SONY DSC

 

“ ‘ජාතික ජන බලවේගයට’ ඡන්දය දිය යුත්තේ ඇයි?”යන පුළුල් තේමාවක් යටතේ පළ වන ලිපි මාලාවක පළමු වැනි ලිපිය මෙයයි. ආගමික-වාර්ගික දේශපාලනයේ නැග ඒම සහ එය ප්‍රශ්න කිරීමට ඓතිහාසිකව ගොඩ නැගී තිබූ සංකල්පීය මෙවලම වූ දෘෂ්ඨිවාදී විචාරයේ සමකාලීන වර්ධනයන් සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඇසුරින් මෙයට ප්‍රවිෂ්ඨ වී තිබේ. ආරම්භයක් වශයෙන් මෙහි අවධානය යොමු වන්නේ ස්ලැවෝයි ජිජැක් අතින් දෘෂ්ඨිවාදී විචාරය යන අදහස ස්ථාපිත වන ආකාරය සම්බන්ධයෙනි.

***

‘පරිමිතත්වයෙන් පසු’ කෘතියේ මෙයසූ මතු කරන දේශපාලන ප්‍රශ්නය ඉතාම රළු ආකාරයකට සාරාංශ කළහොත් එය මෙසේය. නූතන දර්ශනයේ නෛසර්ගික වර්ධනයේ ප්‍රතිඵලයක් ලෙස ආගමික භක්තිය ඉදිරියේ දර්ශනයේ නිෂ්ක්‍රීය වීමක් ඇති බව අපට පැහැදිළි වේ. පාරභෞතික විද්‍යාව දාර්ශනිකව ප්‍රතික්ෂේප කිරීමේ එක ප්‍රතිඵලයක් වූයේ අපගේ දැනුමේ පරිමිතබව පසුකර යා නොහැකි කොන්දේසියක් ලෙස පිළිගැනීමයි. තවදුරටත් අපට යථාර්ථය සහ ලෝක ස්වභාවය පිළිබඳව තිබෙනා පරම වූ අවබෝධයක් මත පදනම් වී ආගමික භක්තිය ප්‍රශ්න කිරීමට ඉඩ ලැබෙන්නේ නැත. එම නිසා, සමකාලීන ලෝකයේ අප අත්දකිනා ආගමිකත්වයේ නැවත පිබිදීම පසුපස දාර්ශනික භූමිකාවක් ඇති බව පැහැදිළි විය. අවම වශයෙන් එය අපට දාර්ශනිකයාගේ නිහඬ බවේ වරදකාරිත්වය යනුවෙන් නම් කළ හැකිය. අතීතයේ භෞතිකවාදී සමාජ දේශපාලන ක්‍රියාකාරීන් වෙත, ආගමිකත්වය ඉදිරියේ උරුම වී තිබූ දාර්ශනික ශක්තිය සමකාලීන සමාජ ක්‍රියාකාරිත්වය වෙත දාර්ශනිකයා අතින් හිමි වන්නේ නැත. එම නිසාම අප වෙත අද හැකියාව තිබෙන්නේ ආගමිකත්වයේ ‘හානිදායක අතිරික්තයන්’ ලෙස අප විසින් හඳුනා ගනු ලැබෙන දේ හැකිතාක් පාලනයකට යටත් කිරීමයි. නමුත් මෙම ‘හානිදායක අතිරික්තයන්’ ලෙස අප විසින් හඳුනා ගනු ලබන දේ ආගමික භක්තිකයා විසින් අනිවාර්යතාවයක් කියා – ‘කණගාටුවෙන් වුවත් ආගමේ-ජාතියේ නාමයෙන් අප ගෙවිය යුතු වන්දියක්’ කියා – නම් කරනා විට අපට එය දාර්ශනිකව ප්‍රතික්ෂේප කිරීමට ඉඩ ලැබෙන්නේ නැත.

