75210759_1610183255784396_3394988415593218048_n

පශ්චාත් යටත්විජිතවාදය සම්බන්ධයෙන් මගේ විශාල උනන්දුවක් කිසිදා තිබුනේ නැත. විශේෂයෙන් නූතන සිංහල ජාතිකවාදී කතිකාව හමුවේ පශ්චාත් යටත්විජිත සංවාදය බරපතල දේශපාලන අර්බුධයකට මුහුණ දෙනවා කියා මම සිතමි. අනෙක් අතට මේ සංවාදයේ සමහර ප්‍රකාශකයන් ගේ ඉදිරිපත් කිරීමේ ශෛලිය අතිශය ව්‍යාජයක් වනවා යන සැකයෙන් මට කිසිදා ගැලවෙන්නට නොහැකි විය. මේ සඳහා පළමු නිදර්ශනය වන්නේ හෝමි බාබා (Homi Bhabha) ගේ ලිවීමයි. ඔහු කියන්නට හදනා දෙය මෙයට වඩා බොහෝ සරල ලෙස කිව හැකිය කියා මට නිරන්තරයෙන් සිතේ (මෙවැනි සැකයක් මට ඩෙරීඩා ගැන හෝ ෆූකෝ ගැන හෝ කවදාවත් ඇති වී නැත). කෙසේ වුවත්, වසර ගණනකට පසුව බාබා ගේ අදහස් කියවන විට, මෙම ව්‍යාජ ශෛලිය පිළිබඳව සැකය තිබියදී වුවත්, මෙහි රැක ගත යුතු සංකල්පීය ගැඹුරක් තිබෙනවා කියා මට පැහැදිළි විය.

දෙමුහුන්භාවය (hybridity) යන බාබා ගේ සංකල්පය මෙහිදී විශේෂයෙන් වැදගත් වනවා කියා සිතමි. සංස්කෘතියේ ඇති අත්‍යන්ත දෙමුහුන්බව යනුවෙන් බාබා අදහස් කරන්නේ සෑම සංස්කෘතියක් ම එයින් බාහිර සංස්කෘති වලින් බලපෑමට ලක්වී, සංස්කෘති දෙකක (හෝ එයට වැඩි ගණනක) ලක්ෂණ වලින් සමන්විත වනවා යන අනුභූතික කරුණ නොවේ. මෙම අදහස මගින් අදහස් කරන්නේ එකිනෙකින් ස්වායත්ත ඒකක ලෙස තිබෙනා සංස්කෘතික විවිධත්වයකි. ඒවා ඉඳ හිට එකිනෙක සමග අන්තර්ක්‍රියා කරයි. එකකින් අනෙක වෙත යම් යම් දේ ගලා යයි. මේ වෙනස් වීම යටින් දිවෙන තනි සංස්කෘතියක් ඇති බව මෙහිදී පූර්වකල්පනය කෙරෙයි. බාබා ගේ දෙමුහුන්බව මගින් අභියෝගයට ලක් වන්නේ මෙයයි. එයට අනුව සංස්කෘතිය යනු නිරන්තරයෙන් අස්ථාවරත්වයේ කළාපයක් තුළ සිදු වන ගණුදෙනුවකි. මෙයට හේතුව වන්නේ මිනිසුන් අතර අන්තර් ක්‍රියාකාරිත්වය ඇති විය හැක්කේ කිසිදා පරිපූර්ණ ලෙස සංඛේතනය කළ නොහැකි ‘තෙවැනි අවකාශයක්’ පදනම් කරගෙනයි. මෙම තෙවන අවකාශය සකස් වී තිබෙන්නේ ‘මම’ සහ ‘ඔබ’ අතර සම්බන්ධය ගොඩ නගන භාෂාවේ ව්‍යුහයන් ලෙසයි. එමගින් මගේ පණිවුඩය ඔබට යන්නේත් ඔබේ පණිවුඩය මට එන්නේත් අනිවාර්ය අසම්පූර්ණත්වයක් සහිතවයි. සංස්කෘතිය අනිවාර්යයෙන් අස්ථාවර වන්නේ මෙම ව්‍යුහාත්මක දෙමුහුන් බව නිසාය.

මෙම අදහසේ වැදගත් ප්‍රතිවිපාක කීපයක් තිබේ. පළමුවෙන්, සංස්කෘතික ධූරාවලියක් පිළිබඳව අදහස මෙන්ම එක සංස්කෘතියකට වඩා තවත් සංස්කෘතියක ඇති උස් / පහත් බව පිළිබඳව අදහසද මෙමගින් අභියෝගයට ලක් වේ. යටත් විජිත විරෝධී අරගලයක සන්දර්භයේදී මෙම ප්‍රවේශය වැදගත් බව අපි දනිමු. නමුත් මෙයට වඩා වැදගත් ලෙස දෙමුහුන්බව මගින් සංස්කෘතික පාරිශුද්ධත්වය පිළිබඳව අදහස ද අභියෝගයට ලක් කෙරේ. ඒ අනුව අප අධිරාජ්‍යය ට එරෙහි අරගලය යනු දේශීය සංස්කෘතික සාරයක් වෙත ආපසු යාමක් නොව සංස්කෘතිය නම් වූ අස්ථාවරත්වයේ කළාපය තුළ සිට සිදු කරන යළි අර්ථකථනයකි. එමගින් යටත් විජිතවාදය වෙතින් උරුම වූ නව භාෂාවේ සහ සන්නිවේදනයේ ආකෘති මත හිඳ පොදු සමාජ අවකාශය අර්ථකථනය කරයි. එනිසාම එය කිසිදා පරිපූර්ණ අතීතයක් වෙත, පූර්ව යටත්විජිත අතීතයක තිබුණු සාරයක් වෙත යාමක් වන්නේ නැත (වික්‍රමසිංහ ගේ නවකතාව, සරච්චන්ද්‍ර ගේ වේදිකා නාට්‍යය මේ සඳහා සරල ලාංකික උදාහරණ ලෙස ගත හැකිය).

එම අර්ථයෙන් සංස්කෘතිය යනු කිසිදා පරිපූර්ණ ලෙස ස්ථිතික ලෙස ගත හැකි ස්වායත්ත ඒකකයක් නොව ස්වාකීයත්වය සහ අනේකත්වය අතර සිදු වන යළි යළිත්, අඛණ්ඩව අර්ථකථනය වන, සාකච්ඡාවට බඳුන් වන ගණුදෙනුවකි. අත්‍යන්තයෙන් දෙමුහුන් වන මෙය අපට නම් කළ හැක්කේ සංස්කෘතික වෙනස (cultural difference) නිෂ්පාදනය කිරීම ලෙසයි.

වංගීස සුමනසේකර

 

 

***