ceci-est-un-dieu

“ ‘ජාතික ජන බලවේගයට’ ඡන්දය දිය යුත්තේ ඇයි?”යන පුළුල් තේමාවක් යටතේ පළ වන ලිපි මාලාවක දෙවැනි ලිපිය මෙයයි (මේ සියලු ලිපි NPP යන ‘tag’ එක හරහා ගොණු කර තිබේ). ආගමික-වාර්ගික දේශපාලනයේ නැග ඒම සහ එය ප්‍රශ්න කිරීමට ඓතිහාසිකව ගොඩ නැගී තිබූ සංකල්පීය මෙවලම වූ දෘෂ්ඨිවාදී විචාරයේ සමකාලීන වර්ධනයන් සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඇසුරින් මෙයට ප්‍රවිෂ්ඨ වී තිබේ. පසුගියවර ලිපියෙන් සාකච්ඡා කළ ස්ලැවෝයි ජිජැක් ගේ දෘෂ්ඨිවාදී විචාරය මෙහිදී වැඩිදුරටත් සලකා බලෙන අතර මෙය තවදුරටත් පැහැදිළි කර ගැනීම සඳහා අර්නස්ටෝ ලැක්ලාවූ ගේ අදහස් දක්වා සංක්‍රමණය වීමේ අවශ්‍යතාවය පෙන්වා දෙයි.

 

***

අප සාකච්ඡා කරමින් සිටින්නේ දෘෂ්ඨිවාදය විචාරයට බඳුන් කිරීම නම් අදහස අද දවසේ මුහුණ දී තිබෙන අර්බුධය පිළිබඳවයි. ඉතාමත් සරල අර්ථයෙන් ගතහොත් මෙහි මූලික ගැටලුව මෙලෙස සංක්ෂිප්ත කළ හැකිය. දෘෂ්ඨිවාදය විචාරය කිරීම යන අදහසේ එක් ප්‍රධාන මානයක් වූයේ අපගේ සමාජ ජීවිතය සම්බන්ධයෙන් අපට ඇති ව්‍යාජ විඥානය යන්න ප්‍රශ්න කිරීමයි. එයට අනුව දෘෂ්ඨිවාදය මගින් අපට ව්‍යාජ විඥානයක් ලබා දෙයි – එය විචාරයට බඳුන් කිරීමෙන් අපට මෙම ව්‍යාජ විඥානය ඉවත් කර සැබැවින්ම ලෝකය තිබෙනා ආකාරය දක්නට අවස්ථාව ලැබෙයි. නමුත් ගැටලුව වන්නේ නූතන දර්ශනයේ ඥානවිභාගාත්මක වර්ධනයන් හමු වේ මෙම ‘ව්‍යාජය විඥානය’ සහ ‘සැබෑ දැනුම’ අතර විභේදනය අභියෝගයට ලක් වීමයි. මෙවැනි සන්දර්භයක් හමුවේ මෙම සංකල්පය සම්බන්ධයෙන් සමකාලීන ලෝකයේ වඩාත් බලපෑම් සහගත මැදිහත්වීමක් කළ ස්ලැවෝයි ජිජැක් ගේ දෘෂ්ඨිවාදී විචාරය අප අර්ථකථනය කළ යුත්තේ කෙසේද? අප අවසන් වරට සාකච්ඡා කළේ මෙම ගැටලුවයි.

