න නැවත නැවත දැකීම නිසා ගින්දර රස්සනයට හේතුව ලෙස අප නිගමනය කරයි. නමුත් ඊට සාක්ෂියක් නො මැත. අප ගින්දර දැක රස්නය විදී නමුත් අපට එහි කාරණත්ව සම්බන්ධය දැකිය නොහැකි ය. හියුම් තවදුරටත් පෙන්වා දෙන පරිදි යම් කිසි දෙයක් හේතුවක් නොමැතිව බිහිවීම යන්න ද අපට ඔප්පු කළ නො හැකි ය. මේ නිසා සෑම දෙයකට ම හේතුවක් ඇත යන්න ස්වයං සිද්ධ ප්‍රත්‍යක්ෂයක් හෝ ප්‍රාගානුභුතියක් නො වේ. කෙසේ වෙතත් හියුම් දෙවල් මගින් තවත් දේවල් ඇති කරනවා යන්න ප්‍රතික්ෂේප නොකරයි. ඔහුගේ සංශයවාදය පදනම් වී ඇත්තේ කාරණත්වය පිළිබද අපගේ විශ්වාසය පදනම්ව ඇත්තේ අන්තර්ඥානය මත නො ව අද්දැකීම් මත යන්නයි. මේ නිසා ලෝකය පිළිබද දැනුම කල්පිතයක් සහ වරදින සුළු ය. හියුම්ගේ න්‍යාය මෙලෙස ක්‍රියා කරයි. මට ශබ්දයක් ඇසේ, මෙය හැගීමකි. මම පෙර අද්දැකීම් මගින් එය කේතලයේ හඩ ලෙස වටහා ගනියි. නමුත් මා පරික්ෂා කළ විට කේතලය සීතල ය. මට ඇසී ඇත්තේ සුළගේ සැලෙන ගස්වල ශබ්දයක් ය. ඒ අනුව අද්දැකීම් මගේ උපකල්පනයන් නිවැරදි කරයි.

හියුම්ගේ මිනිසාගේ දැනුම පිළිබද දෙවන වැදගත් අදහස වන්නේ, මේ අනුව, පරික්ෂා කරන ලද කරුණුවලින් කුමක් කළ යුත්තු ද යන්න තීරණය කළ හැකි ද යන්න තාර්කිකව ලබාගත නොහැකි බවයි. මෙය පවතින යමකින් පැවතිය යුතු දෙයක් උකහා ගැනීමේ වරදයි. නිදසුනක් ලෙස සිතන්න යම් කිසි සමාජයක කරුණක් වශයෙන් සියලු දෙනා කතා කරන බව. නමුත් එමගින් සිල්වා එම සමාජයේ සමාජිකයෙකු වුවත් ඔහු කතා කළ යුතු යැයි තීරණය කළ නො හැකි ය. සිල්වාට අවශ්‍ය නම් නිශ්ශබ්දව සිටිය හැකි ය. හැමෝම කතා කරන බැවින් සිල්වා ද කතා කළ යුතු යැයි කියනවා නම් අප කරන්නේ පවතින යමකින් වැරදි ලෙස පැවතිය යුතු තත්ත්වයක් ප්‍රකාශ කිරීම ය. අප සිල්වා කතා කළ යුතු යැයි කියනවා නම් එය වෙනත් බැදීම්කින් උකහා ගත යුතු ය.

