81983595_644611139613867_3850394827464114176_n
අංක තුනක මන:කල්පිතයක් ලෙස හෙන්රි ජයසේන විසින් ”කුවේණි” නාට්‍ය 1962 දී රචනා කරන ලදී. මෙම නාට්‍යයෙන් නිරූපණය වන්නේ කුවේණිය ගැන ප‍්‍රථම වරට ලියැවුණු මහාවංශයට ඉඳුරාම වෙනස් වූ කුවේණියෙකි. ඔහු කර ඇත්තේ ඉතිහාස කතාවක් නටා පෙන්වීම වැනි සුලබ ගනයේ කාර්යයක් නොවේ. මහාවංශයට අනුව කුවේණිය යක්ෂනියකි. මන්ත‍්‍ර මායාවන්හි නිපුන වූ මායාකාරියකි. එසේම බුදුන්වහන්සේ සක්දෙව් රජු අමතා කුවේණියගෙන් විජයට ආරක්ෂාව සැපයීමට උපදෙස් දුන් බවද මහාවංශයේ කියැවේ.

හෙන්රි ජයසේන කුවේණියට නව අර්ථකතනයක් සපයමින් සිදුකර ඇත්තේ රැඩිකල් ක‍්‍රියාවක් වුවද ඒ තුළින් පුරුෂයාට මෙන්ම ස්ත‍්‍රිය සතු වියහැකිභාවය ප‍්‍රකාශ කිරීම වෙනුවට සාම්ප‍්‍රදායික ස්ත‍්‍රිය නිරුපණය කරයි. මා විසින් පර්යේෂණයට බඳුන් කිරීමට අපේක්ෂා කරනුගේ ඔහුගේ මෙම ප‍්‍රකාශයයි.

”කුවේණිය මා දකින්නේ මෙලොව සදාතනික ගැහැණිය ලෙසයි”

කුවේණිය විසින් විජයට සිදු කරා යැයි සැලකෙන දිවිදෝශය දුරලීමට කොහොඹා කංකාරිය සිදුකරන ලාංකිකයන් ම කුවේණි නාට්‍යද වේදිකාවේ රඟදක්වනු නරඹති. එසේනම් කුවේණිය සම්බන්ධයෙන් ලාංකිකයන්ට ඇත්තේ කිනම් අදහසක් ද? කුවේණි කතා පුවත ඇසුරු කරගනිමින් සිදුකරන ලද කලා නිර්මාණ තුළ අපට හදුනා ගැනීමට ඇත්තේ ස්ත‍්‍රිය සමාජයෙන් වෙන් වූ ඒකකයක් ලෙස ඉදිරිපිටට ගෙන විත් ඇයට සිදු වූ සමාජ බලපෑම් විමසා බැලීමයි. ගැහැණිය මෙසේ සදාතනික අදහසක් ලෙස පැවතීම දෘෂ්ටිවාදයකි. කොන්ටෙන් මෙයසු පවසන ආකාරයට, දෘෂ්ටිවාදය යනු පවත්නා සමාජ අවශ්‍යතාවයන් ඒ ආකාරයටම පැවතිය යුතු යැයි විශ්වාස කිරීමයි.

දාර්ශනික ප‍්‍රශ්නයක් ලෙස ප‍්‍රථම වරට ”ගැහැනියක් යනු කුමක්ද” යනුවෙන් ප‍්‍රශ්න කරන්නේ ප‍්‍රංශ ජාතික චින්තිකාවක් වන සිමෙන්ද බෝවා විසිනි. 1945 සිමෙන්ද බෝවා විසින් රචිත ”The Blood of Other” කෘතියෙන් කියා සිටින පහත සඳහන් මතය එදා විසූ විකල්ප කණ්ඩායම් අතර පවා මහත් ආන්දෝලනයක් ඇතිකර තිබේ. ඇය පවසන ආකාරයට, ‘‘ගැහැණියක උපදින්නේ නැත. සිදුවන්නේ, ඉපදුන මනුෂ්‍ය ජීවියෙකු ගැහැණියක බවට පත්වීම පමණි.” මෙම සත්ත්වයා නිර්මාණය කෙරෙන්නේ සමස්ත ශිෂ්ටාචාරය විසින් මිස, කිසියම් ජීවවිද්‍යාත්මක, මනෝවිද්‍යාත්මක හෝ ආර්ථිකමය ඉරණමකින් නොවේ” බට්ලර් විසින් ද සම්භාව්ය ස්ත‍්‍රීවාදයේ sex (ලිංගය) හා gender (ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය) අතර වෙනස අභියෝගයට ලක්කරමින් සංස්කෘතිය විසින් සමාජය ගැහැණු පිරිමි ලෙස බෙදා, සිටිය යුතු ආකාරය අර්ථකථනය කිරීමට පෙර ස්වාභාවික ලෝකය තුළ ලිංගික වෙනසක් තිබේ කියා සිදුකරන්නේ උපකල්පනයක් ලෙස තර්ක කරන්නීය.

