yimg_fqf4LB-1024x431

“ ‘ජාතික ජන බලවේගයට’ ඡන්දය දිය යුත්තේ ඇයි?”යන පුළුල් තේමාවක් යටතේ පළ වන ලිපි මාලාවක තෙවැනි ලිපිය මෙයයි (මේ සියලු ලිපි NPP යන ‘tag’ එක හරහා ගොණු කර තිබේ). ආගමික-වාර්ගික දේශපාලනයේ නැග ඒම සහ එය ප්‍රශ්න කිරීමට ඓතිහාසිකව ගොඩ නැගී තිබූ සංකල්පීය මෙවලම වූ දෘෂ්ඨිවාදී විචාරයේ සමකාලීන වර්ධනයන් සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඇසුරින් මෙයට ප්‍රවිෂ්ඨ වී තිබේ. අද දින සාකච්ඡා කරන්නේ අර්නස්ටෝ ලැක්ලාවූ ගේ අදහස් වල දේශපාලන පසමිතුරුතාවය යන්න අර්ථ දැක්වෙන ආකාරය සම්බන්ධයෙනි.

***

අපගේ මෙතෙක් කතාව ඉක්මනින් සාරාංශ කළහොත් එය මෙසේය. අප උත්සාහ කරන්නේ ආගමික වාර්ගික දේශපාලනය ප්‍රශ්න කිරීමටයි. නමුත් මේ සඳහා සමකාලීන සංවාදයේ එක්තරා අපහසුවක් තිබේ. මෙයට හේතුව වන්නේ තවදුරටත් අපට සබුද්ධිකත්වයේ කොන්දේසි යටතේ ආගමික අදහස් ප්‍රශ්න කිරීමට ඉඩ නොමැති වීමයි. මෙහි ඍජු ප්‍රතිවිඵාකයක් වන්නේ දෘෂ්ඨිවාදී විචාරය යන අදහස එහි පැරණි අර්ථයෙන් අපට තවදුරටත් යොදා ගැනීමට නොහැකි වීම වේ. මිනිසුන්ගේ විශ්වාසයන් සහ අදහස් ව්‍යාජයන් බවත් ඒවා වෙනුවට සැබෑ අදහස් යනුවෙන් නම් කළ හැකි දේ තිබෙනා බවත් පෙන්වා දීමට සමකාලීන දාර්ශනික පර්යාවලෝකනය ඉඩ දෙන්නේ නැත. එසේනම් අප දෘෂ්ඨිවාදය විචාරයට බඳුන් කිරීම නම් අදහස සමකාලීන ලෝකයේ අර්ථකථනය කරන්නේ කෙසේද?

මේ සඳහා අප පළමුවෙන් සලකා බැලුවේ ස්ලැවෝයි ජිජැක් විසින් මේ සඳහා ලබා දෙන විසඳුමයි. සමකාලීන දේශපාලන විශ්ලේෂණය සඳහා දෘෂ්ඨිවාදය යන අදහසේ වැදගත් කම සම්බන්ධයෙන් ජිජැක් මතු කරන තර්කය ඉතාම තියුණු වන්නේ වුවත් මේ සඳහා ඔහු ගේ විසඳුමේ එක්තරා සීමාවක් තිබේ. සිය මුල් කාලීන අදහස් වල මේ සඳහා ඔහු ලබා දුන් පැහැදිළි කිරීම වූයේ එය සමාජයේ සංඛේතකරණය කරගත නොහැකි යථාවක් / පසමිතුරුතාවයක් මතින් ඇති වන අර්ථයේ බහුගුණ වීමක් බවයි. නමුත් එවිට ඇති වන ගැටලුව වන්නේ එක අදහසක් වැරදි වී තවත් අදහසක් නිවැරදි වන්නේ කෙසේද කියා පැහැදිළි නොවීමයි. මේ පසමිතුරුකාරීබව අනිවාර්යයක් වන්නේ ද? එවැන්නක් සමාජ සමස්තයක් ගොඩ නැගීමේදී තිබෙනා බව අප දැන ගන්නේ කෙසේද? එය දැන ගන්නා ඒජන්තයා සතු වන විශේෂ දැනුම කුමක්ද? පසමිතුරුකාරීත්වය යන අදහස වැඩිදුරටත් විභාග කර බැලිය යුතු වන්නේ මෙම නිසාය.

