Nicolas Party, Blue Portrait, 2017

“ ‘ජාතික ජන බලවේගයට’ ඡන්දය දිය යුත්තේ ඇයි?”යන පුළුල් තේමාවක් යටතේ පළ වන ලිපි මාලාවක සයවැනි ලිපිය මෙයයි (මේ සියලු ලිපි NPP යන ‘tag’ එක හරහා ගොණු කර තිබේ). ආගමික-වාර්ගික දේශපාලනයේ නැග ඒම සහ එය ප්‍රශ්න කිරීමට ඓතිහාසිකව ගොඩ නැගී තිබූ සංකල්පීය මෙවලම වූ දෘෂ්ඨිවාදී විචාරයේ සමකාලීන වර්ධනයන් සම්බන්ධයෙන් සාකච්ඡාවක් වටා මෙම සංවාදය නාභිගත වෙයි. අපට අවශ්‍ය වන්නේ දෘෂ්ඨිවාදය විචාරයට බඳුන් කිරීම නම් අදහස සමකාලීන සංවාදයට ගෙන ඒමයි. තරමක් සරල ආකාරයෙන් අපට අවශ්‍ය වන්නේ සමාජයේ ආධිපත්‍යධාරී අදහස් ආධිපත්‍යධාරී සමාජ කණ්ඩායමකට සේවය කරනා බවත් එනිසාම ඒවා මගින් අපට යථාර්ථය සම්බන්ධයෙන් ව්‍යාජ චිත්‍රයක් මවා දෙන බවත් කියන්නටය. ‘දෘෂ්ඨිවාදය’ යන සංකල්පය ඇසුරින් උත්සාහ කළේ මෙවැනි මෙහෙයුම් අභියෝගයට ලක් කරන්නටයි. නමුත් ගැටලුව වන්නේ සමකාලීන දාර්ශනික වර්ධනයන් හමුවේ මෙම ක්‍රියාවේ ඥානවිභාගාත්මක ශක්‍යතාවය අභියෝගයට ලක් කිරීමයි. තවදුරටත් අපට ‘ව්‍යාජ විඥානය’ සහ ‘සැබෑ දැනුම’ අතර බෙදීම පහසුවෙන් සලකුණු කළ නොහැකි වේ. එනිසා දෘෂ්ඨිවාදය විචාරය කිරීමේ අවශ්‍යතාවය වෙනුවෙන් පෙනී සිටින වඩාත් බලපෑම් සහගත චින්තකයා ලෙස සැලකිය හැකි ස්ලැවෝයි ජිජැක් ගේ දර්ශනයේ එක සීමාවක් අපට හමු වන්නේ මෙතැන දී බව අපට පැහැදිළි විය. ව්‍යාජ දැනුම ප්‍රතික්ෂේප කළ හැකි දැනුමක වියහැකිබව විධිමත්ව තහවුරු කිරීමට එම ප්‍රවේශය අපට ඉඩ දෙන්නේ නැත. එනිසා අප ලැක්ලාවූ ගේ දේශපාලන න්‍යාය වෙත සාකච්ඡාව ගෙන ගියේ පසමිතුරුකාරිත්වය පිළිබඳව අදහස එහිදී නිශ්චිත ලෙස න්‍යායගත වන නිසාය. එහිදී අපට පැහැදිළි වූ පරිදි පසමිතුරුකාරීත්වය මගින් හෙළිදරව් වන්නේ සමාජ සම්බන්ධතාවන් හී ගැඹුරින්ම ඇති අසම්පූර්ණත්වය සහ අහඹුබවයි. එම නිසා මෙම පසමිතුරුකාරීත්වය යනු කෙදිනක හෝ ‘විසඳුමක්’ ලබා දිය හැකි දෝෂයක් නොව සමාජීයත්වය යන්නෙහි සමාරම්භක කොන්දේසියක් වෙයි. එම නිසා දෘෂ්ඨිවාදය යන සංකල්පය සඳහා සම්පූර්ණයෙන් වෙනස් වූ අර්ථ දැක්වීමක් ලැක්ලාවූ විසින් යෝජනා කරයි. ඔහු කියා සිටිනා පරිදි මෙය අපට සමාජ සම්බන්ධතා තේරුම් ගැනීම සඳහා යහපත් සංකල්පයක් ලෙස යොදා ගත හැකි අවියකි. නමුත් ඒ වෙනුවෙන් අප ගෙවිය යුතු වන්දිය වන්නේ මේ සඳහා සම්ප්‍රදායිකව තිබූ ‘අයහපත්’ අර්ථය මුළුමනින් ඉවත් කර මෙය ‘යහපත්’ තත්වයක් ලෙස සැලකීමට එකඟ වීමයි. මෙය වැඩිදුරටත් පැහැදිළි කර ගැනීම සඳහා අප දේශපාලන සන්ධාන පිළිබඳව ලැක්ලාවූ ගේ ඉමහත් ජනප්‍රිය න්‍යායය කියවිය යුතුය.

