6505c240b1c086cea0c475361c11e192

“ ‘ජාතික ජන බලවේගයට’ ඡන්දය දිය යුත්තේ ඇයි?”යන පුළුල් තේමාවක් යටතේ පළ වන ලිපි මාලාවක පස්වැනි ලිපිය මෙයයි (මේ සියලු ලිපි NPP යන ‘tag’ එක හරහා ගොණු කර තිබේ). ආගමික-වාර්ගික දේශපාලනයේ නැග ඒම සහ එය ප්‍රශ්න කිරීමට ඓතිහාසිකව ගොඩ නැගී තිබූ සංකල්පීය මෙවලම වූ දෘෂ්ඨිවාදී විචාරයේ සමකාලීන වර්ධනයන් සම්බන්ධයෙන් සාකච්ඡාවක් වටා මෙම සංවාදය නාභිගත වෙයි. අපට අවශ්‍ය වන්නේ දෘෂ්ඨිවාදය විචාරයට බඳුන් කිරීම නම් අදහස සමකාලීන සංවාදයට ගෙන ඒමයි. තරමක් සරල ආකාරයෙන් අපට අවශ්‍ය වන්නේ සමාජයේ ආධිපත්‍යධාරී අදහස් ආධිපත්‍යධාරී සමාජ කණ්ඩායමකට සේවය කරනා බවත් එනිසාම ඒවා මගින් අපට යථාර්ථය සම්බන්ධයෙන් ව්‍යාජ චිත්‍රයක් මවා දෙන බවත් කියන්නටය. ‘දෘෂ්ඨිවාදය’ යන සංකල්පය ඇසුරින් උත්සාහ කළේ මෙවැනි මෙහෙයුම් අභියෝගයට ලක් කරන්නටයි. නමුත් ගැටලුව වන්නේ සමකාලීන දාර්ශනික වර්ධනයන් හමුවේ මෙම ක්‍රියාවේ ඥානවිභාගාත්මක ශක්‍යතාවය අභියෝගයට ලක් කිරීමයි. තවදුරටත් අපට ‘ව්‍යාජ විඥානය’ සහ ‘සැබෑ දැනුම’ අතර බෙදීම පහසුවෙන් සලකුණු කළ නොහැකි වේ. එනිසා දෘෂ්ඨිවාදය විචාරය කිරීමේ අවශ්‍යතාවය වෙනුවෙන් පෙනී සිටින වඩාත් බලපෑම් සහගත චින්තකයා ලෙස සැලකිය හැකි ස්ලැවෝයි ජිජැක් ගේ දර්ශනයේ එක සීමාවක් අපට හමු වන්නේ මෙතැන දී බව අපට පැහැදිළි විය. ව්‍යාජ දැනුම ප්‍රතික්ෂේප කළ හැකි දැනුමක වියහැකිබව විධිමත්ව තහවුරු කිරීමට එම ප්‍රවේශය අපට ඉඩ දෙන්නේ නැත. එනිසා අප ලැක්ලාවූ ගේ දේශපාලන න්‍යාය වෙත සාකච්ඡාව ගෙන ගියේ පසමිතුරුකාරිත්වය පිළිබඳව අදහස එහිදී නිශ්චිත ලෙස න්‍යායගත වන නිසාය.

පසුගිය ලිපියෙන් අප සාකච්ඡා කළේ මෙම සංකල්පය න්‍යාගත කිරීම සඳහා ලැක්ලාවූ සහ මූෆ් භාවිතයට ගන්නා පුළුල් දාර්ශනික පසුබිමයි. අවසානයේදී මෙහි දී තීරණාත්මක වන්නේ මාගේ පැවැත්මෙන් මුළුමනින් විනිර්මුක්ත වූ බාහිර ලෝකයක් හෝ බාහිර ලෝකයකින් මුළුමනින් විනිර්මුක්ත වූ මානසික පැවැත්මකුත් අපට කිසිදා ගත නොහැකිය යන නූතන දාර්ශනික ස්ථාවරයයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස මාගේ අනන්‍යතාවය සකස් වන්නේ අහඹු ලෙස එක්වන සංඝටක අතර එය පිහිටුවෙන ආකාරයෙනි. එම නිසා මෙය එක අතකින් සාපේක්ෂ ලෙස ස්ථාවර වන අතර අනෙක් අතට මෙය කිසිදා පරිපූර්ණ වන අනන්‍යතාවයක් නොවේ.

