82482636_584307155465771_2357648376457068544_n

 

කලා කෘතියක් යනු සමාජය තුළ නොමැති දෙය, අහිමි වූ දෙය දිනා ගැනීම වෙනුවෙන් සංවිධානය වන්නකි. මේ සම්බන්ධයේදී නාට්‍යකරුවාට තම නිර්මාණ කාර්යය දිශානත කිරීම තරමක බැරෑරුම් ක්‍රියාවකි. එලෙසම අද දවසේ විද්‍යුත් මාධ්‍ය හා සමාජය මාධ්‍ය සමස්ථ සමාජය තුළ අප මීට දශක දෙක තුනකට ජීවත් වූවාට වඩා නාටකීය අයුරින් ක්‍රියා කරයි. එය කෙතරම් නාටකීයද යත් එය යටින් දිවෙනා සදාකාලික වර්තමානය අපට මගහරවයි. ඉතා ම සරලව කියන්නේ නම් කුමන ආකාරයේ විපර්යාස සිදුවුවද, වෙනස්කම් සිදුවුවද පවතින සමාජයේ අපගේ ලක්ෂ්‍යයේ කිසිදු වෙනසක් සිදුවන්නේ නැත. එම නිසා ම අද සමාජයේ අපට අහිමි වී ඇත්තේ කුමන ආකාරයක දෙයක්ද?, අදහසක්ද? නාටකීයත්වයක්ද? අවසාන අර්ථයෙන් කුමන ආකාරයක රඟදැක්වීමක් අද සමාජයේ පවතින්නේද යන්න තේරුම් ගැනීම නාට්‍යකරුවාට වැදගත් වේ.

විචාරයේ පහසුව තකාත් කියවන්නාගේ පහසුව වෙනුවෙනුත් සුදත් අබේසිරිවර්ධනයේ ‘ගිනි ගිනි මාලේ’ නාට්‍යයේ කථා වින්‍යාසය සංක්ෂිප්ත ලෙස මෙසේය: අපට පළමුව දිස් වන්නේ නිදා ගෙන සිටිනා තරුණයෙක් සහ සූරියකාන්ත මලකින් තුවක්කු සරසා ගත් යුධ සෙබලෙක් සහ එලෙස සරසා ගත් තුවක්කුව බිමින් තබා කල්පනා කරනා තවත් සෙබලෙකුගේ දර්ශනයකි. ඔවුන් රැකගෙන සිටින්නේ තරුණයා ආරක්ෂා කිරීම වැනි ක්‍රියාවක් මෙන්ම තරුණයාට සිහි පැමිණි විට ඔහු සමග ළමයින් සේ ගනුදෙනු කරන ආකාරය පිළිබඳ අපේක්ෂාවෙනි. එනම් යම් කිසි පහරදීමක් වැනි සිද්ධයකින් පසුව වෛද්‍යවරුන්ගේ නිගමනවලට අනුව තරුණයාට සිහි පැමිණ පසු ඔහු කුඩා ළමයෙකු සේ හැසිරෙනු ඇතැයි ඔවුන් අපේක්ෂාවෙන් පසුවෙයි. තරුණයාට වරින් වර සිහිය පැමිණෙන අතර, සෙබලුන් දෙදෙනාගේ විකාර හැසිරීම බලා ඔහු යළි සිහිසුන් වෙයි. එකවරම තරුණයාගේ මව පියා සහ සොයුරිය ලෙස පැමිණෙන ඔවුන් තිදෙනෙකු අත තුවක්කු වෙයි. තරුණයාට සිහි පැමිණෙන විට පහරදුන් අයවලුන් සැගවීම සඳහා උපක්‍රමික වීම පවුලට හා ආරක්ෂක නළධාරීන් පෙළඹෙයි. නමුත් එකවරම සිහිය එන තරුණයා එලෙස නො හැසිරෙන අතර ඔහු සිදු වූ සියල්ල විස්තර කිරීමට උත්සහ කරයි. සිහි පැමිණි විට දෙමව්පියන් සමග එකග නොවන තරුණයා ඊට උරණ වී යළි සිහිසුන් වෙයි. වෛද්‍යවරයෙක් මැදිහත්වී විශ්ව ශක්තිය නම් මනෝ ප්‍රතිකර්මයක් මගින් තරුණයාට සිහිය ලබා දෙයි. පසුව පවතින තත්ත්වය පරික්ෂා කිරීමට පැමිණෙන ඉහළ නිළධාරියෙකුට තරුණයාගේ දැනට පවතින තත්ත්වය අවබෝධ කරලීමට දෙමව්පියන් උත්සහ කරයි. මව්පියන් සමග සංවාදය අතරතුර එම නිළධාරියාද එකවරම කුඩා දරුවෙකු මෙන් තම මව මතක් වී හඩන්නට පටන් ගනියි. යළි එම ස්ථානයට පැමිණෙන ආරක්ෂක නිලධාරීන් දෙදෙනා එම ස්ථානයෙන් පිටත්ව යන බව පැසවූ විට මීට පෙර ගිවිස ගත් සියල්ල අවලංගු බව ප්‍රකාශ කරයි. පොලීසිය විසින් තම පුතාට පහරදුන් බව සගවා සිටීම වැනි එකගතාවයක් ඔවුන් තුළ තිබූ බව නාට්‍ය ආරම්භයේ සිටම අපට ඒත්තු යයි. නමුත් අවසානයේ තරුණයා කුඩා දරුවෙකු සේ හැසිරෙන්නට පටන් ගනියි. වේදිකාව අඳුරු වෙයි.

