0000118920

බෙලායෙව් රජතුමා ගොඩක් හොඳින් තමන්ගෙ රට පාලනය කළා. ඒ රට මහ සාගරය වගේ විසාලයි. ස්ටෙප්ස් තණ බිම වගේ කෙළවරක් පේන්නෙ නෑ. ඒ රට කොච්චර විසාලද කියලා බෙලායෙව් රජතුමා වත් දැනගෙන හිටියෙ නෑ. කොහොම වුණත් ඒ රටේ මිනිස්සු ගොඩක් සතුටින් ජීවත් වුණා. ගොවිතැන් කළා, පාන් පිච්චුවා, උත්සව පැවැත්වුවා, වයින් බිව්වා, මී පැණි කෑවා. බෙලායෙව් රජතුමාට, ඉවාන්, ආන්ද්‍රෙයි, සිමියොන් සහ අල්යෝෂා කියලා කුමාරවරු හතරදෙනෙක් හිටියා. අල්යෝෂා කුමාරයා තමයි බාලයා. මේ කුමාරවරු හතරදෙනා හරිම දක්ෂයි. දුන්නෙන් විදින්න, කඩු සටන් කටන්න හතරදෙනාටම පුලුවන්. බෙලායෙව් රජතුමා මේ හතරදෙනත් එක්ක දඩයමේ යනවා.

බෙලායෙව් රජතුමාගෙ උද්‍යානයේ තිබුනා අරුම පුදුම ගහක්. ඒක ඇපල් ගහක්. හැබැයි ඒකෙ හැදුනෙ රත්තරන් ඇපල්. ඒක තමයි ලෝකෙ තිබුණ වටිනාම වස්තුව. ගොඩක් වෙලෙන්දො, සිටුවරු ආවා මේ ගහ මිලදී ගන්න. මුලු ලෝකෙම තිබුණ රත්තරන්, මැණික්. කුළුබඩු, සම්, දුන්නත් බෙලායෙව් රජතුමා මේ ගහ දෙන්න කැමති වුණේ නෑ. තමන්ගෙ රට හොදින් තියෙන්නෙ මේ ගහ නිසා කියලා රජතුමාත් මිනිස්සුත් හිතුවා. හදිස්සියෙම එක දවසක් උදේ බෙලායෙව් රජතුමාට දැනගන්න ලැබුනා මේ ගහේ ඇපල් කවුරුහරි හොරකම් කරලා කියලා. රජතුමාට කේන්තියි. දුකයි. ඒ වගේම රජතුමා බය වුණා. මේ කතාව කටින් කට රටේ එහා කොනට යනකම්ම ගියා. මිනිස්සුන්ටත් හරිම දුකයි. බයයි. හරියට ගොවිතැන් කලෙත් නෑ. පාන් පිච්චුවෙ නෑ. හවසට වයින් බීලා නැටුවෙ නෑ. මේ ගැන මොනවහරි ඉක්මනින්ම කරන්න ඕනෙ කියලා කුමාරවරු හතරදෙනා කල්පනා කලා. ඔවුන් හතරදෙනා රජතුමා හම්බවෙලා කිව්වා “අපි කොහොමහරි මේ රත්තරන් ඇපල් හොරාව අල්ලගන්නවා” කියලා. රජතුමාට හරිම සතුටුයි. රජතුමා අවසර දුන්නා. කුමාරවරු කතාවුණා හතරදෙනා, එක්කෙනෙක් එක රැයක් ගානෙ ඇහැරලා ඉඳලා ගහ මුර කරමු කියලා.

පළවෙනි රෑ මුරකරන්න තිබුණෙ වැඩිමහල් ඉවාන් කුමාරයට. ඉර බහිනකොටම උද්‍යානයට ගිය ඉවාන් කුමාරයා රත්තරන් ඇපල් ගහ යට වාඩි වෙලා මුරකරන්න පටන්ගත්තා. ඒත් ටික වෙලාවකින් කුමාරයට නින්ද ගියා. කුමාරයා හීනයක් දැක්කා. සුදු ලෝගුවක් ඇඳගත්ත දිග සුදු රැව්ලක් තියන වයසක මනුස්සයෙක් ඇවිත් කියනවා “ඔය රත්තරන් ඇපල් හොරකම් කරන්නෙ ඔලු තුනක් තියන පියාඹන මකරෙක්, ඌට පුලුවන් සුළඟටත් වඩා වේගෙන් පියාඹන්න” කියලා. කුමාරයා හිතුවා ඒ කතාව ඇත්ත කියලා. එදා රෑත් ඇපල් ගෙඩියක් අතුරුදහන් වුණා. පහුවදා උදේම කුමාරයා රජතුමා හම්බවෙන්න ගියා.  රජතුමා ඇහුවා “ඇපල් හොරාව අල්ලගත්තද” කියලා. කුමාරයා තමන් දැක්ක හීනෙ ගැන කිව්වා. රජතුමා ටිකක් කල්පනා කරලා කිව්වා “හොඳයි කමක් නෑ” කියලා.