මේ සඳහා මුල් කාලීන ජිජැක් සඳහා කේන්ද්‍රීය බලපෑමක් කළ චින්තකයා වන්නේ අර්නස්ටෝ ලැක්ලාවූ යන්න සම්බන්ධයෙන් එතරම් විවාදයක් නැත. අප දැන් උත්සාහ කරන්නේ ලැක්ලාවූ ගේ දර්ශනය තුළ පසමිතුරුකාරීත්වය යන්න නිර්වචනය වන ආකාරය විමසා බැලීමටය.

ඉතාමත් සරල අර්ථයෙන් ගත්විට ‘පසමිතුරුතාවයක්’ යනුවෙන් අදහස් කරන්නේ සමාජයේ ඇතිවන ගැටුම් යන්නයි. අප දන්නා මිනිස් ඉතිහාසය පුරා, ඕනෑම සමාජයක, ගැටුම් තිබෙනා බව ඉතාම පැහැදිළි වේ – පුද්ගලයන් අතර ඇති ගැටුම්, වාර්ගික ගැටුම්, ආගමික ගැටුම්, රාජ්‍යයන් අතර ගැටුම් ආදී ලෙස පුළුල් පරාසයකට මෙය විහිදී යයි. මෙය තේරුම් කිරීම සඳහා, ලැක්ලාවූ පෙන්වා දෙන ලෙස, අපට තිබෙනා සමීප සංකල්ප දෙකක් වන ‘සැබෑ ප්‍රතිවිරුද්ධබව’ (‘real opposition’) සහ ‘විසංවාදය’ (‘contradiction’) යන්න ප්‍රමාණාත්මක වන්නේ නැත.

‘සැබෑ ප්‍රතිවිරුද්ධබවක්’ යනුවෙන් අදහස් කරන්නේ, මූලික වශයෙන්, ස්වභාවික විද්‍යාවේ කතිකාව තුළ අර්ථකථනය කළ හැකි ගැටුම් වෙයි. නිදර්ශනයක් ලෙස වේගයෙන් එන වාහනයක්, තවත් වාහනයක් ගැටීම අපට ගත හැකිය. මෙහි තිබෙන්නේ සැබෑ ප්‍රතිවිරුද්ධතාවයක් බව පැහැදිළි වේ. වාහන දෙකම, එකිනෙකින් ස්වායත්තව පැවතිය හැකි පැවැත්මවල් වෙයි. ඒවා අතර ගැටීම මගින් එක වාහනයක් තවත් වාහනයකට විරෝධයක් දැක්වූවා කියා පැවසීම අර්ථ විරහිත වේ. අප සමාජීය පසමිතුරුතාවයන් මේ ආකාරයේ ගැටුම් ලෙස හඳුනා ගත නොහැකි වන්නේ එම නිසාය. නිදර්ශනයක් ලෙස සමාජීය ගැටුම යනු උද්ඝෝෂණය කරනා ශිෂ්‍යයෙක් හට පොලිස් භටයෙක් මුගුරකින් පහර දීමේදී අප එම ගැටුම ලෙස හඳුන්වන්නේ ‘මුගුර’ ශිෂ්‍යයාගේ ‘ශරීරයේ’ ඝට්ටණය වීමේ භෞතික විද්‍යාත්මක ක්‍රියාවලිය නොවේ. එම නිසා ‘සැබෑ ප්‍රතිවිරුද්ධබව’ තුළ අපට සමාජීය පසමිතුරුතාවයන් තේරුම් කිරීමට උපකාර වන සංකල්පීය ප්‍රවර්ගයක් හමු වන්නේ නැත.

