73321500_2554158288146534_2152673523271729152_n

පහතින් පළ වන්නේ කලකට පෙර වංගීස සුමනසේකර විසින් පරිපවර්තනය කළ ඇලේන් බදියු ගේ ‘සාකෝසි යනු කුමක්ද?’ කෘතියේ පළමු පරිච්චේදයේ කොටසකි. එම පරිච්චේදය සමන්විත වන්නේ නිකොලස් සාකෝසි ගේ ආණ්ඩුව බලයට පත් වන ඡන්දයට පෙර බදියු විසින් සිදු කරන ලද දේශනයකිනි. එහිදී ඔහුගේ විශ්ලේෂණයට අනුව 2007 වසරේ ප්‍රංශ ජනාධිපතිවරණය හැඳින්විය හැක්කේ ‘බිය’ (‘fear’) වර්ග දෙකක් අතර තරඟයක් ලෙසයි. එම විශ්ලේෂණය වර්තමාන ශ්‍රී ලාංකික සන්දර්භයට ඉතාම යෝග්‍ය වන බව පෙනී යන හෙයින් අපි එහි කොටසක් මෙහි පළ කරමු.

බදියු ගේ මූලික තර්කය ලාංකික සංඥා මගින් ඉදිරිපත් කළහොත් එය මෙසේ සාරාංශ කළ හැක. එක පිරිසක් බිය වන්නේ මුස්ලිම් ආක්‍රමණය, දෙමළ බෙදුම්වාදය, බටහිර යටත්විජිතවාදය නිසා සිංහල ජාතිය නැති වී, රට බෙදී, පිරිමි වඳ වී, මසකට වරක් පමණ බෝම්බ පුපුරා මිනිසුන් මිය යන රටකටයි. අපට මෙය ප්‍රාථමික භීතිය ලෙස නම් කළ හැකිය. මේ ප්‍රාථමික භීතියෙන් ගැලවීම සඳහා ඒ අය ශක්තිමත් පීතෘ චරිතයක් සොයා යයි.

අනෙක් පිරිස බිය වන්නේ මේ පළමු ප්‍රාථමික බියටයි. ඒ අනුව එය ‘බිය පිළිබඳව බිය’ (‘fear of fear’) කියා හැඳින්විය හැකිය. ඔවුන් බිය වන්නේ පළමු වර්ගයේ බිය මතින් බලයට පත් වන කෙනෙක් නිසා ප්‍රජාතන්ත්‍රවාදය අහෝසි වී, අයිතිවාසිකම් උල්ලංගණය වී, මිලිටරි පාලනයක් ඇති වීම සම්බන්ධයෙනි. එම අර්ථයෙන් ගත්විට මේ මැතිවරණය මුළුමනින් පදනම් වන්නේ නිශේධනාත්මක ආවේදන දෙකක් මතයි. වෙනත් ආකාරයකට කියන්නේනම් මෙහි නොමැති වන්නේ ආත්මීය පරිඥානයන්ය (subjective convictions). මෙවැන්නකින් අදහස් කරන්නේ වත්මන් අවස්ථාව තුළ මර්ධනයට ලක් වී ඇති වියහැකිභාවයක ප්‍රතිවිඵාක ගොඩ නැගීම වෙනුවෙන් සාමූහික ක්‍රියාකාරකම් සංවිධානය කිරීම යන්නයි. සත්‍ය වශයෙන්ම දේශපාලනය යනුවෙන් අදහස් කරන්නේ මෙයයි. ඒ වෙනුවට අපට තිබෙන්නේ එක පැත්තකින් ‘බිය’ මත පදනම් වූ සාමූහික ආවේදනයකුත් අනෙක් පසින් එම ‘බිය පිළිබඳව බියකින්’ පෙළෙනා සාමූහික ආවේදනයකුත් අතර සුපිරි අහමේ විධානයකි. අපව මේ බිය විසින්, කරුණු විමසා බැලීමකින් තොරව, මෙහෙයවයි.

