mp,840x830,matte,f8f8f8,t-pad,750x1000,f8f8f8.u2

දෘෂ්ඨිවාදී විචාරයේදී වැදගත් වන දෙයක් ජිජැක් වරක් ස‍ඳහන් කළේ මෙසේය. මේ නිදර්ශනය ඔහු ලබා ගන්නේ ෂර්ලොක් හෝම්ස් ගේ කතාවකිනි. (මට මතක විදියට ‘සිල්වර් බ්ලෙස්’ කියන කතාව). ෂර්ලොක් හෝම්ස් තරමක් කල්පනාකාරී ලෙස පොලිස් පරීක්ෂකවරයා ට මෙසේ කියයි:

“මට අවශ්‍ය ඝාතණය සිදු වූ රාත්‍රියේ බල්ලාගේ අමුතු හැසිරීම ​පිලිබඳ ඔබගේ අවධානය යොමු කරන්න”

පොලිස් පරීක්ෂකවරයා තරමක් පුදුමයෙන් යුතුව මෙසේ ප්‍රතිචාර දක්වයි:

“ඒත් එදා රෑ බල්ලා මුකුත් කළේ නැහැනේ!”

හෝම්ස් මෙලෙස පිළිතුරු දෙයි:

“ඒකම තමයි අමුතු හැසිරීම!”

මිනිස් ඝාතණයක් වැනි දෙයක් සිදු වෙනකොට බල්ලෙක් නිකන් පැත්තකට වී බලා සිටීවිද? (පරි. වංගීස)

මොකද්ද මේ අමුතු හැසිරීම…

පසුගියදා සෞන්දර්ය කලා විශ්වවිද්‍යලයේ සහ යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරු ජනාධිපතිවරයා විසින් කිසිදු හේතු දැක්වීමකින් තොරව සේවයෙන් ඉවත් කර තිබේ. ඒ සමග ම අන්‍යධ්‍යන වැඩ වර්ජනයද එක විට ක්‍රියාත්මක විය. මේ සිදුවීම් දෙක තුළ කිසිඳු සම්බන්ධයක් නොමැත. නමුත් උසස් අධ්‍යායපන කෙෂ්ත්‍රයේ සැලකියයුතු සිදුවීම් දෙකක් මැතිවරණයට මාස දෙකකට වැඩි කාලයක් තිබියකදී එකවර සිදු විය.

