0._pradeep_chandrasiri_-_things_i_told__things_not_heard__and_things_i_tell_now_

 

මෙම ලිපි මාලාවේ ඉලක්කය වන්නේ ‘ජාතික ජන බලවේගයට’ අප සහය දිය යුත්තේ ඇයි යන ප්‍රශ්නයට පිළිතුරක් ගොණු කිරීමට උත්සාහ කිරීමයි. එම අර්ථයෙන් ගත්විට මෙය ජනාධිපතිවරණය ඉලක්ක කරගත් ප්‍රචාරණ ව්‍යාපෘතියක් ලෙස හඳුනා ගැනීමේ වරදක් නොමැත. නමුත් ‘ප්‍රචාරණය’ යන වචනය ගෝලීය ධනේශ්වර සන්දර්භයක් තුළ ලබන්නේ අතිශයින් පටු සහ ගැටලුකාරී අර්ථයක් බව අප සිහිපත් කළ යුතුය. කුමාර් සංගක්කාර සිය පුහුණු වීම් අතරතුර දිවා ආහාරයට ප්‍රීමා නූඩ්ල්ස් ගන්නා බව අපට කියා සිටින විට ද අප එය හඳුනා ගන්නේ ප්‍රචාරණ ව්‍යාපාරයක් ලෙසයි. නමුත් මෙය කිසි දා සත්‍යයක් නොවන බව සාමාන්‍ය මට්ටමේ අවබෝධ කර ගැනීමේ හැකියාවක් ඇති ඕනෑම කෙනෙකුට පැහැදිළි විය යුතුය – කුමාර් සංගක්කාර වැනි මිනිසුන් සිය සැබෑ ජීවිතයේදී ප්‍රීම නූඩ්ල්ස් කන්නේ නැත. එවැනි අර්ථයකින් ගත්විට මේ තිබෙන්නේ මොනයම් ආකාරයක හෝ ‘ප්‍රචාරණ’ ව්‍යාපාරයක් නොවේ කියා පැහැදිළි විය යුතුය. ඒ වෙනුවට මෙහි තිබෙන්නේ සත්‍ය වශයෙන්ම අප කරනවා කියා කියන දෙය සිදු කිරීමට ගන්නා උත්සාහයකි. එනම්, සරලව සහ ඍජු, ‘ජාතික ජන බලවේගයට’ සහය දිය යුත්තේ ඇයි යන ප්‍රශ්නයට තරමක දිගු පිළිතුරකි.

නමුත් මෙහිදී කෙනෙක්ට හමු වනු ඇත්තේ මෙවැනි ප්‍රශ්න වලට අපට සුලභව දක්නට ලැබෙනා ආකාරයේ පිළිතුරක් නොව තරමක් වියුක්ත පිළිතුරකි. එමගින් අදහස් කරන්නේ එවැනි ‘සුලභ’ පිළිතුරු වලට වඩා මෙය ‘දුලභ’ වන නිසාම මෙය උසස් බව නොව මෙය එවැනි පිළිතුරු වලින් වෙනස් වන බවයි. මේ තිබෙන්නේ ‘අපේ’ පිළිතුරයි. ‘ජාතික ජන බලවේගයේ’ වේදිකාවට ‘අප’ රැගෙන එන අපගේ සුවිශේෂ ඉල්ලීමයි. නමුත්, මෙම ලිපි මාලාවේ ඉදිරියේදී පැහැදිළි කිරීමට නියමිත අර්නස්ටෝ ලැක්ලාවූ ගේ දේශපාලන න්‍යායට අනුව, අවසානයේදී, සිදු විය යුත්තේ ‘අපේ සුවිශේෂ ඉල්ලීම්’ දිය වී ගොස් එය ‘පොදු විශ්වීය ඉල්ලීමක’ කොටසක් බවට ඒවා පත්වීමයි. එනිසා ගඟෙන් එතෙර වූ පසු පහුර කර මත තබා නොගන්න.

රළු සාරාංශයක් ලෙස සටහන් කරන්නේනම් මෙහි තිබෙන්නේ ‘දෘෂ්ඨිවාදී විචාරය’ යන අදහස පිළිබඳව දාර්ශනික සලකා බැලීමකි. ‘දෘෂ්ඨිවාදය’ යන්න සඳහා තිබෙන ඉතාම සරල නිර්වචනයක් වන්නේ එය යථාර්ථය පිළිබඳව ව්‍යාජ විඥානයක් (false consciousness) අප වෙත ලබා දෙන බුද්ධිමය-දේශපාලනික මෙහෙයුමක් වන බවයි. එවිට අපට යථාර්ථය පෙනෙන්නේ එහි සැබෑ ස්වරූපයෙන් නොව ව්‍යාජ ස්වරූපයෙනි. නිදර්ශනයක් ලෙස ‘ලංකාව යනු බුදුන්ගේ දේශයයි’ කියා ගැනීම අපට දෘෂ්ඨිවාදයක් ලෙස ගත හැකිය. එමගින් සිදු කරන්නේ ‘බුදුන්’ නම් වූ පූජනීය චරිතයක් පිළිබඳව විශ්වාස කරන පිරිසක් වෙත මේ රටේ විශේෂ වරප්‍රසාදයක් ලබා දීමයි. එවිට එම විශ්වාසයෙන් බැහැරව සිටිනා පිරිස ගේ විශ්වාසයන්ට හිමි වන්නේ ද්වීතික වටිනාකමකි. එනිසාම එකම රටේ උපන් මිනිසුන් ලෙස මේ රටට සම අයිතියක් ඔවුනට ලැබෙන්නේ නැත. නමුත් මෙය යුක්ති සහගත නොවන බවත් අප අහඹු ලෙස අයත් වන විශ්වාසයන් ගේ පද්ධති අතර මෙවැනි ධූරාවලියක් සෑදීමේ පදනමක් නොමැති බවත් අපට පෙන්වා දිය හැකිය. ඉතාම සංක්ෂිප්තව දෘෂ්ඨිවාදී විචාරයක් සඳහා සම්භාව්‍ය අර්ථකථනය වන්නේ මෙයයි.