අපේ වර්තමානයට වැදගත් වන අමතර කරුණක් ද කිව යුතුය. බදියු ගේ විශ්ලේෂණයට අනුව මේ බිය වර්ග දෙකින් දෙවැනි බිය – ‘බිය පිළිබඳව බිය’ – යනු යථාවෙන් වඩාත් දුරස් වූ බිය වර්ගයයි. පළමු බිය – ‘බිය’ – යනු නිශ්චිත ඓතිහාසික සමාජීය අවස්ථාවකට ප්‍රතිචාරයක් ලෙස හෝ ඇති වූ බියකි. එම ප්‍රතිචාරය ව්‍යාජයක් වුවත් එයට තුඩු සමාජ ප්‍රශ්න පසුපස සැබෑවක් තිබේ. නමුත් දෙවැනි වර්ගයේ බිය යනු මෙවැනි සැබෑවකින් පවා වඩාත් දුරස් වූ හුදු නිශේධනාත්මක ආවේදනයක් පමණි. අප දේශපාලනයේදී මෙයින් ගැලවිය යුතුය. මාවෝ උපුටමින් බදියු සිහිපත් කරන ලෙස අප යුද්ධයට කැමති නැත – නමුත් අප එයට බිය වන්නේ නැත. අද දවසේ දේශපාලනය සඳහා මේ ධෛර්යය අනිවාර්ය වනවා ය.

‘බව’ සංස්කාරකවරු

***

“ඡන්දයට පෙර” – ඇලේන් බදියු

පළමුවෙන් ම, ස්වකීය වරප්‍රසාදයන් යම් යම් තත්වයන් මත රඳාපවතින බවත් ඒවා තර්ජනයට ලක්ව ඇති බවත්, අනෙක් අතට සිය ආධිපත්‍ය තාවකාලික බවත් එය දැනටමත් අඩිතාලමෙන් සෙළ වී ඇති බවත් ඉවෙන් මෙන් වටහාගෙන සිටින ආධිපත්‍යධාරී වරප්‍රසාදිත ජනයාගේ වෛශික අවස්ථාව (Subjective Situation) සලකුණු කරන පළමු කාණ්ඩයේ භීතිය මම නම් කරනවා මූලික භීතිය කියා. කිසිදු ආකාරයක පැහැබර අනාගතයක් පුරෝකතනය කළ නොහැකි ප්‍රංශය තුළ මධ්‍යම ප්‍රමාණයේ බලයක් වන මොවුන්ගේ – රටේ නොවැදගත්භාවය කණපිට හරවා පෘථිවියට ම විමුක්තිකාමීත්වයේ විමර්ශක ලක්ෂ්‍යයක් බවට පත් විය හැකි, දේශපාලනයක් නිර්මාණය කිරීමට නොහැකි වුවොත් – නිෂේධනාත්මක ආවේදනය විශේෂයෙන් ප්‍රචණ්ඩ හා අප්‍රසන්න වේ. විදේශිකයන්ට, කම්කරුවන්ට, මහජනයාට, ගම්වලින් ආ තරුණයන්ට, මුස්ලිම් ජනයාට, කළු අප්‍රිකානුවන්ට ආදී විවිධ පාර්ශවයන්ට එරෙහි බියක් ලෙස මෙම භීතිය අනුවර්තනය වේ. අපව කොයිතරම් තලාපෙළා දුගීභාවයට පත් කළත් අපව ආරක්ෂා කරන ස්වාමියෙක් පිළිබඳව වූ ආශාවක් මෙම අඳුරු සහ සම්ප්‍රදායික භීතිය විසින් ඇති කරයි. මේ ස්වාමියාගේ මූලික චරිත ලක්ෂණ අපි දන්නවා: මාධ්‍ය කුමන්ත්‍රණ, ගජමිතුරු ව්‍යාපාරිකයන් සහ තිරය පසුපස අල්ලස් ගණුදෙනු මගින් දේශපාලනය පිළිබඳ තමන්ගේ සමස්ථ අදහස සම්පූර්ණ වන සහ සෑම අස්සක් මුල්ලක් ම ගිනි තබමින් වියරුවෙන් නටනා පොලිස්කාරයෙක් වන සාකෝසි. භීතිය මගින් සැබෑවක් වූ අභ්‍යන්තර අතුරු අන්තරාවක් ඉදිරියේ දී මෙම ලිලිපුට් නැපෝලියන් අතින්, ජෝන් ජෙනට් විසින් සිය ‘සඳළුතලය’ (The Balcony) නම් නාට්‍යයේදී පරිදි රාජ්‍යය ඒක පාර්ශවීය ආකෘතියක්, එනම් එම නට්‍යයේ පොලිස්පතිගේ ප්‍රියතම විකට ඇඳුම වූ අති විශාල රබර් පුරුෂ ලිංගයක් බවත් පත්වේ. මේ අනුව ඉතා බාලම මට්ටමේ මත විමසුම් සමග එක පෙළට සිට ගනිමින් සකෝසි නම් වූ මේ නො වැදත් චරිතය ළමා අපචාර කිරීම ජාන විකෘතියක ප්‍රතිඵලයක් සහ තමා උපතින් ම විෂම ලිංගිකයකු වේ ය යන ගැඹුරු අදහස වෙත සිය චින්තනය ඔසවා තබා ගැනීම කිසිසේත් පරස්පරයක් නොවේ. අපගේ මේ අව්‍යාජව ම අශ්ලීල වූ සමාජයේ සාංදෘෂ්‍ය වීමට ඉඩ නො දී මිහිදන් කළ ආශාව වසර ගණනක් තිස්සේ සංකේතවත් කරමින්, ඔට්‍රේ නඩු විභාගයේදී (Outreau trial) පරිසමාප්තියට පත් වූ, මේ ළමා අපචාර යනු මෙම දේශපාලන මල් වෙඩි සන්දර්ශනයෙන් අපට කියා දෙන යල් පැනගිය අවිඥානික භීතියෙ උචිතම සංකේතය නො වේ ද? මේ යළි අවධාරණය කළ – සංයුක්ත විෂම ලිංගිකයා තරම් මේ සාපලත් වියුක්ත ළමා අපචාර වලින් මෙන්ම විදේශකයන් සහ විදේශීය ජීවන ක්‍රම වල තර්ජනයෙන් අපිව ගැලවිය හැකි සුදුසු ස්වාමියෙක් තව කොහිද? ජනප්‍රිය පුද්ගලයන් හරහා සිදු කරන දේශපාලනයට මම කොතරම් අකමැති වුවත්, සිය ස්වාමිපුරුෂයාගේ ජානමය ප්‍රකාශ තේරුම් ගැනීමට, මේ අපේක්ෂකයාගේ අමුතු බිරිඳ සෙසීලියා, මත නම් මම යම් බලාපොරොත්තුවක් තබා තිබෙමි.

