Erwin-Wurm-Trivial-Pursuit-2014-Concrete-acrylic-179-x-63-x-55-cm-Ed-of-unique-Courtesy-Galerie

කාන්ට් පවසන ආකාරයට අපගේ අවබෝධය යනු, අපට ඇති වන සංවේදනා තේරුම් ගැනීමට ස්වයං ක්‍රියාකාරීවන ආකෘතියකි. සංවේදනා ලැබීමට පෙර එම හැකියාව අප තුළ තිබිය යුතු නිසා අවබෝධය යන්න උත්තරානුභුතික වේ. එම උත්තරානුභුතික ආකෘතිය නිර්මාණය වී ඇත්තේ ප්‍රවර්ග හරහා බවත් එම ප්‍රවර්ග වලට අනුකූලව අප අත්දැකීම් ලබනා බවත් මේ වන විට අපට පැහැදිලි කාරණයකි. මෙම ප්‍රවර්ග නැතිනම් අපගේ සංවේදනා තේරුම් ගැනීමේ පොදු නීති පද්ධතිය ක්‍රියාත්මක වීම අවබෝධය මත සිදුවන්නකි. වෙනත් ආකාරයකට කියනවා නම් මාගේ මනස තුළ වන නීති පද්ධතියේ (ප්‍රවර්ග වල ) හැසීරීම මාගේ මනස සතු ස්වයං ක්‍රියාකාරීත්වයකි. එය ක්‍රියාත්මක වීමට බාහිර ලෝකයෙන් අන්තර්ඥාණයන් අවශ්‍ය වුවත්, මෙම නීති ක්‍රියාත්මක වීමේ ඒජන්තයා වන්නේ මගේ මනසයි. මේ හේතුව නිසා කාන්ට් තවත් සිත්ගන්න සුළු ප්‍රශ්නයක් අසා සිටියි. එනම් මෙම නීති, අවබෝධය මත පදනම් වුවත්, එම නීති වල හැසිරීම සිදුවන්නේ අවබෝධයේ ස්වයං ක්‍රියාකාරීත්වය මත වුවත්, ඒවාට අනුව ස්වභාව ධර්මය හැසිරෙන්නේ ඇයිද යන්නයි. සරළව කියනවා නම් මාගේ මනස විසින් දේවල් තේරුම් ගැනීමට යොදා ගන්නා ආකෘතියට අනුව මගෙන් බාහිර ලෝකය සකස් වීම සිදු වන්නේ කෙසේද යන ගැටලුවයි.

කාන්ට් පවසන ආකාරයට ස්වභාව ධර්මය (සියලු දෘශ්‍යමානයන්ගේ එකතුව ) ක්‍රියාත්මක වන නීති පද්ධතිය එම ස්වභාව ධර්මය තුළ පවතින්නක් නොව එය දෘශ්‍යමාන වන ආත්මය සතුව පවතින්නකි. අවම වශයෙන් දෘශ්‍යමානය පවා දෘශ්‍යමානය තුළ නොපවතියි. උත්තරානුභුතික ආත්මයට සාපේක්ෂව – ප්‍රවර්ග වලට යටත්ව – දෘශ්‍යමානයන් සිදුවන බවත් එම නිසා අපගේ ප්‍රවර්ග සමඟ ස්වභාව ධර්මය සමපාතව හැසිරෙන බවත් කාන්ට් යෝජනා කරයි. මෙම නිශ්චිත ගැටලුවේදී කාන්ට් විසින් අපගේ අවබෝධය මත පදනම් වන නීති පද්ධතිය නැතිනම් ප්‍රවර්ග ස්වභාවික ලෝකය සමඟ සමපාත වීමේ සම්බන්ධය, පැහැදිලි කරන ආකාරය විඥ්ඥාණවාදී යැයි තර්ක කිරීමට, කෙනෙකු ඉක්මන් විය හැකිය. මේ සඳහා කාන්ට්ගේ පැහැදිලි කිරීම තරමක් දීර්ඝව විමසා බැලීම කළ යුතු වේ.