සුදත් උත්සහ කරන්නේ අප ගමන් කරමින් සිටිනා අනතුරක් අපට ඒත්තු ගන්වන්නටයි. අතිශය වැදගත් – ආගමික අර්ථයෙන් පූජනීය – සමීප සමාජ සම්බන්ධතා තුළට කඩා වඳින ධනවාදයේ නව ස්වරූප පිළිබඳ කලාත්මක ප්‍රකාශනයක් ලෙස යි, ඔහු මෙම නාට්‍ය නිර්මාණය කිරීමට උත්සහ ගෙන ඇත්තේ. පශ්චාත් නූතන යුගයේ සමාජ සංකීර්ණතාවල අවසානය ලෙස ධනවාදයේ මෙම පෙනී සිටීම්වල කූටප්‍රාප්තිය සිදුවනු ඇතැයි අපේක්ෂා කළද, ජාතිකවාදයේ සහ ආගමික අන්තවාදයේ නැගීසිටීමත් යළි මිලිටරිකරණය පිළිබඳ ජනතා විශ්වාසය ගොඩනැගීමත් වැනි කරුණු පිළිබඳ නාට්‍යකරුවා සංවේදී වීමට උත්සහ කර ඇත. ඒ සමගම එම සමාජයේ පවතින අසාමාන්‍ය හැසිරීම් මෙන්ම පුද්ගල පෞරෂ්‍ය බිඳ වැටීමද දැකගත හැකි ය. නමුත් මා මෙහිදී උත්සහ කරන්නේ මෙම නාට්‍ය නිර්මාණය සම්බන්ධයෙන් දෘෂ්ටිවාදාත්මක විචාරයක් කිරීමට නොව ඒ වෙනුවෙන් ඒ වන විටත් වඩා විධිමත්ව සකස් වී තිබිය යුතු නාට්‍ය කලාවේ නිර්මාණාත්මක හා තාක්ෂණික අංග පිළිබඳ අදහසක් ඉදිරිපත් කිරීමටයි. තවත් ආකාරයකට කියන්නේ නම් එවැනි දෘෂ්ටිවාදාත්මක සංවාදයක් වෙනුවෙන් අවශ්‍ය මැදිහත්වීම කිරීම සඳහා ‘ගිනි ගිනි මාලේ’ තුළ පවතින අපහසුව පෙන්වීමටයි.

මෙය ඉතා සරල කථා වින්‍යාසයකි. හැගවුම්කාරක කිහිපයක් ප්‍රබල ලෙස ඉස්මතු වෙයි. සූරියකාන්ත මල්, හමුදා පුහුණුව සහ එම විනීත හැසිරීම, තුවක්කු, ළමා කාලය වැනි දෑ එකට එකතු වී මෙම කථා ව වින්‍යාස ගත කැ‍රෙයි. අප හොඳින් දන්නා පරිදි අද දවසේ අපට මුණ ගැසෙන සමාජ දේශපාලන හැසිරීම අතිශය නාටකීය සහ ඉතා ඉක්මනින් වෙනස් වන නමුත් එය යටින් අපව පීඩාවට පත් කරනා තනි සමස්ථයක් – ගල් ගැසුණු – දක්නට ලැබේ. මෙවැනි තත්ත්වයකදී රංග කලාව කුමන ආකාරයක් ගත යුතුද යන්න නැතිනම් රංග කලාවේ සාංදෘෂ්ටික පෙනී සිටීම කෙබඳු ආකාරයක් ගනීද යන්න සිතා ගැනීම අභියෝගයකි.

