FIshman_TwoHearts

 

පහතින් පළ වන්නේ පැට්‍රික් කොක්බර්න් ගේ (Patrick Cockburn) “The Jihadis Return : ISIS and the new Sunni uprising” නම් කෘතියේ කොටසේ සිංහල අනුවර්තනයක 9 වැනි කොටසයි.  ‘Patrick Cockburn’ නම් ටැබ් එක යොදා ගෙන මෙම ලිපි මාලාව පිළිවෙලකට කියවිය හැකිය. මාතෘකාවේ වරහන් තුළ දැක්වෙන්නේ මෙම ලිපිය සමස්ත ලිපි මාලාවේ කී වෙනි කොටසද යන්නයි. 2015 වසරේ පළවූ මෙම කෘතියේ, ඉන් පසුව සිදු වූ දේශපාලන වර්ධනයන් ඇතුලත් නොවන බව අමුතුවෙන් කිව යුතු නොවේ. අපගේ වර්තමානයට ආසන්න අතීතය ලිවීමේදී අප මුහුණ දෙන අභියෝග වන්නේ මේවාය. නමුත් අයිසිස් ව්‍යාපාරයේ නැග ඒම තේරුම් ගැනීමට මෙය දැනට තිබෙනා ඉහළම මූලාශ්‍රයක් වේ යන්න සම්බන්ධයෙන් සැකයක් නොමැත. මේ ලිපි මාලාව අවසානයේදී, මෙම කතාන්දරයේ ඉන් පසුව සිදු වූ සිදුවීම් දාමය ඇතුලත් වන ලෙස යාවත් කාලීන කිරීමට අපි බලාපොරොත්තු වෙමු.

ඉරාකයේ සුන්නි ප්‍රජාව තුළ  දළුලා වැඩෙමින් පවතින හුදකලා බව සහ  වද හිංසාව සම්බන්ධ හැගීම ඉතා  සූක්ෂම ලෙස අයිසිස් සන්විධානය විසින් සිය ප්‍රයෝජනය සදහා  යොදා ගැනීමට සමත් වූ බව සක්සුදක් සේ පැහැදිළිය. පහත් සැලකීමට පාත්‍රවී, අමනුස්සයින් ලෙස සලකනු ලදුව දැඩි ආණ්ඩුමර්දනය ලක් වූ ප්‍රජාව අතර ජනප්‍රිය මෙම සාමුහික  ව්‍යාපාරය ආයුධ සන්නද්ධ අරගලයක් බවට ක්‍රමක්‍රමයෙන් පරිවර්තනය වෙමින් තිබේ” යන්න අර්බුද පිළිබද ජාත්‍යන්තර සාමුහිකය (International Crisis Group) වාර්තා  කර සිටියි. ‘’සුන්නි නිකායට අයත් අරාබි ජාතිකයන් බොහෝ දෙනෙකු පැමිණ ඇති නිගමනය වනුයේ ඔවුන් සතුව ඇති එකම තාත්වික විකල්පය වනුයේ දෙවියන් හමුවේ පව් සමා කරගන්නා කතිකාවක් ලෙස රාමු ගත වූ ප්‍රචණ්ඩ, ආයුධ සන්නද්ධ අරගලයක් බව’’ඔවුන් තවදුරටත් ප්‍රකාශ කර සිටියි. වෙනත් වචන වලින් පවසන්නේ නම් සුන්නි ජාතිකයන්ට නොනැසී පැවතීමට මෙන්ම ඉරාකයේ බලය දිනා ගැනීමට පවා ඇති එකම සහ හොඳම විකල්පය වනුයේ ශියා  හෙජමොනියට එරෙහිව සුන්නි වරුන් ලෙස සටන් කිරීම පමණි.

