Diedrick Brackens

පහතින් පළ වන්නේ පැට්‍රික් කොක්බර්න් ගේ (Patrick Cockburn) “The Jihadis Return : ISIS and the new Sunni uprising” නම් කෘතියේ කොටසේ සිංහල අනුවර්තනයක 9 වැනි කොටසයි.  ‘Patrick Cockburn’ නම් ටැබ් එක යොදා ගෙන මෙම ලිපි මාලාව පිළිවෙලකට කියවිය හැකිය. මාතෘකාවේ වරහන් තුළ දැක්වෙන්නේ මෙම ලිපිය සමස්ත ලිපි මාලාවේ කී වෙනි කොටසද යන්නයි.

 

විවිධ වැඩ කටයුතු නිසා මෙම ලිපි මාලාව අකණ්ඩව පළ කිරීමට නොහැකි වුවත් ජනාධිපතිවරණයක් මුව දොරේ සිට ඉස්ලාම් අන්තවාදය ගැන නිරවුල් තොරතුරු වාර්තාවක් සටහන් කිරීම ප්‍රයෝජනවත් විය හැකිය. ඉදිරි කාලයේදී ‘ආරාක්ශාව තහවුරු කිරීමේ’ සිට ‘ඇමරිකානු අධිරාජ්‍යවාදය’ දක්වා අසන්නට නියමිත ආඛ්‍යාන සමග මෙම තොරතුරු අවශ්‍ය අයෙකුට සන්සන්ධනය කර බැලිය හැකිය.

 

2015 වසරේ පළවූ මෙම කෘතියේ, ඉන් පසුව සිදු වූ දේශපාලන වර්ධනයන් ඇතුලත් නොවන බව අමුතුවෙන් කිව යුතු නොවේ. අපගේ වර්තමානයට ආසන්න අතීතය ලිවීමේදී අප මුහුණ දෙන අභියෝග වන්නේ මේවාය. නමුත් අයිසිස් ව්‍යාපාරයේ නැග ඒම තේරුම් ගැනීමට මෙය දැනට තිබෙනා ඉහළම මූලාශ්‍රයක් වේ යන්න සම්බන්ධයෙන් සැකයක් නොමැත. මේ ලිපි මාලාව අවසානයේදී, මෙම කතාන්දරයේ ඉන් පසුව සිදු වූ සිදුවීම් දාමය ඇතුලත් වන ලෙස යාවත් කාලීන කිරීමට අපි බලාපොරොත්තු වෙමු.

 

***

 

ඉරාකය තුළ ජිහාඩ්වරුන්ගේ අපූර්ව පුනරාගමනය සිදුවූයේ ඉතා හොදින් සැලසුම් කළ මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙසය. එහි ප්‍රධාන අංගයක් වූයේ බන්ධනාගාර වලට එල්ල කරන ලද ක්‍රමානුකූල පහරදීම්ය. මෙය හදුන්වන ලද්දේ ”බැමි බිඳහෙලීමේ” (Breaking the Walls) ක්‍රියාන්විතය ලෙස වන අතර එය සමන්විත වූයේ සිරකරුවන් නිදහස් කිරීම සදහා දියත් කරන ලද ප්‍රහාර මාලා අටකින්ය. මෙම ප්‍රහාරයන්හි උච්ඡතම අවස්ථාව වූයේ  2013 වසන්තයේදී අබූ ග්‍රයිබ්  හා ටාජි (Abu Ghraib and Taji) නම් වූ බන්ධනාගාර සාර්ථක ලෙස වැටලීමයි. එම ප්‍රහාරයන් හේතුවෙන්  සිරකරුවන් පන්සියයක් පමණ පලා ගිය අතර මින් බොහෝ දෙනෙක් අත්දැකීම් බහුල සටන්කරුවන් වීමද විශේෂත්වකි. ප්‍රහාරකරුවන් මෝටාර් බෝම්බ සියයක් පමණ බන්ධනාගාරයට එල්ල කළ අතර සිර කුටි තුළ කෝලාහල කරමින් ආරක්ෂක භටයන් ව්‍යාකූල කළ සිරකරුවන්ට  පලා යාමට මග එළි පෙහෙළි කළේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් විසිනි.

