1

කිසිම දාර්ශනික පසුබිමක් නැති සමාජ පරිසරයක දාර්ශනික කලාකෘතියක්  කිරීම හා එම කලාකෘතිය ගැන දාර්ශනික ලිපියක් ලිවීම එක්තරා ආකාරයක කාංසාව ගෙන දෙන සාන්දෘෂ්ටික වැඩක්. ඒත් ඉඳහිටක හෝ එවැනි කලාකෘති බිහිවීම මේ හිස් පොළොවට වැටෙන හීන් පොද වැස්සක් වගේ හිතට පුංචිම පුංචි සතුටක් දැනෙනවා. දවසින් දවස මිනිස් ජීවිතවල ඇති  වටිනාකම් නැතිවී යන පරිසරයක් තුල මිනිස් සම්බන්ධතාවයන් යනු තව දුරටත් ආත්මීය සාධකයක් නොවේ. කලාකරුවෙකු විසින් තමාගේ චිත්තවේගයන් තම කලාකෘතිය තුලින් මුදාහැර යම් සැනසිල්ලක් ලබන අතර, ඒ කලාකෘතිය රසවිඳින්නා ද තමාගේ අභ්‍යන්තරයේ ඇති චිත්තවේගයන් කලාකෘතිය හා බද්ධ වීමෙන් සැනසිල්ලක් ලබයි. එක් ආකාරයකට කලාකෘතියක් කියන්නේ මිනිස් සන්තානයේ ඇතිවෙන දුක් දොම්නස් සමනය කරන දිව්‍යමය ඔසුවකි. සැබෑ විඥානයක් සහිත කලාකරුවෙකු ගේ අතින් නිර්මාණය වෙන කලාකෘතියක් කියන්නේ තම සිතුවිලි පරිමිතියෙන් ඔබ්බට සිතන්නට පොළොඹවන වාහකයක් පමණක් නොව, එය පවතින සමාජ දේශපාලන පසුබිමේ ද කැඩපතයි. යම් ආකාරයකට කලාකෘතියක ඇති ස්වභාවය පැතිමාන දෙකකින් අර්ථදැක්වීමට අපට පුළුවන්කම ලැබෙනවා, භෞතික හා මානසික වශයෙන්. කලාකරුවෙකුගේ  මානසික ස්වභාවය හැමවිටම කේන්ද්‍ර ගත වෙන්නේ ස්වභාවික ලෝකයේ ඇති ගතිකයන් අතික්‍රමණය කර, එම පරිකල්පනීය අත්දැකීම යම් දැනුම් පද්ධතියක් හරහා ජීවිතය හා සමාජය තුල ඇති සැඟවී ඇති බොහෝ දේවල් තම කෘතිය හා අනාවරණය කිරීමටයි. භෞතික කරුණු අනුව කලාවේ නියෝජනාත්මක Representation සාධකය යම්කිසි ආකාරයකට  ආත්මීය සත්‍යතාවයක් ප්‍රකාශමාන කරයි. ඒ හෙයින් කලාකෘතියක් රස විඳිනවා කියන්නේ යම් ආකාරයකට එම කලාකෘතිය සමග අනන්‍ය වීමෙන් මිනිස් මනස යම් විධියකට පරිවර්තනය වීමේ ශක්‍යතාවයක් ඇතිවීමට හැකියාව ඇති බවයි. සොබාදහම අනෙකා කරෙගෙන ඇති වූ කලා ප්‍රවනතාවයන් අදවනවිට ලෝකයේ බොහෝ පැති ගණනාවකට විකාශනය වී ඇති අතර, ඒ කෘති විවිධාකාරයෙන් විවරණය කිරීමට බොහෝ න්‍යයායන් අද බිහිවී ඇත. ආගම මුල්කරගෙන අර්ථකථනය කල විඥානවාදී කලා විචාරයන් එය නිශේදනය කර මාක්ස්වාදී න්‍යායන්ට අනුව