හියුම් සංශයවාදියෙකු නමුත් විඥානවාදියෙකු නො වේ. විඥානවාදය එහි දැඩි ම අර්ථයෙන් අපට පසවස්සේ මනසින් භාහිරව පවතින යථාර්ථයක් නැතැයි කියා ය. නමුත් හියුම් අපගේ මනසින් භාහිරව යථාර්ථයක් නැති බව ප්‍රකාශ කරන්නේ නැත. දේවල්වල පැවැත්ම ඔහු ප්‍රතික්ෂේප කරන්නේ නැත. ඔහු අපට එම වස්තුවල සැබෑ ස්වරූපයෙන් අපට දැනගත හැකි ද යන්න අවිශ්වාස කරනවා පමණ ය. මේ මතය සමග කාන්ට් ද එකගවෙමින් අපට දේහී එහි ම ස්වරූපය දැක ගත නොහැකි බව කාන්ට් ද පවසයි. නමුත් කාන්ට් ස්ථීරව ම අපගේ මනසින් භාහිර ලෝකය පවතින බව පිළිගනියි. මෙය ඔහ Noumena ලෙස හදුන්වයි. අප දකිනා දෙය එම වස්තු අපගේ මනසේ ගොඩනගන සංවේදනාවන් ය. මෙය Phenomena ලෙස හදුන්වයි. අපගේ මානසික ලෝකය අයත් වන්නේ මෙයට ය. කෙසේවෙතත් කාන්ට් තර්ක කරන ආකාරයට අප ප්‍රාගානුභුති සංස්ලේෂී දැනුමක් අත්කර ගෙන සිටියි. එනම් කිසිදු අද්දැකීම් ලැබීමට පෙර භෞතික ලෝකය පිළිබද පවතින දැනුමක්. මෙම දැනුම අපගේ අද්දැකීම් හැඩගස්වයි. කාන්ට් මේවා ප්‍රවර්ග ලෙස නම් කරයි. ප්‍රමණය(Quantity), ගුණය(Quality) , සම්බන්ධය(Relation), සහ ප්‍රකාරතාවය (Modality) වශයෙන් ප්‍රධාන කොටස් හතරක් වන අතර එය පසුව උපප්‍රවර්ගවලට ද වැඩිදුරටත් බෙදේ. කාන්ට් අනුව නිදසුනක් ලෙස අපට කිසිදු වස්තුවක් පිළිබදව කාලය සහ අවකාශ නොමැතිව සිතිය නොහැකි ය. හියුම් සිතුවේ මෙහි විලෝමයයි.  එනම් අපට කාලය සහ අවකාශය පිළිබද හැගීම ඇත්තේ අප එකිනෙකට වෙන් වූ වස්තූන් වටහා ගන්නා බැවිනි යන අදහසයි. කාන්ට් පවසන පරිදි හේතුවක් නැති යමක් අපට වටහා ගත නොහැකි ය. කලින් පැවසූ පරිදි හියුම් පසන්නේ අපට එසේ කළ හැකි බවයි. කෙසේවෙතත් හියුම්ට සහ කාන්ට්ට එකිනෙකාගේ ග්‍රන්ථ පරිශීලනය කිරීමට අවස්ථාවක් නොලැබුණු හෙයින් මේ ගැටලුව විසදී නැත. නමුත් ඒ පිළිබද සාකච්ඡාව මෙතැන දී වැදගත් නො වේ.

කෙසේවෙතත් මේ දෙවන පැනය කෙල්සන් සම්බන්ධයෙන් අතිශය වැදගත් වේ.