 

2013 වර්ෂයේදි ඉරාකය පුරාවටම අයිසිස් වරුන් විසින් ආරක්ෂක අංශ  වෙත එල්ල කරන ලද ප්‍රහාර  උත්සන්න වන්නට විය. රාජ්‍ය ආරක්ෂක සේවා විසින් අප්‍රේල් 23 වන දින කිර්කුක් ප්‍රදේශයේ නිරිත දිගින් පිහිටි හවීජාහි (Hawijah) සාම කඳවුරකට ප්‍රහාරයක් එල්ල කරන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස පනස් දෙනෙකු මියගොස් එකසිය දහදෙනෙකු පමණ තුවාල ලැබුවා පමණක් නොව ප්‍රධාන ගෝත්‍රද ඇතුළුව සුන්නිවරුන් බොහෝ දෙනෙක් ව විතැන් කොට ඉවත දමන ලදී. රජය විසින්  නිසිලෙස සැලසුම් නොකර එල්ල කරන ලද ප්‍රති ප්‍රහාර මගින් බොහෝ විට සිදුකරන ලද්දේ හමුදාවට සම්බන්ධ විය හැකි වයසේ සිටි සුන්නි පිරිමින් අනවශ්‍ය ලෙස රඳවා තබා ගැනීමත්, ඔවුන්ට අඩන්තේට්ටම් කිරීමත්ය. මෙම ප්‍රහාර  හා ක්‍රියාකාරකම්  අපේක්ෂිත ප්‍රතිඵලයට සම්පූර්ණයෙන්ම විරුද්ධ  ප්‍රතිඵලයක් ලබා දෙන ලදී.  අන්බාර් හි ක්‍රියාන්විතයේ යෙදී සිටි ආරක්ෂක සේවා විසින් ෆලූජාහ් සහ රමාඩි නගරයන්හි සිදු කළ වෙඩි තැබීම් හා පුපුරුවා හැරීම් හේතුවෙන් එම ප්‍රාන්තයෙහි සමස්තය මිලියන 1.6ක් වූ ජනගහණයෙන් ලක්ෂ පහක් පමණ වූ පිරිසකට පලා යාමට සිදු විය. සිය  නිවෙස් හැර ගිය ඔවුන්ට ගත කරන්නට සිදු වූයේ දුෂ්කර ජීවිතයකි. විශාල සාමාජිකයන් ප්‍රමාණයක් සිටි පවුල් වලට බොහෝ විට සිදු වූයේ එක කාමරයක් තුළ සිරවී දිවි ගෙවීමටයි.

යුප්‍රටීස් නදියේ ඉහළ ඉවුරේ පිහිටි පෙදෙස් වලට ආහාර හිග වූ අතර බොහෝ  මිල  අධික වන්නටද විය. පාසැල් බොහෝමයක් වසා දැමුණි. පෙර අවස්ථාවන් වලදී  මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනුගමනය කළ අන්බාර් නගරයේ ප්‍රධානම සුන්නි ආගමික නායකායා වූ අබ්දුල් මලාක්  අල්-සාදී ( Abdul Malak al-Saadi) 2014 අප්‍රේල් පාර්ලිමේන්තු මැතිවරණය නීත්‍යානුකූල  නොවන බවට සපත කොට කියා සිටියේය.

2014 වර්ෂයේ ජූනි මස ප්‍රධාන ප්‍රහාරය සිදුවීමට පෙර මාස කිහිපය තුළ අයිසිස් සතුව සුන්නි ප්‍රදේශයන් තුළ තිබූ පාලනය සම්බන්ධයෙන් කිසිවකුට නිශ්චිත යමක් කිව නොහැකි විය. විටෙක ඔවුන් සිය බලසම්පන්න බව ප්‍රදර්ශනය කිරීමට තීරණය කළ අතර සමහර අවස්ථා වලදී එසේ නොකිරීමට වග බලා ගත්තෝය.

මොසුල් නගරය  ආක්‍රමණය කිරීමත්, එම වැටලීම ඉතා සුමට ලෙස සිදු වීමද හේතුවෙන් එම ආක්‍රමණය ජිහාඩ්වරුන්ට අතිශය සංකේතාත්මක ජයග්‍රහණයක් විය. එමගින් ඔවුන්ගේ සඵලත්වය විදහා පෑවා  පමණක් නොව ප්‍රමාණයෙන් ඉතා විශාල වූ ඉරාක ආරක්ෂක අංශයන්ගේ දුර්වල බවද පැහැදිළිව  පෙන්නුම් කරන්නට  විය.