එය ‘ශ්‍රමය’ මත පදනම්ව විවරණය කිරීමට මාක්ස්වාදී ගුරුකුලයන් ආරම්භ කල ක්‍රමවේදයයි. අදවනවිට එය මානවවිද්‍යාව, ව්‍යුහවාදය, දර්ශනය හා මනෝවිශ්ලේෂණය වැනි සංකීර්ණ විෂයන් ගණනනාවක් හරහා කලාකෘති විවරණය කිරීමට සමත් වී ඇත. ආගමට අනුව විඥානවාදී විචාර ක්‍රමවේදයත්, මාක්ස්ට අනුව භෞතිකවාදී න්‍යායාත්මක විවරණයත් ප්‍රශ්නකරමින් අදවනවිට එය මිනිස් මනසේ ඇති අවිඥානික ස්වභාවය මනෝවිශ්ලේෂණය හරහා  විචාරාත්මකව අර්ථකථනය කරමින් සිටියි. සමකාලීන කලා නිර්මාණවලට සෘජුවම බලාපාන ප්‍රධාන සාධකය වන්නේ මිනිස් මනසේ ඇති අතෘප්තිකර ස්වභාවයයි. එම නිසා කලාකෘතියක් විශ්ලේෂණයට බඳුන් කිරීමේදී එම කෘතියට බලපෑ මනෝමය තත්වය මනෝවිශ්ලේෂණය හරහා විග්‍රහ කිරීම, එහි ඇති අභ්‍යන්තරය කියවීමට මහත් රුකුලක් වනු ඇත. අපි දන්නා පරිදි ඇරිස්ටෝටල් සහ ප්ලේටෝ යන දාර්ශනිකයින් දෙදෙනා ගෙන ආ මූලික සංකල්පයක් වන ආකෘතිය Form  කියන සංකල්පය ඉතාමත් වැදගත් සද්භාවවෙදී අදහසක් බව ඔවුන් දෙදෙනා දැඩිව අවදාරණය කර සිටියෝය. එයට හේතුව ප්‍රභල අන්තර්ගතයක් ආකෘතිය  මගින් දෘශ්‍යමාන වන නිසාත්, ආකෘතිය හරහා කලාකෘතියක දයලේක්තික කියවීම ප්‍රභල ලෙස ඉහලට මතුකරගැනීමට හැකියාවක් එමගින් ඇතිවන නිසාවෙනි. මෙයින් පෙනී යන්නේ කලාකෘතියක ආකෘතිය මගින් විද්‍යාමාන වන දේ එහි අන්තර්ගතයත්, කලාකරුවා කෘතිය සමග තිබෙන මනෝමය සම්බන්ධය ද  අර්ථකථනය කිරීමට මහත් පිටුවහලක් එමගින් ඇතිවෙන නිසාත්, කෘතියක ව්‍යුහගත වූ අවිඥානය විවරණය කරගැනීමට ආකෘතිය හරහා හැකියාව ලැබෙන බව නුතන දාර්ශනිකයෙන් ගේ අදහසයි. මේ හරහා කියවෙන්නේ කලාකරුවාගේ අවිඥානික ස්වභාවය පමණක් නොවේ, ඔහුට බලපෑ සමාජ, දේශපාලන සහ ආර්ථික පසුබිමද මෙයින් කියවෙන අතර ඔහුගේ විඳවීම ද මෙයින් ගම්‍යමාන වෙයි.  කලාකරුවාගේ කලාකෘතිය මගින් දෘශ්‍යමාන වන්නේ බාහිර වස්තූන් අහිමිවීමේ ප්‍රතිපලයක් ලෙසට යයි ෆ්‍රොයිඩ් ගේ අදහසයි. පවතින සමාජ දේශපාලන තත්වයන් සෘජුවම තේරුම්ගත නොහැකි බවත්, එය තේරුම්ගත හැක්කේ  සංකල්පීය මැදිහත්වීමකින් සහ කලාකරුවන්ගේ මැදිහත්වීමෙන් බව අප තෙරුගත යුතු සත්‍යකි.