‘විසංවාදය’ සම්බන්ධයෙන්ද අපට මතුවන්නේ මේ ආකාරයේම ගැටලුවකි. අප සෑම කෙනෙක් ගේම ජීවිතයේ විවිධ විසංවාදී භාවිතයන් ඇති බව පැහැදිළි වේ. නිදර්ශනයක් ලෙස කෙනෙක් මාක්ස්වාදියෙක් වන ගමන් සිය වාහනයේ බුද්ධ රූපයක් තබා ගත හැකිය. එසේත් නැතිනම්, අනෙක් අතට, කෙනෙක් ඉතා දෘඨ බෞද්ධයෙක් වන අතර මත්පැන් පානය කළ හැකිය. නමුත් මෙවැනි විසංවාදී භාවිතයන් අපේ ජීවිතයේ තිබූ පමණින් ඒවා ගැටුම් බවට පත්වන්නේ නොමැති බව අපි දනිමු[i]. එම නිසා විසංවාදයක් ලෙස සමාජීය පසමිතුරුතාවයන් අර්ථකථනය කිරීමේ සීමාවක් ඇති බව පැහැදිළි වේ. අවම වශයෙන්, සමාජීය පසමිතුරුතාවයක් තුළ විසංවාදයක් ඉක්මවා ගිය දෙයක් ඇති බව කිව හැකිය.

‘සැබෑ ප්‍රතිවිරුද්ධබව’ සහ ‘විසංවාදය’ යන්නට පැහැදිළි කළ නොහැකි ‘පසමිතුරුතාවය’ තුළ ඇති සුවිශේෂබව අප තේරුම් ගත යුත්තේ කෙසේද? මේ සඳහා අප පළමුවෙන් කළ යුතු වන්නේ සැබෑ ප්‍රතිවිරුද්ධබව සහ විසංවාදය අතර ඇති පොදු සාධකය කුමක්ද කියා පැහැදිළි කරගැනීමයි. ඒ තමයි මේ ප්‍රවර්ග දෙක මගින්ම ගණුදෙනු කරන්නේ පරිපූර්ණ ලෙස ස්වායත්තව තිබෙනා පැවැත්මවල් සමග වීමයි. අතිශයින් තීරණාත්මක මෙම කරුණ අපි තරමක් විස්තරාත්මකව සාකච්ඡා කරමු.

සැබෑ ප්‍රතිවිරුද්ධබව යන සංකල්පය යටතේ අප හඳුනාගන්නේ ස්වායත්තව පවත්නා දේ බව තේරුම් ගැනීම එතරම් අපහසු නොවේ. අප ඉහතින සාකච්ඡා කර තිබෙනා සෑම නිදර්ශනයක් සඳහාම මෙය වලංගු වේ: වාහන දෙක එකට ගැටීමට පෙර ස්වායත්තව පවතියි, පොලිස් භටයා ගේ මුගුර සහ සිසුවා ගේ සිසුර එකට ගැටීමට පෙර ස්වායත්තව පවතියි. ඒවායේ පැවැත්ම අන්‍යෝන්‍ය වශයෙන් පරායත්ත වන්නේ නැත – එනම්, එකක් පැවතීම සඳහා අනෙක පැවතීම අනිවාර්ය වන්නේ නැත.

මෙම තර්කය මේ ආකාරයටම අප ඉහතින් සාකච්ඡා කළ විසංවාදයන් සඳහා ද අදාළ වේ. ‘යහපත් බෞද්ධයෙක්’ යනුවෙන් කෙනෙක් පැවතීම සඳහා ‘මත්පැන් පානය කරනා කෙනෙක්’ පැවතීම අනිවාර්ය වන්නේ නැත. සත්‍ය වශයෙන්ම මෙහිදී විසංවාදයක් ලෙස හඳුනා ගන්නේම මෙවැනි භාවිතයන් තනි පුද්ගලයෙක් තුළ පැවතීමයි. වෙනත් ආකාරයකට කියන්නේනම් ‘මත්පැන් පානය අයහපතක් නොවේ’ කියා විශ්වාස කිරීම සහ ‘බුදු දහමට අනුව ජීවත් වීම යහපත් වේ’ කියා විශ්වාස කිරීම පැවතිය යුත්තේ එකිනෙකින් වෙන්ව පමණි. විසංවාදයක් ඇති වන්නේ මෙලෙස වෙන්ව තිබිය යුතු දේ එක් වීම තුළයි.

