72333528_738345119926914_1972818709735014400_n

මෙම කෘතියේ ආරම්භක රචනය තුළ නිර්මාල් පෙන්වා දෙන ලෙසට ඉතිහාසය අධ්‍යයනය කිරීම සඳහා ප්‍රවේශ විය හැකි ආකාරයන් දෙකක් තිබේ. එක අතකින් තිබෙන්නේ ඉතිහාසය යනු මාගේ වර්තමාන පැවැත්මේ උරුමය මට හෙළිකරන මගේ අතීත කතාව ලෙස සැලකීමයි. අනෙක් පසින් තිබෙන්නේ අතීතය යනු අපට තිබෙනා අධ්‍යයන ක්‍රම සහ අර්ථකථන සම්ප්‍රදායන් ඇසුරින් ගවේෂණය කළ යුතු ශාස්ත්‍රීය විෂයක් ලෙස ගැනීමයි. පළමුවැන්න අප ඉතිහාසය පිළිබඳව අනන්‍යතා කතිකාව ලෙසත් දෙවැන්න ඉතිහාසය පිළිබඳව ශාස්ත්‍රීය කතිකාව ලෙසත් නම් කළ හැකිය. නිර්මාල් අතින් විශද ලෙස හෙළිදරව් වන්නේ ඉතිහාසය පිළිබඳව ශාස්ත්‍රීය කතිකාව නිල වශයෙන් ඒ පිළිබඳව අනන්‍යතා කතිකාවෙන් වෙන් වීමට උත්සාහ කරන්නේ වුවත් මේ දෙවැන්න මත කෙතරම් රඳා පවත්නේ ද යන්නයි. අන් සියල්ලට පෙර මෙය අපට හෙළිදරව් කරනා සාක්ෂිය වන්නේ ලාංකික ඉතිහාස ‘කතාව’ අකණ්ඩව ගලා යන, අතරමැද හිඩැස් නොමැති තනි ආඛ්‍යානයක් ලෙස ගොණු කිරීමේ අවශ්‍යතාවය තුළයි.

මෙය විශේෂයෙන් වැදගත් වන්නේ මේ මගින් අපට ඉතිහාසය සම්බන්ධයෙන් තිබෙනා පොදු ජන අවබෝධය බරපතල ලෙස අභියෝගයට ලක් වන නිසාය. සත්‍ය වශයෙන්ම අප ‘ඉතිහාසය’ පිළිබඳව පොතක් කියවන විට සාමාන්‍යයෙන් අපේක්ෂා කරන්නේ ම මෙය මිස අන් දෙයක් නොවේ. දුටු ගැමුණු කතාව, පඬු අබා කතාව, පැරකුම්බා කතාව ආදී කතන්දර, අතීතයේ සිදු වූ සිදුම්වීම් දාමයක් ලෙස වාර්තාවක් කියවීමට අපි පුරුදු වී සිටිමු. එම අර්ථයෙන් නිර්මාල් ගේ පොත කියවන කෙනෙක් පත්වන්නේ අතිවිශාල බලාපොරොත්තු කඩවීමකටයි. මෙහි එවැනි කතන්දර දැක්වෙන්නේ නොමැති අතර එක්තරා අර්ථයකින් මෙහි මූලික තර්කය වන්නේ ම මෙයයි: ඉතිහාසය යනු මේ ආකාරයට සම්පූර්ණ ලෙස වටහා ගත හැකි කතන්දරයක් ලෙස ගැනීම ම දෘෂ්ඨිවාදී අවශ්‍යතාවයකි.