කෙසේ නමුත් විශ්වාසවන්ත වාර්තාකිරීම් නොමැති වීම හේතුවෙන් මොසුල් නගරයේ සිදුවීම සම්බන්ධයෙන් නියම තොරතුරු දැනගැනීමේ ගැටලුවක් ඇත. සත්‍යවශයෙන්ම මෙය පුදුම විය යුතු කාරණයක් නොවේ.මන්ද යත් ප්‍රාදේශීය වාර්තාකරුවන් ඝාතනය කිරීමේ මෙහෙයුමක් දියත් වූ බැවිනි. 2013 වසරේ ඔක්තොර්බර් මාසයේ සිට ගතවූ මාස හය තුළ පමණක්  මාධ්‍යවේදීන් පස් දෙනෙකු ඝාතණයට ලක් වූ අතර හතළිහක් පමණ වාර්තාකරුවන් හට කුර්දිස්තානය  සහ තුර්කිය වෙත පලා  යාමට සිදු විය. මුක්තාර්වරුන්ද , එනම් රාජ්‍ය නියෝජිතයන්ගෙන් වඩාත් වැදගත්ම පිරිස  වු ප්‍රජා නායකයන්,ප්‍රහාරයට ලක් විය. ඔවුන් බොහෝ විට එක්කෝ නගර අතහැර පලා ගිය අතර නැතිනම් අයිසිස් සමග සහයෝගයෙන් කටයුතු කළෝය. යසිඩී  හා ක්‍රිස්තියානි යනාදී සුළුතර ජන කොටස්ද ප්‍රහාර වල  ඉලක්ක විය.

මොසුල් නගරය අයිසිස් සන්විධානයට විශේෂ වීමට බලපෑ ප්‍රධාන හේතුවක් තිබේ. සදාම් හුසේන් ආණ්ඩු සමයේදි  හමුදාවට බැදුණු බොහෝමයක් පැවත ආයේ මොසුල් නගරයේ සිට වන අතර ඔහු විසින් සාම්ප්‍රදයානුකූලව ආරක්ෂක අමාත්‍යවරයා තෝරා ගනු ලැබුවේ මෙම ප්‍රදේශයෙන් වීමද විශේෂත්වයකි. අයිසිස් සටන්කරුවන් කෙතරම් සහසික වූවත් මොසූල් වැසියන් බොහෝමයක් මලිකි යටතේ තිබෙන ශියාවරුන් බහුතරයක් සිටින රාජ්‍යය හමුදාවට වඩා ඔවුන්ට කැමැත්තක් දක්වයි.  ප්‍රාදේශීය ජනයා  ඉවත නොදැමීමට අයිසිස්වරුන් වග බලා ගත්හ. අයිසිස් මාධ්‍ය ප්‍රකාශක වූ අබූ මුහමද් අල්-අද්නානි (Abu Mohammed al-Adnani) අයිසිස් සටන්කරුවන්ට අනතුරු අගවා සිටියේ සුන්නි ප්‍රජාව සම්බන්ධයෙන් මධ්‍යස්ථව කටයුතු කරන ලෙසයි. ඔවුන් මීට පෙර ආණ්ඩුවට පක්ෂව සටන් කළද කම් නැති බව ඔහු උපදෙස් දී තිබිණි. ”අවංක සහ අව්‍යාජ පුද්ගලයන්ගේ පශ්චාත්තාපවීම් සහ පසුතැවිලි වීම් පිළිගන්න. එසේම ඔබට කරදර  නොකරන්නන්ට හිරිහැර නොකරන්න. ඔබේ  සුන්නි වැසියන්ට සමාව දෙන අතරම සුන්නි ගෝත්‍ර සමග මෘදුව කටයුතු කරන්න”යනුවෙන් ඔහු පවසා සිටියේය. මෙම කියා පිළිවෙත සාර්ථක වේ යැයි තවම කිව නොහැක. මොසුල්  අතිශය සාම්ප්‍රදායික සහ ගතානුගතික නගරයක් වූවද  එය තදබල ලෙස ආගමික සමාජයක් නොවේ. අයිසිස් වරුන් කිසිදු ඝට්ටනයකින් තොරව එය පාලනය කරනු ඇතැයි  තවම කිව නොහැක.

සුන්නි ඉරාකය තුළ අයිසිස් පාලනය ඉතා සීග්‍රයෙන් ව්‍යාප්ත වී ඇත. එහෙත් ඉරාක ආණ්ඩු පාර්ශවයෙන් සාර්ථක ප්‍රති ප්‍රහාරයක් පිළිබදව ලකුණක්වත්  පෙනෙන්න නොමැත. ශියා වැසියන් ඝාතණය කිරීම අඛණ්ඩව සිදු වෙමින් පවතියි. ඉතා මෑතකදී, එනම් 2014 වසරේ මාර්තු මස සිදුවීමක් වාර්තා විය.  බෑග්ඩෑග් නගරයට නිරිත දෙසින් පිහිටි ශියා වරුන් බහුල හිලා (Hilla) නම් වූ නගරයේ පිවිසුමේ පිහිටි මුර පොළක සිදුවූ මරාගෙන මැරෙන ප්‍රහාරයක් හේතුවෙන් විශාල  පිරිසක් මරණයට පත් විය.