උත්තරානුභුතික දර්ශනයෙන් නීතිය පිළිබද පාරිශුද්ධ න්‍යාය වෙත

කෙල්සන්ගේ නීතිය පිළිබද පාරිශුද්ධ න්‍යායේ ඥානවිභාගාත්මක පදනම වන්නේ කාන්ට්ගේ උත්තරානුභුතික දර්ශනයයි. එමගින් සිදු කරන්නේ නීතිය කරුණක් ලෙස ඉදිරිපත් කිරීම වෙනුවට අදහස්වලට අයත් ලෝකයේ පවතින නෝමයන් ලෙස දැක්වීම ය. කරුණු යනු පවතින දේ ය. නමුත් නෝමයන් යනු පැවතිය යුතු නොයුතු දේ දැක්වෙන උපන්‍යාසය. කෙල්සන් පසන ආකාරයට ඔහුගේ න්‍යාය නීතිය පිළිබද පාරිශුද්ධ න්‍යාය නම් වේ. ඒ අනුව ඔහු උත්සහ කරන්නේ දැඩිව නීතිය නො වන දේ නීතිය තුළින් බැහැර කිරීම ය. ඔහු එමගින් උත්සාහ කරන්නේ නීති විද්‍යාව ඊට අයත් නො වන පිටස්තර මූලධර්මවලින් නිදහස් කිරීම ය. කෙල්සන්ට අනුව ඔහුගේ න්‍යාය හේතු දෙකක් නිසා පාරිශුද්ධ වේ. පළමුව එය නීතිය කරුණු වලින් වෙන් කරයි. පෞල්සන් පෙන්වා දෙන පරිදි ‘එහි හරයේ කෙල්සන්ගේ නෛතික න්‍යාය කිසිදු ආකාරයක කරුණු සමග හවුලක් නැත. දෙවනුව එය නීතිය සහ සදාචාරය වෙනස් කර දක්වයි.මේ අවස්ථා දෙකේදී ම කාන්ට් බලපා ඇත. කෙල්සන්ගේ න්‍යායේ වැදගත්ම මූලිකාංග සපයා ඇත්තේ ඉහත දැක් වූ කාන්ට්ගේ දෙයාකාර වූ විභේදනයන් මගිනි.

  1. දෙවල්වල ලෝකය (Noumena)සහ අදහස්වල ලෝකය (Phenomena)
  2. පවතින දෙය (sein) සහ කළ යුතු සහ නොකළ යුතු දෙය(sollen)

නීතිය නෝමයක් ලෙස

‍කෙල්සන් පහත ආකාරයෙන් කාන්ටියානු විභේදනය නීතියට අදාළ කරයි. නීති ඇති කරන භෞතික ක්‍රියාවන් අයත් වන්නේ දෙවල්වල ලෝකයට ය. ( ව්‍යවස්ථා සම්පාදනය, නඩුතීන්දුවක් දීම වැනි) ඒවා ඇති වන්නේ කාලය සහ අවකාශය තුළ බැවින් අපට අපගේ සංවේදන ඉන්ද්‍රියන් මගින් ඒවා ග්‍රහණය කරගත හැකිය. ප්‍රශ්නය වන්නේ මෙමගින් නෛතික නෝමයක් ඇති වන බව ද යන්න ය. නමුත් එම කරුණු විමර්ශනයෙන් එය කිව නො හැකි ය. එය වටහා ගැනීමට එම කරුණු ප්‍රතිමානක අර්ථයකින් (Normative) කල්පනා කළ යුතු ය. නිදසුනක් ලෙස මිනිසුන් පිරිසක් ගොඩනැගිල්ලක එකතු වී (පාර්ලිමේන්තුව යැයි කියාගන්නා) ත්‍රස්තවාදී කටයුතු කරන අයට ජීවිතාන්තය දක්වා දඩුවම් කළ යුතු යැයි කියන ත්‍රස්තවාදය වැලැක්වීමේ පණත් කෙටුම්පත නම් ලියවිල්ලක් ගැන වාද කරයි. ( මෙහි සැබෑ අර්ථය වන්නේ පණතට ත්‍රස්තවාදී ඇල්ලීම හෝ දඩුවම් කිරීම පිළිබද වගවිය නොහැකි උනත් ත්‍රස්තවාදය දඩුවම් කළ යුතු ය යන්නයි.) වාදය අවසානයේ දී ඡන්දය පවත්වා පනත සම්මත කරයි. එවිට එය පාර්ලිමේන්තු පනතක් යැයි කියයි. අප මෙහි දී අධ්‍යනය කරන්නේ නීතිය නො ව සිදුවීම් මාලාවකි. එවිට නීති විද්‍යාඥයෙකු විසදිය යුතු ප්‍රශ්නය වන්නේ මෙම කරුණු මාලාව ත්‍රස්තවාදයට දඩුවම් කළ යුතු නෝමයක් ලෙස අර්ථ කථනය කළ හැකි ද යන්නයි. නෝමයට පණ ලැබෙන්නේ පාර්ලිමේන්තුව එසේ කියන නිසා නො ව පාර්ලිමේන්තුව කියන දේ අනුගමනය කළ යුතු ය කියන වෙනත් නෝමයක් නිසා ය.