***

පසමිතුරුකාරීත්වය සම්බන්ධයෙන් අප මෙතෙක් ගොඩ නැගු සාකච්ඡාව ඇසුරින් අපට මෙය ඉතා පහසුවෙන් සූත්‍රගත කර ගැනීමට දැන් අවස්ථාව තිබේ. අප දුටු පරිදි පසමිතුරුකාරීත්වය යනුවෙන් හඳුන්වන්නේ අපගේ භාෂා ලෝකයේ අර්ථය ජනනය වීමේ සීමාවකි, අර්ථය ජනනය වීම බිඳ වැටෙනා මොහොතකි. එහිදී අනෙකා යනු තවදුරටත් මාගේ ස්වඅනන්‍යතාවය තබා ගැනීමට ඉඩ දෙන සමස්ත වෙනස්කම් සහිත පද්ධතියේ වෙනස් ඒකකයක් නොව මගේ ස්වඅනන්‍යතාවය නැති කරන්නකි. එවිට මාගේ පැවැත්ම සහතික කළ හැක්කේ අනෙකා ගේ පැවැත්ම ඉවත් කිරීමෙන්, පරාජයට පත් කිරීමෙන්, එහි ව්‍යූහාත්මක වටිනානාකම වෙනස් කිරීමෙන් පමණි.

නමුත් මෙමගින් අදහස් කරන්නේ මෙවැනි පසමිතුරුකාරී සම්බන්ධයක් තිබූ පමණින් අපට ඒවාට එරෙහිව දේශපාලන අරගල කළ හැකි වනවා යන්න නොවේ. සත්‍ය වශයෙන්ම මානව ඉතිහාසය පුරා අපගේ අත්දැකීම වන්නේ මෙහි පරිපූර්ණ ප්‍රතිපක්ෂයයි කියා කිව හැකිය. බොහෝ අවස්ථාවන් වලදී මෙවැනි පසමිතුරුකාරී සම්බන්ධතා වල වින්දිතයන්ට සිදු වන්නේ සිය අනන්‍යතාවය අහිමි වීම යථාර්ථය ලෙස බාර ගැනීමටයි. නමුත් යම් යම් අවස්ථාවන් වලදී, අපට දේශපාලන අරගල උත්පාද කළ හැකි බව ද මෙමගින් ප්‍රතික්ෂේප වන්නේ නැත. එසේනම්, අප විමසිය යුතු ප්‍රශ්නය කුමක්ද කියා තේරුම් ගැනීම කිසි සේත් අපහසු නොවේ: යම් යම් අවස්ථාවන් වලදී මෙවැනි පසමිතුරුකාරී සම්බන්ධතා හමුවේ එයට විරුද්ධව දේශපාලන අරගල ජනනය වන්නේ කෙසේද?

මෙහිදී පළමුවෙන් අවශ්‍ය වන්නේ මේ ආකාරයේ පසමිතුරුකාරී සම්බන්ධතාවයකට එරෙහිව සිදු කරනා අරගලයක් සෑම විටම කොටස් දෙකකට බෙදී ඇති බව සිහිපත් කර ගැනීමයි. එක අතකින් මෙවැනි අරගලයක් යනු අපගේ ස්වඅනන්‍යතාවය තබා ගැනීම සඳහා සිදු කරන නිශ්චිත අරගලයකි. නිදර්ශනයක් ලෙස අපට අවශ්‍ය වන්නේ යහපත් ප්‍රවාහන පහසුකම් ලබා දෙන පොදු ප්‍රවාහන පද්ධතියක් කියා සිතන්න. මෙවැන්නක් වෙනුවෙන් අප සංයුක්ත අරගලයක් සංවිධානය කරන්නේනම් එවැනි දේ සඳහා නිශ්චිත ඉල්ලීම් තිබෙනු ඇත (‘රාත්‍රී 10 වනතුරු අඛණ්ඩ බස් සේවයක්’, ‘තෙරපී, හැකිලී ගමන් කිරීමට සිදු නොවන ප්‍රවාහන පද්ධතියක්’). ඒවා ලබා ගැනීමට අපට ව්‍යුහාත්මක බාධාවක් වී තිබෙන යම් යම් සාධක ඉවත් කිරීමට එමගින් සටන් කරනු ඇත. නමුත් මෙවැනි අරගලයක් යනු එම නිශ්චිත සහ සංයුක්ත ඉල්ලීම් ඉක්මවා ලු අරගලයක් ද කියා තේරුම් ගැනීම එතරම් අපහසු නොවේ. නිදර්ශනයක් ලෙස ඉහත ඉල්ලීම් වලට එකඟ වීම සඳහා කෙනෙක් දැන් පවත්නා පොදු ප්‍රවාහන පද්ධතියෙන් පීඩාවට ලක් වීම අනිවාර්ය නොවේ. ඉතාම සුළු පිරිසක් පුද්ගලික වාහන වල යන අතර විශාල ජනකායක් බස්, කොච්චි වල දුක් විඳිමින් යාම සාධාරණ නොවන බව බොහෝ දෙනෙකුට එකඟ විය හැකි සරල කරුණකි. එවිට ඔවුන් සිය විරෝධය දක්වන්නේ මෙම නිශ්චිත ප්‍රශ්නය විසඳීමට ඉඩ නොදෙන සංයුක්ත ව්‍යුහාත්මක සාධක වෙනුවෙන් නොව මෙවැනි ක්‍රමයක් පවත්වාගෙන යාමට ඉඩ දෙන පොදු පාලන ව්‍යුහයට එරෙහිවයි.

