1400504437IMG_3743

 

මැතිවරණ දේශපාලනය ගැන සිතට කාවැදුණු විවේචනයක් ලෙස මගේ පැරණිම මතකය වන්නේ 90 ගණන් වල ‘මාතොට’ සඟරාවක පසු කවරයේ තිබූ සටහනකි. රූප දෙකකින් සමන්විත වූ එම පසුකවරයේ ඉහළින් වූ රූපයේ දැක්වූයේ ටයි කෝට් ඇඳ සිටි මැදි වියේ මිනිසෙක් නාන ටැංකියක (‘බාත් ටබ්’ එකක) බැස සිටිනා දසුනකි. එම රූපය අසලින් මේ ආකාරයේ වචන ටිකක් (මතකයේ තිබෙනා ලෙස) තිබුණි: ‘සිවිල් සමාජය ශක්තිමත් කිරීමට ඡන්ද අයිතිය භාවිතා කරන්න’.

එම රූපයට යටින් දිස් වූයේ විශාල ටයර් දෙකක් අත් දෙකින් ඔසවා සිටින, බඩ මහත, ඇඟේ මජන් තැවරුණු, තරමක් මහලු මිනිසෙකි. එම රූපයට අසලින් මෙසේ සටහන් ව තිබුණි: ‘මගේ ඡන්දය මම ගිහින් දැම්මත්, වෙන කරුවුරු හරි දැම්මත් මම හැමදාම ටයර් උස්සනවා’.

පොදුවේ ගත්විට X කණ්ඩායමේ දේශපාලනය තුළ මැතිවරණ යනු එතරම් බැරෑරුම් ලෙස පිළිගත් ප්‍රපංචයක් නොවීය. බොහෝ දෙනා දන්නා ලෙස එහි වැඩි අවධානයක් යොමු වූයේ මනෝවිශ්ලේෂණය, වාග් විද්‍යාව, දර්ශනය වැනි දේ සම්බන්ධයෙන් කතා කිරීමටයි. එම කතා බහ ඇසුරින් සිනමාව, සාහිත්‍යය, වේදිකාව වැනි දේ සම්බන්ධයෙන් එහිදී අදහස් දැක්වීම්, මැදිහත්වීම් සිදු කෙරුණි. අවසානයේදී මේ සියල්ල දිශානත වූයේ සමාජයේ මතවාදී වෙනසක් වෙනුවෙනි.

මෙම ස්ථාවරයේ නිවැරදි බව අපට අනුභූතිකව වැටහී ගියේ මැතිවරණ දේශපාලනය ඒ වනවිටත් ගොදුරු වී බොහෝ කල් ගතව තිබූ එක තැන පල් වීමේ අර්බුධය නිසා ය. මේ මැතිවරණ ක්‍රීඩාව තුළින් සමාජ පරිවර්තනයක් බලාපොරොත්තු වීම ඉතාමත් අපහසු බව ඒ වනවිටත් ඉතා පැහැදිළි විය. මැතිවරණ දේශපාලනය යනු ද මේ පවත්නා සමාජ ජීවිතයේ කොටසක් විය. 8 ට ප්‍රවෘත්ති බලා, 8.30 ට ටෙලි නාට්‍යයක් නැරඹීමෙන් පසු, 9 ට දේශපාලන විවාද යනුවෙන් නම් කළ දේ නරඹන්න අප පුරුදු වී සිටියෝය. එකම රූපවාහිනී තිරයක් තුළින් එකම මධ්‍යම පන්තික පවුල් සන්දර්භයක සිට මේ තුනම නරඹා අප නින්දට ගියේ එකම ‘සීතල’ වින්දනයක් ලබමිනි. මේ දේශපාලනය යනු ද මෙම ‘පශ්චාත්නූතනවාදී’ ක්‍රමයේ නෛසර්ගික කොටසක් බව ඒ කාලයේදී X කණ්ඩායම කියා සිටියේ මෙම නිසාය. මෙයට එරෙහිව අප වඩාත් උනන්දු වූයේ සමාජයේ ආධිපත්‍යධාරී අදහස් වලට අභියෝග කරනා ක්ෂුද්‍ර ආකෘතින් – ‘මතවාදී දේශපාලනයේ ගරිල්ලා න්‍යායන්’ – සොයා යාමටයි.