නෝමයක ස්වභාවය.

කෙල්සන්ට අනුව නෝමයක් යනු ක්‍රියාවක අර්ථයකි. යම් නිශ්චිත චර්යාවක් අන කරනු ලබන, අවසර දෙනු ලබන සහ අධිකාරිය ලබාදෙනු බලන ක්‍රියාවක අර්ථයකි. නෝමයකට රීතියක හෝ විශේස අණක ස්වරූපයක ගත හැකි ය. පොලිස් නිලධාරියා රථ නතර කිරීමට අණ කරයි. ඇමතිවරයා ඉඩම් අත්පත් කරගැනීමට අණ කරයි. විනිසුරුවරයෙක් නඩු තීරණයක් දෙයි. මේ සියල්ල නෝමයන් ය. කෙල්සන් නෝමයන් සහ නියෝග අතර ඇති වෙනස කටුගා දමයි. කෙල්සන්ට අනුව නෝමයක් නීතියේ අධිපත්‍යයට අනිවාර්ය කොන්දේසියක් වන කල්තබා දැනගෙන සිටිය යුතු ක්‍රියා කිරීමේ රීතියක් සැපයීම අවශ්‍ය නැත. කෙසේවෙතත් සියලු ම ආකාරයේ පුද්ගලයෙකු වෙත යොමු වූ අභිමතය ප්‍රකාශ කිරීමක් නෝමයක් වන්නේ නැත. ආයුදගත් මංකෝලකාරයා මිනිසෙකු වෙත කරන නියෝගය නෝමයක් වන්නේ නැත. නමුත් බදු අයකරන්නාගේ නියෝගය නෝමයක් වේ. මේ දෙදෙනාගේ ම ක්‍රියාවේ ආත්මීය(පුද්ගලබද්ධ) අර්ථය එක ය. දෙදෙනා ම බලාපොරොත්තු වන්නේ මා මුදල් බාර දීම ය. නමුත් දෙවන කෙනාගේ ඉල්ලීම පමණක් විෂයාබද්ධ අර්ථයක් අත් කරගනියි. මෙම විෂයාබද්ධ අර්ථය සහ පුද්ගලා බද්ධ අර්ථය යන දෙක ම සමාන වූ තැනක නෝමයක් නිර්මාණය වේ. ඒ අනුව නෝමයක් යනු විෂයාබද්ධව හදුනා ගත හැකි කළ යුත්තක් හෝ නොකළයුත්තක් ලෙස හැදින්විය හැකි ය. මාගේ ක්‍රියාවන් විෂයාබද්ධව හදුනා ගන්නා තුරු සමාජයේ කිසිවෙකු මා අනුගමනය කළ යුතු නැත.