අප මෙතෙක් සාකච්ඡා කර ඇති ලෙස කාන්ට් සංස්ලේෂණය නමින් හඳුවන්නේ දෘශ්‍යමානයක් වටහාගැනීමක් දක්වා පත් වන අපගේ අවබෝධයේ ස්වයං ක්‍රියාකාරීත්වයටය. පියවර වශයෙන් කියන්නේ නම් දෘශ්‍යමානයක් සංවේදනීයත්වය හරහා දැනීමත්, එම දැනීම නිසා අන්තර්ඥාණයක් ඇති වීමත්, ඒ හරහා මානසික නියෝජනයක් නිර්මාණය වීමත්, එයට සංකල්පයක් ලබා දීමෙන් අවසානයේ වටහාගැනීමක් බවට පත්වීමත් සිදුවේ. අවබෝධයේ ප්‍රවර්ග මතින්, ඒවාට අනුකූලව අත්දැකීමක් අපට ලැබීම සිදුවන්නේ මේ අකාරයේ ක්‍රියාවලියකින් බව කාන්ට් අපට පවසයි. කාලය හා අවකාශය නැමති ප්‍රාග් අනුභූතික ආකෘති යටතේ මෙම ක්‍රියාවලිය සෑම විටම සිදුවන නිසා කාන්ට් මෙය ‘අල්වා ගැනීමේ සංස්ලේෂණය’ ලෙස හඳුන්වයි. තවදුරටත් සංස්ලේෂණය යන්න ඔහු පැහැදිලි කරන්නේ අපට හමුවන බහුවිධත්වය එකට එකතු කොට, ඒකමිතියක් ලෙස සකස් කර දෙන, පිළිවෙලකට ගොණු කර දෙන අපගේ අවබෝධය  සතු හැකියාවක් ලෙසයි. මේ අනුව මිනිසා ලෙස අපට සරළව හඳුනාගත හැක්කේ මෙම අවබෝධ කර ගැනීමේ හැකියාව බව පැහැදිලි වේ.

නමුත් කාන්ට් මෙහිදී අවබෝධය මත ක්‍රියාකාරී වන ප්‍රවර්ග, බාහිර ලෝකයේ හැසිරීම සමඟ සමපාත වන්නේ කෙසේද යන ප්‍රශ්නය මතු කර සිටියි. ඔහු ප්‍රවර්ග හා ස්වභාව ධර්මය අතර සමපාත හැසිරීම පැහැදිලි කර සිටින්නේ මෙසේය. බහුවිධත්වයෙන් සමන්විත දෘශ්‍යමානය එකට එකතු කර පිළිවෙලකට සකස් කරනු ලබන්නේ ප්‍රවර්ග යටතේ වන අතර එම ප්‍රවර්ග සමන්විත මානසික ව්‍යුහය අවබෝධය නම් වේ. මෙම එකට එකතු කිරීම නැතිනම් පිළිවෙලකට සකස් කර දීම නොමැතිව අප ලෝකය අත්දකිනවා යැයි කීම අර්ථ විරහිතය. කාන්ට් මෙම ක්‍රියාවලිය  නම් කරන්නේ බහුවිධත්වය ඒකමිතියක් ලෙස වටහා ගැනීම ලෙසයි. සරළව කියනවා නම් මා හට දෘශ්‍යමානයක් ලෙස පොතක් තිබෙනවා නම්, එය දේවල් විශාල ගණනක් මැද එක් පොතක් ලෙස මාගේ වටහගැනීමක් වන්නේ, බහුවිධත්වය ඒකමිතියක් ලෙස ගැනීමේ හැකියාව නිසාය. ප්‍රවර්ග හරහා සිදුවන මෙම ඒකමිතිකරණය අවබෝධයේ ස්වයං ක්‍රියාකාරීත්වයයි. කාන්ට් පවසන ලෙස එම පොත මානසික නියෝජනයක් වීමේ කොන්දේසි නැතිනම් නීති පද්ධතිය,  පොත තුළ පවතින්නේ නැති බව පැහැදිලි කරුණකි. දෘශ්‍යමානයන් තුළ ඒවා ක්‍රියාත්මක වන නීති පවතිනවා යැයි කීමට නොහැකිය. දෘශ්‍යමානයක් මානසික නියෝජනයක් වන්නේ බාහිරින් ලැබෙන විදානයක් නිසා නොව මානසික ලෝකය තුළම වන නෛතික රාමුවක් නිසාය. එම නීති රාමුව ප්‍රවර්ග බව අපි දනිමු. අනෙක් අතට දෘශ්‍යමානයට පැවැත්මක් ඇත්තේද දෘශ්‍යමානය තුළ නොව අවබෝධය තුළ බව කාන්ට් තව දුරටත් කියා සිටියි. එනම් දෘශ්‍යමානයන් පැවතීමේ කොන්දේසිය වන්නේ සංවේදනීයත්වයක් ඇති පැවැත්මක් තිබීමයි. වෙනත් අකාරයකට කියනවා නම් දෘශ්‍යමානය පවතින්නේ දෘශ්‍යමාන වන ආත්මය නැතිනම් අවබෝධ කර ගැනීමේ හැකියාවක් තුළය. මේ නිසා ස්වභාව ධර්මය පවා අවසානයේ ආත්මයට යටත් වේ. අවබෝධයේ ප්‍රවර්ග යටතේ අපගේ දෘෂ්‍යමානය සකස් වීම සිදු වේ. ස්වභාව ධර්මය, ප්‍රවර්ග වලට අනුව හැසිරීම පිළිබඳ පුදුම විය යුතු නැත්තේ මේ නිසා බව කාන්ට් කියා සිටියි.