මේ සඳහා ජිජැක් ගේ විශ්ලේෂණය සතු වූ මූලික න්‍යායික පැහැදිළි කිරීම වූයේ දෘෂ්ඨිවාදය යනු සමාජයේ විසඳාලිය නොහැකි යථාවක් වන පසමිතුරුකාරීත්වයක් සංඛේතනය කිරීමේදී ඇති වන අනිවාර්ය ද්වීගුණ වීම යන්නයි. ලෙවි-ස්ට්‍රවුස් ගේ මානව විද්‍යාත්මක විශ්ලේෂණයක් ඇසුරින් අප සාකච්ඡා කළේ මෙයයි. ලෙවි-ස්ට්‍රවුස් අතින් විශ්ලේෂණය වන්නේ දකුණු ඇමරිකානු ගමක පදිංචිකරුවන් එම ගමේ සිතියම පරිකල්පනය කළ ආකාරය අතර වෙනසයි. එක පිරිසක් එය එකට තිබෙනා එකක් ලෙසත් තවත් පිරිසක් මෙය කණ්ඩායම් දෙකකට බෙදුණු ලෙසත් පරිකල්පනය කරයි. ජිජැක් ගේ තර්කය වන්නේ මෙහිදී මෙලෙස යථාර්ථය ද්වීගුණ වන්නේ, ආකාර දෙකකට පෙනී සිටින්නේ එහි කේන්ද්‍රයේ තිබෙනා වින්සදාලිය නොහැකි පසමිතුරුතාවය නිසා වන බවයි. සමාජ සමස්තය යන්න සෑම විටම ගොඩ නැගෙන්නේ මෙවැනි පසමිතුරුතාවයක් බහිශ්කරණය කිරීම මතයි. එසේත් නැතිනම්, සමාජය පිළිබඳව අදහස යනුම මෙම පසමිතුරුතාවය සංඛේතකරණය කර ගැනීමට, අර්ථවත් ලෝකය ගෙන ඒමට අපට ඇති නොහැකියාවයි. එනිසා මෙය අප අර්ථවත් කර ගන්නේම පාර්ශවීය ලෙස, එක දෘෂ්ඨිකෝණයක් බැහැර කරමින් පමණි. මෙම විශලේෂණය අප ඉහතින් මුහුණ දුන් ප්‍රශ්නය සඳහා ප්‍රමාණාත්මක විසඳුමක් වන්නේ ද?

අප මෙයට පිළිතුරක් සෙවිය යුතු වන්නේ කෙසේද කියා ඉඟි කරන ඉතාම සිත්ගන්නා සුළු කරුණක්, ඉහත ජිජැක් ගේ රචනය තුළ නිරීක්ෂණයක් කිරීට අපට හැකියාවක් තිබේ. ජිජැක්ට අනුව මේ සිතියම් දෙකේ අත්දැකීම ඇසුරින් අපට නූතන දේශපාලනයේ ‘දකුණ’ සහ ‘වම’ අතර තිබෙනා සම්ප්‍රදායික බෙදීම තේරුම් ගත හැකි වේ. ‘දකුණ’ සහ ‘වම’ යනු හුදු එකිනෙකට වෙනස් දේශපාලන ප්‍රවණතා දෙකක් පමණක් නොවේ. එම වෙනස්කම පරිකල්පනය කරගන්නා ආකාරයම එහිදී වෙනස් වෙයි. සත්‍ය වශයෙන්ම එහිදී අපට නැවතත් හමු වන්නේ ලෙවී-ස්ට්‍රවුස් ගේ සිතියම් දෙකේ තවත් මාදිලියකි. දක්ෂිණාංශික දේශපාලනයට අනුව සමාජය යනු සියලු දෙනා එකතු කළ හැකි තනි සමස්තයක් වන්නේනම් වාමාංශික දේශපාලනයට අනුව සමාජය යනු මූලධාර්මික පසමිතුරුතාවයකින් – ‘අපි’ සහ ‘උන්’ ලෙස –  බෙදී වෙන්වී පවතින්නකි. නමුත් ජිජැක් ගේ මෙම සන්සන්ධනය තුළ එක්තරා ආකාරයක උත්ප්‍රාසයක් ඇති බව තේරුම් ගැනීමට අපහසු නොවේ. දෘෂ්ඨිවාදය විචාරය කිරීම යනුම වාමාංශික දේශපාලනයේ කේන්ද්‍රීය අදහසකි. එම නිසාම සම්ප්‍රදායික මාක්ස්වාදයට අනුව දෘෂ්ඨිවාදී-නොවන දේශපාලනය ලෙස හඳුනා ගන්නේ මෙම වාමාංශික දේශපාලනය මිස අන් යමක් නොවේ. නමුත් මෙහිදී ජිජැක් ගේ සන්සන්ධනය එහි තාර්කික අවසානය වෙත රැගෙන යාම මගින් අපට පැමිණිය හැකි නිගමනය වන්නේ දක්ෂිණාංශික දේශපාලනය මෙන්ම වාමාංශික දේශපාලනයත් අපට සංඛේතකරණය කරගත නොහැකි ලෙස මර්ධිත පසමිතුරුතාවයක් සංඛේතකරණය කිරීමට ගත් උත්සාහයන් දෙකක් පමණි. වෙනත් ආකාරයකට කියන්නේනම් දක්ෂිණාංශික දේශපාලනය මෙන්ම වාමාංශික දේශපාලනයත් එක හා සමාන ලෙස දෘෂ්ඨිවාදී වේ. තවත් සූත්‍රගත කිරීමක් කරන්නේනම්, මෙවැනි විශ්ලේෂණයක් මගින් අපට සැබැවින්ම තිබෙන්නේ කුමක්ද කියා නිරාවරණය කර ගැනීමේ අවශ්‍යතාවය සැපිරෙන්නේ නැත.

