70222982_464758451039889_1805556937878667264_n

මෙම ලිපිය ලියන්නට හේතුවන්නේ වංගීස සුමනසේකර විසින් “පරිමිතත්වයෙන් පසු: අහඹුබවේ අනිවාර්යතාවය පිළිබඳ රචනයක්” නමින් පරිවර්තනය කළ ප්‍රංශ දාර්ශනික කොන්ටේන් මෙයසුගේ “Après la finitude. Essai sur la nécessité de la contingence” කෘතිය සාහිත්‍ය මාසයේ ප්‍රකාශනය පත් වීම නිසාය. කෘතිය පිළිබඳ කෙරෙන විචාරයක් ලෙස අයෙකුට මෙය වර්ග කළ හැකි සේ ම, මෙය එම කෘතිය පිහිටන දාර්ශනික වටපිටාව පිළිබඳ සිදුකරන අදහස් දැක්වීමක් ලෙසද අර්ථකථනය කළ හැකිය.

17 වන සියවසේ පමණ වර්ධනය වූ නූතන බටහිර දර්ශනයට අනුව අප සිටින්නේ පරිමිත ලෝකයක යන අදහස අතිශය තීරණාත්මක ලෙස ගල්ගැසුණු අදහසක් ලෙස ස්ථාපිත විය. අපගේ නොදැනුම එම පරිමිත දැනුම ඉක්මවා යන දැනුමක් ලෙස පරික්ෂාකර බැලීම නූතන බටහිර දර්ශනය විසින් අතැහර දමා තිබුණි. ඔවුන්ගේ  ව්‍යාපෘතිය වූයේ මෙම පරිමිත ලෝකය අර්ථකථනය කිරීම හා ඒ තුළින් අපගේ ජීවිතය හා ලෝකය පිළිබඳ කියා දෙන සුසමාදර්ශ ගොඩනැගීම හා ඒවා යළි යළිත් නව සංකථන ගොඩනගමින් අර්ථකථනය කිරීමයි. එහි පලවිපාක සුළුපටු නොවන බව අපට පෙන්වා දෙන්නේ අප ජීවත්වන යුගයේ බුහුටි දාර්ශනිකයා වන කොන්ටෙන් මෙයසු ය. ඔහුගේ පළමු කෘතිය වන පරිමිතත්වයෙන් පසු කෘතිය තුළ සංවාදයට ගැනෙන්නේ විසිවන සියවසේ සිතන්නන් විසින් අතහැර දැමූ අභියෝගය යි. තවත් ආකාරයකට කියන්නේ නම් ඔහු සිදු කරන්නේ පරිමිතත්වයට ඌනණය කළ ලෝකය පිළිබ‍ඳ අර්ථකථනය එම පරිමිත තර්කනයන් විසංයෝජනය කොට අපරිමිතත්වය පිළිබඳ අදහස නිරාවරණය කිරීමයි.

අද වන විට මෙම කෘතිය පිළිබඳ බටහිර දාර්ශනිකයන් විවිධ සාධනීය මත පල කර ඇති අතර නව දාර්ශනික සම්ප්‍රදායක් බිහි කරන තරමට ම එහි බලපෑම අතිශය වැදගත් එකක් බවට පත් වී ඇත. එහි ඇති දේශපානික වටිනාකම ඔහුගේ කෘතිය තුළත් ඒ වෙනුවෙන් සිදුකර ඇති වෙනත් අයගේ ප්‍රතිචාර තුළත් අපට හමුවේ.  එම නිසා මෙම ලිපියෙහි මූලික අවධානය යොමු කරන්නේ පරිමිතත්තවය පිළිබඳ අදහස කලාව තුළ ස්ථානගත වන ආකාරය පිළිබඳ සිතා බැලීමක් සිදුකිරීමටයි.