නමුත් කුවේණිට සිදුවූ අසාධාරණය ගැන නඩු තීන්දුව දෙමින් විනිශ්චයකරු පවසන්නේ,
කුමක් කළ හැකි වෙද ලඳුනි මට වෙනු මිසක කම්පා මෙ ඔබ ගැන ….

හෙන්රි ජයසේන මෙසේද දක්වයි ”ඇය යළි උපද්දවා අප ජීවත් වන මෙම විසිවන සියවසේ යුක්ති ධර්මය ඉදිරියට මම ඇය ගෙන ආවෙමි. එහෙත් ප‍්‍රතිපලයෙහි වෙනසක් නැත. නෙත කඳුලින් යුතුව මම ඇයගෙන් සමුගනිමි.” යනුවෙනි. දෝෂය හඳුනාගත්තද එය යතාර්ථයක් බවට කිසිදා පත් කළ නොහැකි සත්‍යක් ලෙස දක්වයි.

”කාන්තාවට පවුල තුළ ද්විතියික ස්ථානයක් හිමිවීම” එවැනිම ලක්ෂණයකිග අතීතයේදී ශ‍්‍රී ලාංකික පවුල තුළ බිරිඳට මෙන්ම සැමියාට හිමි තැන තීරණය වුයේ ජීවනෝපාය වෙනුවෙන් කෙතරම් ශ‍්‍රමය මුදාලිය හැකි ද යන්න මතයි. නමුත් කායික ශක්තිය පමණක් නොව අධ්‍යාපනයද හේතු කරගෙන රැුකියා බිහිවූ පසු බිරිඳටත් සැමියා හා සමාන ඉඩප‍්‍රස්තාවක් පවුල තුළ හිමිවුනි. වර්තමානයේ එය ලෝකේ බොහෝ රටවලට මෙන්ම ලංකාවටද පොදු වූ සත්‍යකි.

බෝවාගේ ”සියලූ මනුෂ්‍යයෝ මැරෙන සුලූය” All Men Are Mortal (Tous les hommes sont mortels) යන නවකතාව තුළින් පුද්ගලයාගේ මැදිහත්වීම සහ පුද්ගල ක‍්‍රියාවන් හරහා ඉතිහාසය වෙනස් කිරීමේ විභවය සාකච්ජා කරන්නීය. නමුත් කුවේණිය තුළින් ඉතිහාසය වර්තමානය තුළ යතාවක් කිරීමට උත්සාහ කරයි.

නැවතත් එහි දෙබස් කණ්ඩයක් වෙත ගියහොත් ,

දඩයක්කාරයා – මොකටද වැද්දෝ වෙන්න හදන්නේ?
ජීවහත්ත – ඉතිහාසයේ කියල තියන නිසා.
දිසාලා – අපි කැලේට ගිහින් වැද්දෝ වුණා කිව්වා දඩයක්කාරයා
කුවේණි – අපි කැලේට ගිහින් වැද්දෝ වෙනවා අපි මිනිස්සු වෙන්නෑ

සිමොන් දී බෝවා ස්ත‍්‍රීය කෙරේ උපන්න දෘෂ්ටිවාදාත්මක වියවුල සමාජය තුළම විසදීම උදෙසා මුලපිරීමක් ලෙස මෙසේ පවසයි. ”ඔහුයි ආත්මය, ඔහුයි පරමත්වය, ඇයයි අනෙකා’’ කිරීටය හිමි වූ පසුව විජය කුමරු එතෙර සිට එන කුමරියක් සරණ පැතීමට කුවේණිය දරු දෙදෙනෙකුත් සමග මාලිගයෙන් පන්නා දමයි, මේ සියල්ල හමුවේ කුවේණිය නැමති ස්ත‍්‍රිය එම සැමියාම පතා සිටීමට සිදුවේ. ඒ තුළ ස්ත‍්‍රිය පීඩනයට පත්වන ආකාරය මෙන්ම පිරිමියාට සාපේක්ෂව ගැහැණිය අර්ථකථනය කිරීම හඳුනා ගත හැකි ය.

විනිශ්චයකරු: ඔහුවමද ඉල්ලා සිටින්නේ?
කුවේණි : එහෙයි ස්වාමිනී

කුවේණි දරුවන් ලබා කාලයක් ගත වීමෙන් පසුව මාලිගයෙන් පිටවීමට විජය අණ කරයි. මෙහිදී හඳුනාගත හැකි ආකාරයට මවක් සැමවිටම තම දරුවන්ගේ වගකීම් දැරිය යුතු යයි පිළිගැනීම ද දෘෂ්ටිවාදී ලක්ෂණයකි.