නිදර්ශනයක් ලෙස සිංහල සහ දෙමළ ප්‍රජාවන් අතර තිබෙනා මේ ගැටුමේ පදනම වන්නේ අපට සංඛේතකරණය කරගත නොහැකි සමාරම්භක පසමිතුරුතාවයක් කියා කෙනෙක්, මෙම විශ්ලේෂණය ඇසුරින්, යෝජනා කරනවා කියා සිතන්න. නමුත් මෙවැන්නක් පැවසීමෙන් අපට මෙම ප්‍රශ්නයේ ‘සැබෑ ස්වරූපය’ හෙළිදරව් කරගත් බව පැවසිය හැකිද? සම්ප්‍රදායික දෘෂ්ඨිවාදී විචාරය මගින් අපේක්ෂා කළ ආකාරයේ දෘෂ්ඨිවාදී නොවන ‘විද්‍යාත්මක’ අවබෝධයක් වෙත මේ මගින් අපට යන්නට හැකි බව පැවසිය හැකිද? කෙනෙක් සිටින්නේ දෘෂ්ඨිවාදයක් තුළ සහ කෙනෙක් සිටින්නේ දෘෂ්ඨිවාදී-නොවන ආස්ථානයක් තුළ යනුවෙන් බෙදා වෙන් කළ හැකි පදනම කුමක්ද? ඉතාමත් පැහැදිළි වන්නේ, නිදර්ශනයක් ලෙස, සිංහල-දෙමළ ප්‍රජාවන් අතර ඇති මෙම දේශපාලන බල අරගලය උත්පාද වන්නේ සංඛේතකරණය කරගත නොහැකි සැබෑ පසමිතුරුතාවයක් නිසා බව මෙම අරගලයේ අභ්‍යන්තර පාර්ශව අතින් පිළිගැනීමට ලක් වන්නේ නොමැති බවයි. අවම වශයෙන් එය සිංහල ජාතිකවාදයේ දේශපාලනය තුළ අර්ථකථනය වන්නේ මේ ආකාරයට නොවේ. එයට අනුව දෙමළ ජාතික අරගලය සඳහා ඉතා පැහැදිළි සහ සරල සංඛේතකරණයක්, අර්ථවත් ලෝකයට ගෙන ඒමක් තිබේ. දෙමළ අරගලය යනු ඉංග්‍රීසීන් විසින් මෙරට සමාජය බෙදා වෙන්කර පාලනය කිරීම සඳහා යොදා ඇති උපක්‍රමයක අතුරුඵලයකි. ඒ සඳහා ඉංග්‍රීසි යටත් විජිත පාලකයන් විසින් දෙමළ ප්‍රභූ සමාජය වෙත විශේෂ සැලකීම් ලබා දී ඇති අතර දෙමළ ජාතික අරගලය යනු මේ අසාධාරණ වරප්‍රසාද, ඉංග්‍රීසි යටත් විජිත පාලනයේ අවසානයෙන් පසුව – අවම වශයෙන් එහි ඍජු පාලනයේ අවසානයෙන් පසුව – තවදුරටත් පවත්වා ගැනීම වෙනුවෙන් ආරම්භ වූ අරගලයකි. ආරම්භයේදී මෙරට මධ්‍යයේ බලය ලබා ගැනීමට උත්සාහ කර, එය අසමත් වීමෙන් පසුව උතුරු-නැගෙනහිර පළාත් වල ස්වාධීන පාලනයක් ඇති කිරීමට එමගින් උත්සාහ කරයි. එම අර්ථයෙන් ගත්විට මෙරට, සිංහල ජාතිකවාදයට අනුව, සිංහල-දෙමළ ප්‍රජාවන් අතර තිබෙනා දේශපාලන බල අරගලය යනු ‘සංඛේතකරණය කළ නොහැකි සැබෑ පසමිතුරුතාවයක්’ නිසා ඇති වන්නක් නොව ඉතා පැහැදිළිව ‘සංඛේතකරණය කළ හැකි’ – ‘ඉංග්‍රීසීන් ගේ බල වුවමනාවන් වෙනුවෙන් ඇති වී සහ දෙමළ ප්‍රභූන්ගේ බල වුවමනාවන් විසින් පවත්වාගෙන යනු ලබන’ – ප්‍රපංචයක් පමණි.[i]