2

ඉහත සඳහන් මගේ මේ පූර්විකාවට නිමිත්ත වූයේ  චමිල ගමගේ විසින් Consumer Society Melting People යන නමින් Independence Square  පරිසරයේ දී පැවැත්වූ  ඔහුගේ ‘අයිස් සිරුරු’ ප්‍රදර්ශනය නැරඹීමෙන් ඇති වූ ආහ්ලාදයේ ප්‍රතිපලයක් නිසයි. එයින් ලාංකික කලා භූමියට නැවුම් අත්දැකීමක් ගෙනදුන් කාරණයක් විය. මීට කලින් මෙවැනි අත්දැකීමක් මා විඳ නැති අතර, ඒ තුලින් කියැවුණ සමාජ දේශපාලන යතාර්ථය මා සිත ගිනි අව්වේ දියවී යන අයිස් කුට්ටියක් සේ දිය වී ගියේය. මා කිසියම් කලා, සාහිත්‍ය, සංගීත, හා සිනමා කෘතියක් විශ්ලේෂණය කරන්න යාමේදී එම කලා කටයුත්ත කල ශිල්පියා සමග ටිකක් කතාබහ කිරීම මගේ සිරිතය. එය සමාජයීය වශයෙන් මට දුන් අත්දැකීමක් විය. මොකද බොහෝ නිර්මාණ කරුවන් ඔවුන් කරන දේ සහ කියන දේ අතර කිසිම අදහසක් ඔවුන්ට නැති බව මට වැටහී ගිය නිසාවනි. මා චිත්‍ර ප්‍රදර්ශනයක් නැරඹීමට ගිය විට එම ශිල්පියා සමග පොඩ්ඩක් අදහස් හුවමාරු කරගැනීමටයාමේදී එම ශිල්පියා ගවු ගානක් ඈතට රුහුටා  යන්නේය  Slip . පසුකලකදී මට වැටහුණ සත්‍ය වූයේ ඔවුනට සමාජ දේශපාලන හා ඔවුන් පෙනී සිටින කෘතිය වෙනුවෙන් කිසිම බැරෑරුම් අදහසක් ඔවුන්ට නැති බවයි. ඒ නිසා මම දැන් කරන්නේ යම් කලාකෘතියක් ගැන ලියන්න කලින් ඔවුන් එක්ක ටිකක් කතා කිරීමයි. එයින් කිසිම උත්තේජනය මගේ හිතට දැනුනේ නැතිනම් මම ඒ වැඩේ අත්හරිනවා. එතකොට කවුරු හරි කෙනෙක් මගෙන් අහන්න පුළුවන් විදේශීය කෘතියක් ගැන ලියන්න හිතුනොත් ඒ ක්‍රියාමාර්ගයම අනුගමනය කරනවද කියල. එතකොට මම කරන්නේ ඒ ගැන ලියවුනු පොත් පත් පරිහරණය කිරීමත්, අන්තර්ජාලයෙන් ඒ ගැන හොයා බලන එකයි.( මම එම්.ඩී මහින්දපාල විසින් පරිවර්තනය කල මාලන් බ්‍රන්ඩෝ ගේ  ‘අම්මා මට කියාදුන් ගී’ කෘතිය ගැන විචාරයක් ලියන්න යාමේදී එහි පසුබිම් කතා බොහොමයක් අන්තර්ජාලයෙන් සොයා බැලුවෙමි.) මා මෑතකදී ලිවූ ජනනි කුරේ සහ ස්ත්‍රීන් විසි දෙදෙනෙක් විසින් J. A. D පෙරේරා ගැලරියේ පැවැත්වූ Red Art Women කියන කලා ප්‍රදර්ශනය ගැන ලිව්වෙත් ඒ ප්‍රදර්ශනයට කලාකෘති ඉදිරිපත් කල ස්ත්‍රීන් කීපදෙනෙක් සමග කතා කිරීමෙන් ලත් ප්‍රතිපලයක් ලෙසය. මම ප්‍රදීප් රත්නායක ගේ ‘එකලස් රුප’ ගැන ‘එකලස් රුපයක කාංසාමය සාවධ්‍යතාවය’ කියන ලිපිය ලිව්වේ ඔහු එම ප්‍රදර්ශනය නැරඹීමට එන සියලු දෙනා සමග ඔහුගේ අදහස් බෙදාගත්ත ආකාරය ගැන පැහැදීමක් ඇති වූ නිසාය.