2011 ට පෙරදී නම් සිය ගැටුම්කාරී ප්‍රවේශය සම්බන්ධයෙන් ගැලවී යාමට බහුතරය  ශියා ජාතිකයින්ගෙන් හෙබි ආණ්ඩුවට  හැකියාව තිබුණි. එහෙත් එම නිකායික බල තුලනය වෙනත් මානයක් ගැනීම ආරම්භ වූයේ අරාබි වසන්තයත් සමගයි.  එම නැගීසිටීමේ ප්‍රධාන තේමාව බහුතර සුන්නි ජනකායක් තුළින් පැන නැගුණු  අරගලයක ආකෘතිය ගත්තේය. එයට දායකත්වය සපයන ලද්දේ සෞදි අරාබිය, තුර්කිය සහ ගල්ෆ් හි සුන්නි රාජාණ්ඩු විසිනි. මෙම හේතුව කරණ කොට ගෙන එම ප්‍රදේශයේ සමස්ත බල අරගලය වෙනස් වීම ආරම්භ වන ලදී.

මීට  කලකට පෙර ඉරාක සුන්නි ප්‍රජාව ශියා වරුන් ප්‍රමුඛ පාලනය අප්‍රිය කළ මුත් 2003 දි ඉරාකයේ ස්ථාපිත වන ලද ශියා-කුර්දි ආධිපත්‍ය සම්බන්ධයෙන් අනුගමනය කරන ලද්දේ ඉවසිලිවන්ත, යටහත් පහත් ප්‍රතිපත්තියකි. 2006 සහ 2007 කාල වකවානුවේ හටගත් නිකාය පදනම් සිවිල් යුද්ධයේදි  බෑග්ඩෑග් හි බොහෝ ප්‍රදේශවලින් සුන්නිවරුන්ව පළවා හරින ලද්දේ ශියා-හමුදාව සහ ශියාවරුන්ගේ පාලනය යටතේ  තිබූ ආරක්ෂක ඒකක විසිනි. එවැනි ආක්‍රමණයක් නැවත සිදු වීම පිළිබදව සුන්නිවරුන් තුළ තිබුණේ නොනැසුණු බියකි.

2007 සැප්තැම්බර් මස නිකුත් වන ලද ඇමෙරිකානු තානාපති කාර්යාලීය කේබල්පණිවුඩයක් මගින් කියැවුනේ මෙවැන්නකි. ”බෑග්ඩෑග් නගරබද ප්‍රදේශයන්ගෙන් විශාල ප්‍රමාණයක මේ වන විට පැහැදිළි ශියා බහුතරයක් ඇත. සුන්නි ජාතියකන් බොහෝ ප්‍රමාණයක් එක්කෝ ප්‍රධාන නගරයෙන් බැහැරව ජීවත් වන අතර නැතිනම් ශියාවරුන්ගෙන් ගහන නගරයේ කුඩා පෙදෙස්වලට සීමා වී ඇත”. අදවන විටත් මෙම කරුණ සැලකිය යුතු මට්ටමෙන් සත්‍යකි.

ඉරාක බල ආකෘතියේ සිදුවෙමින් පවතින අතිශය ගතික විපර්යාසයන් සම්බන්ධයෙන් ශියා ප්‍රජාව දැක්වූයේ බිය කේන්ද්‍ර කොට ගත්  ප්‍රතිචාරයන්ය. මෙය වඩාත් පැහැදිළිව පෙනෙන්නට වූයේ 2014 ජූනි මස සිදුවීම් හටගැනීමත් සමගය. අගනුවර වෙසෙන එක් නිරීක්ෂකයෙකු ප්‍රකාෂ  කර සිටි අන්දමට ”මේ සිදුවන සියල්ල ඉරාක ශියා ජාතිකයන් තේරුම් ගන්නේ රාජ්‍ය මර්දනය හමුවේ පීඩාවට පත් සුන්නිවරුන් සාධාරණ ලෙස ආණ්ඩුවට එරෙහිව ප්‍රතිචාර දැක්වීමක්  ලෙස නොවේ. ශියාවරුන්ගේ දෘෂ්ටිකෝණයෙන් බැලූ කල මෙම සිදුවීම් වනාහි පැරණි සුන්නි ආධිපත්‍ය සහිත ආණ්ඩුවක් යළි පිහිටුවීමට ගන්නා ප්‍රයත්නයකි”. ලේ ගැලීම් වලින් යුක්ත වු  අතිශය බිහිසුණු   පූර්ණ පරිමාණ නිකායික ඝට්ටනයක් මගනොහැරිය හැකි මට්ටමකට ශියා සහ සුන්නි යන දෙපාර්ශවය අතර භේද  උත්සන්න වී තිබුණි.