මෙයසු මෙම කෘතිය තුළ අපට පෙන්වා දෙන්නේ පරිමිතත්වය පිළිබඳ අදහස එක්තරා අර්ථයකින් පරමකරණය කිරීම තුළ ආගමිකත්වයේ අධිපත්‍යධාරී හැසිරීම සුජාතකරණය කිරීමට ඉඩක් නූතන දර්ශනය විසින් ලබා දෙන බවයි. තවද විසිවෙනි සියවසේ කොමියුනිස්ට් අත්හදා බැලීම අසාර්ථක වීමෙන් පසුව එහි ඇති දාර්ශනික හා දේශපාලනික වලංගුතාවය ධනවාදී අර්ථකථන තුළ සට කපට ලෙස මගහැරීමට ලක්වීම නිසාත්, දේශපාලන යාන්ත්‍රණය ආගමිකත්වය මත අර්ථකථනය වන දෙයක් බවට පත් විය. තවත් ආකාරයකට කියන්නේ නම් අපගේ ජීවිතයේ පරිමිතත්ත්වය මත අපට අහිමි වී ගොස් ඇති පැවැත්මේ මූලධාර්මික ප්‍රශ්නවලට – අපි මේ ලෝකෙට ආවෙ කොහෙන්ද? මරණයෙන් පසු සිදුවන්නේ කුමක්ද? අපි ජීවත් වෙන්නෙ ඇයි? – පිළිතුරු දීමේ එකම ඒජන්තයා ලෙස ආගම පත් වී තිබේ. ඉන්පසුව දාර්ශනිකයා ආගමේ ක්‍රියාවලියට විවේචනයක් හෝ බලැපෑමක් කිරීමට උත්සහ කරනවාට වඩා එය මිත්‍යාවයක් හෝ හුදු ඇදහීමක් ලෙස අර්ථකථනය කිරීමට ඔහු විසින් සීමාකොටගත් පරිමිත දැනුම අපොහොසත් විය. එම නිසා දාර්ශනිකයා සමාජ සංස්කෘතික පෙනී සිටීම් තුළ හුදකලා භූමිකාවක් නියෝජනය කළේය. මෙම සිදුවීම් පෙළ අවසාන අර්ථයෙන් අද දවසේ දේශපාලන කථිකාව පැමිණ ඇති චරිත ලක්ෂණ අනුව අපට තේරුම් ගැනීම එතරම් අපහසු නැත.

මෙයසු කලාව සමග මෙම පරිමිතත්වය පිළිබ‍ඳ අදහස සම්බන්ධ කිරීමක් අපට මෙම කෘතියේ මුණ ගැසෙන්නේ නැත. නමුත් මෙම කෘතියේ සමස්ථ තර්කය තුළින් කලාවේ වියහැකිභාවයෙන් තේරුම් ගැනීම සඳහා ව්‍යුහයක් නිර්මාණය කරයි. තවත් ආකාරයකට කියන්නේ නම් කලාව හා දේශපාලනය අතර සම්බන්ධය අපට වඩා තියුණු ලෙස, සමස්ථයක් ලෙස තේරුම් ගැනීමට පොළඹවන ගුණයක් මෙම කෘතියේ මුණ ගැසේ.

නූතන දර්ශනයේ ආරම්භයේ සිට ඩෙරීඩියානු ගුරු කුලය විසින් වර්ධනය කළ භාෂාව පිළිබඳ දර්ශනවාද දක්වා ම, ඒ සියලුම දාර්ශනික සංකල්ප කලාවට යළි යළිත් අපූර්වත්වයක් ගෙන ඒමට සයෝගය දැක්වීය. යථාර්ථවාදී කලාවේ සිට සමකාලීන කලාව දක්වා වූ ගමන් මාර්ගය තුළ අපට හමුවන දාර්ශනික මැදිහත්වීම් සියල්ල පරිමිත දැනුමක් මත පදනම් වුවත් එම පරිමිත ලෝකය තුළ අපරිමිතත්වයක් වෙත සෞන්දර්යාත්මක හැරවුමක් කිරීමට කලාවට හැකි විය. එය සාහිත්‍ය, චිත්‍රපට, රංග කලාව, දෘශ්‍ය කලාව, සංගීතය ඇතුළු විවිධ කලා ප්‍රවේශවල එක හා සමාන ලෙස සිදු විය. නමුත් 20 වන සියවසේ අවසන් කාර්තුව වන විට එම කලාත්මක මැදිහත්වීම්වල අරමුණු අතිශය පටු වෙළඳපල හා වෙනත් සීමා සහිත අරමුණු වෙතට ඌනනය වීම වැලැක්වීමට ඉහත දාර්ශනික සංවාදවලට නොහැකි විය.

