s-l640

අප සාමාන්‍යයෙන් සිතන්නේ මිත්‍රත්වය යනු මේ මොහොතේ , වර්තමානයේ තිබෙනා දෙයක් කියාය. ‘මිත්‍රත්වයේ දේශපාලනය’ පිළිබඳව සිය ජනප්‍රිය සංවාදය තුළ ඩෙරීඩා අතින් අභියෝගයට ලක් වන්නේ මෙයයි. සත්‍ය වශයෙන්ම ගත්විට මිත්‍රත්වය යනු කුමක්ද? ඇරිස්ටෝටල් අනුව යමින් මෙහි මූලික ආකෘති තුනක් හඳුනා ගමු. එකක් වන්නේ ප්‍රයෝජ්‍යතා මත ඇති වන මිත්‍රත්වයන් ය. මේවා මිත්‍රත්වයන් නොවේ කියා කිව නොහැකි වුවත් මේවා මිත්‍රත්වය සඳහා තිබෙනා හොඳම ආකෘතිය විය නොහැකිය. දෙවැන්න වන්නේ සතුට – ප්‍රහර්ෂය – වෙනුවෙන් එකතු වන මිත්‍රත්වයන් ය (උදා: මධු පානය වෙනුවෙන් එකතු වෙන මිතුරන්). මෙයද අපට මිත්‍රත්වය සඳහා තිබෙනා සංකීර්ණම මානය කියා කිව නොහැකිය. ඇරිස්ටෝටල් ට අනුව මෙහි සංකීර්ණම ආකෘතිය වන්නේ සද්ගුණයක් (virtue) වෙනුවෙන් එකතු වෙන මිත්‍රත්වයයි. එවැන්නක දී මිතුරන් ඇසුරු කරන්නේ එකිනෙකාගෙන් එකිනෙකාට ප්‍රයෝජන තිබෙනා නිසා පමණක් හෝ එකිනෙකා සමග අන්‍යෝන්‍ය ලෙස විනෝද වීමට කැමති නිසා නොව එයට වඩා ගැඹුරු සත්‍යයක් වෙනුවෙනි. මෙය අප තේරුම් කරන්නේ කෙසේද?

අපට සාමාන්‍යයෙන් මිතුරුකම් ඇති වන්නේ ඇයි? නොදන්නා හේතුවක් නිසා අප යම් යම් අය ඇසුරු කරන්නට කැමති වෙයි. පහසුව සඳහා මේ කැමැත්ත ඇති වන්නේ අප නොදන්නා – ‘අවිඥානික’ – හේතුවක් නිසා වන බව අපි උපකල්පනය කරමු. නමුත් ගැටලුව වන්නේ මේ ‘හේතුව’ නිසා අප සිදු කරන්නේ කුමක්ද යන්නයි. මිත්‍රත්වය ඇති වීම සඳහා අප සූදානම් වනවා යනු කුමක්ද? අප කරන්නේ අනෙකා ගේ ආමන්ත්‍රණය ට ප්‍රතිචාර දැක්වීමයි. අනෙකා වෙනුවෙන් මාගේ පැවැත්ම සකස් කර ගැනීමයි. ‘මම’ යන්න නිර්මාණය වන්නේ ම මේ වෙනුවෙනි. ‘මම කවුද’ කියා අප අසන්නේ ම අප නොදන්නා මේ අනේකත්වය වෙනුවෙනි – එනිසාම මෙය ප්‍රායෝගික ලෝකයේ මුණ ගැසෙනා අනුභූතික අනෙකා ඉක්මවූ අනේකත්වයකි. එනිසාම මෙය කිසිදා වර්තමානය ලෙස මුණ නොගැසෙන්නකි. සෑම විටම අපට අහිමි වී ඇති, අපේ අහිමි වීම වෙනුවෙන් දුක් වෙන්නා වූ අනේකත්වයකි.

අනෙක් අතට අප මෙලෙස ප්‍රතිචාර දක්වන්නේ නිකන්ම නොවේ. අප බලාපොරොත්තු වන දෙයක් තිබේ. නමුත් මිත්‍රත්වයේ දී අප බලාපොරොත්තු වන්නේ නිශ්චිත දෙයක් නොවේ. මිත්‍රත්වය නිසා අප යම් යම් දේ – උපකාර – බලාපොරොත්තු විය හැකිය. නමුත් මිත්‍රත්වය යනු මේ ආකාරයේ උපකාරයක් නොවේ. එය සෑම විටම අනෙකාගෙන් මා වෙත පැමිණිය යුතු වුවත් තවමත් පැමිණ නැති පරිපූර්ණත්වයක් ලෙස ඉතිරි වන්නකි. එනිසාම එය කාලික අර්ථයෙන් අයත් වන්නේ අනාගතයටයි.

සෑම විටම ඒ වනවිටත් අහිමි වූ සහ සෑම විටම තවමත් පැමිණ නැති මිත්‍රත්වය නියෝජනය කරන්නේ කිසිදා පියවිය නොහැකි මේ මහා ආගාධයයි, අපරිමිත පරතරයයි. ඒ අපේ මිනිස් පරිමිතත්වය වෙනුවෙන් අප ගෙවිය යුතු වන්දියයි. එනිසාම, අනෙක් අතට, එමගින් අපට මිත්‍රත්වය නම් සද්ගුණය ලබා දෙයි. මිත්‍රත්වය සහ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව එක්තරා අදහසක් අතර සමපාත වීමක් අපට සිතිය හැක්කේ මෙම නිසාය. ප්‍රජාතන්ත්‍රවාදය මගින් අපට පොරොන්දු වන්නේ අපගේ වර්තමානය නැවත පරීක්ෂා කර බැලීමට, ප්‍රශ්න කිරීමෙන් තොරව බාරගත් සම්බන්ධතා වල බල ව්‍යුහය අධ්‍යයනය කිරීමට අවස්ථාවකි. නමුත් එය සෑම විටම පොරොන්දුවක් ලෙස, අනාගතයෙන් පැමිණීමට නියමිත දෙයක් ලෙස ඉතිරි වෙයි. ප්‍රජාතන්ත්‍රවාදය යනු සාදා නිම කරන ‘පාලන ක්‍රමයක්’ නොවේ. එනිසාම එය අපේ පරිමිත ලෝකය සම්බන්ධ පරීක්ෂාවකි. මිත්‍රත්වයේ ආකෘතියෙන් පමණක් අත්දැකිය හැකි පරිපූර්ණත්වයකි.

අපට අවශ්‍ය වන්නේ පරිපූර්ණ පියෙක් හෝ රජකම උරුම පුතෙක් හෝ නොව මිතුරන් ගේ සන්ධානයකි.

“O my friends, there is no friend”