පහත ගැලීම බලන්න

කරුණුවලට අදාළ ලෝකය                  ——          නෝමයන්ට අදාළ ලෝකය

ආණ්ඩුක්‍රමය( දේශපාලනික සිදුවීමකින් —-      පාර්ලිමේන්තු පණත් අනුගමනය කළ යුතු ය

ස්තාපිත කළ පාර්ලිමේනුත ව්‍යවස්ථා

සම්පාදක බලය

I                                                                                             I

ත්‍රස්වාදය වැලැක්වීමේ පනත ———————– විනිසුරු අදාළ දඩුවම ලබා දිය යුතු ය

සම්මතවීම හා දඩුවම් දැක්වීම

I                                                                                                                  I

විනිසුරු පනත යටතේ —————————- පුද්ගලයා අත්තඩංගුවට ගෙන සිරගත කළ යුතු ය

කෙනෙකු වැරදි කරු කිරීම

මේ සටහන අනුව පෙනී යන්නේ කරුණු සම්බන්ධ දාමය සහ නෝමයන් සම්බන්ධ දාමය අතර ඇති විභේදනයයි. කෙල්සන් පවසන්නේ මේ කරුණුවල නෛතික අර්ථය නෝමයක් ලෙස පවතින බවයි. පණතක් පැවතීම කරණක් වන නමුත් එය නෝමයක් නො වේ. එහි අර්ථය වන්නේ ත්‍රස්තවාදීන් සිරකළ යුතු බව යි. නෝමය වන්නේ මෙයයි. නමුත් මෙම නෝමය ගලා එන්නේ එම කරුණ මගින් නොව වෙනත් නොමයක් මගිනි. නිදසුනක් ලෙස ආණ්ඩුක්‍රමයෙන් විය හැකි ය. ස්වභාවික විද්‍යාඥයන් භෞතික සිදුවීම්වලින් තවත් භෞතික සිදුවීම් වන බව නිගමනය කරයි. නීති විද්‍යාඥයා භෞතික සිදුවීම් අධ්‍යනය කර තවත් භෞතික සිදුවීමක් විය යුතු බව තීරණය කරයි. ස්වාභාවික විද්‍යාඥයා නියාමනය වන්නේ විද්‍යාත්මක නිගමනවලින් ගන්නා විද්‍යාත්මක නීතිවලිනි. නෛතික විද්‍යාඥයා නියාමනය වන්නේ නෝමයන් මගින් ගන්නා නිගමනවලිනි.

කෙල්සන් නෝමයක බලපෑම දැක්වීමට ආරෝපණය යන වචනය භාවිත කරයි. අප කාරණත්වය ගැන කතා කරන්නේ ස්වාභාවික ලෝකය සම්බන්ධයෙනි. එක් භෞතික සිදුවීමක් තවත් එකක් ඇති කරයි. නමුත් නෝමයන් මෙවැනි භෞතික දේවල් නො වන නිසා එසේ නො වේ. එය කරන්නේ ආරෝපණය කිරීමකි. නෝමයක් මගින් නිශ්චිත ලෙස හැසිරීමට යුතුකමක් ඇති කරයි. ඒ එය කඩකිරීමෙන් දඩුණ්ඩනීයත්වයක් ආරෝපණය කිරීමෙනි.

තවද නෝමයක් සත්‍ය හෝ අසත්‍ය නො වේ. මා මගේ ඉඩමෙන් පිට වෙනු කියා කාට හරි කිවහොත් එයට සත්‍ය අසත්‍ය බේදය අදාළ නැත. එහි ඇත්තේ මගේ බලාපොරොත්තුවයි. පාර්ලිමෙන්තු පණතකින් ද මේ ආකාරයෙන් ම මිනිමැරීට වරදකරුට මරණ දණ්ඩනය දිය යුතු බව පවසයි. එය පාර්ලිමේන්තුවේ අධිෂ්ඨානය නිරූපණය කරයි. එය වලංගු හෝ වලංගු නැති විය හැකි ය. නමුත් මෙය සත්‍ය අසත්‍ය භේදය අදාළ නැත. ඊට පටහැනිව ‘නීතියට අනුව ලංකාවේ මිනිමැරුම මරණීය දණ්ඩනයෙන් දඩුවම් කළ හැකිය යන්න සත්‍ය හෝ අසත්‍ය විය හැකි ය. මීට හේතුව වන්නේ පළමු වාක්‍ය මගින් චර්යාවක් නියම කරන අතර දෙවන වැකියෙන් නීතිය කුමක් දැයි විස්තර කිරීම පමණක් සිදු වන බැවිනි.

කුසල් කුරුවිට

 

 

 

***

Advertisements