66840025_946593569015905_8800128294306447360_n

යෞවන සම්මාන උළෙලේ පසුගියදා (අගෝස්තු 30) වන දා රංගගත වූ ‘අතරමැදියා’ නාට්‍ය කාගෙත් කතා බහට ලක් වූ නාට්‍යයක් වූයේ එය යෞවන සම්මාන උළලේ වේදිකාගත වීමටත් පෙර සිටය. ඉතා සරල කතා වින්‍යාසයක් බැලූ බැල්ලමට පෙනෙන්නට තිබුණද අප ජීවත් වන යුගය පිළිබඳ සංකීර්ණ සංවාදයක් ආරම්භ කිරීමේ හැකියාවක් අතරමැදියා තුළ තිබෙන බව කිව හැකිය. එලෙසම ඒ සම්බන්ධයෙන් යමක් ලියා තැබීමට උත්තේජනය සපයන තවත් හේතුවක් වන්නේ අතරමැදියා සමග 90 දශකයේ අගභාගයේ සහ 2000 දශකයේ මුල් යුගයේ උපත ලැබූ නාඹර තරුණයන් බහුතරයක් මෙම නාට්‍ය ක්‍රියාවලිය සමග එකතු වී ඇති බව නාට්‍යය අවසානයේ දැක ගැනීමට ලැබීමත් සමගයි. මෙහිදී උත්සහ කරන්නේ අතරමැදියා විසින් සාකච්ඡා මේසයට අපව කැඳවන්නට උත්සහ කරන තේමාව පිළිබඳව සලකා බැලීමක් සිදුකරන අතරේ අතරමැදියා තුළ ම තිබෙන හිඩැස් සහ පරතරයන් සහ නොඑකගතාවන් පැහැදිලි කිරීමට යි.