මැතිවරණ දේශපාලනය පිළිබඳව දෙවැනි විවේචනය මට හමු වන්නේ ඇලේන් බදියු නම් ප්‍රංශ ජාතික සිතන්නා ගේ දේශපාලන ලියවිලි තුළයි. මැතිවරණ යනු පවත්නා සමාජ ක්‍රමයේ නෛසර්ගික අංගයක් වන්නේ ය යන අදහස බදියු ගේ න්‍යායික ලිවීම් වලද ඒ ආකාරයටම හමු වෙයි. එකම වෙනස වන්නේ මේ සඳහා බදියු ගේ දාර්ශනික පද්ධතිය තුළ වඩා නිශ්චිත න්‍යායගත කිරීමක් තිබීමයි. දිගු සහ සංකීර්ණ කතාවක් අසාධාරණ ලෙස කෙටි කර කියන්නේනම් එය මෙසේ ය. අපට දෙන ලද ලෝකය, අපට අත්දැකිය හැකි ලෝකය තිබෙන්නේ කිසියම් පිළිවෙලකට සකස් වූ ලෙසයි, අර්ථාන්විතව බැඳුනු ලෙසයි. නමුත් මේ ‘බැඳීම’ සිදු වී ඇති මාධ්‍යය කුමක්ද? එය අපට සංස්කෘතිය, නීතිය, ස්වභාව ධර්මය වැනි වචන වලින් හැඳින්විය නොහැකි වන්නේ මේ වචන ද මෙලෙස එකට බැඳී ඇති ලෝකයේ කොටස් වන නිසාය. එසේනම් ඒවා මෙලෙස එකට තිබෙන්නේ ඇයි?

මෙයට බදියු ලබා දෙන පිළිතුර වන්නේ ඒවා එලෙස එකට තබා ගණනය වීමේ පෙළඹවීමක් ඇති බවයි. යමක් තිබෙන්නේ තවත් දේ සමග එකතු වෙමින්, විවිධ පොදු කුලක ගොඩ නගමින් පමණි. මම යනු, නිදර්ශනයක් ලෙස, මිනිසුන් නම් කුලකයේ කොටසකි, සිංහලයන් යන කුලයේ කොටසකි, නිදහස්කාමීන් යන කුලයේ කොටසකි. සත්‍ය වශයෙන්ම මේ ආකාරයේ අති විශාල කුලක ගණනක කොටසක් ලෙස මාගේ පැවැත්ම මට තේරුම් ගත හැකිය. ‘ජීවීන්’, ‘සෞරග්‍රහ මණ්ඩලයට අයත් දේ’, ‘ක්ලැරන්ස් ගේ සංගීතය අසන අය’… මෙය අපට වෙනත් ඕනෑම පැවැත්මක් සම්බන්ධයෙන් ද මේ ලෙසම ගත හැකිය. මා අසල ඇති පොත ‘පොත්’ වලට අයත් වේ, ‘කඩදාසි වකින් සාදන දේ’ වලට අයත් වේ, ‘ෆැසිස්ට්වාදීන් අකමැති දේ’ වලට අයත් වේ, ආදී වශයෙන්.

බදියු ගේ පාරභෞතික විද්‍යාව තුළ වැදගත් කරුණක් වන්නේ මේ ගණනය කිරීම සෑම විටම ද්වීගුණ වන බවයි. අප සාමාන්‍යයෙන් ඍජුව අත්දකින්නේ මෙලෙස දෙවෙනි වර ගණනය කරන ලද ලෝකය පමණි. ඉහත නිදර්ශනයම නැවත ගන්නේනම් මාගේ පැවැත්ම මට එක් මොහොතකදී අත්දැකිය හැකි වන්නේ ඉහත එක් කුලකයට අයත් වූවක් ලෙස පමණි. මා ක්ලැරන්ස් ගේ සංගීතය අසන විට මාගේ පැවැත්ම මට හමු වන්නේ ‘ජීවියෙක්’ ලෙස නොවේ. එහිදී සිදු වන්නේ එක් නිශ්චිත අවස්ථාවක පොදු නීතියකට අනුව මගේ පැවැත්ම නැවත ගණනය කිරීමයි (සත්‍යය වශයෙන්ම මෙම ‘පොදු නීතිය’ යන්න ක්ලැරන්ස් ගේ සංගීතය අසනා කුලකය වැනි දේ වලට වඩා සංකීර්ණ, විවිධ මානයන් තිබෙන්නක් වුවත් අපි විශ්ලේෂණයේ පහසුව සඳහා එය දැනට අත් හරිමු).