අපගේ සොයා බැලීමට අනුව – එක් ප්‍රවෘත්තියක් දෙකක් තිබිය හැකිය – මේ වන තෙක් කිසිඳු ප්‍රධාන මාධ්‍ය නාලියකාවක මෙම ඉවත් කිරීම පිළිබඳ සඳහන් වූයේ නැත. පුවත්පත්වල පළවන්නේද මේ සිද්ධිය බැරෑරුම්ව කියවා ගන්නා ශාස්ත්‍රඥයින්ගේ පැහැදිලි කිරීම් කිහිපයක් පමණි. නමුත් ප්‍රධාන විද්‍යුත් මාධ්‍යවල අඩුම තරමේ එවැනි ශාස්ත්‍රඥයෙකුගේ අදහස් දැක්වීමක් හෝ දකින්නට ලැබුණේ නැත. ගොසිප් වෙබ් අඩවි සහ ෆේස්බුක් සමාජ පිටුද ඒ පිළිබඳ – ශිෂ්‍යයන්, ආචාර්යවරුන් වැනි එම සන්දර්භයේ සිටින කණ්ඩායම් හැරුණු කොට – වෙනත් කිසිදු ආකාරයක මැදිහත්වීමක් කුමන හෝ ආකාරයකින් දැක ගැනීමට ලැබුණේ නැත. බිමල් රත්නායක එක්වරක් පාර්ලිමේන්තුවේදී මේ පිළිබඳ ප්‍රශ්න කර තිබේ. නමුත් වෙනත් කිසිඳු දේශපාලන සංවාදයක අපට මෙම සිදුවීම පිළිබඳ අදහස් දැක්වීමක් දකින්නට හෝ අසන්නට ලැබුණේ නැත. ජනධිපතිවරයාගේ බලතල භාවිතා කොට සිදුකර ඇති මෙම ක්‍රියාව පිළිබඳ සංවාදයක් අවශ්‍ය වන්නේ මෙම උපකුලපතිවරුන් සැබැවින් ම ඉවත් කළ යුතු වැරදිකරුවන් හෝ සේවය නිසි අයුරින් ඉටු නොකළ අයද යන්න ජනතාවට දැනගැනීමට ඇති අයිතිය උදෙසා මෙන්ම කොමිශන් සභා තිබියදී ජනාධිපති බලතලවල බරපතලකම අවධානයට ලක් කිරීමටය. ජනාධිපති බලතල යටතේ පසුගිය ඔක්තොම්බර 26 වන දා සිදුවූයේත් මෙවැනිම ක්‍රියාවලිකි. එනම් ජනපතිවරාය විසින් අගමැතිව ඉවත් කිරීමේ සිදුවීමයි. නමුත් එම සිදුවීම සම්බන්ධයෙන් ජනමාධ්‍ය සහ ජනතාව මැතිඇමැතිවරුන් පාර්ලිමේන්තුවේ සිදුවූ කාලගෝට්ටි ඇතුළු සිදුවීම් ඉතා රසවත්ව හා කුතූහලයෙන් යුතුව නරඹනු දුටුවෙමි. මේ සිද්ධි දෙක සැලකියයුතු තීව්‍රතාවයන්ගෙන් වෙනස් වන බව අමුතුවෙන් කිව යුතු නොවේ. එලෙසම මේ සිදුවීම් දෙක සමාන කිරීමට ගන්නා උත්සාහයක්ද නොවේ. ඔක්තොම්බර් 26 ජනාධිපතිවරයාගේ ක්‍රියාව අධිකරණයේ අභියෝගයට ලක් වීමෙන් පසුව පරාජයට පත් විය. මේ ක්‍රියාවද දැන් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ. එහි ප්‍රතිඵල කුමක් වේවිද අප තවම දන්නේ නැත. කෙසේ වුවත් මෙම සටහනේ ඉලක්කය වන්නේ  එය නොව මෙම සුවිශේෂී සිදුවීම සමාජයේ ස්ථානගත වූ ආකාරය පිළිබඳ අදහසක් දැක්වීමටයි. දිවයිනේ ප්‍රධාන විශ්වවිද්‍යාල දෙකක – එකක් මෙරට සෞන්දර්ය කලා වෙනුවෙනුන්ම වෙන්වුණු විශ්වවිද්‍යාලය අනෙක ජාතික ප්‍රශ්නය හා තවත් විවිධ සංකීර්ණතා හමුවේ ක්‍රියාත්මක වූ ඓතිහාසික වටිනාකමක් සහිත යාපනය විශ්වවිද්‍යාලය – පරිපාලනය එක පෑන් පහරකින් අස්ථාවර කිරීම සුළු කොට තැකිය නොහැකිය. එම නිසා ම ‍මෙම සිදුවීම පැහැදිලිව ම දේශපාලන ක්‍රියාවක් නැතිනම් දේශපාලන වාසියක් අරමුණු කරගත් ක්‍රියාවක් බව ඒත්තු ගන්වන්නේ ඒ පිළිබඳ කරුණු දැක්වීමක් නොතිබීමත් ඒ වන විට මෙම විශ්වවිද්‍යාලවල මතු වෙමින් පැවැති තත්ත්වයනුත් සැලකිල්ලට ගැනීමේදී ය.