අනෙක් අතට දෘශ්‍යමානයන් ලෙස කාන්ට් හඳුන්වන්නේ යමක් එය තුළම සත්‍ය ලෙසම පවතින්නේ කෙසේද කියා අපට වටහාගත නොහැකිව පවත්නා දේවල්ය. ඕනෑම දෘශ්‍යමානයක් මානසික නියෝජනයක් වන නිසා ඒව යටත් වන්නේ මානසික ලෝකයේ ඇති නීති වලට පමණි. දෘශ්‍යමානයන් නැතිනම් ස්වභාව ධර්මය මානසික ලෝකයේ නීති වලට යටත් වීමේ (සංවේදනීය අන්තර්ඥාණයන්ගේ බහුවිධත්වය එකට එකතු කිරීම ) ආකාර දෙකක් මත පදනම් වන බව කාන්ට් පවසයි. ඔහුගේ මුල්ම පැහැදිලි කිරීම් වලට අනුව පළමු ආකාරය, බුද්ධිමය නැතිනම් අවබෝධයේ සංස්ලේෂණය යන්න උත්තරානුභුතික වේ. අනෙක වන්නේ අනුභූතික නැතිනම් සංවේදනීයත්වය තුළ අල්වා ගැනීමේ සංස්ලේෂණයයි. අපගේ සියලුම සංවේදනයන් පදනම් වන්නේ මෙම අල්වා ගැනීමේ සංස්ලේෂණය මත බව අපි දනිමු. එමෙන්ම මෙම අල්වා ගැනීමේ සංස්ලේෂණය සෑම විටම පදනම් වන්නේ උත්තරානුභුතික නැතිනම් අවබෝධයේ සංස්ලේෂණය මත බවද අප හොඳින්ම දන්නා කාරණයකි. තවත් ආකාරයකින් කියනවා නම් අනුභූතික සියලු සංවේදනාවන් වල බහුවිධත්වය අපට පිළිවෙලකට සකස් කිරීමේ වගකීම සෑම විටම දරා සිටින්නේ අපගේ අවබෝධයේ සංස්ලේෂණයයි. තවත් සරළ කරන්නේ නම් මා ලබන්නාවූ සියලූම අනුභූතික අත්දැකීම් යනු මාගේ අවබෝධයේ නීති නැතිනම් ප්‍රවර්ග මඟින් දමනය කොට මා හට ලබා දෙන වටහාගැනීම් වේ. කාන්ට්ගේ අදහසට අනුව බහුවිධත්වය එකට එකතු කිරීමේ හැකියාව අතින් ගත් කළ ස්වභාව ධර්මය ප්‍රවර්ග වලට යටත්ය. එනම් ස්වභාව ධර්මය ආකෘතියක් ලෙස, නීතී මාලාවකට අනුව ක්‍රියාත්මක වන දෙයක් ලෙස අප සළකන්නේ නම් එම ක්‍රියාකාරීත්වය පදනම් වන සමාරම්භක පොළොව වන්නේ ප්‍රවර්ගයි. මේ නිසා ස්වභාව ධර්මය අපගේ මානසික ව්‍යුහයේ නෛතික රාමුවට අනුව සකස් වී අපට දෘශ්‍යමාන වන බව කාන්ට් පවසා සිටියි.