මා ‘ආත්මීයත්වය අහිමි අනෙකත්වයේ හිස් බව’ කියන මාතෘකාව යටතේ මේ ලිපිය ලියන්නෙත් චමිල ගමගේ සමග කරපු දීර්ග කතා බහේ ප්‍රතිපලයක් නිසාය. ඔහු අයිස් යොදාගෙන කරපු Consumer Society Melting people කියන ඔහුගේ ප්‍රදර්ශනය අතිශයින්ම දේශපාලනිකයි වගේම ඔහුට ඒ පසුබිම ඇතුලේ කියන්න සමාජ දේශපාලන කාරනා බොහොමයක් කියන්න තිබීම ඉතාමත් සුවිශේෂයි. ඔහු ඔහුගේ මාධ්‍යය ලෙස  අයිස් තෝරාගැනීමත්, ප්‍රදර්ශනය තියන්න තෝරාගත් ස්ථානයත් ගැනත් ඔහු ඉතාමත් දැනුවත් සහ හරිම දේශපාලනිකයි. ඔහු ඔහුගේ ජීවිතය තුල විඳින්නට වූ වේදනාත්මක අත්දැකීම් සහ සමාජීය වශයෙන් ඔහුට දැනුන ජීවිතය පිළිඹඳ අස්ථාවරභාවය මේ ප්‍රදර්ශනයේ ඇති අභ්‍යන්තරික කතාවයි.

‘අයිස්’ වලට ලාංකික සමාජය තුල තියෙන්නේ ඉතාමත් සුළු අදහසක්. එනමුත් ලෝකයට සාපේක්ෂව අයිස් වලට තියනවා සංකල්ප විශාල ප්‍රමාණයක්. අපිට අයිස් කියන විට එන්නේ මොනවහරි දෙයක් කල්තබාගන්න ගන්න දෙයක් සහ බීමට ගන්නාවූ දෙයක් ලෙසයි. එනමුත් වෙනත් රටවලට අයිස් කියන විට ආදරය,මරණය, ක්‍රීඩාව, ලෝක සමබරතාවය වගේ තවත් විශාල සංකල්ප ගණනාවක් තියනවා. චමිල විසින් අපිට අයිස් හරහා ලොකු දේශපාලනයක් සහ ජීවිතය පිළිඹඳ වෙනත්ම අර්ථකතනයක් ගෙන එනවා. අපි සෑම කෙනෙක්ම සාමාන්‍යයෙන් දන්නා දෙයක් තමයි ඕනෑම කෙනෙක් මෙලොවට ඉපදුනු දා සිට මොහොතින් මොහොත දවසින් දවස වයසට යමින් අවසානයේදී මරණයට පත්වී මේ ශරීරය පොළොවට පස් වෙනවා කියල. මේ සම්බන්ධව ආගමික අර්ථකතන බොහොමයක් තියනවා. බෞද්ධ දර්ශනයට අනුව මේ ලොවට ඉපදීමම දුකක් නිසා ඉපදීම නතර කල හැක්කේ ‘නිවන’ කියන ආත්ම විමුක්තිය ළඟාකර ගැනීමෙන් පමණයි කියන අදහස බෞද්ධ දර්ශනයේ එන කේන්ද්‍රීය අදහසයි. එයට විශාල ලෙස කුසල් රැස්කරගත යුතු බවත් පස්පවුවලින් වැළකී සිටීම සෑම මනුෂයෙක්ම කලයුතු බවත් බෞද්ධ දර්ශනයේ පමණක් නොව සෑම ආගමක්ම උගන්වන සත්‍යකි. එනමුත් චමිල ගමගේ ඔහුගේ ‘අයිස් සිරුරු’ හරහා අපිට වෙනත්ම අදහසක් ගෙන එනවා. අපි දන්නා ආකාරයට ‘පිළිකුල් භාවනාව’ කියන්නේ ජීවිතයේ අනිත්‍යයබව මෙනෙහිකරන භාවනා ක්‍රමයක්. ජීවිතේ තියන සියලුම පාරභෞතික සිතුවිලි අපෙන් ගිලිහී යනවා. චමිල විසින් අපිව රැගෙන යන්නේ වෙනත් සමාජ හා ආර්ථික දේශපාලන තලයකට. චමිලගේ අයිස් සිරුරු ක්‍රමක්‍රමයෙන් දිය වී යද්දී සිරුරු තුලින් මතුවීමට ගන්නේ මිනිස් සිරුරේ ඇට මිදුළු වෙනුවට අපිව ආක්‍රමණය කර ඇති වෙළඳ භාණ්ඩයන්ය.