ඒ වෙනුවට අපට මෙහි මූලික වශයෙන් දක්නට ලැබෙන්නේ මෙරට ඉතිහාස අර්ථකථන සම්බන්ධයෙන් ඇති වී ඇති වාද විවාද සම්බන්ධ අර්ථකථනයකි. දෙමළ ඊළාම් දේශය සම්බන්ධයෙන් 80 දශකයේ ආරම්භයේදී ඇති වූ විවාදය පිළිබඳව විශ්ලේෂණය සමකාලීන දේශපාලන සංවාදයට ඍජුවම අදාළ වෙයි. අද දවසේ අප යොදා ගන්නා කේන්ද්‍රීය තර්ක සහ ප්‍රතිතර්ක වල ඓතිහාසික ආරම්භය කුමක්ද කියා මේ මගින් අපට තියුණු ලෙස කියා දෙයි. ගාමිණී ඊරියගොල්ල සහ කාලෝ ෆොන්සේකා වැනි වෘත්තීය ඉතිහාසඥයන් නොවන අයගෙන් ඇරඹි මෙම සංවාදය ඉතිහාසය පිළිබඳව ශාස්ත්‍රීය කතිකාව යළි අර්ථකථනය කරමින් ඉතිහාසය සහ දේශපාලනය අතර අන්තර් විනිවිදීම සිදු වන ආකාරය අප ඉදිරියේ නිරාවරණය කරයි.

මෙහිදී වඩාත් අවධාරණය කළ යුතු වන්නේ ලංකාවේ ඉතිහාසය පිළිබඳව ආධිපත්‍යධාරී ආඛ්‍යානය ගොඩ නැගී ඇති මූලික මිත්‍යා ප්‍රබන්ධ පහ පිළිබඳව නිර්මාල් මතු කරන තර්කයයි. එම මිත්‍යා ප්‍රබන්ධ වන්නේ බුදුන්ගේ ලංකාගමනය, විජය ගේ පැමිණීම, පණ්ඩුකාභය කතාව, මහින්දාගමනය සහ දුටුගැමුණු-එළාර යුද්ධයයි. නිර්මාල් පෙන්වා දෙන ලෙස මේ අතරින් පළමු කතා තුන යනු මොනයම් ආකාරයක හෝ ඓතිහාසික පදනමක් නොමැති හුදු විශ්වාසයන් පමණක් වෙයි. අවසන් කතා දෙක සම්බන්ධයෙන් තත්වය මදක් සංකීර්ණ වන්නේ එහි එන චරිත – ‘මිහිඳු හිමි’, ‘දුටුගැමුණු’ (‘ගමනි අබා’) ආදී ලෙස – ඓතිහාසික චරිත ලෙස තහවුරු කළ හැකි වීමයි. නමුත් මෙයින් අදහස් වන්නේ මේ ඓතිහාසික චරිත මත අප ආරෝපණය කර ඇති කතාන්දරය සඳහා කිසිදු පදනමක් තිබෙනා බව නොවේ. ඒවායේ මිත්‍යා ප්‍රබන්ධමය ස්වරූපය හෙළිදරව් වන්නේ මෙම සමස්ත කතාන්දරය සැලකිල්ලට ගැනීමේදීය.

නිර්මාල් ගේ මෙම යෝජනාවේ ඇති ‘බිහිසුණු බව’ කුමක්ද කියා තේරුම් ගැනීම අපහසු නැත. බුදුන් වහන්සේ ගේ පාද ස්පර්ශය ලැබ, විජය කුමරා විසින් රාජවංශය ආරම්භ කළ, පණ්ඩුකාභය කුමරා විසින් අනුරාධපුර රාජ්‍ය ගොඩ නැගු, දෙවන පෑතිස් යුගයේ බුදු දහමේ උරුමය ලැබූ, ගැමුණු කුමරු ගේ වීරත්වයෙන් තෙද වැඩුණු “අපේ” ඉතිහාස කතාව ඉවත් කළ විට ලංකාව යනුවෙන් අප තවදුරටත් හඳුනා ගන්නේ කුමක්ද? ඉහත කතාන්දර අභියෝගයට ලක් කළ විට ‘අපේ රට’ සම්බන්ධයෙන් අපට ඇති පරිකල්පිත චිත්‍රයට කුමක් සිදු වන්නේ ද? එය මුළුමනින් කඩා වැටෙනා බව අමුතුවෙන් කිව යුතු නොවේ. එම අර්ථයෙන් මෙම කෘතිය අපේ රටේ සෑම මිනිසෙක්ම කියවිය යුතු කෘතියක් බව පැහැදිළි වෙයි. අපගේ සාමූහික පැවැත්මේ අතීතය පිළිබඳව ගොඩ නගා ඇති මනස්ගාත විශ්වය මේ මගින් අභ්‍යන්තරයෙන් පුපුරුවා දමයි. වඩා බලාපොරොත්තු සහගත අනාගතයකට අත්‍යවශ්‍ය මග හෙළි කිරීම එමගින් සිදු කරයි.