***

දැන් අපට ‘පසමිතුරුකාරිත්වය’ පිළිබඳව ලැක්ලාවූ ගේ අදහස කුමක්ද කියා වටහා ගැනීමට අවශ්‍ය පසුබිම තිබේ. අප දුටු පරිදි ‘සැබෑ ප්‍රතිවිරුද්ධතාවයන්’ සහ ‘විසංවාදයන්’ යන දෙකෙහි තිබූ පොදු ලක්ෂණය වන්නේ ඒවා අපගෙන් ස්වායත්ත දේවල් වීමයි. ඒවා මගින් විස්තර කළ හැක්කේ එකිනෙකින් වෙන්ව ඇති, සිය පැවැත්ම සඳහා එකිනෙකා මත යැපීමේ අනිවාර්යතාවයක් නොමැති, සංඝටක දෙකක් අතර වන ගැටීමකි. නමුත් සමාජයේ ගැටුම් සිදු වන්නේ මේ ආකාරයේ භෞතික ලෝකයේ නියාම ධර්ම අනුව විස්තර කළ හැකි සංඝටක අතර ඝට්ටනයක් තුළින් හෝ තාර්කික ප්‍රස්තූතයන් අතර ඇති පරස්පරතා තුළින් හෝ නොවේ. ඒ වෙනුවට සමාජ ගැටුම් යනු පුද්ගලයන් සහ පුද්ගල සමූහයන් අතර ඇති වන ගැටුම්ය. දැන්, අප ඉහතින් දුටු පරිදි, පුද්ගල අනන්‍යතාවය යන්න ගොඩ නැගෙන්නේ එකිනෙකා කතිකාමය ගොඩනැංවීමක් ලෙස, වෙනස්කම් අතර සම්බන්ධයක් ලෙසනම්, ‘මම’ සහ ‘අනෙකා’ යනු එකිනෙකින් ස්වායත්ත වූ පරිපූර්ණ පැවැත්මවල් නොවන බව පැහැදිළි වේ. ඒ අනුව අපට පසමිතුරුකාරී සම්බන්ධයක ඇති සුවිශේෂත්වය සලකුණු කිරීමට අවස්ථාව තිබේ. ඒ තමයි, එය සිදු වන්නේ, මුළුමනින් එකිනෙකින් ස්වායත්ත නොවන සංඝටක දෙකක් අතර වීම.

නමුත්, සත්‍ය වශයෙන්ම, මෙම අවසන් ලක්ෂණය කතිකාමය සම්බන්ධතාවයක තිබෙනා ඕනෑම සංඝටක දෙකක් සඳහා අදාළ වන බව අපි දනිමු. පසමිතුරුතාවය යනුවෙන් අප අදහස් කරන්නේ මෙයනම් එමගින් සමාජ ගැටුම් පැහැදිළි කළ නොහැකි බව පෙනී යයි. එම නිසා, මේ සඳහා අප තවත් එක පියවරක් ඉදිරියට තැබිය යුතුය.

අවසන් ලිපියෙන් අප සාකච්ඡා කළ පරිදි කතිකාමය ගොඩනැංවීමක ලක්ෂණයක් වන්නේ ඒවා පාර්ශවීය ලෙස ස්ථායි වීමයි. වඩාත් ඍජු ලෙස කියන්නේනම්, ඒවා එක් පසෙකින් අසම්පූර්ණ වන අතරම තවත් අතකින් පරිපූර්ණ ස්වභාවයක් අත්පත් කර ගනියි. අපගේ දෛනික ජීවිතය දෙස අවධානය යොමු කිරීමෙන් මෙය පහසුවෙන් වටහා ගත හැකිය. අප සිටිනා අරුත්සහගත ලෝකයේ හඳුනා ගත හැකි කිසිම සංඝටකයක්, ස්වායත්ත නොවනවා කියා අපට, සාමාන්‍ය තත්වයන් යටතේදී, හැඟී යන්නේ නැත. එසේ වන්නේ, ඉහතින් සාකච්ඡා කළ, පාර්ශවීය ස්ථායිබව සාමාන්‍යයෙන් ක්‍රියාත්මක වන නිසාය. අපට අර්ථවත් ලෙස දේවල් තේරුම් ගත හැකි වන්නේ එලෙසයි. නමුත් පසමිතුරුකාරී සම්බන්ධයකදී සිදු වන්නේ කතිකාව මගින් පාර්ශවීය ලෙස ස්ථාවරත්වයක් ලබා දී ඇති සංඝටක වල මෙම ස්ථාවරත්වය දෙදෙරා යාම සහ, ඒ හරහා, ඒවායේ අස්ථිරත්වය හෙළිදරව් වීමයි. තවත් ආකාරයකට කියන්නේනම්, පසමිතුරු සම්බන්ධයකදී සිදු වන්නේ ‘අනෙකාගේ’ පෙනී සිටීමේ ප්‍රතිඵලයක් ලෙස  ‘මගේ’ අනන්‍යතාවය පරිපූර්ණ වීමට ඉඩ නොලැබීමයි. ලැක්ලාවූ සහ මූෆ් ගේ නිදර්ශනය දක්වන්නේනම්, ගොවියෙකුව සිය වගාබිමෙන් පලවා හැරීමට උත්සාහ කරනා ඉඩම් හිමියෙක් සමග ඇති වන්නේ පසමිතුරුකාරී සම්බන්ධයකි. මෙයට හේතුව වන්නේ ‘ඉඩම් හිමියා’ නම් අනෙකා නිසා ‘ගොවියා’ නම් අනන්‍යතාවය ගොවියා වෙත අහිමි වේ. ඉඩම් හිමියාගේ යහපැවැත්ම යනු ගොවියා ගේ පැවැත්මේ නිශේධයයි[i].