2014 වර්ෂයේ වසන්තයේදි තරුණ ශියා ජාතිකයින් හමුදාවට බැදීමේ ‘රැල්ල’ වර්ධනය වූයේ ප්‍රජාවගේ ගෞරවාදරයට පාත්‍ර වූ ශියා පූජකවරයෙකු වූ අයතුල්ලා අලී අල්-සිස්තාන් (Grand Ayatollah Ali al-Sistani) විසින් හමුදාවට බැදෙන ලෙසට ජනතාවගෙන් ඉල්ලා සිටීමත් සමගයි. ”විදීය රත් වෙමින් පවතී” යැයි එක් නිරීක්ෂකයකු පවසා සිටියේය. කෙබාලා (Kerbala) නුවර සිට ස්වෙච්ඡාවෙන් ඉදිරිපත්  වූ පුද්ගලයින් දාහක් පමණ, බහුතරය සුන්නිවරුන් වූ සමාරා නගරයට පිටත්ව ගියෝය. මෙම නගරයේ වැදගත්කම වූයේ ශියා වරුන්ගේ පූජනීය සිද්ධස්ථානයක් වූ අල්-අස්කාරී පල්ලිය පිහිටි භූමිය එය වීමයි.

ඇමෙරිකාව සහ රුසියාව අතර නිවී නොනිවී  ඉදිරියට යන උණුසුම් සහ සීත යුද්ධය මගින් සිදු වූයේ මෙම ආගමික කණඩායම් අතර භේදය තවදුරටත් තීව‍්‍ර කිරීමය. ඇමෙරිකාව විසින් අනුග්‍රහය සපයන සෞදි අරාබිය සහ ගල්ෆ් රාජ්‍යන් සහ රුසියානු අනුග්‍රහය සහිත ඉරානය, සිරියාව, සහ ලෙබනනයේ හෙස්බුල්ලා අතර තිබුණේ නියෝජිතයන් ගේ තරගයකි. ශියාවරුන් විසින් මෙහෙයවන ලද ඉරාක රාජ්‍යයේ සහයෝගය ඇති ඉරාන ජනපති වූ හසන් රුහානි සුන්නි අරගලය අභිමුඛයේ මලිකි හට සිය සහයෝගය සපත කර සිටියේය. ඔහු ප්‍රකාෂ කළේ ”ත්‍රස්තවාදය පරාජය කිරීම  සදහා ජාත්‍යන්තර මෙන්ම ප්‍රාදේශීය මට්ටමින් ඉරානය ප්‍රයතන දරන” බවයි. ඉරානය  හා පොදු දීර්ඝ දේශසීමාවක් බෙදා ගන්නා ඉරාකයට සිරියාවටත් වඩා වැදගත් ආධාරකරුවා වනුයේ ඉරානයයි. ඉරාකයේ හමුදාව හදිසියේ බිද වැටීම ඉරාන ජාතිකයන්  භීතියට පත් කිරීමට සමත්  විය.  මෙයට ප්‍රධාන වශයෙන් බලපෑවේ ඉරානය විසින්  ජනපති අසාඩ්ගේ පාලනය ස්ථාවර කිරීමට තැත් කරමින් සිටි සිරියාව තුළ ගැටළු හට ගැනීමයි. 2014 වර්ෂ්යේදි  ඉරාකය තුළ අයිසිස් පාලනය  වර්ධනය වීමත් සමග ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ උපදේශක කණ්ඩායමක් විසින් ජාතික හමුදාවෙ සහ අනෙක් භට කණ්ඩායම් වල සාමාජිකයන්ගෙන් සමන්විත  නව යුධමය පෙරමුණක් නිර්මාණය කරමින් සිටින බවට විශවාස කරන ලදී.