            මෙම ප්‍රාථමික භීතියට එරෙහිව ඡන්ද සටනකදී සිදුවිය යුතු පරිදි මේ පොලිස්කාරී තේමාවේ විවිධ ආකාරයන්ට ප්‍රතිපත්ති ම ය ලෙස වෙනස් වූ නිරවුල් මතවාදයක් ප්‍රකාශමාන වූයේ නැත. මෙයට සම්පූර්ණයෙන් වෙනස්ව එය වෙනත් වර්ගයක භීතියක් විය. ඒ සමාජවාදී පක්ෂයේ සුළු ධනේශ්වරය නො හඳුනන සහ නො කැමති දඟලන පොලිස්කාරයා කියන ස්වාමියා ගොඩ නැගූ පළමු වර්ගයේ භීතියට ප්‍රතිචාර ලෙස එන භීතය යි. එම භීතිය ඇති කරන පොදු හැගීමට ප්‍රතිචාර ලෙස එන භීතිය යි. එම භීතිය ඇති කරන පොදු හැඟීමට ඔබ්බෙන් එහි අන්තර්ගතය හදුනාගත නො හැකි පරපෝෂිත වර්ගයේ මෙම භීතිය දෙවෙනි භීතිය වෙයි. දඩාවතේ හැසිරෙන ධනවාදයේ ඵලවිපාකයන්ට මුහුණ දිය යුතු ආකාරය සම්බන්ධයෙන් මෙම කණ්ඩායම් දෙකට ම … අවම මට්ටමේ හෝ නිශ්චිත දැක්මක් නො මැත. ගෝලීය ධනවාදය විසින් ජනනය කරනා බාහිර හා අභ්‍යන්තර වෙන් කිරීම්වලට එරෙහිව අපට ඇත්තේ එක ලෝකයක් බව පැවසීමට මේ කණ්ඩායම් දෙකටම නො හැකිය. විශේෂයෙන්, හිංසනයට ලක්වන්නා වූ ‘අනෙක්’ ලෝකයේ වැසියන් සමග සන්ධානයක් ගොඩ නැගීමට සමාජවාදී පක්ෂය යෝජනා කරන්නේ නැත. ඒ වෙනුවට මේ ඉතාම සැක කටයුතු භීතිය පිළිබඳ භීතියේ වාසි ලබාගැනීමෙන් ඔවුන් තෘප්තිමත් වේ.