පසමිතුකාරිත්වය යනු, මේ අනුව, අපගේ සමාජ සම්බන්ධකම් වල ස්ථාවරත්වය බිඳ වැටෙන මොහොතකි. සමාජ ගැටුම් යන්න පැහැදිළි කිරීම සඳහා සාමාන්‍යයෙන් තරමක් අපහසු වන්නේ ද මෙම නිසාය: ඒවා මගින් නියෝජනය කරන්නේ භාෂාවේ අර්ථවත් හැඟවුම් නොව අර්ථයේ බිඳ වැටීම්ය. මින් අදහස් කරන්නේ අපට සමාජ ගැටුම් ඇති වන සමාජ කොන්දේසි මොනවාද කියා කිව නොහැකි බව නොවේ. සාමාන්‍යයෙන් අපට බොහෝ සමාජ ගැටුම් ඇති වීමට හේතුව පැහැදිළි කිරීමට හැකියාවක් තිබේ. නමුත් මෙයින් අදහස් වන්නේ පසමිතුරුකාරී සම්බන්ධය යන්න පැහැදිළි කළ හැකි බව නොවේ. ලැක්ලාවූ ගේ ප්‍රවේශය හරහා අපට පිළිතුරක් ලැබෙන්නේ මෙම ප්‍රශ්නයටයි. ඒ අනුව, පසමිතුරුකාරී සම්බන්ධයක් යනු දෙන ලද සමාජ අනන්‍යතාවයක් බිඳ වැටීමේ අත්දැකීමකි. ඒ හරහා සිදු වන්නේ අර්ථවත් ලෙස එකට සම්බන්ධ වී ඇති කතිකාමය සම්බන්ධතා වල සීමාව අභිමුඛ වීමයි. එම අර්ථයෙන් පසමිතුරුකාරීත්වය තුළ අපට සමාජීයත්වයේ සැබෑ ස්වරූපය හෙළි කරනා භූමිකාවක් තිබේ. එමගින් මේ සම්බන්ධතා වල තිබෙනා අත්‍යන්ත අහඹුබව අපට හෙළි කරයි. නමුත් මෙයින් අදහස් වන්නේ එම අහඹුබවේ සීමාවෙන් ඔබ්බෙහි වෙනත් සද්භාවවේදී පර්යායක් – ‘කතිකාමය නොවන යථාර්ථයක්’ – තිබෙනා බව නොවේ. එවැනි නිගමනයකට පැමිණි සැනින් අපට සිදු වන්නේ නැවතත් එය තවත් කතිකාවක් සහ එනිසාම වෙනස්කම් අතර සම්බන්ධතාවක් ලෙස කියවීමට පමණි. එම නිසා, පසමිතුරුතාවය මගින් පෙන්වා දෙන්නේ වෙනත් – ‘සැබෑ’, ‘සියල්ලට යටින් දිවෙන’ – පැවැත්මක් නොව, සියලු පැවැත්මවල් වල සීමාවයි.