3

මිනිස් ජීවිතවල ඇති මේ නව තත්වය ආගමික සන්දර්භයක් තුල වටහා ගන්නවාට වඩා මෙය දේශපාලනිකව තේරුම් ගැනීම අද දවසේ ඉතාමත් කාලෝචිත යයි මා විශ්වාස කරමි. මාක්ස් මුළු ජීවිත කාලය තුලම භාවනා කලේ ආර්ථිකය මිනිස් පැවැත්ම සඳහා කෙසේ සකස්විය යුතුද කියන කාරණය ගැනය. අවසානයේදී ඔහු ප්‍රාර්ථනා කලේ කිසිවෙක් කිසිවෙක්ව සුරාකෑමෙන් තොර, සෑම මිනිසෙක්ම සම අයිතිවාසිකම් භුක්ති විඳිමින් ඉන්නා කොමිනියුස්ට් රාජ්‍යක සිහිනයකි. ඒ සිහිනය කොතරම් උදාරතර උවත් ඒ සිහිනය කිසිදා අත්පත්කර ගතහැකි නොහැකි සිහිනයක් බව අද දවසේ අප  පසක්කරගත යුතු සත්‍යකි. අද අප ජීවත් වෙන්නේ සැබෑ මුහුණක් සහ සැබෑ ආත්මයක් නැති ධනවාද විසින් සුවිශේෂතා අතික්‍රමණය කල යුගයකය. ආදරය, සෙනහස හා මිනිස් සම්බන්ධතාවයන් වෙළඳපොළ විසින් තීරණය කරන ඉතාමත් අවාසනාවන්ත සමාජ පරිසරයක් තුලය. මිනිස් පැවැත්ම හා සමාජ සමස්තය වෙළඳපොළ විසින් තීරණය කරන හෙයින් මෙය කණ්ඩනය කිරීම දේශපාලන ක්‍රියාදාමයකි. එය කෙසේ කල යුතුද හා කල යුත්තේ කුමක්ද කියන කාරණය තරමක් සංකීර්ණ ක්‍රියාවකි. චමිල ගමගේ විසින් ඔහුගේ අයිස් සිරුරු හරහා අපිට ඉඟියක් සපයයි. ඒ මිනිසුන්ගේ සාමුහික අවිඥානය අද දවසේ වැඩකරන්නේ කෙසේද කියන කාරණයත්, එය වෙළඳපොළ විසින් මිනිස් ආත්මය අතික්‍රමණය කර ඇති ආකාරයත් ගැන සවිඥානික වීම මේ මොහොතේ කලයුතු දේශපාලනික ක්‍රියාදාමයක් බව ඔහු අපට අයිස් සිරුරු හරහා පසක් කරයි. චමිල ගේ අයිස් සිරුරු හරහා කියන අනෙක් ප්‍රධාන කාරණය වන්නේ මිනිස් සිතීම තුන්වන බලයකට සිතීම කියන කාරණාවයි. මෙය දේශපාලනික වශයෙන් ඉතාමත් තීරණාත්මක සාධකයකි. චමිල ගේ අයිස් සිරුරු හරහා කියාපාන සත්‍ය හුදු ඕපපාතික කාරණාවක් නොවේ.එය ඔහුගේ ළමාවිය හා යෞවන විය හරහා ආ ගමන් මගේ ඛේදවාචකයේ කැඩපතයි. දියවී යන අයිස් සිරුරු දෙස බලාසිටින විට අපිව ඇදදමා තිබෙන සමාජ ඛේදවාචකය කොතරම්ද කියන එක සෑම සංවේදී මිනිසේක්ටම හදවතටම දැනෙන කාරණාවේ අනිමිසලෝචන විරහිතභාවයයි.