පුපුරණ ද්‍රව්‍ය පිරවූ වෑන් රථයක් තුළ සිටි මරාගෙන මැරෙන බෝම්බ කරු හේතුවෙන් හතළිස් පස් දෙනෙකු මිය ගිය අතර   එකසිය පන්ස් හත් දෙනෙක් තුවාල ලැබුවෝය. මෙවැනි අතිශය භයානක  බෝම්බ රැගත් වාහන සගවා ඇති ස්ථාන සොයා ඒවා විනාශ කිරීමට  හැකියාවක් ඉරාක ආරක්ෂක සේවා සතුව නොමැත.

 

අයිසිස් හි සුවිශේෂි වු පුනරාගමනයට  හේතු වූ නමුත් මතු පිටින්  නොපෙනෙන තවත් කාරණයක් තිබිය හැක. එක් ජ්‍යෙෂ්ඨ ඉරාක මූලාශ්‍රයකට අනුව තුර්කි බුද්ධි අංශය විසින් 2011 සහ 2012 වසර වලදී අයිසිස් යළි නැගීසිටීමට සැලකිය යුතු මට්ටමකින් උපකාර කොට ඇත. ඔවුන් විසින් ඇමෙරිකානු ආක්‍රමණයට එරෙහිව දියත් වූ ගරිල්ලා මෙහෙයුමට සම්බන්ධයැයි සිතිය හැකි අත්දැකීම් බහුල ඉරාක නිළධාරින්ට මෙම අයිසිස් ව්‍යාපෘතියට සහය දීමට උල්පන්දම්  දෙන ලදී. මෙය  තවත් මැද පෙරදිග කුමන්ත්‍රණ න්‍යායක් ලෙස බැහැර කිරීමකට ලක් විය හැකි බව සත්‍යකි.   නමුත් මෙම ජිහාඩි-ආකෘතිය රැගත් ව්‍යාපාර වල ප්‍රධාන ලක්ෂණයක් වනුයේ ඒවා සතුව ඉතා පහසුවෙන්  විදෙස් බුද්ධි සේවා මගින්  පෙළබවීමට ලක්වීමට හැකියාවක් තිබීමයි

2013 වසරේ මුල් භාගයේදි ඉරාකය සම්බන්ධයෙන් කතා කරමින් පරිණත පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු වූ ආචාර්‍ය මහමුද් ඔත්මන් (Mahmoud Othman ) පවසා සිටියේ ”රටෙන් අඩක් පමණම සත්‍යවශයෙන්ම රාජ්‍ය පාලනයට යටත් නොවන” බවයි. මිලියනයක් පමණ වූ අතිශය බලවත් ඉරාක ආර්ක්ෂක සේවා ජිහාඩිවරුන්  හමුවේ අකර්මණ්‍ය වන්නේ මන්ද ‍යැයි විමසූ විට නම සදහන් කළ නොහැකි තවත් දේශපාලකයෙක් පවසා සිටියේ එය ‘දීර්ඝ කාලීන දූෂණයේ පලදාව’ බවයි.  ඔහු තවදුරටත් ප්‍රකාශ කළ සිටියේ ”වැටුප් ලැබීමේ අරමුණ සහිතව පුද්ගලයන් හමුදාවට බැදීම සදහා  මුදල් ගෙවන අතර එවිට ඔවුන්  ආයෝජකයන්  මිස සොල්දාදුවන් නොවන” බවය. මෙම ප්‍රකාශයන් අතිශය කර්කෂ ඒවා බව සත්‍යය. එහෙත් එම ප්‍රකාශයන්ගේ සත්‍ය පදනම් වනුයේ  ඉරාකයේ විශාල කොටසක් තිබෙනුයේ අයිසිස් ග්‍රහණයේ වීම සහ  ඊට එරෙහිව ඉරාක හමුදාව බලරහිතභාවයක් පෙන්නුම් කිරීම යන කරුණ මතය.

පැට්‍රික් කොක්බර්න් 

අනුවර්තනය: ශලිනි සමරනායක

 

 

 

***