අපගේ ආරම්භක ප්‍රශ්නය වෙත නැවතත් පැමිණීමට දැන් අපට අවස්ථාව තිබේ. දෘෂ්ඨිවාදී-නොවන ආස්ථානයක් පිළිබඳව ගැටලුව සඳහා ජිජැක් විසින් ලබා දෙන පිළිතුර කුමක්ද කියා අපි දනිමු. ඒ තමයි සමාජීයත්වය නම් වූ සංඛේතීය සමස්තය බිහි වීමේදී ‘මර්ධනය’ කිරීමට ලක්වෙන, අප විසින් අමතක කර දමනු ලබන, පසමිතුරුතාවය. නමුත් ලැක්ලාවූ ගේ පසමිතුරුතාවය පිළිබඳව සංකල්පය බැරෑරුම් ලෙස සැලකීමේදී ජිජැක් ගේ මෙම යෝජනාව තුළ තිබෙනා එක්තරා සීමාවක් හමු වේ. අවසන් අර්ථයෙන් ගත්විට, ලැක්ලාවූ ගේ පසමිතුරුතාවය සංකල්පය මගින් පෙන්වා දෙන්නේ සමාජ සමස්තය යනුවෙන් අප හඳුනා ගන්නා දෙය සත්‍ය වශයෙන්ම ‘සමස්තයක්’ නොව, ඕනෑම මොහොතක යළි අර්ථකථනය වීමේ විභවයට යටත් වූ ආරම්භයක් හෝ අවසානයක් හෝ නොමැති – සහ එම නිසාම කිසිදා ‘සමස්තයක්’ ලෙස හඳුනා ගත නොහැකි – කතිකාමය ගොඩනැංවීමක් වන බවයි. සමාජය විසින් මා වෙත ලබා දෙන ලද අනන්‍යතාවය අර්බුධයට යන විට සහ එහි ආසන්න හේතුව ලෙස මගේ අනෙකා සිටිනා විට, මම සහ අනෙකා යන දෙදෙනාම මෙලෙසම සිටිය හැකි තනි සමස්තයක් නොවන බව අපට වැටහී යයි. දෘෂ්ඨිවාදය යනුවෙන් අප නම් කරන්නේ සමාජය යනු තනි, පූර්ණ සමස්තයක් වේ යන විශ්වාසයයි කියා කියන්නේනම්, එම අර්ථයෙන්, පසමිතුරුතාවය හරහා මෙම විශ්වාසය බිඳ වැටෙනා බව අපට කිව හැකිය. සත්‍ය වශයෙන්ම මේ කරුණේදී ලැක්ලාවූ සහ ජිජැක් පමණක් නොව මෙයසූ ද අතර තිබෙන්නේ එකඟතාවයක් බව පැහැදිළි වේ: දෘෂ්ඨිවාදය යන්නෙහි අතිමූලික ලක්ෂණයක් වන්නේ අහඹු ලෙස සකස් වී ඇති සමාජ අවස්ථාවක්, අනිවාර්ය හේතුවක ප්‍රතිඵලයක් ලෙස වටහා ගැනීමයි[ii].

නමුත් අප දැන් සාකච්ඡා කරමින් සිටිනා ලැක්ලාවූ හේ ප්‍රවේශය මගින් අපට දෘෂ්ඨිවාදය පිළිබඳව අදහස ජිජැක් අතින් එය රැගෙන යන තරම් දුරක් රැගෙන යාමට අවස්ථාව ලැබෙන්නේද? එය කිසිසේත් කළ නොහැකි බව මේ වන විට පැහැදිළි විය යුතුය. පසමිතුරුතාවය යනු දෘශ්‍ය ලක්ෂ්‍යයක්, ‘දෘෂ්ඨිවාදී-නොවන’ ආස්ථානයක් අපට පෙන්වා දෙන අතිරේකයක්, එසේත් නැතිනම්, මාක්ස් කියූ ආකාරයට අපට සැබෑ ලෝකය නිරාවරණය කර දෙන දෙයක් නොව, අපේ අරුත්සහගත ලෝකය බිඳ වැටෙනා මොහොතකි.  දෘෂ්ඨිවාදී-නොවන ආස්ථානයක් පෙන්වීමේ හැකියාව කිසිදා සිදු කළ නොහැකි දෙයක් කියා ලැක්ලාවූ විසින් ප්‍රතික්ෂේප කරන්නේ මෙම නිසාය.