මෙම නිශ්චිත මොහොතේදී ඔහු ලබා දෙන පිළිතුර බැලූ බැල්මට විඥානවාදී ස්වභාවයක් ගන්නේ යැයි කෙනෙකු හට සිතීම අසාධාරණ නොවේ.

නමුත් කාන්ට් බාහිර ලෝකය ලෙස අප අත්දකිනා දෙය, අපගේ මානසික ලෝකයෙන් නිර්මාණය කළ මනස් රූපයක්ය යන්න පිළිනොගන්නා කරුණකි. ඔහුගේ මුල් පැහැදිලි කිරීම් වලට අනුව දෘශ්‍යමානයන් පමණක් පවතින බව හෝ ඒවා අපගේ මානසික ලෝකයේ නිර්මාණ  බව ලෙස හෝ පවසන්නේ නැත. දෘශ්‍යමානයන්, දෘශ්‍යමානයන් ලෙස පවතින්නේ දේවල් වල එහිම ස්වරූපය නිසාය. දේවල් අප සිටියත් නැතත් පවතින ආකරය එහිම ස්වරූපය ලෙස සරළව වටහා ගත හැකිය. නමුත් එහිම ස්වරූපය පිළිබඳ මින් එහා පැහැදිලි කිරීමක් කාන්ට් අපට ලබා නොදෙන නිසා එහිම ස්වරූපයක් තිබෙනා බව පමණක් පූර්ව කොන්දේසියක් ලෙස ගෙන අපගේ සාකච්ඡාව ඉදිරියට ගෙන යෑමට සිදුවේ.

කාන්ට්ගේ පැහැදිලි කිරීම තුළ ඔහු එහිම ස්වරූපය යන්න සඳහන් කළද මෙම නිෂ්චිත මොහෙතේදී කාන්ට් විඥානවාදී ගමන් පථය සමීපයටම පැමිණෙන බව නොරහසකි. නමුත් ඉතා සියුම් ලෙස නිරීක්ෂණය කළහොත් පෙනෙන්නේ ඔහු විඥානවාදී අදහසක් වෙත ගමන් නොකරනා බවයි. එක් පසෙකින් දේවල් පැවතිය යුතු බව ඔහු ප්‍රකාශ කරයි. නමුත් ඒවා සත්‍ය වශයෙන්ම පවතින ආකරයෙන් (දේවල්හී එහිම ස්වරූපයෙන්) අපට ඒවා ග්‍රහණය කර ගැනීමේ හැකියාවක් නොමැත. කාන්ට් පවසන ආකරයට අපට ග්‍රහණය වන්නේ දෘශ්‍යමානයන්ය. දෘශ්‍යමානයන් මෙලෙස මා හට දෘශ්‍යමාන වන්නේම එසේ දෘශ්‍යමාන වීමට හැකි ලෙස මාගේ මානසික ලෝකය සකස් වී තිබෙන නිසාය. වෙනත් ආකාරයකට කියනවා නම් මට දෘශ්‍යමාන වන ගස යම් දෙයක් ලෙස මගෙන් පරිභාහිරව පැවතිය යුතුය. එය ගසක් ලෙස එසේත් නැතිනම් ගසෙහි දෘශ්‍යමානයක් ලෙස මා හට වටහාගැනීමක් වන්නේ මාගේ අවබෝධයේ ප්‍රවර්ග ස්වයංක්‍රියාකාරී වීම තුළිනි. එසේ නොමැතිව, ගස ලෙස පවතින දෙය, එය පවතින නියම ස්වභාවයෙන්ම මා වටහා ගන්න බවක් කාන්ට් පවසන්නේ නැත. එසේම එම ගස මාගේ මානසික ලෝකයේ නිර්මිත ගසක් වන්නේද නැත.