චමිල මේ ප්‍රදර්ශනය තියන්න තෝරාගත් බිමත් හරිම ඓතිහාසිකයි සහ දේශපාලනිකයි. සමාජයක් හැටියට අපි අත්වින්ද තිස්වසරක යුද්ධය නිසා වැළලී ගිය මිනිස් ජීවිතවල වටිනාකම් අපිට සංඛ්‍යාත්මකව ගණනයන් කල නොහැක. විශාල බිල්ඩින් සදා සුදු හුණු බිත්තිවල ආලේප කල පමණින් අපිට කිසිදා හෘද සාක්ෂියෙන් ගැලවීමට නොහැක. අප ලස්සන විලාසිතා ඇඳුම් ඇඳගෙන ආදරයෙන් අත් අල්ලාගෙන ඇවිදින්නේ එවන් පරිසරයක් මතින්ය. මා ඒ බිමේ චමිල විසින් සිටවා තිබු අයිස් සිරුරු දෙස බලා සිටින විට, අයිස් සිරුරු ටිකෙන් ටික දිය වෙවී යන අයුරු ගැන භාවනාත්මක වුනි. අයිස් වතුරෙන් තෙත්වෙච්ච මහපොළොව යටින් ඉකිබිඳින වේදනාත්මක  මිනිස් කෙඳිරියක හඬින් මගේ හදවත ගිනියම් වී ගියේය.

පසු කතාව ,

මා කලක සිට චමිලගේ කලාභාවිතය ගැන යමක් ලිවිය යුතුයි කියන අදහස මා සිතේ තිබුනත් මට එයට කාලයක් සහ අවස්තාවක් නොවීය. චමිල විසින් මේ වැඩේ කරන්න යනවාය කියන ආරංචිය ලැබුණු දා සිට මා එයට උනන්දු වූයේ මගේ කොතරම් වැඩ රාජකාරි තිබුනත් මා එයට නම් කෙසේ හෝ වෙලාවක් හදාගෙන ඔහුගේ  වැඩේට යනවාය කියන අධිෂ්ඨානය මා හද තුල විය. හොද වෙලාවට වැඩේ යෙදී තිබුනේ ඉරිදා පොහෝදින දවසකය. (2019-10-13) මා මගේ මිත්‍ර සෙවන්දිකගේ කැමරා ආම්පන්නත් රැගෙන උදේම Independence Square  භූමියට ගියෙමු.  වැඩි පිරිසක් එහි නොවීය. කලාව වෙනුවෙන් දිවි කැපකරනවා කියන අය එහි නොවීය. ආ පිරිසත් ටිකක් මුහුණ දා යන්නට ගියේය. අන්තිමටම ඉතිරි වූයේ අපි හතර පස් දෙනෙකි. චමින්ද ගේ වැඩේ හොඳම කොටස සහ දේශපාලනික කියවීම තිබුනේ අවසාන අදියරේය. හරිනම් චමින්දගේ වැඩේට චිත්‍ර, මුර්ති හා  කලා පීඨවල ශිෂ්‍ය ශිෂ්‍යයාවන් ගෙන් Independence Square භුමිය යම්තාක් දුරටවත් පිරෙන්න ඕනෑය. ඒත් එය එසේ උනේ නැත.  වෙළඳපොළ තාර්කනයේ හැටි එහෙමය. මේ අනුව Consumer Society Melting people නමේ අරුත යතාර්ථයක් ලෙස අප ඉදිරියේදීම ඔප්පු විය.

4

මා මේ ලිපියට මාතෘකාව දැම්මේ ‘ආත්මීයත්වය අහිමි අනෙකත්වයේ හිස් බව’ කියාය. ඇත්තටම අපි ජීවත් වන්නේ ආත්මීය අනෙකා අහිමි සමාජ වටපිටාවකය. චමිල ගේ වැඩේ මටනම් දේශපාලනිකය. මෙහි චායාරූප ගත් මා මිත්‍ර සෙවන්දික සේසත් ටත් , ශාමල් සමරවීර සොයුරාටත් මගේ හදපිරි ස්තුතිය පිරිනමමි.

සාලිය ඉඳුරුවිතාන