මෙම දෙවෙනි වර ගණනය හැඳින්වීම සඳහා බදියු විසින් දේශපාලන හැඟවුමක් තිබෙන ‘state of the situation’ යන යෙදුම භාවිතා කරයි. මෙහි සරල අර්ථය වන්නේ ‘දැන් තිබෙනා තත්වය’ යන්න වුවත් මෙහි ‘state’ යන වචනය සඳහා බදියු වෙනත් අර්ථයක් ලබා දෙන බව තේරුම් ගැනීම අපහසු නැත. ඒ අනුව මේ දෙවෙනි ගණනය කිරීම තුළින් අපට ‘රාජ්‍යය’ (‘state’) සම්බන්ධයෙන් වැදගත් පාඩමක් කියා දෙන බව බදියු කියයි. ඒ තමයි රාජ්‍යය යනු සැබැවින්ම පවත්නා දේට (එනම් පළමු වර ගණනය ට) වඩා අතිරික්තයක් වන බව.

සරල නිදර්ශනයක් ගනිමු. ක්‍රිකට් කණ්ඩායමක් යනු ක්‍රීඩකයන් 11 දෙනෙකුගෙන් සැදුම් ලත් එකතුවකි. නමුත් මේ 11 දෙනා එකතු වූ විට අපට එය තේරුම් ගත හැකි වන්නේ හුදු චරිත එකතුවක් ලෙස පමණක් නොවේ. මේ එක් එක් චරිත වල පුද්ගලික ලක්ෂණ ඉක්මවාලු පොදු බවක් මෙවැනි කණ්ඩායමකට තිබේ. නමුත් මේ පොදු බව සත්‍ය වශයෙන්ම පවතින්නේ කොතැන ද? එය තනි තනි ක්‍රීඩකයන් තුළ හඳුනා ගත නොහැක. නමුත්, තනි ක්‍රීඩකයන් ඉවත් කළ විට මෙහි හඳුනා ගත හැකි වෙනත් පැවැත්මක් ද නැත. රාජ්‍යය යනු අතිරික්තයක් වේ යන අදහසේ සරල අර්ථය මෙයයි.

බදියු ගේ දේශපාලන න්‍යායය තුළ මැතිවරණ සඳහා එතරම් වැදගත්කමක් නොමැති වන්නේ ඇයිද කියා තේරුම් ගැනීම, මේ අනුව, අපහසු නැත. පදානුගත අර්ථයෙන්ම මැතිවරණ යනු රාජ්‍යය විසින් කැඳවන ගණනය කිරීමකි. එමගින් සිදු කරන්නේ අපගේ සමාජීය සිතීමේ සීමාව වන ‘රාජ්‍යය’ – ‘රට’, ‘අපි/උන් බෙදීම’ – යළි අවධාරණය කිරීමයි. එමගින් මෙහි තිබෙනා අනෙකුත් ගණනය කිරීම් තීව්‍ර කරයි (පන්ති වශයෙන්, වාර්ගික වශයෙන්, කුල වශයෙන්). මේ සියල්ල මගින් අමතක කරන්නේ මෙම රාජ්‍යය නම් වූ අතිරික්තය සත්‍ය වශයෙන්ම අතිරික්තයක් බවත් එය පදනම් වූ සැබෑ පැවැත්මක් (‘පළමු ගණනය කිරීමක්’) නොමැති බවත් ය. නමුත්, සත්‍ය වශයෙන්ම, අප දන්නා පරිදි මේ කිසිවක් ස්වභාවික, අනිවාර්යය සහ ස්ථිතික දේ වන්නේ නැත. පක්ෂ, රටවල්, ජනවර්ග, සංස්කෘති, සම්ප්‍රදායන්, සභ්‍යත්ව, ශිෂ්ඨාචාර – මේ කිසිවක් අනිවාර්ය හෝ සදාකාලික හෝ නැත. එනිසාම, මානව ඉතිහාසය සහ එහි වියහැකි අනාගතය තුළ වසර 71 ලාංකික පක්ෂ දේශපාලනය යනු නොගැණිය හැකි තරම් කුඩා කොටසකි.

මේ අනුව අප යා යුතු මාවත කුමක්ද කියා තේරුම් ගැනීම ද අපහසු නැත. අපට තිබෙන්නේ තරමක දිගු ගමනකි. නමුත් එය කෙතරම් දිගු වන්නේ ද, එසේත් නැතිනම් එය අනිවාර්යයෙන් දිගු වන්නේ ද යන්න අපි නිශ්චිත වශයෙන් නොදනිමු. සමහරවිට අප නොදන්නා ආකාරයකට දේවල් හදිසියේ අනපේක්ෂිත ලෙස වෙනස් විය හැකිය. අවස්ථාවේ නීතිය විසින් කිසිදා විය නොහැකි බව අපට සපත කර සිටිනා දෙය සිදු විය හැක. සමාජ පරිවර්තන සිදු වීමේ සද්භාවවේදී පදනම වන්නේ මෙය බව අපි දනිමු.