කාන්ට්, මෙහිදී විඥානවාදී යැයි කෙනෙකු ප්‍රකාශ කර සිටින්නේ, ස්වභාව ධර්මය යනු ආත්මයට යටත් එසේත් නැතිනම් ආත්මයේ නීති පද්ධතියට අනුකූලව සකස් වන්නක්ය යන අදහස නිසාවෙන් බව පෙනේ. එම පැහැදිලි කිරීම තුළ ආත්මයට එසේත් නැතිනම් මා හට, මේ සියලු අත්දැකීම් සාපේක්ෂ වේ යන අදහස අඩංගු නොවේ යැයි කීමට නොහැකි බව අපි පිළිගනිමු. මෙහිදී කාන්ට් අදහස් කරන සාපේක්ෂ බව යනු සැබවින්ම කුමක්ද? පෙර නිදර්ශනයම ගන්නේ නම් කාන්ට් පවසන්නේ ගස මාගේ මනසට සාපේක්ෂව නිර්මාණය කර ගත්තක් නොව මා වැනි සංවේදනීයත්වයක් සහිත ඕනෑම කෙනෙකුට සාපේක්ෂව එය ගසක් ලෙස දෘශ්‍යමාන වන බවයි. තවත් ආකාරයකට කියනවා නම් එම ගස හුදෙක් මට සාපේක්ෂ ගසක් නොව මුලු මිනිස් වර්ගයාටම එකඟ විය හැකි ගසක් වන බවයි. එම ගසෙහි එහිම ස්වරූපය ගැන කීමට මිනිස් වර්ගයාට හැකියාවක් නොමැති වුවත් මිනිස් වර්ගයාගේ මානසික ලෝකයට අනුකූලව එය මිනිස් වර්ගයාටම දෘශ්‍යමාන වන ගසකි. එය එලෙස ගසක් ලෙස දෘශ්‍යමාන වීමට එම දෘශ්‍යමානයට ගැලපෙන ලෙස අපගේ මානසික ලෝකය නිමවී ඇත. එම නිසා එම ගස මාගේ මනසේ නිර්මාණයක් නොවේ.

අවසන් වශයෙන් කිව හැක්කේ අප විසින් ස්වභාව ධර්මය ක්‍රියාත්මක වන නීති මවනවා යන්න නම් නොවේ. ඒ වෙනුවට කිව හැක්කේ ආත්මය නැතිනම් අවබෝධයට එසේත් නැතිනම් කාන්ට්ගේ උත්තරානුභුතික මම යන්නට මෙලෙස දෘශ්‍යමානයන්, ප්‍රවර්ග ඇසුරෙන් වටහාගත හැකි මානසික ව්‍යුහයක් සහිත වීම නිසා, ස්වභාව ධර්මය එම මානසික ව්‍යුහයට ගැළපෙන ලෙස ක්‍රියාත්මක වන බවයි. කාන්ට් කියනා ලෙස එය විඥ්ඥාණවාදයක් නොවන්නේ, මා වැනි අවබෝධ කර ගැනීමේ හැකියාවක් සතු ඕනෑම කෙනෙක් හට දෘශ්‍යමානයන් යන්න සකස් වන්නේ, එම අවබෝධයේ නිර්ණායක වන ප්‍රවර්ග වල ක්‍රියාත්මක වීමේ පොදු බාවය නිසාය.

 

සුපුන් කුරේ

 

 

 

 

 

***

Advertisements