මෙවැනි සන්දර්භයක් තුළ මෙම ජාතිකවාදී දේශපාලනයේ අදහස් පරීක්ෂා කර බැලීමට වඩාත් සුදුසු ක්‍රමවේදය වන්නේ මෙමගින් යෝජනා කරනා ඉතිහාසවේදයේ වලංගුබව පරීක්ෂා කර බැලීම මිස මෙම අදහස් පැන නගින්නේ, ජාතිකවාදියා ට ළඟා විය නොහැකි නමුත් දෘෂ්ඨිවාදී විචාරකයාට පමණක් ළඟා විය හැකි, වරප්‍රසාදිත දෘෂ්ඨි ලක්ෂ්‍යයක් – ‘සංඛේතකරණය කළ නොහැකි සැබෑ පසමිතුරුතාවයක්’ – මගින් බව ප්‍රකාශ කිරීම ප්‍රයෝජනවත් වන්නේ නැත. එක අතකින් මෙවැනි ස්ථාවරයක් සිංහල ජාතිකවාදයේ අදහස් වලට සංවේදී වන කිසිවෙක් එතරම් බැරෑරුම් ලෙස බාරගැනීමට තිබෙන්නේ අඩු සම්භාවිතාවයකි. බොහෝ දුරට මෙවැනි අදහස් වලට එකඟ වන්නේ ඒ වනවිටත් සිංහල ජාතිකවාදයේ දේශපාලනයට විරුද්ධව සිටිනා අය පමණි. අනෙක් අතට, මෙම තර්කයට ප්‍රතිචාර ලෙස සිංහල ජාතිකවාදයෙන් එල්ල විය හැකි දාර්ශනික ප්‍රති-තර්කය කුමක්ද කියා අප මේ වනවිටත් වටහාගෙන තිබේ. මෙවැනි වරප්‍රසාදිත දෘෂ්ඨිලක්ෂ්‍යයක් වෙත – ‘දෘෂ්ඨිවාදී-නොවන’ ආස්ථානයක් වෙත –  දෘෂ්ඨිවාදී විචාරකයා පැමිණියේ කෙසේද? ජිජැකියානු දෘෂ්ඨිවාදී විචාරයේ තිබෙනා දාර්ශනික සීමාව වන්නේ මෙයයි. මෙහිදී මෙම ‘දාර්ශනික’ යන වචනය අවධාරණය කළ යුතු වන්නේ මෙම සීමාව නිසා ජිජැකියානු විශ්ලේෂණයේ සමස්ත ජවය අප ප්‍රතික්ෂේප කළ යුතු බව හැඟවෙන්නේ නොමැති නිසාය. සැකයකින් තොරවම මෙම විශ්ලේෂණයේ න්‍යායික වාසි තිබේ. විශේෂයෙන්, සමහර අවස්ථාවන් වලදී ජිජැක් අතින් සිදු වන ලෙස, ‘දෘෂ්ඨිවාදය’ යන්න ෆ්‍රොයිඩියානු ‘අවිඥානය’ සඳහා සමාන පදයක් ලෙස ගත්විට අපගේ ලෝක දැක්ම අර්ථවත් ලෙස සකස් වන්නේ කිසියම් ආකාරයක අතිරික්තයක් සමග වේ යන්න අතිශයින් ප්‍රයෝජනවත් විශ්ලේෂීය උපකරණයක් යන්න මෙහිදී ප්‍රතික්ෂේප වන්නේ නැත. මෙහිදී මතු කරන එකම ගැටලුව වන්නේ ජිජැක් වෙත හසු වී ඇති අන්තර්ඥානය (insight) සඳහා නිවැරදි සංකල්පීය පදනමක් ලබා දෙන්නට ඔහු සමත් වන්නේ ද යන ප්‍රශ්නය පමණි.