ඕනෑම සංයුක්ත දේශපාලන අරගලයක තිබෙනා පාර්ශව දෙක, ද්වීගුණ වීම කුමක්ද කියා මේ අනුව තේරුම් ගැනීම අපහසු නැත. එක අතකින් තිබෙන්නේ එම අරගලයේ සංයුක්ත, නිශ්චිත, කුඩා ඉල්ලීම වන අතර අනෙක් අතින් එය පොදු විරෝධයක එක් නියෝජනයක් ලෙස හඳුනා ගත හැකිය. එම අර්ථයෙන් ගත්විට, අප මෙයට පෙර සාකච්ඡා කර තිබෙන සෝශියර් ගේ භාෂා විශ්ලේෂණයේ සංකල්ප ඇසුරින් කියන්නේනම්, ‘පොදු ප්‍රවාහන අරගලය’ නම් වූ හැඟවුම්කාරකයට, හැඟවුම් දෙකක් තිබෙනවා කියා කිව හැකිය. එක හැඟවුමක් මගින් සිදු කරන්නේ එය, අනෙකුත් හැඟවුම් වලින් වෙන් කරන ලද විශේෂ තනි අරගලයක් ලෙස නම් කිරීමයි – ‘මෙම අරගලය යනු මේ රටේ යහපත් පොදු ප්‍රවාහන පද්ධතියක් බිහි කිරීම වෙනුවෙන් වූ අරගලයකි’. අනෙක් හැඟවුම වන්නේ ‘මෙය අපේ රටේ යහපත් සමාජයක් ගොඩ නැගීමේ පොදු අරගලයේ එක්, අත්‍යවශ්‍ය, කොටසකි’ යන හැඟවුමයි.

මේ අතරින් පළමු හැඟවුම දෙස සමීප වී බලන විට අපට පෙනී යන්නේ එමගින් සිදු වන්නේ මෙම අරගලයේ ඇති වෙනස සලකුණු කරන බවයි. අනෙක් අතට මෙහි දෙවැනි හැඟවුම දෙස සමීප වී බලන විට පෙනී යන්නේ එමගින් මෙම අරගලය සහ වෙනත් මේ හා සමාන අරගල අතර තුල්‍යතාවයක් ඇති කරනා බවයි. මේ මගින් අපට තවත් කරුණක් මෙයට එකතු කළ හැකි බව පෙනී යයි. දෙන ලද මොහොතක සමාජයේ විවිධ ප්‍රජාවන් නියෝජනය කරන සුවිශේෂ ඉල්ලීම් එකිනෙකින් වෙනස් වුවත් ඒවා අතර පොදු සන්ධානයක් ගොඩ නැගීමේ ද ඉඩක් තිබේ. මේ සඳහා අවශ්‍ය වන්නේ ඒවායේ ඇති වෙනස්කම් තරමක් යටපත් වී සමානකම් – ‘තුල්‍යතාවය’ – ඉස්මතු වීමයි.