නමුත් සමස්ත ගැටලුව වන්නේ මෙම ‘ව්‍යාජ විඥානනය’ සහ ‘සැබෑ වටහා ගැනීම’ අතර බෙදීම සිදු කිරීමට අපට දාර්ශනික පදනමක් නොමැති වීමයි. මෙම රචනා පෙළේ අරමුණ වන්නේ මෙය මෙසේ වන්නේ ඇයිද කියා පෙන්වා දීම සහ මෙහි ප්‍රතිවිඵාක මොනවාද කියා පරීක්ෂා කර බැලීමයි. මේ සඳහා අර්නස්ටෝ ලැක්ලාවූ ගේ දේශපාලන දර්ශනය සම්බන්ධයෙන් තරමක දිගු විමසා බැලීමක් සිදු කෙරෙනු ඇත. දේශපාලන සන්ධාන බිහිවීම පිළිබඳව ඉතා සංකීර්ණ ලෙස සිතා බැලූ මෙම න්‍යායවේදියා අවසානයේදී නිගමනය කරන්නේ ව්‍යාජ විඥානය යන අදහස වෙනුවෙන් අපට තවදුරටත් පෙනී සිටින්නට නොහැකි වන බවයි. එම නිසාම දෘෂ්ඨිවාදය යනු තවදුරටත් ‘නරක’ දෙයක් නොව අපට දේශපාලන සන්ධාන සම්බන්ධයෙන් දැනුමක් දෙන ‘හොඳ’ දෙයක් ලෙස ඔහු එය යළි අර්ථකථනය කරයි. මෙම රචනා පෙළේ උපන්‍යාසය වන්නේ මෙම පිළිගැනීම අපට අවාසි සහගත බවත් එමගින් ආධිපත්‍යධාරී අදහස් ප්‍රශ්න කිරීමට අපට ඇති එක් මාවතක් අවහිර වන බවත්ය. කොන්ටෙන් මෙයසූ ගේ අදහස් වල දේශපාලන වලංගුබව රැඳී තිබෙන්නේ මෙම නිශ්චිත ලක්ශ්‍යය්දීය. ඒ අනුව මෙය අවසන් වනු ඇත්තේ මෙම ප්‍රශ්නයට විකල්ප විසඳුමක් ලබා ගැනීමට අපට මෙයසූ ඉඩ දෙන ආකාරය පිළිබඳව සාකච්ඡාවකිනි. එමගින් දේශපාලන සන්ධාන පිළිබඳව ලැක්ලාවූ ගේ විශිෂ්ට සිතා බැලීමට අත්‍යවශ්‍ය ඌණපූර්ණයක් ලැබෙනවා කියා අපි යෝජනා කරමු.

මෙය නිශ්චිත වශයෙන් ප්‍රයෝජනවත් වන්නේ කාටද කියා අප දන්නේ නැත – ‘ජාතික ජන බලවේගයට’ සහය දිය යුත්තේ ඇයි ද යන ප්‍රශ්නයට මෙය ‘අපේ සුවිශේෂ පිළිතුර’ කියා ඉහතින් සඳහන් කළේ එම නිසාය. එක්තරා අර්ථයකින් මෙම අවිනිශ්චිත බව දාර්ශනික ලිවීම් වල අනිවාර්ය දෛවයක් වන නිසා මෙය ගැටලුවක් වන්නේ නැත. ඇලේන් බදියු වරක් කියූ ලෙස ඒවා ලිපිනයක් සටහන් නොකරමින් තැපැල් කර ඇති හසුන් පත් වැනිය. ලිපිනයක් නැති නිසා ඒවා තිබෙන්නේ තැපැල් කාර්යාලයේය. එනිසා එය ඔබට ලබා ගැනීම සඳහා එය එහි ඇති බව ‘කෙසේ හෝ’ දැන ගත යුතුය – ලිපිය පිළිබඳව පූර්ව අවබෝධයක් තිබිය යුතුය. මෙයට හේතුව වන්නේ මෙය නිශ්චිත අනෙකෙක් ඉලක්ක කරගෙන ලියා නොමැති වීමයි. මෙහි හඬ කාට ඇසෙන්නේ ද කියා අප දන්නේ නැත.

මතු සම්බන්ධයි

 

 

 

***