           නාට්‍ය ආරම්භ වන්නේ දෙදෙනෙක් වේදිකාව දෙපස උස පුටු දෙකක් තබා ගනිමින් සිදුකරන ආත්ම ප්‍රකාශන දෙකකිනි. ඒ තුළ ඔවුන්ගේ ජීවිතය පිළිබඳ විස්තර මෙන්ම ඔහුගේ බෙහෙවින් ආශා කරන දේවල්ද ඔවුන් මෙම සමාජය කියවා ගන්නා ආකාරය පිළිබඳවද විස්තරයක් කෙරෙයි. එලෙසම ඔවුන්ගේ ආදරවන්තයා පිළිබඳ ව ද සඳහන් කරයි. ඉන්පසු දෙවන අංකයේදී අප දකින්නේ කෝපි අවහන්හලකට පැමිණෙන තරුණයෙක් සහ පෙර අංකයේ ආත්ම ප්‍රකාශයන ඉදිරිපත් කළ තරුණිය යි. ඇය එහි සේවිකාව වන අතර තරුණයා කෝපි කෝප්පයක් පානය කිරීමට අවන්හලට පැමිණ පුද්ගලයා ය. ඔහු රූපවාහිනී වැඩසටහන් අධ්‍යක්ෂවරයෙකු ලෙස තරුණියගේ කතාව රූපවාහිනයේ ප්‍රචාරය කළ හැකි බව පවසයි. මන්ද ඔහු විසින් ලියන ප්‍රබන්ධ තවදුරටත් ඔහුගේ ප්‍රධානියා විසින් සැලකිල්ලට ලක් නොකරන අතර අව්‍යාජ ආත්ම ප්‍රකාශනවල අවශ්‍යතාවයක් තම ප්‍රධානියා බලාපොරොත්තු වන බවත් එලෙසම ප්‍රෙක්ෂකයින්ගේ වැඩි කැමැත්ත ඇත්තේ ද එවැනි ආත්ම ප්‍රකාශනවලට සවන්දීමට බව ප්‍රකාශ කරයි. තරුණිය එය ඔහුගේ සැමියාගෙන් අසා ඔහුට දැනුම් දෙන බවට පොරොන්දු වෙයි. ඇය විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් බවත්, ඇය තම පෙම්වතා සමග ගිවිසුමක් මගින් එකතු වී එකම නිවසක වාසය කරන බවත් ඇය පවසයි. මෙය සාමාන්‍ය අමුතු ජීවන තත්ත්වයක් බව වටහාගන්නා තරුණයා එම නිසා ම ඔහුගේ රූපවාහිනී වැඩසටහනට ඔවුන් දෙපළට ආරාධනා කරයි. ඉන්පසු ඇය සහ ඇයගේ පෙම්වතා වෙසෙන විසිත්ත කාමරයේ අංකයක් දිගහැරෙයි. ඔවුන් දෙදෙනාගේ ජීවිතය පවතින නොඑකගතාවයන් සමනය කරගනිමින් ඔවුන් දෙදෙනා සතුටින් ජීවත් වන ආකාරයට ප්‍රේක්ෂකයාට අගවයි. ඒ අතර ඔවුන් දෙදෙනා ගිවිස ගෙන ඇති ගිවිසුම ඉක්මවා ගිය මානුෂික සම්බන්ධතාවයක් තිබෙනා බව අපට ඒත්තු යයි. විටින් විට තරුණ යුවලගේ ආත්ම භාෂණ සිදුවේ. යළි පැමිණෙන රූපවාහිනී වැඩසටහන් අධ්‍යක්ෂවරයා ඔහුගේ ආරාධනාව යුවල විසින් ප්‍රතික්ෂේප කර ඇති බව දැනගනියි. එහිදී ඔවුන් දෙදෙනා අතර සිදුවු පෙර කතාබහට වඩා තරමක ආවේගශීලී කතා බහක් සිදුවෙයි. එම කතාබහ අවසානයේ තරුණිය රූපවාහිනී වැඩසටහන සඳහා පෙනී සිටීමට කැමැත්ත පල කරයි. යළි යුවලගේ නිවසේ අංකයකට අප ගෙන යයි. එහිදී තරුණයා හා තරුණිය නොසන්සුන්කාරී තත්ත්වයට පසුවන අතර තරුණයා විසින් නඩත්තු කරන මෘදුකාංගයේ (ඇප් එක) කාර්යභාරය කතාබහට ලක් වෙයි. ඔවුන් දෙදෙනා විසින් කතාබහට ලක් කරන සංවාද එහි පටිගත කොට ඒවා නිවැරදි ආකාරයට වින්‍යාසගත වී, ඔවුන්ට අනුව භාෂා සමීකරණ තුළින් ගොඩනගන ලද යම් ගණිතමය ක්‍රියාවලියක් තුළ ඔවුන්ගේ අනාගතය පිළිබඳ අනාවැකි කීමේ හැකියාවක් ඇති බව තරුණයා පරීක්ෂණයට ලක් කරයි. එය ඵල දරා ඇති බවත් මෙම වචන හුවමාරුව පිළිබඳ ඇප් එක තුළින් මීට පෙර ඔහු දැන සිටි බවත් ඔහු ප්‍රකාශ කරයි. අවසානයේ මෙම කෘතිම ජීවිතයෙන් ඔවුන් බැදි ගිවිසුමෙන් දෙදෙනා වෙන්වීමට අවශ්‍ය බව ඉතාම දැඩි ලෙස තරුණිය විසින් ප්‍රකාශ කරයි. තරුණයා විසින් ගොඩනගමින් සිටි සැලසුම් සහගත ලෝකය එකවරම කඩා වැටෙයි.

            නාට්‍යයේ බැලූ බැල්මට සැලකියයුතු ආකාරයේ ක්‍රියාකාරකම් සිදුවන්නේ නැත. සංවාද මට්ටමෙන් නාට්‍යයේ මුල සිට අවාසනය තෙක් නාට්‍ය ප්‍රේක්ෂකයාව රඳවාගත හැකි ආකාරයෙන් ක්‍රියාත්මක වෙයි. අතරමැදියා හි තේමාව ලෙස අපට අප ජීවත් වන සමාජයේ සුවිශේෂීයත්වය පෙන්වීමට උත්සහ කරයි. එය තාක්ෂණ ධනවාදය, අද දවසේ මාධ්‍ය, ආදරය පිළිබඳ සංවාදය, සම්ප්‍රදාය හා සංස්කෘතිය පිළිබඳ වැනි මාතෘකාවලට අවකාශයක් නිර්මාණය කර දෙයි. මේ සියල්ල එකතු කළ හැකි ප්‍රධාන තේමාවක් ලෙස අප ආදරය පිළිබඳ සංවාදය සැලකිල්ලට ගනිමු.