ඒ සමගම අපට මෙම අවශ්‍යතාවය ඉටු වීම සඳහා අවශ්‍ය පොදු සමාජ කොන්දේසිය කුමක්ද කියා තේරුම් ගැනීම ද අපහසු නොවේ. ඒ තමයි මේ පොදු සමානත්වය ඉස්මතු කළ හැකි තරම් ඒවායේ පොදු විරෝධය බලවත් එකක් වීම. වෙනත් ආකාරයකට කියන්නේනම් මේ ආකාරයේ පොදු වේදිකාවක් නිර්මාණය කිරීම සඳහා අත්‍යවශ්‍ය වන්නේ ‘පොදු සතුරෙක්’ ගේ පැවැත්මයි.

නමුත් මෙහිදී පොදු සතුරා යන්න හඳුනා ගන්නා ආකාරය සම්බන්ධයෙන් අප බොහෝ ප්‍රවේශම් විය යුතුය. අප දුටු පරිදි දේශපාලන අරගල සෑම විටම තිබෙන්නේ සංයුක්ත සහ නිශ්චිත තලයක් තුළයි. එහිදී අපව පීඩාවට පත් කරනා ඒජන්තයා කවුද කියා අපට නිශ්චිතව හඳුනා ගත හැකිය. නමුත් ‘පොදු සතුරා’ ලෙස අප දැන් මේ නම් කරන්නේ මේ ආකාරයේ නිශ්චිත ඒජන්තයන් නොවේ. ඒ වෙනුවට අප මෙහිදී හඳුනා ගැනීමට උත්සාහ කරන්නේ මේ විවිධ ඒජන්තයන් අවසානයේදී පදනම් වන පොදු මර්ධනීය ක්‍රමය කුමක්ද යන්න යි. මේ සඳහා අපට නමක් ලබා දීම එතරම් අපහසු නැත. නිදර්ශනයක් ලෙස මේ තිබෙන්නේ ‘දූෂිත එජාප රෙජීමයයි’ එසේත් නැතිනම් මේ තිබෙන්නේ ‘දූෂිත රාජපක්ෂ රෙජීමයයි’ කියා අපට කිව හැකිය. නමුත් මෙසේ නම් කිරීම මගින් අප නම් කරන්නේ නිශ්චිතව හඳුනා ගත හැකි දෙයක් නොවේ. ඉතාම සියුම් මෙම කරුණ තරමක් ප්‍රවේශමින් විදාරණය කරමු. මෙයින් අදහස් කරන්නේ එජාප රෙජීමය හෝ රාජපක්ෂ රෙජීමය යනුවෙන් නම් කරන දෙය අපට අනුභූතිකව හඳුනා ගත නොහැකි වනවා යන්න නොවේ. ඉතා පැහැදිළි ව එහි ප්‍රධාන චරිත, නායකයන්, ක්‍රියාකාරීන්, සටන් පාඨ, දෘෂ්ඨිවාද ආදිය අපට හඳුනාගෙන විශ්ලේෂණය කළ හැකි වෙයි. නමුත් මෙතනදී අප අවධාරණය කරන්නේ එය වෙත නොව, වෙනත් කරුණක් වෙතයි. අප කියා සිටින්නේ පසමිතුරුකාරී සම්බන්ධයක නිශේධනීය මොහොතක් වශයෙන් ගත්විට අපට ‘එජාප රෙජීමය’ යනුවෙන් කිසිවක් හමු වන්නේ නැත. අපට හමු වන්නේ අපට පසමිතුරුකාරී ලෙස ස්ථාපිතව ඇති නිශ්චිත ඒජන්තයෙකි. එම ඒජන්තයා විසින් එම මොහොතේදී ‘එජාප රෙජීමය’ යන්න නියෝජනය කරයි. එහෙත් ඔහු නියෝජනය කරන්නේ අපගේ සියලු අරගල වල පොදු විරෝධයයි – එම පොදු විරෝධයේ ඓක්‍යයයි. එම අර්ථයෙන් ගත්විට අපට පැහැදිළි වන්නේ මෙම ‘පොදු සතුරා’ යනු කිසිදා අපට අනුභූතිකව, සංයුක්ත අරගලයකදී මුණ ගැසෙනා අනෙකෙක් නොවනා බවයි. එය සෑම විටම තිබෙන්නේ පාරිශුද්ධ නිෂේධනයක් ලෙස පමණි.