එනිසාම අපට මෙම රාජ්‍යයේ හදිසි ගණනය කිරීමේ කැඳවීමෙන් කලබලයට පත් වන්නට ද හේතුවක් නැත. එසේත් නැතිනම්, මෙවැනි අවස්ථාවකදී මෙම ගණනය කිරීමේ පෙළඹවීමට යටත් වන්නට කියා කෙතරම් බල කෙරුණත් එය අප මත ක්‍රියාත්මක වන අවස්ථාවේ නීතිය පමණක් බව දැන් අපට තේරුම් ගන්නට හැකිය. ‘ඔබේ ඡන්දය අපතේ නොහරින්න’ කියා රාජ්‍යය විසින් කියනා විට අපට කියන්නට තිබෙන්නේ අප මේ ගණනය කිරීමට මුළුමනින් එරෙහි වන බවයි. අපට අවශ්‍ය වන්නේ ගණනය කිරීමේ නීතියට යට වීමට නොව සමාජ පරිවර්තනයේ වියහැකිභාවය ආරක්ෂා කර ගැනීමටයි.

නමුත් මෙම නිසාම අපට දැන් අනපේක්ෂිත ලෙස මෙම මැතිවරණයේ ඇති තෝරා ගැනීම ද ඉතාම සරල බව පෙනී යයි. අපගේ තෝරා ගැනීම තවදුරටත් පදනම් වන්නේ ගණනය කිරීමේ නීතිය මගින් නොවනවා යන්නෙන් අදහස් වන්නේ අප කිසිදු තෝරා ගැනීමක් නොකරනවා යන්න ද නොවේ. සාංදෘෂ්ඨිකවාදීන් අපට මග හැරිය නොහැකි ලෙස පෙන්වා දී ඇති පරිදිම අපට කිසිදා දෙන ලද අවස්ථාව තුළ තෝරා ගැනීමක් නොකර සිටිය හැකි නොහැකිය. යමක් තෝරා ගැනීමට ප්‍රතික්ෂේප කිරීම යනු ද තවත් එක් තෝරා ගැනීමක් පමණි. නමුත් අපට ඉතා පැහැදිළිවම දෙන ලද අවස්ථාව අර්ථකථනය කරනා නීතිය ට ප්‍රතිරෝධය දැක්විය හැකිය. අවසාන අර්ථයේදී දේශපාලනය යනුවෙන් අදහස් කරන්නේ ම මෙය මිස අන් යමක් නොවේ. එමගින් සිදු වන්නේ දෙන ලද තත්වයන් තුළ ජයග්‍රහණය කිරීමට උත්සාහ කිරීම නොව ජයග්‍රහණය යන්න අර්ථකථනය කරනා කොන්දේසි වෙනස් කිරීමට උත්සාහ කිරීමයි. දෙන ලද තත්වය තුළ කිසිදා සිතා ගත නොහැකි වියහැකිභාවයක් වෙනුවෙන් පෙනී සිටීමයි.

එක අතකින් බොහෝ අපහසු වූත් එම නිසාම, තවත් අතකින් බොහෝ පහසු වූත්, අපේ පරම්පරාවේ දේශපාලන දෛවය වන්නේ මෙයයි. විසිවෙනි සියවසේ වමේ ව්‍යාපාරයේ ප්‍රායෝගික පරාජයෙන් පසුව සමාජ යුක්තිය පිළිබඳව අදහස සඳහා පෙර නොවූ විරු නව අර්ථකථනයක් සහ සාමූහික පැවැත්මක් ලබා දීම අප හමු වේ ඇති අභියෝගයයි. ඉතාමත් අපහසු මෙම ගැටලුව ඉදිරියේ අහඹුබවේ විප්ලවවාදීන් වීම හැර වෙනත් යමක් අපට ඉතිරි වී නැත.

‘දිනන කෙනෙකු ට ඡන්දය දෙන්න’ කියා අපට කියනා විට, අප ‘ජාතික ජන බලවේගයට’ ඡන්දය දෙන බව, කිසිදු සැකයකින් තොරව පෙරළා කිව හැකි වන්නේ මෙම නිසාය.

 

වංගීස සුමනසේකර

[රූපය: බන්දු මනම්පේරි ගේ ‘Iron Man’ ප්‍රසාංගික දෘශ්‍ය නිර්මාණයෙනි]

 

 

***