නමුත්, තවත් අතකින්, නූතන දර්ශනය විසින් දේශපාලන ක්‍රියාකාරිත්වය වෙත උරුම කර දුන් දේ ලෙස මෙලෙස ආගමිකත්වය ඉදිරියේ නිෂ්ක්‍රීය වීම පමණක් හඳුනා ගැනීම නිවැරදි නොවේ. මක් නිසාද යත්, නූතනවාදී දේශපාලන විශ්ලේෂණයේ වැදගත්ම සංකල්පයක් වන දෘෂ්ඨිවාදය විචාරය කිරීම යන්නෙහි එක් පූර්ව කොන්දේසියක් වන්නේ ද පාරභෞතික විද්‍යාව විචාරයට බඳුන් කිරීමේ මෙම නූතන දාර්ශනික මෙහෙයුමයි. අප හට උරුම වී ඇති මේ ජීවිතය, මේ සමාජ ක්‍රමය, මේ ලෝකය මේ ආකාරයටම පැවතීමේ කිසිදු අනිවාර්යතාවයක් නොමැති බව අපට කිව හැකි වීමේ කොන්දේසිය වන්නේ මෙම දාර්ශනික නූතන්ත්වයයි. කිසිදු පරම වූ හේතුවක් හරහා අපගේ ලෝකය පාලනය වනවා කියා පැවසීමේ නොහැකිබව ශක්තිමත් ලෙස ස්ථාපිත කර තිබෙන්නේ එය මගිනි. එම නිසා අපගේ තර්ක බුද්ධියේ ලෝකය තුළ මේ සමාජය රැඩිකල් ලෙස වෙනස් වීමේ විභවය අප පිළිගත යුතුය.

නමුත් මෙහි සීමාව වන්නේ ‘අපගේ තර්ක බුද්ධියේ ලෝකය’ යනුවෙන් ඉහත සඳහන් කළ කොදේසියම වේ. තර්ක බුද්ධියේ ලෝකය තුළ පැහැදිළි කරගත නොහැකි දේ භක්තියේ සහ විශ්වාසයේ ලෝකය තුළ ඉතිරි වන බව අපි දනිමු. විශ්වාසය නැතිනම් භක්තිය යනු අපගේ සිතීමේ අනිවාර්ය අංගයකි. ඉතාම කුඩා දෙයෙහි සිට ඉතාම විශාල දේ දක්වා අප කටයුතු කරනා බොහෝ අවස්ථාවන් වලදී භක්තිය මත අප බාර ගන්නා දේ තීරණාත්මක වේ. නමුත් භක්තියේ අවකාශය තිබෙන්නේ දාර්ශනිකයාගේ බල ප්‍රදේශයෙන් ඔබ්බෙහිය. මෙහි ප්‍රතිඵලයක් ලෙස භක්තිය මත පමණක් පදනම් වන ආගමිකත්වය ද සමකාලීන ලෝකයේ පවතින්නේ දාර්ශනිකයාගේ විචාරයෙන් ඔබ්බෙහිය. අනෙක් අතට, ආගමිකත්වය යනු සම්ප්‍රදායිකව දෘෂ්ඨිවාදය සඳහා තිබෙනා වඩාත්ම යෝග්‍ය වන්නා වූ නිදර්ශනය ලෙස හඳුනා ගත හැකිය.

මාක්ස් සිය “A Contribution to the Critique of Hegel’s Philosophy of Right” කෘතියේ ආරම්භයේදී ජනප්‍රිය ලෙස කියූ පරිදි “ආගමික විඳවීම යනු, එක් වරම, සැබෑ විඳවීම් වල ප්‍රකාශනය වන අතරම සැබෑ විඳවීම් වලට එරෙහි විරෝධය පළ කිරීමක් ද වේ. ආගම යනු පීඩනයට පත් වූ මිනිසාගේ සුසුමයි, හදවතක් නැති ලෝකයේ හදවතයි, අමානුෂික සමාජ කොන්දේසි වල මානුෂිකත්වයයි. එය ජනතාවගේ අබිං වේ. ආගම යනු ජනයාගේ ව්‍යාජ සතුට වන නිසා එය අහෝසි කරනවා යනු සැබෑ සතුට ඉල්ලා සිටීමකි. ඔවුන්ගේ සමාජ කොන්දේසි පිළිබඳව ඇති ව්‍යාජ අදහස් අත්හරින්න කියා කියනවා යනු ඔවුන්ට එවැනි ව්‍යාජ අදහස් අවශ්‍ය වන සමාජ කොන්දේසි අත්හැරීමට කරනා ඉල්ලීමකි. ආගම විචාරය කිරීම යනු, මේ අනුව, ආගම නම් රශ්මි කදම්බයෙන් වැසී ගොස් ඇති මේ වේදනාකාරී ලෝකය විචාරයට බඳුන් කිරීමේ කළල අවස්ථාවයි… ආගම විවේචනය කිරීමෙන් මිනිසාව සිය මායාවන්ගෙන් මුදවාලනු ලබයි. සිය මායාවන් ඉවත දැමූ සහ සිය බුද්ධිමය නැවත දිනා ගත් මිනිසෙකු සේ සිතන්න, ක්‍රියා කරන්න සහ සිය යථාර්ථය සකස් කරගන්න ඔහුට හැකි වන්නේ ඒ ආකාරයටයි… මේ අනුව ඉතිහාසයේ කාර්යභාරය වන්නේ, සත්‍යයේ මෙම අනෙක් ලෝකය ඉවත දැමූ පසුව මේ ලෝකයේ සත්‍යය ස්ථාපිත කිරීමයි. ඉතිහාසයට සේවය කිරීම වෙනුවෙන් ඇති, දර්ශනයේ ඍජු කාර්යභාරය වන්නේ මිනිසාගේ ස්වයන්-පරාරෝපණය වීමේ ශුද්ධ වූ ආකෘතීන් නිරාවරණය කරගත් පසුව ස්වයන්-පරාරෝපණයේ අශුද්ධ ආකෘතීන් හෙළිදරව් කිරීමයි”[i].

