CheikhNdiaye_Adjamé_Charbon_2014site1

“ ‘ජාතික ජන බලවේගයට’ ඡන්දය දිය යුත්තේ ඇයි?”යන පුළුල් තේමාවක් යටතේ පළ වන ලිපි මාලාවක සිව්වැනි ලිපිය මෙයයි (මේ සියලු ලිපි NPP යන ‘tag’ එක හරහා ගොණු කර තිබේ). ආගමික-වාර්ගික දේශපාලනයේ නැග ඒම සහ එය ප්‍රශ්න කිරීමට ඓතිහාසිකව ගොඩ නැගී තිබූ සංකල්පීය මෙවලම වූ දෘෂ්ඨිවාදී විචාරයේ සමකාලීන වර්ධනයන් සම්බන්ධයෙන් සාකච්ඡාවක් වටා මෙම සංවාදය නාභිගත වෙයි. අද දින සාකච්ඡා කරන්නේ අර්නස්ටෝ ලැක්ලාවූ ගේ අදහස් වල දේශපාලන පසමිතුරුතාවය යන අදහසේ දාර්ශනික පසුබිම පිළිබඳව කෙටි පැහැදිළි කිරීමකි.

***

අපි ඉක්මනින් සංවාදය සාරාංශ කරමු. අපට අවශ්‍ය වන්නේ දෘෂ්ඨිවාදය විචාරයට බඳුන් කිරීම නම් අදහස සමකාලීන සංවාදයට ගෙන ඒමයි. තරමක් සරල ආකාරයෙන් අපට අවශ්‍ය වන්නේ සමාජයේ ආධිපත්‍යධාරී අදහස් ආධිපත්‍යධාරී සමාජ කණ්ඩායමකට සේවය කරනා බවත් එනිසාම ඒවා මගින් අපට යථාර්ථය සම්බන්ධයෙන් ව්‍යාජ චිත්‍රයක් මවා දෙන බවත් කියන්නටය. ‘දෘෂ්ඨිවාදය’ යන සංකල්පය ඇසුරින් උත්සාහ කළේ මෙවැනි මෙහෙයුම් අභියෝගයට ලක් කරන්නටයි. නමුත් ගැටලුව වන්නේ සමකාලීන දාර්ශනික වර්ධනයන් හමුවේ මෙම ක්‍රියාවේ ඥානවිභාගාත්මක ශක්‍යතාවය අභියෝගයට ලක් කිරීමයි. තවදුරටත් අපට ‘ව්‍යාජ විඥානය’ සහ ‘සැබෑ දැනුම’ අතර බෙදීම පහසුවෙන් සලකුණු කළ නොහැකි වේ. එනිසා දෘෂ්ඨිවාදය විචාරය කිරීමේ අවශ්‍යතාවය වෙනුවෙන් පෙනී සිටින වඩාත් බලපෑම් සහගත චින්තකයා ලෙස සැලකිය හැකි ස්ලැවෝයි ජිජැක් ගේ දර්ශනයේ එක සීමාවක් අපට හමු වන්නේ මෙතැන දී බව අපට පැහැදිළි විය. ව්‍යාජ දැනුම ප්‍රතික්ෂේප කළ හැකි දැනුමක වියහැකිබව විධිමත්ව තහවුරු කිරීමට එම ප්‍රවේශය අපට ඉඩ දෙන්නේ නැත. එනිසා අප ලැක්ලාවූ ගේ දේශපාලන න්‍යාය වෙත සාකච්ඡාව ගෙන ගියේ පසමිතුරුකාරිත්වය පිළිබඳව අදහස එහිදී නිශ්චිත ලෙස න්‍යායගත වන නිසාය.

පසුගිය ලිපියෙන් අප සාකච්ඡා කළේ මෙම සංකල්පය සඳහා ලැක්ලාවූ සහ මූෆ් ලබා දෙන පැහැදිළි කිරීමයි. එක අතකින් පසමිතුරුකාරිත්වය යන්න ‘සැබෑ විරුද්ධත්වයෙන්’ මෙන්ම ‘විසංවාදයෙන්’ ද වෙන් කරනු ලබයි. මේ පළමු අවස්ථාවන් දෙකට වෙනස් ලෙස පසමිතුරුකාරී සම්බන්ධයක දී මුණ ගැසෙනා සංඝටක දෙක සිය පැවැත්ම වෙනුවෙන් එකිනෙකට පරයාත්ත වෙයි. පසුගිය වර ලිපියෙන්, සෝශියර් ගේ වාග් විද්‍යාව පිළිබඳව අප සාකච්ඡා කළේ මෙවැනි ආකාරයේ සම්බන්ධතාවයක් තේරුම් කිරීම සඳහා එය අපට උපකාර කරනා නිසාය.