දෙවෙනි රෑ මුරකරන්න තිබුණෙ ආන්ද්‍රෙයි කුමාරයට. ඉර බහිනකොටම තමන්ගෙ බැලලයිකාවත් අරන් උද්‍යානයට ගිය ආන්ද්‍රෙයි කුමාරයා රත්තරන් ඇපල් ගහ යට වාඩි වෙලා මුරකරන්න පටන්ගත්තා. එයා බැලලයිකාව ලස්සනට වාදනය කර කර සින්දුවක් කිව්වා. සින්දුවෙන් කියවුණේ බබායාග යකින්න වංගෙඩියක ඉඳගෙන කොස්සෙන් අතුගගා අහසෙන් ඇවිත් ඇපල් හොරකම් කරන හැටි. කුමාරයා රෑ එළිවෙනකම් බැලලයිකාව වාදනය කර කර සින්දු කිව්වා. ඒත් රත්තරන් ඇපල් හොරාව දැක්කෙ නෑ. එදා රෑත් ඇපල් ගෙඩියක් අතුරුදහන් වුණා. පහුවදා උදෙන්ම ආන්ද්‍රෙයි කුමාරයා රජතුමා හම්බවෙන්න ගියා. රජතුමා ඇහුවා “ඇපල් හොරා අල්ලගත්තද” කියලා. කුමාරයා තමන් හදපු සින්දුව බැලලයිකාව වාදනය කර කර කියලා පෙන්නුවා. රජතුමා ටිකක් කල්පනා කරලා “හොඳයි කමක් නෑ” කිව්වා.

තුන්වෙනි රෑ මුර කරන්න තිබුණෙ සිමියොන් කුමාරයට. ඉර බහිනකොටම උද්‍යානයට ගිය සිමියොන් කුමාරයා ඇපල් ගහ යට ඉඳගෙන හිටියෙ නෑ. කුමාරයා හැමතැනම ඇවිද ඇවිද ඇපල් හොරාගෙ සලකුණු මොනවහරි තියනවද කියලා හොයලා බැලුවා. බිම හැමතැනම බැලුවා අඩි සලකුණු තියනවද කියලා. ඇපල් ගහට නැගලා බැලුවා මොනවහරි සළකුණක් තියනවද කියලා. බිම වැටුන කොළයක්. කැඩුන රිකිල්ලක් තියනවද බැලුවා. කිසිම දෙයක් හොයාගන්න පුලුවන් උනේ නෑ. එදා රෑත් ඇපල් ගෙඩියක් අතුරුදහන් වුණා. පහුවදා උදෙන්ම කුමාරයා රජතුමා හම්බවෙන්න ගියා. රජතුමා ඇහුවා ” ඇපල් හොරා අල්ලගත්තද” කියලා. කුමාරයා කිව්වා කිසිම සළකුනක් වත් හම්බවුණේ නෑ කියලා. ටිකක් වෙලා කල්පනා කරපු රජතුමා කිව්වා “හොඳයි කමක් නෑ” කියලා.

හතරවෙනි රෑ මුරකරන්න තිබුණෙ බාලයා අල්යෝෂා කුමාරයට. ඉර බහිනකොටම කුමාරයා උද්‍යානයට ගියේ තමන්ගෙ දුන්නත් අරගෙන. ගිහින් ඇපල් ගහ හොඳට පේන තැනක වාඩි වුණා. කුමාරයා දසමයක් වත් ඇහිපිය ගහන්නෙ නැතුව බලාගෙන හිටියා. හොඳට කන් යොමාගෙන හිටියා. රිකිල්ලක් හෙලවුනත් කුමාරයා ඒක දැක්කා. කොළයක් බිම වැටෙන සද්දෙත් කුමාරයට ඇහුණා. අල්යෝෂා කුමාරයා මුළු රෑම මේ විදිහට හිටියා. ඒත් ඇපල් හොරාව දැක්කෙ නෑ. ඒත් එදා රෑත් ඇපල් ගෙඩියක් අතුරුදහන් වෙලා. පහුවදා උදෙන්ම කුමාරයා රජතුමා හම්බවෙන්න ගියා. රජතුමා ඇහුවා “ඇපල් හොරා අල්ලගත්තද” කියලා. කුමාරයා කිව්වා ” මම මුළු රෑම නින්දක් නැතුව, ඇහිපිය ගහන්නෙ නැතුව බලාගෙන හිටියා, ඒත් ඇපල් හොරාව දැක්කෙ නෑ” කියලා. රජතුමා ටිකක් කල්පනා කරලා කිව්වා “හොඳයි කමක් නෑ” කියලා. කුමාරයා කිව්වා “මම අදත් උද්‍යානයට ගිනින් බලාගෙන ඉන්නවා, ඇපල් හොරාව අල්ලගන්නවා” කියලා. අල්යෝෂා කුමාරයා එදා රෑත් ඒ විදිහටම හිටියා. එදායින් පස්සෙ හැම රෑකම අල්යෝෂා කුමාරයා ඇපල් ගහ මුරකරන්න ගියා.

ඉවාන් කුමාරයා තවමත් තමන් දැකපු හීනෙ ගැන හිත හිත ඉන්නවා. ආන්ද්‍රෙයි කුමාරයා බැලලයිකාව වාදනය කර කර බබායාග යකින්න රත්තරන් ඇපල් හොරකම් කරන හැටි ගැන සින්දු කියනවා. සිමියොන් කුමාරයා උද්‍යානය පුරා ඇවිද ඇවිද රත්තරන් ඇපල් හොරා ගැන හෝඩුවාවක් හොයනවා. අල්යෝෂා කුමාරයා හැමදාම ඇසිපිය නොහෙලා ඇපල් ගහ දිහා බලාගෙන මුර කරනවා. ඇපල් හොරා දෑහින්ම දකිනකම්!

දිනිත් සුමනසේකර

 

 

 

***

Advertisements