රාජ්‍ය විසින් කිසිදු හේතු දැක්වීමක් නොමැතිව සිදුකරන ලද මෙම ක්‍රියාව විපක්ෂ දේශපාලන පක්ෂ හෝ දැනට ජනාධිපතිවරයාට විරුද්ධව අදහසක් ප්‍රකාශ කරන එක්සත් ජාතික පක්ෂය, කිසිදු අයුරකින් දේශපාලනිකව – උපක්‍රමික ලෙස – හෝ මෙම ක්‍රියාව තම ප්‍රවර්ධන කටයුතු සඳහා භාවිතා නොකිරීමයි. මෙරට සිදුවන ඕනෑම සිදුවීමක්, ස්භාවික විපතක් පවා පවතින ආණ්ඩුව හෝ කුමන විපක්ෂක දේශපාලන පක්ෂයක් හෝ විවේචනය කිරීමට භාවිතා කිරීම ඉතාම සුලභ සිද්ධියකි. එය කෙතරම්ද යත් ක්‍රිකට් තරග පරාජයට පත්වීම දක්වා සිදුකෙරෙන දේශපාලන සංවාද භාවිතායක් මෙරට පවතියි. අනෙක් අතට පසුගිය සතියේ නිමාවට පත් වූ විශ්වවිද්‍යාල අන්‍යධ්‍යන සේවක වැඩ වර්ජනය පිළිබඳ සංවාදයද මෙම සංවාදයෙන් බොහෝ දුරට වෙනස් වන්නේ නැත. මන්ද පවතින දේශපාලන වාතාවරණය තුළ විශ්වවිද්‍යාල මාසයක් වසා තැබීම කිසිදු දේශපාඥයෙකුගේ සංවාදයට බඳුන් නොවීය. ඒ හැරත් කිසිඳු ආචාර්යවරුයෙකු හෝ සැලකියයුතු ජනප්‍රියත්වයක් උසුලන සිවිල් සමාජ ක්‍රියාධරයෙකු ඒ පිළිබඳ අදහස් දැක්වූ තැනක් දකින්නට නැත. අප නොදන්නා තැනක එවැන්නක් තිබුණද එය ප්‍රචාරණය වීමක් සිදුවූයේ නැත.

අවසානයේ මෙම අමුතු හැසිරීමෙන් හෝ අමතක වීමෙන් අදහස් කෙරෙන්නේ අද දවසේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය කිසිදු අයුරකින් සමාජයේ මහා කථිකාව වෙත බලපෑම් නොකරන හුදකලා ආයතනයක් බවට පත් වෙමින් තිබෙන බවයි. එනම් මෙම අමුතු හැසිරීම අතිශය තීරණාත්මක වන්නේ විශ්වවිද්‍යාලවලට තවදුරටත් මෙරට දේශපාලන කථිකාවට හෝ ජනතාවට බලපෑමක් කළ හැකි හැකියාව බොහෝ දුරට හීන වී ඇති බවයි. විධාකයක ජනාධිපතිධූරයේ දුර්වලතා, ජනාධිපතිවරයාගේ අදූරදර්ශී හැසිරීම පිළිබඳ සංවාදයක් ගොඩනොනැගෙන්නේ විශ්වවිද්‍යාල යනු සමාජයෙන් බැහැර වෙමින් පවතින සංකල්පයක් වන බැවිනි. ඉතාම කූට ලෙස දේශපාලන වාසි ලබාගැනීමේ අරමුණින් භාවිතා වන ප්‍රවෘත්තියක් තරමටවත් විශ්වවිද්‍යාලවල ක්‍රියාවලිය ඇනහිටීම සමාජයට අදාළ වන්නේ නැත. ඉන් අදහස් කෙරන තවත් කරුණක් වන්නේ විශ්වවිද්‍යාල – බොහෝවිට අද එහි පවතින බුද්ධිමය දරිද්‍රතාවය මත – එහි සමාජ වගකීම මෙරට සමාජයෙන් විතැන් වී බොහෝ කාලයක් ගත වී ඇති බවද?

රංග මනුප්‍රිය