ඒ වෙනුවට ඔහු කරන්නේ එම අදහස එහි තාර්කික අවසානය වෙත රැගෙන යාමයි. ඔහු පෙන්වා දෙන පරිදි දෘෂ්ඨිවාදය යන සංකල්පය මුළුමනින් ඉවත දමන්නේ නොමැතිව අපගේ විශ්ලේෂණ වලට යොදා ගැනීමෙහි එක්තරා වාසියක් තිබේ. විශේෂයෙන් එම සංකල්පය හරහා අපට කතිකාමය සම්බන්ධතා වලදී සිදුවන මෙහෙයුම් දෙකක් හඳුනා ගැනීමේ වාසිය අත්පත් කරගත හැකි ය. පළමුවෙන්, නිශ්චිත අවස්ථාවන් වලදී අපට සමහර අදහස් ඉදිරිපත් වන්නේ ඒවායේ මුල් අර්ථයෙන් සිදුවන වෙනස් වීමක් ලෙසයි. දෙවනුව මෙම වෙනස්වීම, වෙනස්වීමක් ලෙස හඳුනා ගැනීමට අපට හැකි විය යුතුය. සම්ප්‍රදායිකව ගත්විට දෘෂ්ඨිවාදය යන සංකල්පය හරහා අපට නිරීක්ෂණය කිරීමට අවස්ථාව ලැබුනේ මෙම ලක්ෂණ බව අපි දනිමු. දෘෂ්ඨිවාදය මගින්, සෑම විටම, කිසියම් ප්‍රපංචයක මුල් අර්ථය විකෘති කරනු ලබන අතර, මෙම මෙහෙයුම – එනම් මුල් අර්ථය විකෘති කිරීම – පෙන්වා දීම දෘෂ්ඨිවාදය විචාරය කිරීමේ ඉලක්කය වෙයි.

නමුත්, මෙහිදී අනිවාර්යයෙන් ඇති වන ගැටලුව වන්නේ, අප දුටු පරිදි, මේ සම්ප්‍රදායික ලක්ෂණ දෙකම තබා ගැනීමට අපට තවදුරටත් අවස්ථාවක් හිමි නොවීමයි. එහිදී අවසාන අර්ථයෙන් අපට මුහුණ දීමට සිදු වන්නේ දෘෂ්ඨිවාදී නොවන ආස්ථානයක් වෙත ළඟා වීමේ අපහසුව පෙන්වා දෙන ඥානවිභාගාත්මක ප්‍රශ්නය වෙතටයි. තතු මෙසේනම්, මෙම සම්ප්‍රදායික අර්ථකථනය තුළ ඇති ගැටලුකාරී ලක්ෂණ දෙකද සමගින් දෘෂ්ඨිවාදී විචාරය තබා ගත යුතු වන බව ලැක්ලාවූට යෝජනා කරන්න හැකි වන්නේ කෙසේද? එසේ වන්නේ ඔහු අතින් දෘෂ්ඨිවාදය නම් සංකල්පය වෙත තිබෙනා සියළු නිශේධනාත්මක අර්ථයන් එයින් ඉවත් කරනා නිසාය. වෙනත් ආකාරයකට කියන්නේනම් ලැක්ලාවූ ට අනුව දෘෂ්ඨිවාදය යනු ‘නරක’ දෙයක් නොව ‘හොඳ’ දෙයකි. ඔහු ට අනුව ඕනෑම ආකාරයක සාධනීය දේශපාලන සංවිධානගතවීමක පූර්ව කොන්දේසිය ලෙස දෘෂ්ඨිවාදය ගත යුතුය.

මේ අර්ථයෙන් බැලූ විට පෙනී යන්නේ දෘෂ්ඨිවාදය සම්බන්ධයෙන් අපගේ ආරම්භක පෙනී සිටීම අත්හැර දැමීම වඩාත් ප්‍රයෝජනවත් බව නොවේද? මෙය විශේෂයෙන් පැහැදිළි වන්නේ දේශපාලන සන්ධාන පිළිබඳව ලැක්ලාවූ ගේ න්‍යායය බෙහෙවින් ශක්තිමත් එකක් බව පෙනී යන නිසාය. දේශපාලන සන්ධාන වල මූලික ව්‍යූහය සම්බන්ධයෙන් ලැක්ලාවූ ගේ න්‍යාය මීළඟට පැහැදිළි කර ගනිමින් අපි තවදුරටත් ඉදිරියට යමු.

වංගීස සුමනසේකර 

 

 

සටහන් 

[i] Erenesto Laclau & Chantal Mouffe, (2001), Hegemony and Socialist Strategy, London: Verso, p. 125

[ii] Ernesto Laclau, (1990), New Reflections on the Revolution of Our Time, London: Verso, p 18; Slavoj Zizek, “Introduction”,  in, Slavoj ZIzek (ed),  (1994),  Mapping Ideology, London:Verso, p. 4; කොන්ටෙන් මෙයසූ, (2019), පරිමිතත්වයෙන් පසු – අහඹුබවේ අනිවාර්යතාවය පිළිබඳ රචනයක්, පරි. වංගීස සුමනසේකර, කොළඹ: තීර්ථ ප්‍රකාශනයක්, පි. 152.