Solano_ImFlying-640x787

දයාබර තිස්ස සර්,

මට හිතෙන්නෙ ඒ ලෙවල් ටියුෂන් කියන්නෙ ඇමරිකාවෙ ඒරියා 51 වගේ තැනක්. ඒකෙ වෙන්නෙ මොනවද කියලා එළියෙ සමාජයෙ කවුරුත් දන්නෙ නෑ. ලංකාවෙ අධ්‍යාපනයට වගකිවයුතු ආයතන වත් ඒ ගැන සංවේදී නෑ. සර්ව මේ දවස් වල පේන්නෙ ඒරියා 51 වල ඉඳලා හම්බවුන අපූරු පිටසක්වල ජීවියෙක් වගේ. එහෙම වුණේ අර වීඩියෝ ටිකක් එළියට ආපු නිසා. ඒත් මම දන්නවා තව අපූරු සහ භයානක පිටසක්වල ජීවීනුත් ඕක ඇතුළෙ ඉන්නවා, එයාලා ඔයිට වඩා භයානක දේවල් කරනවා කියනවා කියලා. එකම වෙනස සර්ගෙ වගේ වීඩියෝ එළියට එන්නෙ නෑ. කොහොම වුනත් ඒලෙවල් කරන කාලෙදි ඔයාලා අපිට දෙවි වරු වගේ ජාතියක්. කියන දේවල් දේව වාක්‍ය වගේ. මමත් සර් ගැන එහෙම හිතාගෙන හිටපු කාලයක් තිබුණා. කොහොම වුණත් ඔය ටියුෂන් ඒරියා 51 එක ඇතුළෙ තරුණ ළමයින්ගෙ ජීවිත සැළකිය යුතු විදිහට වෙනස් වෙනවා කියලා සමාජය වැඩිය දන්නෙ නෑ. හිතන්නෙ නෑ.

සර් උගන්නන්නෙ බයෝලොජි. මට නම් දැන් හිතෙන්නෙ ඒලෙවල් සයන්ස් කියන්නෙ ලංකාවට ආවේණික විෂයයක්. ඒක අවශ්‍ය වෙන්නෙ ඒ ලෙවල් විභාගය පාස් වෙනකම් විතරයි. ‘සයන්ස්’ කියන්නෙ මොකක්ද කියන අදහස ඒ විෂයය ඉගෙනගන්නකොට අවශ්‍ය වෙන්නෙම නෑ. සර්ලා අපිට ‘සයන්ස්’ උගන්නලා පිරිතක් කියලා පන්ති අවසන් කරනවා. සමහරවිට සර් දන්නෙ නැතුව ඇති විද්‍යාව බිහිවුණේ ආගමට පිළිතුරක් විදිහට බව. කොහොමහරි අන්තිමට හැමෝම සතුටින් විසිර යනවා ‘මම දැන් සයන්ස් දන්නවා’ කියලා හිතාගෙන. සර්ලා හැමදාම මේ අධ්‍යාපන විකෘතියෙ පරපෝෂිතයො වගේ එල්ලිලා ඉන්නවා.

සර් දැන් ජාතික වීරයෙක්. ක්ලාස් එකේදි බෙදන තෙල ලංකාවටම බෙදන්න සර්ට පුලුවන් වුණා. හැමෝම සර් ගැන කතා වෙනවා. සර්ගෙ වීඩියෝ වල සර් කියන කතා මාරයි ලු! සර්ට මතකද දන්නෑ, සර් දවසක් (2011 දි විතර ) ගම්පහ සමාධියෙදි සර්ගෙ වීරක්‍රියා කියන අතරෙදි කිව්වා සර් දාස් කැපිටාල් කියවලා තියනවා කියලා. ඒක ලියලා තියෙන්නෙ ‘කාල්’ සහ ‘මාක්ස්’ කියන ‘දෙන්නා’ එකතු වෙලා කියලත් සර් කිව්වා. හැමෝම කට ඇරගෙන අහගෙන හිටියා විතරයි හිනා වුනේ නම් නෑ. (සර් නම් මාර පොරක්! දාස් කැපිටාල් කියලා පොතකුත් කියවලා තියනවා!!)[මේ එක කතාවක් පමණි]. මේවගේ ඕනම කතාවක් කිසිම ලැජ්ජා බයක් නැතුව කියන්න පුලුවන් වීම හොඳ ටියුෂන් ගුරුවරයෙකුගේ ලක්ෂණයක් කියලා මම තේරුම් ගත්තෙත් ඒලෙවල් වලින් පස්සෙ. ඉතින් සර්ගෙ මාර කතා වල ‘මාර’ කෑල්ල මම නම් හොඳට දන්නවා. කොහොම වුණත් දැන් සර් ජාතික වීරයෙක් වෙලා ඉවරයි. සර්ට ආපසු හැරීමක් නෑ. සර්ගෙ ‘මාර කතා’ සහ ඒවට බල්ටි ගහන විසිල් ගහන අය දිහා මම හරිම විනෝදෙන් බලාගෙන ඉන්නවා. සුබ ටියුෂන් අනාගතයක් සර්!

ප.ලි.

මම නම් හොඳ ගුරුවරයෙක් කියලා කියන්නෙ තමන්ගෙ ශිෂ්‍යයා තමන්ව පසුකරගෙන යාවි කියලා බලාපොරොත්තු වෙන සහ තමාගේ ශිෂ්‍යයාගෙන් විවේචන බලාපොරොත්තු වෙන කෙනෙක්ට. සර් කොහොම හිතනවද දන්නෙ නෑ. හැබැයි මේ දවස් වල සර්ගෙ ‘මාර කතා’ වලට චූන් වුන අය නම් එහෙම හිතන්නෙ නෑ කියලා මම හොඳින්ම දන්නවා. ආණ්ඩුවට විරුද්ධ වෙන මිනිස්සුන්ව අතුරුදහන් කිරීම සාධාරණයි කියපු ‘සිරි විතානගේ’ ලා අතර සර් හොඳ මනුස්සයෙක් කියලා කියන්න මම පසුබට වෙන්නෙ නෑ. හැබැයි හොඳ මුහුණ යට නරක අදහස් තිබීම හරිම භයානක දෙයක්!

මීට,
ඔබේ හිටපු දයාබර ශිෂ්‍ය,

දිනිත් සුමනසේකර

 

 

 

***