            මෙරට ආදරය පිළිබඳ සංවාදය බොහෝ සෙයින් ජනප්‍රිය වන්නේ චිත්‍රපටි ගීත හා ඊට සමගාමීව සමාජය තුළ පැවතුණු උද්යෝගය තුළයි. 70 හා 80 දශකවල මෙහි ප්‍රකාශමානවීම් කලාවේ පමණක් නොව අපගේ සමාජ සංස්කෘතික ජීවිත තුළ ද සුලභ ලෙස අත්දැකිය හැකි විය. අතරමැදියා හි සිටින ප්‍රධාන චරිතයක් වන රූපවාහිනී වැඩසටහන් අධ්‍යක්ෂ ශිල්පියා විසින් නියෝජනය කරන්නේ මේ ආදරය පිළිබඳ සංවාදයේ අවසානය සනිටුහන් කළ 1990 න් පසු බිහි වූ සිරස ප්‍රමුඛ කරගත් ජනප්‍රිය සංස්කෘතිය පිළිබඳ කථිකාවයි. එම කථිකාව විසින් ජෝති, මාලනී, ඇන්ජලීන්, විජේ විසින් ගොඩනගා තිබූ ආදරය පිළිබඳ හැගවුම්කාරක ඉවත් කොට සිරස විසින් ආදරය, අතිරික්තය ජනනය කරන දෙයක් බවට පත් කළේය. අතරමැදියා හි රූපවාහිනී වැඩසටහන් ශිල්පියා ඉටු කරන්නේ සිරස මගින් විවෘත කරදුන් මධ්‍ය අවකාශය තවදුරටත් ඉදිරියට ගෙන යාමයි. වැඩි දුර කියවීම සඳහා…  මෙතැනින් 

         ධනවාදී මාධ්‍ය යාන්ත්‍රණයක් තුළ ඊට පෙර පැවති ආදාරයේ ප්‍රකාශමානවීම් වූ එහි කලාත්මක, සාහිත්‍යමය හා සමාජයීය ප්‍රකාශමානවීම්වලට තවදුරටත් සමාජයීය අවකාශයක් නොලැබුණි. ඊටත් වඩා ජනප්‍රිය ලෙස වැලන්ටයින් වැනි වැඩසටහන් උත්සව මහා පරිණාමයෙන් සංවිධානය කිරීමේ බලයක් ධනවාදී යාන්ත්‍රණය සතු විය. ඒවා තාරුණ්‍ය වෙත ඉමහත් ආකර්ෂණයක් ගෙන දුන් අතර පශ්චාත් නූතන අවධියේ – සංස්කෘතිය තුළට ප්‍රාග්ධන තර්කණය  ඇතුළුවීම –  පෙනී සිටීමක් විය. අතරමැදියා තුළ අපට පෙනෙන්නේ එම විනාශ වී ගිය ආදරය පිළිබඳ හැගීමේ ඛේදය යි.