නමුත් අප මුහුණ දෙන ගැටලුව වන්නේ දර්ශනයේ මෙම ඓතිහාසික කාර්යභාරය අද වන විට මුළුමනින් අකර්මණ්‍ය වී තිබීමයි. ‘ව්‍යාජ’ අදහස් වෙනුවට ‘සත්‍යය’ හෙළිදරව් කිරීමේ හැකියාව යනු නූතන දර්ශනය විසින්ම අභියෝගයට ලක් වූ අදහසකි. මෙහි ප්‍රතිඵලයක් ලෙස දෘෂ්ඨිවාදී විචාරය පිළිබඳව අදහස මුහුණ දෙන්නේ බරපතල අර්බුධයකට බව පැහැදිළි වේ. ‘සැබෑව නිරාවරණය කරන්නේ නොමැතිව’ අපට දෘෂ්ඨිවාදය විචාරය කිරීම යන අදහස පත්වන්නේ බැරෑරුම් සීමාවකටයි.

දෘෂ්ඨිවාදී විචාරය සම්බන්ධයෙන් සමකාලීන බුද්ධිමය සංවාදයේ ඉතාමත් බලපෑම්සහගත මැදිහත්වීමක් සිදු කළ ජිජැක් ගේ විශ්ලේෂණය තුළ මේ සම්බන්ධයෙන් අපට තිබෙනා පැහැදිළි කිරීම වන්නේ කුමක්ද? අවම වශයෙන් මේ සම්බන්ධ ඔහුගේ මුල් කාලීන ලියවිලි වල දී තීරණාත්මක වන්නේ ‘පසමිතුරුතාවය’ (‘antagonism’) යන සංකල්පයයි. උතුරු ඇමරිකානු ‘ස්වෙදේශික’ ගම්මානයක වැසියන් අතින් සිය ගමේ ගොඩනැගිලි ස්ථාපිත වී ඇති ආකාරය පිළිබඳව ලෙවී-ස්ට්‍රවුස් ගේ අධ්‍යයනයක් මත පදනම් වූ ජිජැක් ගේ ජනප්‍රිය විශ්ලේෂණය අපි මෙය පැහැදිළි කර ගැනීම සඳහා උපකාර කර ගනිමු[ii]. කණ්ඩායම් දෙකක් ලෙස බෙදී පවත්නා මෙම ගමේ වැසියන් හට සිය ගමේ ගොඩනැගිලි ඉදි වී තිබෙන ආකාරය දළ සිතියමක ලකුණු කරන මෙන් පැවසූ විට ලෙවී-ස්ට්‍රවුස් හට හමු වී තිබෙන්නේ සම්පූර්ණයෙන් වෙනස් ආකාරයේ ප්‍රතිචාර දෙකකි. එක කණ්ඩායමකට අනුව ගමේ සිතියම සකස් වන්නේ ගම මධ්‍යයේ තිබෙනා ආගමික ගොඩනැගිල්ල වටා, අඩු වැඩි වශයෙන්, සමමිතිකව සකස් වී ඇති නිවාස වෘත්තයක් වන අතර අනෙක් කණ්ඩායමට අනුව තිබෙන්නේ අදෘශ්‍යමාන බෙදුම් රේඛාවකින් එකිනෙකින් වෙන් වී තිබෙනා නිවාස පොකුරු දෙකකි.