            කොටින්ම, මෙම ඡන්ද කණ්ඩායම් දෙකටම ලෝකය යනුවෙන් සාංදාෂ්ටිකත්වයක් නැත. පලස්තීනය, ඉරානය, ඇෆ්ගනිස්ථානය (මෙම රට වල ප්‍රංශ සොල්දාදුවන් යුධ පෙරමුණේ සිටි) ලෙබනනය (එලෙසමයි), අප්‍රිකාව (මෙහිද ප්‍රංශ සෙබළුන් පොකුරු පිටින් රඳවා තිබේ) ආදී ප්‍රශ්න පිළිබඳ ව පරිපූර්ණ එකඟතාවයක් ඇති අතර මේ යුද්ධය සහ සාමය සමග බැදුනු ප්‍රශ්න සම්බන්ධයෙන් කුඩා ම මට්ටමේ හෝ මහජන සංවාදයක් ඇරඹීමට කිසිවෙක් උත්සුක නො වේ. සුවකිරීමට නො හැකි ලෙස රෝගී වුවත්, දුගී දිස්ත්‍රික්කවලින් එන තරුණයන් සහ වීසා බලපත්‍ර නො මැති කම්කරුවන්ට එරෙහිව සෑම දිනකම ඡන්දයෙන් බිහි කරන මිනීමරු නීති රෙගුලාසි ගැනවත් කිසිදු බැරෑරුම් ප්‍රශ්නයක් මොවුනට නො මැත. භීතියට එරෙහිව භීතිය යොදා ඇති නිසා එයින් ගම්‍ය වන්නේ සබැවින් ම මිනිසුන් පොළඹවිය හැකි ප්‍රශ්න ලෙස හඳුනා ගත හැක්කේ පහත වර්ගයේ ඒවා බවයි. අප වඩාත් බිය විය යුත්තේ පාර අතුගාන දෙමළ ජාතිකයාටද එසේත් නොමැති නම්, ඔහුට හිරිහැර කරනා පොලිස්කාරයාටද? නැතිනම්, මාලි වලින් පැමිණෙන කෝකියෙකු සමග සසඳන විට ලෝක ගෝලය උණුසුම් වීමේ ගැටළුව විශාල තර්ජනයක්ද? නැතිනම් කුඩා තර්ජනයක්ද?