මේ අනුව පැහැදිළි විය යුත්තේ ඉහත අවස්ථාවන් දෙකේදීම අපට හමුවන්නේ පරිපූර්ණ පැවැත්මවල් ලෙස හඳුනා ගත හැකි දේ බවයි. ‘පසමිතුරුතාවය’ යන සංකල්පයේ පළමු වෙනස්කම අපට සලකුණු කිරීමට මේ අනුව අවස්ථාව තිබේ. ඒ තමයි පසමිතුරුකාරී සම්බන්ධයකදී අපට ගණුදෙනු කිරීමට සිදු වන්නේ මේ ආකාරයට මුළුමනින් ස්වායත්ත පැවැත්මවල් සමග නොවන බව. වෙනත් ආකාරයකට කියන්නේනම් පසමිතුරුකාරී සම්බන්ධයක තිබෙනා සංඝටක දෙක සිය පැවැත්ම සඳහා එකිනෙක පරායත්ත වේ.

මෙහි දී ලැක්ලාවූ වෙත තීරණාත්මක විමර්ශකය වන්නේ ෆර්ඩිනන්ඩ් ඩි සෝශියර් ගේ වාග් විද්‍යාවයි – වඩාත් නිවැරදි ලෙස කියන්නේනම්, මෙම වාග් විද්‍යාව, විශේෂයෙන්ම, ජාක් ඩෙරීඩා අතින් අර්ථකථනය වූ ආකාරයයි. බොහෝ දෙනෙක් අතර ජනප්‍රිය මෙම අදහස් අපි ඉක්මනින් සාරාංශ කරමු. සාමාන්‍යයෙන් අප භාෂාව තේරුම් ගන්නේ ලෝකයේ තිබෙනා දේ සන්නිවේදනය කිරීමට යොදා ගන්නා උපකරණයක් ලෙස පමණි. ඒ අනුව වචන වල අර්ථය, එසේත් නැතිනම්, වචන වල වටිනාකම, ලැබෙන්නේ එම වචන මගින් නියෝජනය කරනා දෙය මගින් කියා අපි සිතමු. නිදර්ශනයක් ලෙස ‘සිංහල’ යන වචනය සඳහා අර්ථය/වටිනාකම ලැබෙන්නේ ඒ මගින් නියෝජනය කරනා භාෂාව හෝ ජනවර්ගය හෝ නිසාය.

මෙයට වෙනස් ලෙස සෝශියර් පෙන්වා දෙන්නේ භාෂාවේ වචන වලට අර්ථයක්/වටිනාකමක් ලැබෙන්නේ ‘එළියේ ලෝකයේ තිබෙනා දේවල්’ නියෝජනය කිරීම නිසා නොව පද්ධතියක් ලෙස භාෂාවේ ඇති අභ්‍යන්තර ක්‍රියාකාරිත්වය නිසා වන බවයි. සෝශියර් ට අනුව ඕනෑම වචනයක් – වඩාත් නිවැරදිව කියන්නේනම් ‘ සංඥාවක්’ (sign) – අපට කොටස් දෙකකට වෙන් කළ හැකිය. එක අතකින් තිබෙන්නේ එහි ‘භෞතික’ ස්වරූපය, එනම් එහි ශබ්ද කරනා ආකාරය හෝ ලියා තබනා ආකාරය වන ‘හැඟවුම්කාරකයයි’ (‘signifier’). අනෙක් පසින් තිබෙන්නේ එහි අර්ථය නැතිනම් සංකල්පය ලෙස හඳුනා ගත හැකි ‘හැඟවුමයි’ (‘signified’). ඉහත නිදර්ශනය ඇසුරින් කියන්නේනම් ‘සිංහල’ කියන වචනය ලියා තබන නැතිනම් උච්චාරණය කරන ආකාරයක් තිබේ. හැඟවුම්කාරකය යනුවෙන් අප හඳුනා ගන්නේ එයයි. එම හැඟවුම්කාරකය සඳහා වටිනාකමක් ලැබෙන්නේ භාෂාවේ අභ්‍යන්තර ක්‍රියාකාරිත්වය නිසා බව වටහා ගැනීම එතරම් අපහසු නොවේ. ‘සිංහල’ කියන වචනය සකස් වී තිබෙන්නේ භාෂාවේ ඇති වචන හතරක් ‘සි’-‘o’-‘හ’-‘ල’ එකතු වීම නිසාය. එම අකුරු ලියා තබන සහ උච්චාරණය කරනා විදියක් තිබේ. ඒවා තීරණය වන්නේ භාෂාවේ නියාම ධර්ම අනුවයි. නමුත් මෙම තලයේදී අප තවමත් සිටින්නේ භාෂාව පිළිබඳව ඉහතින් සඳහන් කළ සාමාන්‍ය තේරුම් ගැනීම තුළ පමණි. වචන ලිවීම සහ උච්චාරණය කිරීම තීරණය වන්නේ භාෂාවේ නීති රීති වලට අනුව බව ඕනෑම කෙනෙක් හට පහසුවෙන් එකඟ විය හැකි අදහසකි. ගැටලුව පැන නගින්නේ මෙම වචන වලට ඇති අර්ථය තීරණය වීමද මේ ආකාරයේ භාෂාවේ අභ්‍යන්තර ක්‍රියාකාරිත්වයක් ලෙස හැඳින්වීමේදී පමණි. සත්‍ය වශයෙන්ම, සෝශියර් ගේ ඉතාම රැඩිකල් යෝජනාව වන්නේ ද මෙයයි. මෙය පැහැදිළි කර ගැනීම සඳහා අපි, ඩෙරීඩා අතින් උපුටා දැක්වෙන, සෝශියර් ගේ ප්‍රකාශය කියවමු:

“[භාෂාවේ වචන වල] වටිනාකමේ සංකල්පීය තලය සකස් වී තිබෙන්නේ, මුළුමනින්ම, භාෂාවේ අනෙකුත් වචන වලට දක්වන සම්බන්ධය සහ වෙනස්කම් මතයි. එහි භෞතික තලය සම්බන්ධයෙන්ද අපට එයම කිව හැකි වේ… මේ වනතුරු අප සිදු කර තිබෙන සමස්ත සංවාදයම මේ කරුණ යටතට ගොණු කළ හැකිය: භාෂාවේ තිබෙන්නේ වෙනස්කම් පමණි. එයටත් වඩා වැදගත් වන්නේ මෙයයි: වෙනස්කමක් යන්නෙන් සාමාන්‍යයෙන් හැඟවෙන්නේ ධනාත්මක සංඝටක අතර තිබෙනා වෙනස්කමක් ලෙස ගොඩ නැගීමකි; නමුත් භාෂාවේ තිබෙන්නේ ධනාත්මක සංඝටක නොමැති වෙනස්කම් පමණි. අප සලකා බලන්නේ හැඟවුම වුවත්, හැඟවුම්කාරකය වුවත්, වාග්විද්‍යාත්මක පද්ධතිය ඇති වීමට පෙර පැවතුනා වූ අදහස් හෝ ශබ්ද හෝ භාෂාවේ නොමැත. එහි තිබෙන්නේ එම පද්ධතිය මගින් නිකුත් වී ඇති සංකල්පීය සහ ශාබ්ධික වෙනස්කම් පමණි. සංඥාවක් තුළ ඇති අදහසට හෝ එහි ශාබ්ධික සාරයට හෝ වඩා වැදගත් වන්නේ එම සංඥාව වටා ඇති අනෙකුත් සංඥාවන්ය”[ii].

වෙනත් ආකාරකයට කියන්නේනම් සෝශියර්ට අනුව හැඟවුම්කාරක පමණක් නොව හැඟවුම් පවා තීරණය වන්නේ අභ්‍යන්තර ක්‍රියාකාරිත්වයන් අනුව පමණි. තවත් සරල ලෙස: වචනයක අර්ථය තීරණය වන්නේ එම වචන මගින් නියෝජනය කරනා ‘එළියේ ලෝකයේ ඇති දෙය’ නිසා නොව එම වචනය භාෂාවේ අනෙකුත් වචන වලට දක්වන සම්බන්ධකම් නිසාය. මෙහි සරල අදහස සමග එකඟ වීම එතරම් අපහසු නොවේ – ‘සිංහල’ යන වචනයේ අර්ථය එය යොදනා සන්දර්භය අනුව – ‘එය වටා ඇති අනෙකුත් සංඥාවන්’ – බොහෝ සේ වෙනස්විය හැකි බව අපි දනිමු. නිදර්ශනයක් ලෙස පහත වාක්‍යය සලකා බලන්න:

“මේ සිංහල අපගේ රටයි – අප ඉපදිලා මැරෙන රටයි”

“සිංහල ගද්‍ය පද්‍ය නිර්මාණයන්හී රිද්ම ලක්ෂණ”

“‘බොදු බල සේනා’ වැනි අන්ත සිංහල ජාතිවාදී සංවිධාන”.