ජිජැක් ට අනුව මෙහිදී ලෙවී-ස්ට්‍රවුස් විශේෂයෙන් උනන්දු වන්නේ මේ සිතියම් දෙක අතරින් වඩා නිවැරදි – සැබැවින්ම නිවාස වල පිහිටුම අපට පෙන්වා දෙන – සිතියම කුමක්ද යන්න සෙවීමට නොව එකම නිවාස පිහිටුම මේ ආකාරයට එකිනෙකට වෙනස් ආකෘතීන් දෙකකට සකස් වීමට හේතුව විමසීමටයි. අවසාන අර්ථයේදී මේ සිතියම් දෙක මගින් ප්‍රකාශමාන වන්නේ සමාජය යන්න, එහි සිටින සියලු දෙනා ඇතුලත් කරගත හැකි සමතුලිත සමස්තයක් ලෙස හඳුනා ගැනීමේ නොහැකියාවම යන්නයි. මේ සිතියම් දෙක යනු මෙම නොහැකියාව නම් වූ මූලධාර්මික යථාව, මෙම සුව කරගත නොහැකි වූ පසමිතුරුබව (antagonism) අපට දරා ගත හැකි දෙයක් බව පත් කිරීමට, අර්ථවත් ලෝකයක් තුළට අවශෝෂණය කරගත හැකි දෙයක් බවට පත්කිරීමට කරනා උත්සාහයන් දෙකකි. සමාජ සමස්තය යන්න සෑම විටම ගොඩ නැගෙන්නේ මේ ආකාරයේ අපට නිශ්චිත වශයෙන් සංකේතකරණය කළ නොහැකි ප්‍රාථමික පසුමිතුරුතාවයක් බහිශ්කරණය කිරීම මගිනි. ජිජැක් ට අනුව මේ ප්‍රාථමික ලෙස මර්ධිත පසමිතුරුතාවය අප හඳුන්වන්නේ කෙසේද යන්න මෙහිදී තීරණාත්මක නොවේ. එය සෑම විටම සිදු විය යුත්තේ සංයුක්ත විශ්ලේෂණ මගින් පමණි. මෙහිදී තීරණාත්මක වන්නේ දෘෂ්ඨිවාදය විචාරය කිරීමට ඉඩ ලබා දෙන දෘෂ්ඨිවාදී-නොවන බාහිරත්වය කුමක්ද කියා මේ මගින් අදහසක් ලබා ගත හැකි වීමයි. එම පරිබාහිරත්වය වන්නේ ‘යථාර්ථය’ නොව ඒ වෙනුවට මෙලෙස මර්ධනය වී ඇති ප්‍රාථමික පසමිතුරුතාවයයි.

මෙම ප්‍රවාදය සමාජ විශ්ලේෂණයකදී ඉතාම ප්‍රයෝජනවත් විශිෂ්ට ප්‍රවාදයක් වනවාය යන්න සම්බන්ධයෙන් එතරම් සැකයක් නොමැති වේ. නිදර්ශනයක් ලෙස මෙම ලෙවී-ස්ට්‍රවුස් ගේ සිතියම් දෙකේ කතාව අපට සිංහල සහ දෙමළ සමාජය විසින් ලාංකික සිතියම පරිකල්පනය කරනා ආකාරයේ රැඩිකල් වෙනස්කම තේරුම් කරගැනීමට විශාල සංකල්පීය අත්වැලක් ලබා දෙන බව පැහැදිළි වේ. එක පැත්තකින් ‘සිංහල-බෞද්ධ රාජ්‍යය’ සහ අනෙක් පසින් ‘ඊළාම් දේශය’ මගින් නියෝජනය කරන්නේ දකුණු ඇමරිකානු ස්වදේශිකයන් ගේ සිතියමේම දිගුවක් බව වටහා ගැනීම අපහසු වන්නේ නැත. නමුත් මේ හරහා අප විසින් සාකච්ඡාවට ගනු ලබන ප්‍රශ්නය සඳහා පිළිතුරක් නිර්මාණය වන්නේද?

අපි මෙය තවදුරටත් සාකච්ඡා කරමු.

 

වංගීස සුමනසේකර

 

[i] https://www.marxists.org/archive/marx/works/1843/critique-hpr/intro.htm  (මගේ සිංහල පරිවර්තනය)

 

[ii] නිදර්ශනයක් ලෙස බලන්න, Slavoj Zizek, (2005), “Interrogating the Real”, ed. Rex Butler & Scott Stephens, London/New York: Bloomsbury, pp . 230-233.