            මෙම ආවේදනීය නිශේධනත්වයේ සර්ව ව්‍යාප්තී බව හඟවන ආත්මීය දර්ශකය වන්නේ මැතිවරණ ආත්මයේ දෙබෙඳුමයි. රාජ්‍යයේ මෙම වංචනික කැඳවීමට සහභාගී නොවන්නට දැඩි තීරණයක් ගත්, මා වැනි අයගේ මිතුරන් ම මගෙන් ප්‍රශ්න කරන මට්ටමට පැමිණීම ආදි වූ සියලුම කරුණුවලින් පෙන්වන්නේ විශාල ඡන්දය දීමක් අපේක්ෂා කළ හැකි බවයි. මේ අනුව ඡන්දය එක්තරා අන්දමක උපරි-අහමක් ලෙස ක්‍රියාත්මක වේ. කෙසේ වුවත් මෙම ඡන්දය අවසාන මිනිත්තුව දක්වා දිවෙන සුවිශාල අතීරණාත්මක බවක් පෙන්නුම් කරයි. වෙනත් වචන වලින් පවසන්නේ නම් අනිවාර්ය යුතුකමක් ලෙස මහජනයා අත්දකින බොහෝවිට මේ විශාල ඡන්ද ප්‍රකාශ කිරීම මගින් එයට බැඳුණු ආවේදනයන් වලින් ඔබ්බෙහි වූ කිසිදු ආකාරයක දැඩි විශ්වාසයක් නියෝජනය කරන්නක් නො වේ. නමුත් කෙනෙකුට සිතෙන්නට පුළුවන් මේ භීතිය හා භීතිය පිළිබඳ භීතිය අතරින් එකක් තෝරා ගැනීම ඉතාම සියුම් කර්තව්‍යයක් කියා.

            අපි මොහොතකට උපකල්පනය කරමු, දේශපාලනය යනු පහත නිර්වචනය තුළින් සාරාංශගත කරන පරිදි, මම දේශපාලනය යැයි සිතනා දෙය කියා: පවත්නා අධිපති සමාජ සම්බන්ධතා තුළින් මර්දනය කර ඇති නව්‍ය වියහැකිභාවයක ප්‍රතිවිපාකයක්, යථාර්ථය තුළ ගොඩ නැගීමේ අරමුණින්, කිසියම් මූලධර්ම කීපයක් අනුසාරයෙන් සිදු කරනා සංවිධිත සාමූහික ක්‍රියාකාරකම් එකතුවක්. මේ අර්ථයෙන් නම් අපට ආ හැකි නිගමනය වන්නේ අපව කැඳවා ඇති මෙම මැතිවරණය මූලික වශයෙන් අදේශපාලනික භාවිතයක් බවයි. සැබැවින් ම එය ආවේදනය නම් වූ නිර්-මූලධර්මයට මුළුමනින් යටත් වූවකි. ආකෘතිමය බලකර සිටීම සහ කිසිදු ආකාරයක ධනාත්මක සැබෑ විශ්වාසයක් සම්බන්ධව මැඩගත නො හැකි දෙගිඩියාම නම් දෙපළු වීම ඇති වන්නේ මේ නිසා ය. ඡන්දය දීම සහ ඒ මගින් මගේ භීතියට ආකෘතියක් සැපයීම යහපත් වුවත් මම ඡන්දය දෙන අරමුණු නිවැරදි බව විශ්වාස කිරීම ඉතා අපහසු ය. මෙම මැතිවරණ ක්‍රියාවලිය තුළ නො මැත්තේ වෙන කිසිවක් නො ව යථාවයි (the real).

            ප්‍රතික්‍රියාවක් ලෙස අපට නම් කළ හැකි පළමු වර්ගයේ භීතියටත් වඩා යථාවෙන් දුරස්ථ වූවක් ලෙස විරුද්ධ පක්ෂය සේ අපට නම් කළ හැකි මේ දෙවැනි වර්ගයේ භීතිය හඳුනාගත හැක. ප්‍රායෝගික ජීවිතයට සම්බන්ධ සමාජ අවස්ථාවකට, සමහරවිට බියෙන් උමතු වී චෝදනාත්මක ස්වරයෙන් පමණක් නොව සාපරාධී ලෙස වුවත් මහජනයා ප්‍රතික්‍රියා කිරීම සාමාන්‍ය තත්ත්වයකි. මෙම ප්‍රතික්‍රියාවේ විශාලත්වයට දක්වන සරල භීතියක් වන විරුද්ධ පක්ෂය මේ අනුව ස්ථානගත කළ හැක්කේ සැබැවින්ම පවත්නා මොනයම් හෝ දෙයකින් තවත් අඩියක් ඈතින් තමයි.

ඇලේන් බදියු, “සාකෝසී යනු කුමක්ද?”, පි. 21-25 (පරිවර්තනය නවීකරණය කර තිබේ)

 

 

***