එසේම ගැහැණිය හා පිරිමියා ලෙස වර්ග කිරීමට හැකිනම් ඒ සියලූ ගැහැණුන් අතර ඒකමිතියක් තිබීම අනිවාර්යයවේ. නමුත් ගැහැණිය ලෙස පාරිශුද්ධ සමස්තයක් ගොඩනැගීමට නො හැක. ‘‘කුවේණියගේ අත්දැකීම සර්වකාලීන වේ” නම් අද දවසේ මධ්‍යම පාන්තික තරුණියකගේ අවශ්‍යතාවය කුවේණිය හා සමාන්තර විය යුතුය. මෙහිදී පවතින සමාජ වටපිටාව මිනිස් වාසයට සුදුසු තැනක් කරගැනීමේ අරමුණින් තම අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නැගීම වෙනුවට ලේසියෙන්ම තෝරාගත හැකි මාර්ගය තෝරාගනී. එනම් වනයට ගොස් වැද්දන් වීමයි.

මිෂෙල් ෆූකෝ නීති තුළින් මිනිසා බිහිකරන බව දක්වයි. එමඟින් සමාජය තුළ රඳවා ගත යුත්තේ කිනම් පිරිසක්ද යන්න තීරණය කරයි. නාට්‍ය තුළ කුවේණිය වනය වෙත යන්නේ එකී ජනසමාජය තුළ ඇයට ඉඩක් තනා දීමට ජයසේනගේ දෘෂ්ටියට ශක්තිමත් නොමැති නිසාවෙනි. ඔහුගේ පහත ප‍්‍රකාශයෙන් ඒ බව යලි යලිත් සනාථ වේ.

”මෙය මවිසින් ඉතිහාසයට හෝ ජනසම්මතයට හෝ විරුද්ධව දෑත් දිගු කොට මුරගා අරඹන සටනක් නොවේ. ඈත අඳුරු අතීතයේ මෙහි විසූ කිසියම් අභාග්‍යසම්පන්න ස්ත‍්‍රියක නිසා හද තුළ නැඟුණු දයානුකම්පාවේ ප‍්‍රතිපලයකි; මායාවක්, මිරිඟුවක් දෙනෙත් ඉදිරියේ හුවා හද සනසා ගැනීමට දැරූ ප‍්‍රයත්නයකි.”

ගැහැණිය යනු සමාජයේ දෙවෙනි තැනක් හිමි අයෙකු ලෙස සැලකීමේ දේශපාලනික ප‍්‍රශ්නය විසඳා ගැනීමට හැක්කේද සමාජය තුළ මය. මෙහිදී සාම්ප‍්‍රදායික ස්ත‍්‍රිය සදාතනික කීරීම තුළින් එකී මතය අනුමත කිරීමක් නිරායාසයෙන්ම සිදු කෙරේ. කුවේණියගේ දිවිතොර කලද ප‍්‍රබන්ධයේ එන ආකාරයේ සාප නො කිරීම, සටන් කිරීමෙන් වැලකී ස්වාමියා ම පතා සිටීම සැබෑවටම කුවේණිය නිරුපණය කිරීමක් නොව ජයසේනට කුවේණිය ගැන තිබෙන සාම්ප‍්‍රදායික දෘෂ්ටිවාදී අදහස විනිවිද යාමකි. කුවේණිය සදාකාලික ස්ත‍්‍රියක් වනවාද නැද්ද යන අදහස ඇත්තේ ඇය සතුවයි. එම නිසා අපි මෙතැන් සිට කුවේණියට සවන් දෙමු. මන්ද හෙන්රි ජයසේනට අනුව කුවේණි මෙලොව සදාතනික ගැහැණිය නිරුපණය කරනවා නම් සහ ඇයට සිදුවන්නේ පුරුෂයාගේ පීඩනයට ලක්වීමට නම් ස්ත‍්‍රියට පැවතීමට මෙලොව සියලූ ගැහැණුන් මිනිස් වාසයෙන් තොර වී, ජීවිතය කෙළවර සුගතියක් ලබාගැනීමට අරමුණු කළ යුතු වේ.

මෙහිදී අපට හඳුනාගත හැක්කේ හෙන්රි ජයසේන කුවේණි නාට්‍ය තුළින් සිදුකළ ආකාරයට ස්ත‍්‍රිය කෙරෙහි අනුකම්පාව දැක්වීම යනු ම ඇය පිළිබඳ ප‍්‍රතිගාමී දෘෂ්ටිවාදයක් ස්ථාපනය කිරීමක් ලෙසයි. එසේ නම් සත්‍යවසයෙන්ම මේ මොහොතේ ස්ත‍්‍රීය වෙනුවෙන් සිදුකරන සුභවාදී මැදිහත් වීම වනාහී සිමෙන්දී බෝවා සිදුකළා මෙන් ඉතිහාසය වෙනස් කිරීමට ඇති විභවය හඳුනාගැනීමත් එකී හැකියාව කලා නිර්මාණ සඳහා භාවිතාත්මක ලෙස යොදාගැනීමත් ය. එම නිසා අපගේ සම්භාව්‍ය කෘති මෙලෙස විසංයෝජනය කොට යළි කතා බහට ලක් කිරීමේ අවශ්‍යතාවය පවතියි.

 

චාමනී දර්ශිකා