නමුත් මේ නිසාම අපට තවත් කරුණක් පැහැදිළි වෙයි. එක් පසමිතුරුකාරී අනෙකෙක් වෙත සමාජයේ පොදු නිශේධනත්වය – තාවකාලිකව – නියෝජනය කළ හැකි වනවා යනු මෙහි ප්‍රතිලෝමය ද මේ ආකාරයට වලංගු වනවා යන්නයි. එහිදී සිදු වන්නේ මේ පොදු සතුරා ට එරෙහිව විවිධ සංයුක්ත අරගල අතර සමානකම ඉස්මතුවීමයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඒවා අතර තිබෙන වෙනස්කම් කිසියම් ආකාරයකට දියවී යයි. මෙලෙස එකතු වන අරගල ප්‍රමාණය වැඩි වන තරමට ඒවායේ තිබෙනා නිශ්චිත අන්තර්ගතය වැඩි වේගයකින් වියැකී යන අතර තුල්‍යතාවය වැඩි වේගයකින් කරළියට පැමිණෙයි. නිදර්ශනයක් ලෙස, යහපත් පොදු ප්‍රවාහනයක් වෙනුවෙන් පෙනී සිටිනා අයට අමතරව, ස්ත්‍රී අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිනා අය, සමරිසි අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිනා අය, ජාතීන් අතර සමගිය වෙනුවෙන් වැඩ කරනා අය, නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් සටන් කරනා අය, කලාවේ නිදහස වෙනුවෙන් පෙනී සිටිනා අය ආදී ලෙස මෙම තුල්‍යතාවයන් ගේ දාමය තව බොහෝ පුළුල් වූවා කියා අපි සිතමු. මේ සෑම නිශ්චිත අරගලයක්ම සමාජයේ නිශ්චිත පසමිතුරුකාරී සම්බන්ධතා තුළ අරගල කරමින් සිටින්නේ වුවත් දැන් එම නිශ්චිත අරගල යම්කිසි ආකාරයකට යටපත් වී ඒවා අතර සමානාත්මතාවය ඉදිරියට පැමිණ තිබේ.

අපගේ මෙතෙක් සංවාදය දෙස අවධානයෙන් සිටි කෙනෙක් ට දැන් මෙතනදී ප්‍රශ්නයක් ඇති විය යුතුය. මේ ආකාරයේ තුල්‍යතාවයන් අතර සම්බන්ධතා දාමයක් ඇති විය හැක්කේ නිශ්චිත අරගල වල එක් හැඟවුම්කාරකයක් සඳහා හැඟවුම් දෙකක් ඇති නිසා බව ඉහතින් කියා තිබේ. ඒ අනුව මෙවැනි සම්බන්ධතාවයක් ඇති වන්නේ හැඟවුම් අතර ඇති තුල්‍යතාවය නිසාය. නමුත් මේ තුල්‍යතාවය අප හඳුනා ගන්නා හැඟවුම්කාරකය වන්නේ කුමක්ද? මේ එක් එක් නිශ්චිත අරගල නියෝජනය කරන නමුත් මේ එක් අරගලයක් වෙනුවෙන් හෝ සීමා නොවන හැඟවුම්කාරකයක් අප සොයා ගන්නේ කෙසේද? අපගේ තුල්‍යතාවයන් ගේ දාමය ගොඩ නගා තිබෙන්නේ හැඟවුම් වල තලයේදී මිස හැඟවුම්කාරකයේ තලයේදී නොවේ. නමුත් අප භාෂා ලෝකයේ ගණුදෙනු කරන මූලික අමුද්‍රව්‍ය වන්නේ හැඟවුම් නොව හැඟවුම්කාරක යි. අපට අර්ථයන් හමු වීමට පෙර මුණ ගැසෙන ප්‍රාථමික සංඝටක වන්නේ හැඟවුම්කාරකයි. එනිසා අප මෙම තලයේදී මෙම මෙවැනි දාමයක් ගොඩ නැගීමේ කොන්දේසි පැහැදිළි කළ යුතුය.

නමුත් මේ සඳහා අප ලබා දිය යුතු පිළිතුර පූර්වකල්පනය කිරීම කිසිසේත් අපහසු නොවේ. එක අතකින් මෙහිදී ද සිදු වන්නේ ඉහත පොදු සතුරා නීර්ණය කිරීමේදී අප සිදු කළ දෙයෙහි ප්‍රතිපක්ෂයයි. පොදු සතුරා යන්න සෑම විටම ප්‍රායෝගිකව නියෝජනය වන්නේ සංයුක්ත අනෙකෙක් තුළින් වන්නේ යම් සේද මෙම තුල්‍යතාවයන් ගේ දාමය ද සෑම විටම නියෝජනය වන්නේ එක් නිශ්චිත අරගලයක් විසිනි. නමුත් මෙහි ප්‍රතිඵලයක් ලෙස එම නිශ්චිත අරගලය විසින් ගෙවිය යුතු වන්දියක් තිබේ. අපි මේ කරුණ පැහැදිළි කර ගනිමින් මීළඟ සාකච්ඡාව ආරම්භ කරමු.

වංගීස සුමනසේකර

 

 

 

***