මෙයින් අදහස් වන්නේ මේ කෘතියේ තිබෙනා සෑම දෙයක් සමගම මට පරිපූර්ණ එකඟතාවයක් තිබෙනා බව නොවේ. නිදර්ශනයක් ලෙස මෙහි දී ‘මිත්‍යා ප්‍රබන්ධ’ යනුවෙන් නිර්මාල් සංකල්පගත කරන දේ පැහැදිළි කිරීම සඳහා නිර්මාල් යොදා ගන්නේ අහිමු වූ වස්තුව නැවත සොයා යාමේ ආත්මීයත්වය පිළිබඳව ලැකේනියානු න්‍යායයි. ලැකේනියානු න්‍යායයේ ඇති නෛසර්ගික ව්‍යාකූලත්වය නිසා මේ මගින් නිර්මාල් ට ‘ගැලවීමට’ ඉඩ ලැබුනත් (නිර්මාල් මෙය යොදා ගන්නේ එලෙස ‘ගැලවීමේ අරමුණින්’ යන්න මෙමගින් අදහස් නොවේ) මෙම තර්කය සඳහා මෙයට වඩා තියුණු න්‍යායික/දාර්ශනික පදනමක් ලබා දිය හැකියැයි මම සිතමි. මේ සඳහා ලැකේනියානු න්‍යාය ඉක්මවා ගිය තරමක් සමකාලීන පර්යාවලෝකයක් අවශ්‍ය වෙයි. කෙසේ වුවත් මේ මගින් නිර්මාල් මතු කරන මූලික තර්කයේ වෙනසක් සිදු වන්නේ හෝ ඒ සඳහා ඔහු සාක්ෂි ලෙස ගෙන හැර දක්වන ඓතිහාසික කරුණු බිඳ වැටෙන්නේ හෝ නැත. එම නිසා මෙම සංශෝධනය මගින් සිදු වන්නේ – මා සිතන පරිදි – මේ කෘතියේ තර්කය සඳහා තවත් දෘඨතර දාර්ශනික පදනමක් සැපයීම පමණි. මේ සබන්ධයෙන් ඉදිරියේදී විවාදයක් ඇති වන්නේ නම් එවැන්නක් මෙයට එකතු කිරීම කිසි සේත් අපහසු වන්නේ නැත.

අවසාන වශයෙන් මට යෝජනාවක් ලෙස කළ හැකි වන්නේ මෙහි මීළඟ කොටස ලෙස ‘මහින්දාගමනය’ සහ ‘දුටුගැමුණු කතාව’ යන මිත්‍යා ප්‍රබන්ධ දෙක සම්බන්ධයෙන් තරමක දිගු විශ්ලේෂණයක් ඉදිරිපත් කරන්නේනම් එය ප්‍රයෝජනවත් බවයි. සිංහලයාගේ ඉතිහාසය පිළිබඳව අදහස පදනම් වන අනෙකුත් මිත්‍යා ප්‍රබන්ධ සම්බන්ධයෙන් – ‘බුදුන්ගේ ලංකාගමනය’, විජය කතාව’, ‘පණ්ඩුකාභය කතාව’ – සම්බන්ධයෙන් නිර්මාල් ගේ පැහැදිළි කිරීම ප්‍රමාණවත් වුවත් අවසන් දෙක සම්බන්ධයෙන් තවදුරටත් පැහැදිළි කිරීමක් ලබා දිය හැකිනම් ප්‍රයෝජනවත් වෙයි. විශේෂයෙන්, දෙවන පරිච්ඡේදයේදී නිර්මාල් ම යෝජනා කරනා පරිදි, මේ අවසන් කතන්දර දෙක තුළ ‘සත්‍යයේ’ අඩංගුව තරමක් වැඩි වන හෙයින් මෙහි වැදගත්කම තවත් වැඩි ය (‘මහින්දාගමනය’ පිළිබඳව විශ්ලේෂණය නැවත හයවන පරිච්ඡේදයේදී සාකච්ඡාවට ගැනෙන්නේ වුවත් එය මෙයට වඩා දිගු විශ්ලේෂණයක් ඉල්වා සිටින මාතෘකාවක් බව පැහැදිළි වෙයි). මෙයින් අදහස් වන්නේ ඒවා සම්බන්ධයෙන් විවේචනාත්මක ස්ථාවරයක් ගැනීමට මෙහි දැක්වෙන තර්කය ප්‍රමාණවත් නොවනවා යන්න නොවේ. සැකයකින් තොරවම මේ සඳහා මෙය ප්‍රමාණවත් වෙයි. නමුත් දේශපාලනිකව අතිශය සංවේදී වන මෙවැනි ගැටලුවක් සම්බන්ධයෙන් හැකිතාක් විස්තරාත්මක තහවුරු කිරීමක් ඉදිරිපත් කිරීම මග හැර යා නොහැක.