ග්‍රීසිය, පුනරුද යුගය, නූතනවාදී කලාවට වඩා බෙහෙවින් විවිධ පැතිමාන ගත් කලා ප්‍රවනතා අද දවසේ අපට හදුනගත හැකි වුවත් ඒවායේ ඉහත යුගවල නියෝජනය කළ අව්‍යාජ අරමුණු සහ එම අරමුණුවල ගැබ්වී තිබූ අපගේ පරිමිත ලෝකය ඉක්මවා යන උනන්දුව අප ජීවත්වන යුගයේ අපට අහිමි වී තිබේ. එම නිසා ම කලාව එහි ලාබ උපයන අරමුණුවලින් වෙන් කිරීමට හැකියාවක් මෙම දර්ශනවාදවලට අත්වූයේ නැත. ඊට සමාන ලෙස සිදුවූ සමාජවාදී බිඳ වැටීම් තුළින්ද මෙම අරමුණු ස්ථාපිත වීමට කරුණු පෙළගැසුණි. තවත් ප්‍රවේශයකින් පැහැදිලි කරන්නේ නම් සංස්කෘතිය තුළට ප්‍රාග්ධන තර්කණය ඇතුළු වීම අපගේ මෙම පරිමිත ලෝකය තුළ ඉවසිය යුතු දෙයක් බවට සහ එය නොවැලැක්විය හැකි දෙයක් ලෙස තේරුම් ගැනීමට අපට සිදු විය. යුක්තිය, ආදරය, සදාචාරය, අවසාන අර්ථයෙන් සත්‍යය වැනි විශ්වීය අදහස් වෙත ගමන් කිරීමට, එය උරගා බැලීමට උත්සහ කිරීම ධනවාදී යාන්ත්‍රණය මගහැර කළ හැකි දෙයක් නොවන බවත් අප ජීවත් වන ලෝකය පරම ලෙස මේ පවතින දෙයට වඩා වෙනත් යමක් නොපතින බවට වන ඒත්තු ගැන්වීම අප වෙත උරුම විය. තවත් ආකාරයකට කියන්නේ නම් අප සදාකාලික වර්තමානයක සිරකිරීම පරිමිතවාදයේ තාර්කික අවසානය බව කිව හැකිය.

ක්‍රමයෙන් කලාව තුළ අපගේ ස්භාවික ලෝකය ඉක්මවා යන ඉතාම නිශ්චිත ලෙස කියන්නේ නම් පංති විරහිත සමාජයක් බිහි කිරීම පිළිබඳ අදහස ඉවත් ව යෑමේ තර්ජනයට ලක් විය. මාක්ස්වාදයේ ඓතිහාසකි පරාජය එයට මූලික හේතුව ලෙස මෙයසියානු අර්ථයෙන් අපට සඳහන් කළ නොහැකිය. එයට බලපෑ දාර්ශනික හේතුව ලෙස මෙයසුට අනුව අපට නම් කළ හැක්කේ පරිමිත ලෝකයක මිනිසාගේ තාර්කිකත්වයේ සීමා කම් ගල්ගැසී තිබීමයි. තවත් ආකාරයකට ආගම විසින් කොමියුනිස්ට් අදහස වැනි අපරිමිත අදහස් පද්ධතියකකට වඩා ඇදහීම මූලික කරගත් විශ්වාස පද්ධිතයක් එම රික්තය පිරවීමට ස්ථාපනය වීමයි.

ඉතිං, අද දවසේ මෙයසියානු ප්‍රවේශය කලාව කෙරෙහි වැදගත් වන්නේ එහි දේශපාලනික අර්ථයෙන් සේම නැතිනම් දේශපාලන වියහැකියාවක් ඇති කිරීමට කලාවට ඇති විභවාත්මක හැකියාව නිරාවරණය කරනවාට අමතරව කලාව තුළද විශාලත්වයක් ඇති කිරීමට යි. තවත් ආකාරයකට කියන්නේ නම් අපගේ තාර්කික ලෝකයේ සීමාව සිදුරුකර අහඹුබව පිළිබඳ මෙයසියානු තාර්කිකත්වය දක්වා අපගේ ලෝකය විශාලනය කිරීමයි. විවිධ දෘෂ්ටිවාද මත පීඩනයට පත්ව ඇති කලාවට නිදහස අත්කර දිය හැක්කේ එවිටයි. අවසාන අර්ථයෙන් මෙයසුගේ “පරිමිතත්වයෙන් පසු” කෘතියේ දේශපාලනික වලංගුභාවයේ තවත් එක් සිදුවීමක් ලෙස මෙලෙස කලාව පිළිබඳ සිතා බැලීමට අපට ඉඩක් වෙන් කර ඇත.

  • මෙය පළමු වරට 2019.10.06 දින “රාවය” පුවත් පතේ පළ විය

රංග මනුප්‍රිය

 

 

 

 

***

Advertisements