……………………………..

සෞදි අරාබිය විසින් වැළදගෙන ඇති ඉස්ලාම් ආගමේ තවත් ප්‍රභේදයක් වන වහාබ්වාදයේ අදිසි හස්තය සිය දේශයේ ප්‍රශ්න බොහෝමයක් පිටුපස ඇති බවට ඉරාකය විසින් සැක කරන ලද්දේ බොහෝ කලක සිටය. 2014 මාර්තු මස ප්‍රංශ මාධ්‍ය ජාලයක් වන ” France 24 ” සමග කරන ලද සම්මුඛ සාකච්ඡාවකදි අග්‍රාමාත්‍ය මලිකි විසින් ඉරාකය තුළ සුන්නි ප්‍රචණ්ඩත්වයේ වර්ධනය සම්බන්ධයෙන් සෞදි අරාබිය සහ කටාර් රාජ්‍යයට චෝදනා කර සිටියේය. ඔහු පැවසූ අන්දමට ”ඉරාකයේ නිකායික, ත්‍රස්තවාදී සහ ආරක්ෂක අර්බුදයට මූලිකවම වගකිවයුත්තේ මෙම රටවල් දෙකයි”. අග්‍රාමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ කර සිටියේ ඔහු සුන්නි ප්‍රාජාව කොන් කරන බවට ඇති චෝදනා ප්‍රචාරය කරන ලද්දේ ”සෞදි සහ කටාර් රාජ්‍යන්ගේ උල්පන්දම් ලද, විදෙස් සැලසුම් වලට සම්බන්ධ  නිකායවාදීන්’’ විසින් බවයි. ඔහු විසින් කරන ලද චෝදනාවන් ඍජු සහ අතිශය කෝපාන්විත ඒවා විය. රියාද් සහ දෝහා විසින් ”ත්‍රස්තවාදී සන්විධානයන්ට වාසි වන අන්දමට ආයුධ මිලදී ගැනීම” ඇතුළුව විවිධාකාරයේ උපකාර  සටන්කරුවන්ට ලබා දෙන බවට ඔහු දෝෂාරෝපණය කර  සිටියේය.

මලිකි විසින් ගෙන හැර පාන ලද බොහෝමයක් චෝදනාවල සත්‍යක් නැතුවාම නොවේ. සිරියාවේ ආයුධ සන්නද්ධ විරුද්ධ පක්ෂයට ලැබිය යුතු ගල්ෆ් රාජ්‍යන්ගෙන් ලැබෙන ආධාර වලින් කොටසක් සැකයකින් තොරවම ඉරාකයේ ජිහාඩ් සටන්කරුවන්ට ලැබේ. තුර්කිය විසින් ආයුධ මෙන්ම බහුතරය මරාගෙන මැරෙන බෝම්බකරුවන් වන ජිහාඩ් ස්වේච්ඡා බට පිරිස් හට සැතපුම් 510 ක දිගින් යුත් සිය දේශසීමාව තරණය කොට සිරියාවට ඇතුළු වීමට  ඉඩ ලබා දේ. තත්වය එසේ තිබියදී ගිනි අවි, සටන්කරුවන් මෙන්ම බෝම්බකරුවන් ඉරාකයටද යාම වැළැක්විය නොහැක. අයිසිස් කටයුතු කරන්නේ මෙම රටවල් දෙකම එකක් සේ සලකමින් යන කරුණ හමුවේ මෙසේ සිදුවීම ඇදහිය නොහැක්කක් නොවේ.