නමුත් මේ අදහස ලැක්ලාවූ හට වැදගත් වන ආකාරය විමසා බැලීම සඳහා අප තවත් එක පියවරක් තැබිය යුතු වේ. ඉහත අදහස භාෂාව සම්බන්ධයෙන් ඉතාම රැඩිකල් අර්ථකථනයක් ලෙස පිළිගැනීමට එකඟ වුවත් එය අප සාකච්ඡා කරමින් සිටිනා පසමිතුරුතාවය යන්න වටහා ගැනීමට උපකාර විය හැක්කේ කෙසේද? අප සාකච්ඡා කරමින් සිටින්නේ සමාජ ගැටුම් අප තේරුම්ගත යුතු ආකාරය කුමක්ද යන්නයි. ‘පසමිතුරුතාවය’ ලෙස අප නම් කළේ මෙයයි. අප තව එක් පියවරක් තැබිය යුත්තේ මේ පරතරය පියවීමටයි. මේ සඳහා, භාෂාව යනු අපගේ අත්දැකීමේ පසුකර යා නොහැකි පියවර ලෙස හඳුනා ගත යුත්තේ ඇයිද යන්න අප තේරුම් ගත යුතුය. නමුත් මෙහිදී ‘භාෂාව’ යනුවෙන් තවදුරටත් අදහස් කරන්නේ ලිඛිත හෝ උච්චාරණය කරනා භාෂාව පමණක් නොව පොදුවේ අපට අරුත්සහගත වන සියලු ක්‍රියාකාරකම්, ආයතන, වතාවත් ආදී සියල්ලයි. අප ලෝකය සමග කරනා ගණුදෙනුවේ ප්‍රාථමික මාදිළිය ලෙස න්‍යායාත්මක ගණන් බැලීම සිදු කළ නොහැක. එවැනි ආකාරයේ න්‍යායාත්මක ගණුදෙනුවක් කළ හැකි වන්නේ ඒ වනවිටත් ලෝකය සමග කිසියම් ආකාරයක භාවිතාත්මක සම්බන්ධතා ජාලයක සිටිනවානම් පමණි. අනෙක් අතට මේ ආකාරයේ භාවිතාත්මක සම්බන්ධතාවයක සිටීම සඳහා පූර්ව කොන්දේසිය වන්නේ අප ඒ වනවිටත් කිසියම් ආකාරයක අවබෝධකරගත හැකි ‘තැනක’ සිටීම යන්නයි. අප සෑම විටම සිටින්නේ අර්ථවත් ලෙස සකස් වී ඇති, සම්බන්ධ වී ඇති ලෝකයක් තුළයි. දැන්, මෙම අර්ථවත් ලෙස එකට බැඳී ඇති සම්බන්ධතා ජාලය නිශ්චිත ලෙස ව්‍යූහගත වී තිබෙන්නේ කෙසේද? භාෂාව පිළිබඳව සෝශියර් ගේ පෙරළිකාරී විශ්ලේෂණය මෙහිදී ඍජුවම ප්‍රයෝජනවත් වන බව තේරුම් ගැනීම අපහසු නොවේ.

අප දුටු පරිදි, සෝශියරියානු වාග්විද්‍යාව මගින් අවධානය යොමු කරන්නේ භාෂාව යන්න අර්ථය ජනනය කරනා පද්ධතියක් ලෙස, ව්‍යූහගත වී ඇති සංඥා එකතුවක් ලෙස, අධ්‍යයනය කිරීම වෙතයි. එහි අර්ථය ජනනය වීමේ හැකියාව පදනම් වන්නේ පද්ධතියෙන් පරිබාහිරව තිබෙනා ‘දේවල්’ මත නොව පද්ධතියේ ඇති අභ්‍යන්තර කොන්දේසි මතයි. මේවා අතරින් වඩාත් තීරණාත්මක වන්නේ එක වචනයක් අනෙක් වචන වලින් වෙනස් වන ආකාරය බට අපි දුටුවෙමු. මේ අනුව අප ගේ ලෝකය සකස් වී තිබෙන්නේ මෙම භාෂාවේ නිර්ණායක මත බව නිගමනය කිරීම සාධාරණ බව පෙනී යයි. අපගේ ලෝකය යනු අර්ථවත් ලෙස සකස් වී ඇති දෙයක්නම් මෙම අරුත් ජනනය වීම සිදු විය හැක්කේ කෙසේද කියා අපට තිබෙනා වඩාත් සංකීර්ණ පැහැදිළි කිරීමක් ලෙස සෝශියර් ගේ භාෂා විශ්ලේෂණය වැදගත් වේ යන්න සම්බන්ධයෙන් කිසිදු සැකයක් නොපවතියි. ඩෙරීඩා උපුටමින්, මෙම ලක්ෂ්‍යයෙන් පසු, සියලු දේ කතිකාව බවට පත්වූවා කියා ලැක්ලාවූ සහ මූෆ් කියන්නේ මෙම නිසාය[i].