සාමාන්‍යයෙන් ‘devastating’ යන ඉංග්‍රීසි වචනය සඳහා තිබෙන්නේ නිශේධනාත්මක අර්ථයකි. එමගින් අදහස් වන්නේ ‘කිසිවක් ඉතිරි නොවන ලෙස සියල්ල විනාශ කරන’ වැනි අර්ථයකි. නමුත් සමහර අවස්ථාවන් වලදී අපට මෙය සාධනීය අර්ථයකින් ද යොදා ගත හැකිය. නිදර්ශනයක් ලෙස කිසියම් විචාරාත්මක මැදිහත්වීමක් විසින් එමගින් විචාරයට බඳුන් වන ක්ෂේස්ත්‍රය ගැලවිය නොහැකි ලෙස අභියෝගයට ලක් වන විට අප එවැනි විචාරයක් ‘කිසිවක් ඉතිරි නොවන ලෙස සියල්ල විනාශ කරන විචාරයක්’ එනම් ‘devastating critique’ එකක් ලෙස හඳුන්වයි. නමුත් මෙවැනි අවස්ථාවකදී මේ ‘මහා විනාශය’ අප දකින්නේ අයහපත් දෙයක් ලෙස නොව යහපත් දෙයක් ලෙසයි. එමගින් අප මෙතෙක් විශ්වාස කර සිටි ලෝකය මුළුමනින් විනාශ කර දමයි. නමුත් එය ගැටලුවක් නොවන්නේ එලෙස විනාශ වීමට ඉඩ තිබීම මගින් අප ඒ විශ්වාස කළ ලෝකය ව්‍යාජයක් බව පැහැදිළි වන නිසාය. එම ව්‍යාජය හෙළිදර කිරීම සම්බන්ධයෙන් අප විචාරකයාට ස්තුතිවන්ත විය යුතුය. මෙම නිශ්චිත අර්ථයෙන් අප නිර්මාල් ට ස්තුතිවන්ත විය යුතුය: ‘ලංකාවේ අතීතය’ යනුවෙන් අප හඳුනාගෙන සිටිනා කතන්දරයේ කිසිවක් ඉතිරි නොවන ලෙස සියල්ල විනාශ වී යන විවේචනයක් නිර්මාල් විසින් ඉදිරිපත් කර තිබේ. එම කතාන්දරයේ ක්ශමාලාපකයන් හට දැන් තිබෙන්නේ තෝරා ගැනීම් දෙකක් පමණි – එක්කෝ මෙය නොදැක්කා සේ සිට බුද්ධිමය සංවාදයෙන් වඳ වී යාමේ තර්ජනයට මුහුණ දිය යුතුය, නැතහොත්, මෙයට ඍජුව මුහුණ දීමේ දැඩි අවාධානම ගත යුතුය. Devastating!

වංගීස සුමනසේකර