ගතවුණු වසර දෙක තුළ ප්‍රචණ්ඩත්වය අතිශය තීව‍්‍ර වී ඇත. ඉරාක සංඛ්‍යා ලේඛන අනුව 2013 වසරේදි 10000ක් පමණ ඉරාක සිවිල් වැසියන් ජීවිතක්ෂ්‍යට පත්ව ඇති අතර, 2014 මුල් මාස පහක කාලය තුළ පමණක් වැසියන් 5000 ක් පමණ මිය ගොස් ඇත. යුධ අධ්‍යන පිළිබද ආයතනයේ ජෙසිකා ඩී ලුවිස් විසින් ගෙන හැර දක්වන ලද ජ්‍යෙෂ්ඨ ඇමරිකානු නිලධාරියකු 2013 වසරේ අගෝස්තු මස කරන ලද ප්‍රකාෂයක් මෙසේය. ”අප මසකට මරාගෙන මැරෙන බෝම්බ කරුවන් පහත් දහයත් අතර සාමාන්‍යක් දැක ඇත.  ගතවූ දින 90 පමණ කාලය තුළ මෙම සාමාන්‍ය අගය 30 දක්වා වර්ධනය වීමක් අපට දැක ගත හැකි විය. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් පැමිණෙන්නේ සිරියාවේ සිට බව තවමත් අප තුළ සැකයක් තිබේ”.

අමෙරිකාවේ සහ අනෙකුත් බටහිර බලවතුන්ගේ දෘෂ්ටිය අඩපණ කරන්නා වූ සාධකය වනුයේ සිරියාව තුළ ආයුධ සන්නද්ධ අරගලයට ආධාර කිරීම හරහා ඉරාකය නොවැළක්විය හැකි ලෙස අස්ථාවර වන බව දැකීමට ඇති නොහැකියාවයි. එසේ කිරීම හරහා රට අස්ථායි වනවා පමණක් නොව නිකායවාදී සිවිල් යුද්ධයක් නැවත හට ගැනීමට ඉඩ සලසන බව ඔවුන් දකින්නේ නැත. 2010 වසරේදි ඉරාකයේ අල්-ඛයිඩාව (එම කාල වකවානුවේදි ඔවුන්ව හදුන්වන ලද්දේ එලෙසය) පිරිහීමට ලක්ව,  අතිශය පහළ අඩියක සිටියේය. ඇමෙරිකාව ඔවුන්ව නොනවත්වා ලුහුබදිමින් සිටියේය. අල්-ඛයිඩා විරෝධි සටන්කරුවන්ගෙන් යුත් ‘පිබිදෙමින් සිටි” කණ්ඩායම් නොහොත් ‘සහ්වා”හි පහරදීම් වලට හසුව සිටියේය.මෙම කණ්ඩායම්  බොහෝමයක් සැදුම් ගත්තේ සුන්නි ප්‍රජාවගෙන් වීම විශේෂත්වයකි. එක්කො සිරගත වීම නිසා හෝ ඝාතනය වීම හේතු කොට ගෙන පළපුරුදු සටන්කරුවන් බොහෝමයක් ඒ වන විට  ඔවුන්ට අහිමි වී තිබුණි. ජීවතුන් අතර සිටියවුන් සතුව  තිබූ ලේ පිපාසාව හේතු කොට ගෙන සුන්නි ජාතිකයන් වීමට ඉඩ ඇති රාජ්‍ය සේවයේ නියුතු කනිෂ්ඨ සේවකයින් පවා ඝාතනය කිරීම නිසා සමස්ත සුන්නි ප්‍රජාවේ අප්‍රසාදයට පාත්‍රව සිටියෝය. මේ සියල්ලටම වඩා ශියා-කුර්දි පාලනය පෙරළා දැමීමට ඔවුන් අපොහොසත්ව සිටියෝය.  නැවත යුද්ධයකට පිවිසීමකින් තොරව යම් ආකාරයට සහනයක් ආණ්ඩුවෙන් ලැබ ගත හැකි වේ යන්න බොහෝ සුන්නිවරුන්ගේ අපේක්ෂාව විය. එහෙත් එම බලාපොරොත්තුව පැවතුනේ  2012 වන තෙක් පමණි.

පැට්‍රික් කොක්බර්න්

අනුවර්තනය: ශලිනි සමරනායක