සියලු දෙය කතිකාව බවට පත්වනවා යනු මේ ලෝකයේ පවතිනවා කියා අප සිතන සියලු වස්තු මෙම කතිකාව මගින් පමණක් අප වෙත ඉදිරිපත් කර ඇති දේ වනවා පමණක් නොව මිනිසා ගේ පැවැත්ම – එසේත් නැතිනම් සියලු සජීවී පැවැත්මවල් – යන්න ද මෙම කතිකාවේ නිර්මිතයක් බවට පත්වීමයි. නැවතත්, ලැක්ලාවූ සහ මූෆ් කියනා ආකාරයටම, හෛඩගර් යනු මෙම ආස්ථානයේ එක් කේන්ද්‍රීය මූලාශ්‍රයක් වන නිසා මෙය පැහැදිළි කර ගැනීම සඳහා අප හෛඩගර් වෙත යොමු වෙමු[ii]. හෛඩගර් ට අනුව, විඥානවාදයේ තිබෙනා ප්‍රධාන දුර්වලතාවයක් වන්නේ බාහිර ලෝකය යන්න මනසේ නිර්මිතයක් ලෙස නම් කිරීමයි. එහිදී විඥානවාදියා විසින් බාහිර ලෝකයෙන් විනිර්මුක්ත වූ ‘මනසක’, එසේත් නැතිනම් ‘ලෝක-විරහිත-ආත්මයක’ පැවැත්ම උපකල්පනය කරයි. නමුත්, ඉතාම පැහැදිළි වන්නේ අපගේ දෙන ලද ලෝකයේ අත්දැකීම මෙය නොවන බවයි. අපගේ මානසික ලෝකය පැවතිය හැක්කේ ඒ වනවිටත් අර්ථවත් උපකරණමය සම්බන්ධතා ජාලයක් ලෙස සකස් වී ඇති පසුබිමක් මත සිට පමණි. එවැන්නකින් විනිර්මුක්ත වූ ‘මනසක්’ යන්න අපට සිතා ගත හැකි දෙයක් නොවේ. අනෙක් අතට, අපගේ පැවැත්ම සඳහා, මෙවැනි උපකරණමය සම්බන්ධතා ජාලයක් මෙන්ම, අනෙකන් ගේ පැවැත්ම ද පූර්වකල්පනය කළ යුතු වෙයි. කිසිදු අනෙකෙක් නොමැතිව මා පැවැතිය හැක්කේ කෙසේද යන්න – නැවතත්, දෙන ලද ලෝකයේ අත්දැකීම් තුළ – මට සිතා ගත නොහැකි වේ. එම නිසාම මේ ආකාරයේ උපකරණමය පසුබිම සහ අනෙකන් සමග ඇති සම්බන්ධතා ‘මගේ මනසේ නිර්මාණ’ ලෙස අර්ථකථනය කිරීමට මට ඉඩ ලැබෙන්නේ නැත. එවැනි තීරණයක් ගත් කෙනෙක් හට සිදු වන්නේ එම සම්බන්ධතා පසුබිමෙන් තොරව ‘මගේ මනස’ පැවතිය යුතු ආකාරය පෙන්වා දීමයි. මෙය කළ නොහැකි වන නිසා මෙම සම්බන්ධතා ජාලයේ ප්‍රභවය ලෙස මාගේ පැවැත්ම පිළිගත නොහැකි වේ. මම යනු මේ ලෝකය වෙත ‘ඇද වැටී’ ඇති පැවැත්මක් කියා හෛඩගර් කියන්නේ මෙම නිසාය. අපගේ ජීවිතයේ විභවයන් මොනවාද කියා තීරණය වීමට අප මෙලෙස ‘ඇද වැටී’ ඇති ලෝකය තීරණාත්මක වන බව පැහැදිළි වේ. අප සෑම විටම කිසියම් සම්ප්‍රදායකට, කිසියම් ඉතිහාසයකට යටත්ව අපගේ පැවැත්ම සකසා ගත යුතුය.