සත්‍ය වශයෙන්ම, 2000 දශකයේ ආරම්භයේදී ක්‍රිස්තියානි දේවධර්මය පිළිබඳව ජිජැක් ගේ පර්යේෂණ උනන්දුව තේරුම් ගත හැකි එක ආකාරයක් වන්නේ එය දෘෂ්ඨිවාදය පිළිබඳව මෙම ගැටලුවට පිළිතුරක් සෙවීමට ගත් ප්‍රයත්නයක් ලෙසයි. ශාන්ත පෝල් ගේ විශ්වාස කරන්නන් ගේ සාමූහිකය පිළිබඳව ජිජැක් ගේ ජනප්‍රිය සංවාදය තිබෙන්නේ දෘෂ්ඨිවාදී නොවන සමාජයක් පිළිබඳව මේ පොරොන්දුව සමගිනි. ඉතාම සංක්ෂිප්ත ලෙස ගත්විට මෙහි ඉලක්කය වූයේ මෙවැන්නකි. ක්‍රිස්තුස් වහන්සේ කුරුසය මත අත්දකින්නේ දෙවියන් ගේ නොපැමිණීමයි. දෙවි පියාණන් ජේසුන් ව බේරා ගැනීමට පැමිණෙන්නේ නැත. එනිසා ජේසූන් ට සිදු වන්නේ කුරුසය මත, වේදනා විඳ මිය යාමට පමණි. ‘පියාණනී ඇයි ඔබ මාව අමතක කළේ’ යන සුප්‍රකට ප්‍රකාශය ක්‍රිස්තුස් වහන්සේ අතින් කියවෙන්නේ මෙතැනදීය. දෙවියන් මිය යන අතර ශාන්ත පෝල් විසින් සිදු කරන්නේ මෙලෙස මිය ගිය දෙවියන් පිළිබඳව විශ්වාස කරන්නන් ගේ සාමූහිකයක් බිහි කිරීමයි. එමගින් තහවුරු කරන්නේ අපගේ පරිපූර්ණත්වය නොව අපගේ අසම්පූර්ණත්වයයි. ඉතාම සරල ලෙස ගත්විට, ජිජැක් විසින් ‘දෘෂ්ඨිවාදී-නොවන’ ලක්ෂ්‍යයක් ලෙස අර්ථකථනය කිරීමට උත්සාහ කරන්නේ මෙම අසම්පූර්ණත්වය, සංගත නොවීම, සිය පැවැත්මේ සත්‍යය ලෙස පිළිගනු ලබනා – ශාන්ත පෝලීනියානු – සමාජයකි. එවැනි සමාජයකදී සිදු වනු ඇත්තේ අපට සංඛේතකරණය කරගත නොහැකි වූ පසමිතුරුතාවය සංඛේතකරණය කර ගැනීමට උත්සාහ කිරීම සහ එමගින් අපගේ අර්ථවත් ලෝකය පරිපූර්ණ කර ගැනීම නොවේ. ඒ වෙනුවට එහිදී සිදු වනු ඇත්තේ අපගේ මෙම නොහැකියාව අපේ පැවැත්මේ අනිවාර්යතාවය ලෙස පිළිගැනීමයි සහ එමගින් ‘දෘෂ්ඨිවාදයෙන් නිදහස් වීමයි’ – ක්‍රිස්තුස් වහන්සේ ගේ ප්‍රකාශය මගින් නිරූපණය වන්නේ දෙවියන් තුළම වූ මෙම නෛසර්ගික අසම්පූර්ණත්වයයි. නමුත් අවසාන විග්‍රහයේදී මෙය අසාර්ථක ව්‍යාපෘතියක් වූ අතර අද වනවිට ජිජැක් ගේ දර්ශනය තුළින් මෙම සංවාද ගැටලුව මුළුමනින් පාහේ වියැකී ගොස් තිබීමෙන් මෙය අපට තහවුරු කරගත හැකි වේ.[ii]

