72140981_733563623738397_557717429124333568_n

සුමිත් චාමින්ද ගේ ‘අන්තෝනියෝ ග්‍රාම්ස්චි – ජීවිතය, චින්තනය, දේශපාලනය’ කෘතිය මෑත කාලීන සිංහල භාෂා සාහිත්‍යය තුළ කේන්ද්‍රීය ලෙස වැදගත් දේශපාලනික-න්‍යායික ග්‍රන්ථයක් බවට විවාදයක් තිබිය නොහැකිය. මූලික කොටස් දෙකකින් යුතු මෙම කෘතියේ පළමුවෙන් තිබෙන්නේ 1971 වසරේ ග්‍රාම්ස්චි ගේ සිරගෙයි සටහන් අතරින් තෝරා ගත් රචනා එකතුවක් පළ වීමේ දී එම කෘතියේ සංස්කාරකවරුන් සහ පරිවර්තකවරුන් විසින් සකස් කරන ලද හැඳින්වීමේ රචනයයි. අන්තෝනියෝ ග්‍රාම්ස්චි ගේ කෙටි වුවත් සිදුවීම් වලින් ගහන, විස්මිත, වීරත්වයෙන් පිරි, ශෝචනීය ජීවිතය පිළිබඳව මෙන්ම විසිවෙනි සියවසේ ආරම්භයේ ගෝලීය කොමියුනිස්ට් ව්‍යාපාරයේ පසුබිම පිළිබඳවත් මෙමගින් කරුණු අධ්‍යනය කළ හැකිය.

සුමිත් විසින් රචනා කරන ලද දෙවැනි කොටසේ තිබෙන්නේ ග්‍රාම්ස්චි ගේ චින්තනයේ මූලික සංකල්ප ලෙස හඳුනා ගත හැකි අදහස් පිළිබඳව හැඳින්වීමකි. හෙජමොනිය නම් සුප්‍රකට සංකල්පයේ සිට ඇමරිකානු දේශපාලනයේ නැග ඒම පිළිබඳව ග්‍රාම්ස්චි ගේ පුරෝකථනය පිළිබඳව අදහස් දක්වා පුළුල් පරාසයක ග්‍රාම්ස්චියානු සංකල්ප මෙහි දී සාකච්ඡාවට බඳුන් වෙයි. එක්තරා අර්ථයකින් මෙහි ද්විත්ව ක්‍රියාකාරිත්වයක් තිබෙනවා කියා කිව හැකිය. එක් අතකින් මෙය සම්භාව්‍ය මාක්ස්වාදයේ හුරුපුරුදු සාරාංශය වෙනුවට වෙනත් වූ මාක්ස්වාදී ප්‍රවේශයක් පිළිබඳව සිංහලෙන් ලියවුනු වඩාත් පැහැදිළි සහ විස්තරාත්මක ලියවිල්ල ලෙස ගත හැකිය. සිංහල භාෂා සංවාදය තුළ මාක්ස්වාදයේ ක්ෂමාලාපකයන් මෙන්ම එහි විවේචකයන් ද අවධානය යොමු කර තිබෙන්නේ ඉතාම සීමාසහිත සහ ඉතාම ගැටලුසහගත මාක්ස්වාදයක් වෙත බව මෙම ලියවිල්ල අපට ප්‍රත්‍යක්ෂ ලෙස පෙන්වා දෙයි. කලකට පෙර ජනප්‍රිය වූ යෙදුමක් සිහිපත් කරන්නේනම්, සුමිත් විසින් අපට ‘රුසියානු නොවන මාක්ස්මය විද්‍යාවක’ මූලික සැකැස්ම කුමක් ද කියා පෙන්වා දී තිබේ. මාක්ස්වාදය පිළිබඳව අනාගතයේ සිදුවන ඕනෑම සංවාදයකට මෙම මැදිහත්වීම සලකා බැලීම අනිවාර්ය වනු ඇත.

නමුත්, අනෙක් අතට, මාක්ස්වාදය ගැන මෙම පැරණි පරම්පරාවේ විවාද වලට සම්බන්ධ නැති නව පරම්පරාවට දේශපාලනය ගැන සිතීම සඳහා ඉතාම යහපත් මග පෙන්වීමක් ලෙස මෙය හඳුනා ගත හැකිය. ආධිපත්‍යධාරී සමාජ ක්‍රමයක් අඛණ්ඩව පවත්වා ගෙන යා හැකි වන්නේ කෙසේද? රාජ්‍යය යනු කුමක්ද? සමාජයේ බහුතරයේ කැමැත්ත පවත්නා පාලන ක්‍රමය වෙත හිමි වන්නේ කෙසේද? සුමිත් විසින් පැහැදිළි කර දෙන්නේ මේවා ය. විශේෂයෙන් සමාජ පරිවර්තනයක් සඳහා අවශ්‍ය මතවාදී අරගලය සහ එය තේරුම් කිරීම සඳහා අවශ්‍ය සංකල්පීය පදනම කුමක්ද කියා මෙහිදී සරල ලෙස, නමුත් සරලමතික නොවන ලෙස, පැහැදිළි කර තිබේ.