‘මම’ යනු කතිකාවෙන් ස්වායත්තව පවත්නා සාරයක් ලෙස වටහා ගත හැකි පැවැත්මක් නොවේ කියා ලැක්ලාවූ කියන්නේ ඇයි කියා වටහා ගැනීමට, මේ අනුව, අපට අපහසු වන්නේ නැත. එම නිසාම ‘මම’ යන්න ද, තවත් ඕනෑම සංඝටකයක් ලෙස, කතිකාමය සම්බන්ධතාවන් ගේ නියාමයන්ට අනුව සකස් වී ඇති බව අපට කිව හැකිය. මෙහි ප්‍රතිඵලයක් ලෙස, කතිකාව තුළින් ගොඩනගනා අර්ථවත් ලෝකය තුළ ‘මම’ සතු අනන්‍යතාවය තීරණය වන්නේ අනෙකුත් සංඝටක වෙත මා දක්වන වෙනස්කම් අතර සම්බන්ධතාවයන්ට අනුව බව පැහැදිළි වේ. මෙහි දී තීරණාත්මක වන කරුණු තුනක් ඇති බව කිව හැකිය.

පළමුවෙන් මේ ආකාරයේ කතිකාමය අනන්‍යතාවයක් යනු කෙදිනකවත් පරිපූර්ණ වන්නක් නොවේ. අප දුටු පරිදි, සෝශියර් ට අනුව, භාෂාවේ මුඛ්‍ය ලක්ෂණයක් වන්නේ එහි අභ්‍යන්තර ක්‍රියාකාරිත්වය තුළින් අර්ථ සම්පාදනය වීමයි. එහිදී වැදගත් වන්නේ එකිනෙක අතර තිබෙනා වෙනස්කම් අතර සම්බන්ධතා මොනවාද යන්නයි. එම නිසා එක සංඝටකයක අර්ථය තීරණය වන්නේ එය නොවන අනෙකුත් සංඝටක වලට දක්වන සම්බන්ධය නිසාය. එම නිසාම එක සංඝටකයක අර්ථය/වටිනාකම එය තුළින් උත්පාද වනවා වෙනුවට එය ඊළඟ සංඝටකය වෙත දක්වන සම්බන්ධය මත තීරණය වෙයි. එම නිසා අර්ථය යන්න කෙදිනකවත් පරිපූර්ණ වන්නේ නැත. එය සෑම විටම අනාගතය වෙත කල් දමන්නකි. තවත් සරල ලෙස, එක වචනයක අර්ථය රඳා පවත්නේ එම වචනය සහ ‘බාහිර ලෝකයේ ඇති දේවල්’ අතර ඇති සම්බන්ධයක් මත නොව, එම වචනය වටා ඇති අනෙකුත් වචන නිසාය. එම නිසා එහි අර්ථය සොයා ගැනීමට අප එයට පසුව එන වචනය කුමක්ද කියා විමසා බැලිය යුතුය. අනෙක් අතට, එම දෙවෙනි වචනයේ අර්ථය තීරණය කිරීමට අප එයට පසුව එන වචනය කුමක්ද කියා දැන ගත යුතුය. මෙහි අවසානයක් තිබිය නොහැකි බව පැහැදිළි වේ. නැතිනම් – ඩෙරීඩා ගෙන් උපුටාගෙන – ලැක්ලාවූ කියනා පරිදි ‘උත්තරානුභුතික හැඟවුම’ (‘transcendental signified’) යනුවෙන් දෙයක් නොමැති වේ. එනම්, අර්ථය අවසානයේදී ස්ථාපිත කළ හැකි ‘පරම වූ අර්ථයක්’ අපට කෙදිනකවත් හමු නොවේ. එම නිසාම කතිකාවේ සෑම සංඝටකයක් සඳහාම ඇති අර්ථය අහඹු ලෙස සකස් වී තිබීම අනිවාර්යය වේ.