මේ වාක්‍යය තුනේ තිබෙනා එකම පොදු වචනය වන්නේ ‘සිංහල’ යන්න වුවත් ඒ සඳහා මේ එක් එක් වැකි වල තිබෙන්නේ රැඩිකල් ලෙස වෙනස් වූ අර්ථ බව පැහැදිළි වේ. මේ මගින් පැහැදිළි වන්නේ ‘සිංහල’ යන වචනය සඳහා තිබෙන්නේ ස්වායත්තව ගොඩනැගී ඇති ධනාත්මක (positive) අර්ථයක් නොව අනෙකුත් වචන අතර ඇති සම්බන්ධය හරහා, සහ, විශේෂයෙන්ම, ඒ වචන වලින් වෙනස්වීමේ හැකියාව මගින් ඇති වන අර්ථයක් බවයි. එයට පරස්පරව, කිසියම් වචනයකට ධනාත්මක අර්ථයක් තිබෙනවා යනුවෙන් අදහස් කරන්නේ එම වචනයේ අර්ථය එම වචන තුළින් පමණක් පැන නගිනා පරිපූර්ණත්වයක් වන බවයි. නමුත්, සෝශියර් පෙන්වා දෙන්නේ මේ ආකාරයේ ධනාත්මක සංඝටක භාෂාව තුළ අපට හමු නොවනා බවත්, ඒ වෙනුවට, වෙනස්කම් අතර සම්බන්ධතා හරහා පමණක් පැන නගින අර්ථ එහිදී හමුවන බවත්ය.

නමුත් මේ අදහස ලැක්ලාවූ හට වැදගත් වන ආකාරය විමසා බැලීම සඳහා අප තවත් එක පියවරක් තැබිය යුතු වේ. අපි එය මීළඟ ලිපියෙන් සාකච්ඡා කරමු.

 

වංගීස සුමනසේකර

සටහන්

[i] විසංවාදය පිළිබඳව මෙම පැහැදිළි කිරීම ඒ සම්බන්ධයෙන් ලබා දිය හැකි හොඳම දාර්ශනික පැහැදිළි කිරීම වන්නේද යන ප්‍රශ්නය මෙහිදී මතු කරන්නට උත්සාහ කරන්නේ නැත. සත්‍ය වශයෙන්ම ‘Hegemony and Socilist Strategy’ කෘතිය තුළ ලැක්ලාවූ සහ මූෆ් මේ සම්බන්ධයෙන් විස්තරාත්මක පැහැදිළි කිරීමක් ලබා දෙන්නේ නැත. නිදර්ශනයක් ලෙස සැබෑව විසංවාදී නොවේ යන තිසීසය පැහැදිළි කිරීම සඳහා ඔවුන් ලබා දෙන්නේ හේගලියානු දයලෙක්තිකය ට එරෙහි කාල් පොපර් ගේ ජනප්‍රිය රචනයයි. නමුත් මෙය මේ සම්බන්ධයෙන් ඇති, ප්‍රශ්න කළ නොහැකි පැහැදිළි කිරීමක් වන්නේ ඇයිද යන්න විස්තර කිරීමට ඔවුන් උනන්දු වන්නේ නැත. Erenesto Laclau & Chantal Mouffe, (2001), Hegemony and Socialist Strategy, London: Verso, pp. 123-124. පොපර් ගේ රචනය සඳහා බලන්න, Karl Popper, (1940), “What is Dialectic?”, Mind, 49 (196), pp. 403-426.

 

[ii] Jacques Derrida, (1982), Margins of Philosophy, tr. Alan Bass, Sussex: The Harvester Press, pp. 10-11 (මගේ සිංහල පරිවර්තනය)