            මීට ප්‍රතිපෝෂණය දක්වන තාක්ෂණ ධනවාදයේ ප්‍රකාශනයද අතරමැදියා තුළ දක්නට ලැබේ. අද දවසේ අපට හමුවන්නේ ගිවිසුම්සහගත ආදාරය යි. ඒවායේ අහම්බයට ඉඩක් නැත. අහම්බය විසින් ඉදිකර දෙන ලෝකයක් හෝ අපගේ ලෝකය යළි යළිත් නැවුම්බවට පත් කරන රසයක් එහි නැත. තිබෙන්නේ වර්තමානයට සමාන ලෙස අප විසින් පූර්වක්ලපනය කරන ලද අනාගතයකි. ධනවාදය කිසිවිටෙක වෙනස් ආකාරයක විකල්ප අනාගතයක් බලාපොරොත්තු වන්නේ නැත. මන්ද එම විකල්ප අනාගතයට මුහුණ දීමට ඔවුන්ට විශාල ප්‍රාග්ධනයක් අහිමි කරගැනීමට හෝ ඔහුගේ සමස්ථ යාන්ත්‍රණය යළි සැකසීමට අවශ්‍ය වන නිසාය. එනිසා ධනවාදය බලාපොරොත්තු වන්නේ පවතින අතිරික්තය ජනනය කරනා ක්‍රමවේදය තව තවත් සාර්ථක ලෙස ඉදිරියට කරගෙන යාමේ යාන්ත්‍රණය ආරක්ෂා කිරීමයි. එම නිසා ඔවුන් විකල්ප අහම්බයට අවශ්‍ය පරිසරය සකස් කරන්නෙ නැත. එහිම ප්‍රතිඵලයක් ලෙස අපගේ සමාජ දෘෂ්ටිවාදයන් අප විසින් ප්‍රශ්න කිරීම හෝ ඒවා කනපිට ගැසීම යථාවක් නොවී අපට ඒවා ස්භාවිකත්වයක් ලෙස අප ඉදිරියට පමුණුවයි.

            අතරමැදියා හි ජීවත් වන යුවල සිටින්නේ විවාහ නොවී එක ම නිවසකට වී ඔවුන්ට කැමති ආකාරයේ ජීවතයක් ගතකරමින්ය. මීට දශක දෙකකට පමණ පෙර අපට මෙවැනි ආකාරයේ ජීවිතයක් යනු ඉතා ම රැඩිකල් ආකාරයේ තෝරා ගැනීමකි. නමුත් අද දවස වන විට එවැනි ජීවිතයක් යනු පවතින නග්න ස්වරූපයේ ඉහළ ප්‍රකාශමානවීමයි. එනම් ආදරය කිරීමේ හෝ තාරුණ්‍යයේ රැඩිකල් තීරණ බොහොමයක් අද දවසේ තරුණයන් හට අභිමුඛ වන්නේ අද දවසේ සාමාන්‍ය ක්‍රමය තුළ ම ඔද්දල් වූ මාදිලි ලෙස ය. ඉතා අපහසුවෙන් එවැනි තත්ත්වයක් දරා ගෙන සිටීමේ අර්බුධය මෙම ක්‍රමය විසින් ම කාංසාවක් බවට පත් කරන ආකාරය අතරමැදියා තුළ අපට දකින්නට ලැබෙයි.