නමුත් – දෙවෙනි තීරණාත්මක කරුණ මෙයයි – මෙම අස්ථාරව බව යන්නද පරිපූර්ණ නොවේ. භාෂා පද්ධතිය තුළ අස්ථාවර වන්නේ වුවත් යම් ආකාරයක අර්ථයක් ජනනය වීම අවශ්‍ය වේ. එසේ නොමැති වනවා යනු සියලු අර්ථය බිඳ වැටෙන – සයිකෝටික – විශ්වයක් වන අතර එවිට තවදුරටත් කතිකාව යනුවෙන් හඳුනා ගත හැකි දෙයක් ඉතිරි නොවේ. නමුත් සියලු දේ කතිකාව බවට පත්වේ යන අදහස කෙනෙක් පිළිගන්නේනම්, කතිකාවෙන් ස්වායත්ත වූ අර්ථයන් යනුවෙන් දෙයක් පැවතිය නොහැකි වේ. එම නිසාම එය සෑම විටම පැවතිය යුත්තේ කිසියම් අර්ථවත් ආකාරයකට සම්බන්ධ වී පමණි. එම නිසා කතිකාව මගින් ලබා දෙන අනන්‍යතාවයන්, ඒවා කෙතරම් අස්ථාවර වන්නේ වුවත්, යම්කිසි – තාවකාලික – ස්ථායිබවක් අත්පත් කරගනියි. කතිකාව මගින් ගොඩ නංවන්නේ අප අවට තිබෙනා අජීවී ලෝකයේ වස්තූන් සතු අනන්‍යතාවය පමණක් නොව මාගේ අනන්‍යතාවයද ඒ මගින් ගොඩ නංවන නිසා, මාගේ අනන්‍යතාවයද, මේ අනුව, සාපේක්ෂ ස්ථායිබවකින් යුක්ත වේ.

අවසන් වශයෙන්, අප මතක තබා ගත යුතු තුන්වැනි වැදගත් කරුණ වන්නේ, කතිකාව යන්න සමස්තයක් ලෙස අපට කෙදිනකවත් හමු වන්නේ නොමැති බවයි. අර්ථය යන්න සෑම විටම අනාගතය වෙත කල් දමනවා යන්නෙන් අදහස් වන්න එහි අවසානයක් හමු වන්නේ නොමැති බවයි. එමෙන්ම, මෙම අර්ථයෙන් ගත්විට, කතිකාවේ ආරම්භය යන්නද අපට නිර්ණය කළ නොහැකි බව පෙනී යයි. කතිකාවේ ආරම්භය මෙයයි යනුවෙන් නම් කරනවා යනු කතිකාවට පෙර තිබෙනා තත්වය යනුවෙන් පෙන්විය හැකි යමක් තිබීමයි. නමුත් එවැන්නක් යනු, සෑම විටම, කතිකාව විසින් පමණක් අපට අභිමුක විය හැකි දෙයක් බව මේ වන විට පැහැදිළි විය යුතුය. මෙහි ප්‍රතිඵලයක් ලෙස මාගේ අනන්‍යතාවය යන්න ද අපට සමස්තයක් ලෙස ගත හැකි දෙයක් නොවේ. එය සෑම විටකම, එකිනෙකට වෙනස්, සහ, සමහරවිට, එකිනෙකට විරුද්ධ කතිකාමය ඉතිහාසයන් විසින්, අසම්පූර්ණ ලෙස, ගොඩ නංවන ලද දෙයකි [iii].

දැන් අපට ‘පසමිතුරුකාරිත්වය’ පිළිබඳව ලැක්ලාවූ ගේ අදහස කුමක්ද කියා වටහා ගැනීමට අවශ්‍ය පසුබිම තිබේ. මේ ඇසුරින් ඔහු මෙම සංකල්පය විවරණය කරනා ආකාරය අපි මීළඟ ලිපියෙන් විමසා බලමු.

වංගීස සුමනසේකර

 

සටහන්

[i] Erenesto Laclau & Chantal Mouffe, (2001), Hegemony and Socialist Strategy, London: Verso, p. 112

[ii] එම, p. 115

[iii] මේ හා සමාන ප්‍රවේශයකින් ශ්‍රී ලාංකික මුස්ලිම් අනන්‍යතාවයේ ඇති අස්ථායි බව කතිකාමය ගොඩනැංවීම පිළිබඳව අදහසක් ඇති කර ගැනීම සඳහා කද්රි ඉස්මයිල් ගේ රචනා බලන්න. නිදර්ශනයක් ලෙස, බලන්න, “The Import of Sri Lankan Muslim Names”. අන්තර්ජාල සබැඳිය http://groundviews.org/2015/06/12/the-import-of-sri-lankan-muslim-names/

 

 

 

 

***