විකල්ප දාර්ශනික සංවාදයක් සිංහල භාෂාවෙන් ස්ථාපිත කිරීම සඳහා මහන්සි වන පිරිසකගේ සාමාජිකයෙක් ලෙස මෙම විශ්ලේෂණය මට බෙහෙවින් ප්‍රයෝජනවත් වෙයි. සත්‍ය වශයෙන්ම, ලස්සන ඓතිහාසික අහම්බයක් ලෙස, සුමිත් ගේ පොත සමගම එළි දැක්වූ මාගේ මෙයසූ පරිවර්තනය සඳහා මෙය අත්‍යවශ්‍ය අතිරේක කියවීමක් කියා මට සිතෙයි. මේ ව්‍යාපෘති දෙක එකතු කිරීම සඳහා අප කළ යුතු වන්නේ පුංචි අතරමැදි පියවරක් තැබීමයි. ග්‍රාම්ස්චි ගේ දාර්ශනික පර්යාවලෝකය සකස් වූ සම්භාව්‍ය ජර්මන් දර්ශනය තවදුරටත් අපට එලෙසින්ම පිළිගත හැකි වනවා කියා මම නොසිතමි. විශේෂයෙන් ග්‍රාම්ස්චි ට කිසිදා කියවන්නට නොලැබුණු හෛඩගරියානු-ඩෙරීඩියානු විවේචනය හමුවේ හේගලියානු පාරභෞතික විද්‍යාව වෙත ඒ ආකාරයෙන්ම යාමට අපට තවදුරටත් ඉඩ ලැබෙන්නේ නැත. එනිසාම මානව විමුක්තිය කේන්ද්‍රගත වූ ප්‍රතිහෙජමොනික ව්‍යාපෘතියක් සඳහා අපට නව දාර්ශනික පදනමක් නිර්මාණය කිරීමේ නව අභියෝගයකට මුහුණ දී තිබේ.

ලාංකික සන්දර්භය තුළ වාර්ගික-ආගමික දේශපාලනය විසින් සමාජයට ලබා දෙන සදාචාරමය සහ බුද්ධිමය නායකත්වය පසුපස මෙවැනි විමුක්තිවාදයක් ඇති බව පැහැදිළි වේ. ඒ තමයි බුදුන් ගේ ධර්මය මගින් යෝජිත විමුක්තිය පිළිබඳව කතිකාව සහ එය ආරක්ෂා කරනා සිංහල බෞද්ධ රාජ්‍යය. සුමිත් යෝජනා කරනා ලෙසම මෙම ‘පොදුජන අවබෝධය අභ්‍යන්තරිකව බිඳ දැමීමේ දාර්ශනික ව්‍යාපෘතියක් අවශ්‍ය’ වෙයි. මේ සඳහා ග්‍රාම්ස්චි වෙත උරුම වූ විමුක්තිවාදය වෙනුවට නව විමුක්තිවාදයක් අද දවසේ ඉල්ලා සිටියි. ඒ ග්‍රාම්ස්චි ඉක්මවා යාම වෙනුවෙන් නොව ඔහු අපට ව්‍යක්ත ලෙස පෙන්වා දුන් මතවාදී අරගලයේ දේශපාලනය යළි භාවිතයට ගැනීමටයි. මගේ තර්කය වන්නේ කොන්ටෙන් මෙයසූ විසින් අපට ලබා දෙන්නේ මෙය බවයි.

නමුත් මෙයසූ ගේ දර්ශනය අප පරිවර්තනීය දේශපාලනික අරගලයක කොටසක් කර ගන්නේ කෙසේද? මේ සඳහා අප මතවාදී දේශපාලනය, එමගින් ඓතිහාසික හවුල් ගොඩ නැගෙන ආකාරය, රාජ්‍යය ව්‍යුහගත වන ආකාරය ආදිය මෙන්ම ඒවාට එරෙහිව සටන් කිරීමේ ආකෘති – ‘ස්ථානික යුද්ධය’ – ආදිය පිළිබඳව බැරෑරුම් ලෙස සිතා බැලිය යුතුය. සුමිත් චාමින්ද ගේ මෙම අපූරු පොත මගින් අපට නිශ්චිත වශයෙන් ලබා දෙන්නේ මෙයයි. අප යා යුතු මාවත ආලෝකමත් කරන විදුළි පහනක් ඔහු විසින් දල්වා තිබේ.

 

වංගීස සුමනසේකර