            දැන් අප අතරමැදියා තුළ තිබෙන විසංවාදී එළඹුම පිළිබඳ අවධානය යොමු කරමු. අතරමැදියා හි වේදකාබව (නාටකීයබව) අපට අභිමුඛ වන්නේද? මෙය ඉංග්‍රීසියෙන් Theatricality ලෙස හැඳින්විය හැකිය. මේ සඳහා විවිධ කියවීම් පැවතියද මෙම මොහොත ප්‍රේක්ෂකයා සහ වේදිකාව අතර දක්වන සම්බන්ධතාවයේ සංකීර්ණතම හා වඩා වැදගත්ම මොහොත ලෙස හැදින්විය හැකිය. එනම් මේ මොහොත වේදිකා නාට්‍යයේ සාරය ලෙස හැඳින්විය හැකිය. උදාහරණයක් ලෙස සිංහබාහු විසින් සිංහයා මරණයට පත් කරන මොහොත, ඊඩිපස් දෑස් අඳ කරගන්නා මොහොත, නෝරා මුළු යුරෝපයට ම ඇසෙන සේ දොර වසාගෙන යන මොහොත වැනි අප මෙතෙක් දුරක් වේදිකාව සමග දක්වමින් සිට සම්බන්ධය බිඳ දමමින් අප ඉදිරියේ ඇති වේදිකාව අපගේ දැනුමේ කාලපය තුළ අර්ථකථනය කර ගත නොහැකි ලෙස අප ඉදිරියේ දිස්වෙයි. එය අපගේ අක්ෂි කේන්ද්‍රීය සම්බන්ධය ඉක්මවා යන සහ අපගේ භාෂාව තුළ තේරුම්ගත නොහැකි අපගේ අවබෝධයේ සහ පරිකල්පනය අතර අප එහෙ මෙහෙ මාරුකරවමින් අපගේ ආත්මය ක්‍රීඩා කරවන මොහොතකි. අතරමැදියා තුළ එම ගුණය අපට අහිමි වන්නේ – මෙය කිසිසේත්ම ඛේදාත්මක නාට්‍ය සමග පමණක් සම්බන්ධ වන්නේ නැත. දාරියෝ ෆෝගේ හෝ ඇරිස්ටොෆානිස්ගේ නාට්‍ය තුළද මෙම නාටකීයබව අපට අභිමුඛ වෙයි – මෙම වේදිකාබවයි. එනම් නාට්‍යයේ කථා වින්‍යාසය තුළ  පළමු විනාඩි කිහිපයෙන් පසුව – දෙවන අංකයේ සිට – අපට එහි නාටකීයත්වය. වියනොහැකිබව, වියහැකිබවක් බවට පත් කිරීමේදී මෙම නාටකීයබව හා අප අපේක්ෂා නොකරන අහම්බය, අපූර්වත්වය වේදිකාව තුළ සුමට ලෙස වින්‍යාසගත කරන්නේ නම් මෙවැනි ආකාරයේ සංවාද නාට්‍ය තුළද අපට නාටකීය බව අත්විදිය හැකිය. එනම් ඇප් එක මගින් සැලසුම් කර ඇති ආනගතය සේ ම නාට්‍යයේ කතා වින්‍යාසයද කිසිදු ආකාරයක අහම්බයකට ඉඩ නොදී ඉදිරියට ගලා යයි.  එලෙස ම අවසානයේ මෙම ගිවිසුම් සහගත ජීවිතය කෙළවරක් දැකිය හැකි බව අපට සියුම් ව ඒත්තු ගන්වයි. එම අවසානය වෙත දිශානත වන ක්‍රියාවලිය තුළ ක්‍රමයෙන් අප කුතුහලයටත්, ආතතියටත්, දෙගිඩියාවටත් පත් කරන ගුණය පවතින්නේ අඩු තීව්‍රතාවයකිනි. තවත් ආකාරයකට කියන්නේ නම් අවාසනාවන්ත ලෙස නාට්‍යයේ තේමාව ලෙස ප්‍රකාශ වන අහම්බයේ වලංගුතාවය අහෝසි වී සැලසුම්සහගත අනාගතයක් උරුම වීමේ අභාග්‍යයේ පරාවලල්ලක් ලෙස නාට්‍යයේ කථා වින්‍යාසයට අත් වී ඇත. එම වින්‍යාසගත වීම තුළ අහිමි වී ඇත්තේ එම අපූර්වත්වය සහ නාටකීයබවයි. නාට්‍යයේ ආරම්භයෙන් පසුව එවැනි මොහොතක් අපට අභිමුඛ වන්නේ නැත. වේදිකාව කලා මාධ්‍යයක් ලෙස භාවිතා කිරීමේදී එහි පැවැත්ම සොයා ගැනීම නාට්‍යකරුවාගේ භූමිකාවයි. වේදිකාවේ පැවැත්ම අපට අභිමුඛ වන්නේ මෙම නාටකීයබව නැතිනම් වේදිකාබව තුළින් ය.

         නමුත් වේදිකාව සතු විභවාත්මක හැකියාව අනාගතයේදී අපට මීට වඩා අපූර්වත්යෙන් අත්දැකිය හැකි බවට ඉඟිපලකරන සිලිදු රංවලගේ රංගනයත්, වසර ගණනක සිට වේදිකාව තුළ ම තම දහදිය වගුරවන වේදිකා ආත්මයක් ලෙස කුසල්ටත් සුබ පතමි. ආදරය පිළිබඳ සංවාදය තාරුණ්‍යය වෙත ගෙන ඒමට උත්සහ කළ අතරමැදියාට තුති!

 

රංග මනුප්‍රිය