මෙම පිළිතුර ඉහත දාර්ශනික ගැටලුව සඳහා ප්‍රමාණාත්මක පිළිතුරක් නොවන්නේ ඇයි? මේ සඳහා අපට කළ හැකි එක් දෙයක් වන්නේ මුල් කාලීන ජිජැක් ගේ දෘෂ්ඨිවාදී විචාරයට කේන්ද්‍රීය වූ පසමිතුරුතාවය යන සංකල්පය තවදුරටත් විමර්ශණය කිරීමයි. මේ සඳහා අපට යෝග්‍යම විමර්ශක ලක්ෂ්‍යය වන්නේ අර්නස්ටෝ ලැක්ලාවූ බව එතරම් අපහසුවකින් තොරව නිගමනය කළ හැකි වේ. මෙයට ප්‍රධාන හේතුව වන්නේ දෘෂ්ඨිවාදය විචාරය ඇතුලත් වූ, තරුණ ජිජැක් ගේ සමාරම්භක දේශපාලන සංවාදය සඳහා, 1980 දශකයේ අග භාගයේ සිට 1990 දශකය අවසන් වන තුරු, විශාලම බලපෑමක් කළ සමකාලීන චින්තකයා වන්නේ ලැක්ලාවූ වීමයි. ඉහත විශ්ලේෂණය තුළ පසමිතුරුතාවය යන යෙදුම ජිජැක් උපුටා ගන්නේ ද ලැක්ලාවූගෙන් බව තේරුම් ගැනීම අපහසු නැත. නමුත් ලැක්ලාවූ ගේ ‘පසමිතුරුභාවය’ පිළිබඳව සංකල්පය ගැන අවබෝධයක් ඇති කෙනෙක් හට ඉක්මනින් වැටහිය යුතු වන්නේ ජිජැක් මෙම වචනය යොදන ආකාරයට වඩා සියුම් නමුත් තීරණාත්මක වෙනසක් ලැක්ලාවූ ගේ ප්‍රවාදය තුළ ඇති බවයි. අපි ඊළඟ සටහනින් මේ ගැන වැඩිදුරටත් විමසා බලමු.

වංගීස සුමනසේකර

 

සටහන් 

[i] වැඩිවිස්තර සඳහා බලන්න, නලින් ද සිල්වා, (1995), “ප්‍රභාකරන්, ඔහුගේ සීයලා, බාප්පලා සහ මස්සිනාලා”, මහරගම: චින්තන පර්ෂදය (මෙය www.kalaya.org වෙබ් අඩවියෙන් නොමිලේ බාගත හැකිය). සිංහල ජාතිකවාදය විසින් දෙමළ අරගලය සඳහා ලබා දෙන මෙම අර්ථකථනයේ ගැටලු පිළිබඳව සාකච්ඡාවක් සඳහා බලන්න, නිර්මාල් රංජිත් දේවසිරි, (2015), “දෙමළාගේ ප්‍රශ්නය”,  දෙහිවල: ලකුණ ප්‍රකාශන.

 

[ii] දෘෂ්ඨිවාදී-නොවන ආස්ථානය පිළිබඳව ක්‍රිස්තියානි දේවධර්මය ඇසුරින් ජිජැක් ගේ විග්‍රහය සඳහා බලන්න Slavoj Zizek, (2003), Puppet and the Dwarf – The Perverse Core of Christianity, Camridge and London: the MIT Press. ජිජැක් ගේ චින්තනයේ ‘දේවධාර්මික හැරවුම’ ඇසුරින් දෘෂ්ඨිවාදය පිළිබඳව මෙම ගැටලුව පිළිබඳව සරල නමුත් විශිෂ්ට අර්ථකථනයක් සඳහා බලන්න, Adam Kotsko, ‘The Problem of Christianity and Zizek’s “middle perdiod”’, in, Agon Hamza (ed), (2015), Repeating Zizek, Durham and London: Duke University Press,  pp243-255.

 

 

 

***