සුදත් උත්සහ කරන්නේ මෙම සමාජ සංකීර්ණය සමග අභිමුඛ වෙමින් එකී සමාජ සංකීර්ණයේ ඇති සංකීර්ණතා කාව්‍යාත්මකව නිරූපණය කිරීමට යි. නමුත් ගැටලුව ඇත්තේම මෙවැනි සංකීර්ණ සමාජ පද්ධතියක් තුළ අපට මුණ ගැසෙන හැගවුම් ඉක්මවා යමින් යළි ඒවා සමග ඥානවිභාගාත්මකව සමපාත වන ආකාරයේ රංග කලා මැදිහත්වීමක් සිදු කිරීමට අවශ්‍ය කොන්දේසි හඳුනා ගැනීමයි. රංග කලා න්‍යායධරයෙකු වන බෑස් කේෂෝව්ගේ ‘Baz Kershaw’ අදහසක් මත පදනම් වන්නේ නම් ඔහුට අනුව සමකාලීන ජන සමාජය අත්‍යන්තයෙන් නාටකීය ස්වරූපයක් ගන්නා බැවින් එය ඉක්මවා යෑමට වඩා විශාලත්වයක් සහිත රංග කලා මැදිහත්වීමක් සිදු කළ යුතුව ඇත. ඒ සඳහා තවදුරටත් අපට 20 වන සියවසේ රංග කලා භාවිතයේ ම රැඳී සිටීම වඩා ප්‍රතිඵල දායක නොවුණු ඇත යන්නයි. නමුත් ‘ගිනි ගිනි මාලේ’ හි අපට හමුවන්නේ එම 20 වන සියවසේ නූතන ඛේදාන්තය දරා සිටි රංග කලා භාවිතය හෝ එම රූපණ ක්‍රියාවලිය නොවේ. අපට එය ආසන්න වශයෙන් නම් කළ හැක්කේ නිවැරදි තානය හා නිවැරදි ශ්‍රැතිය සමග අනුනාද නොවන එයට පිටතින් පවතින ගායනයක් නැතිනම් සංගීත කණ්ඩයක් ලෙස යි. එම තානය සහ ශ්‍රැතිය සොයා ගැනීම අතිශය දුෂ්කර කාර්යයක් මෙන්ම ඒ සඳහා නාට්‍ය පිටපත සහ නිෂ්පාදන සංකල්පය මෙන්ම රූපණ ක්‍රියාවලිය දෙසද යළි සිතා බැලිය යුතුව ඇත.

මෙය ඇබ්සර්ඩ් රංග නිර්මාණයක් ලෙස කෙනෙකු නම් නොකරනු ඇත. නමුත් යථාර්ථවාදී නාට්‍යක් ලෙසද නම් කළ නො හැකි බැවින් මෙම අදහස ‘ගිනි ගිනි මාලේ’ නාට්‍ය පිළිබඳ තවත් ආකාරයකින් සිතා බැලීමට ප්‍රයෝජනවත් වනු ඇතැයි සිතමි. ඇබ්සර්ඩ් රංග කලා විසින් අපට ඒත්තු ගන්වන ඥානවිභාගාත්මක මෙන්ම සමහරවිට සද්භාවවේදී අදහස මෙහිදී මතක් කිරීම වැදගත් ය. ඇබ්සර්ඩ් නාට්‍යයක් යනු අපගේ එදිනෙදා සාමාන්‍ය දෛනික ජීවිතය අභියෝගයට ලක් කරන්නකි. එය අපිළිවෙලය, විකාරය, අමුතුය, විටෙක සිතා ගත නො හැකි ලෙස යථාර්ථයට අසු කරගැනීමට අපහසුය. නමුත් එමගින් අපට ඉගි කරන්නේ කුමක්ද? එමගින් අපට කියා සිටින්නේ අපගේ දෛනික ජීවිතයෙහි අප ගොඩනගමින් සිටිනා පිළිවෙල එම තාර්කික පදනම දෙස යලි සිතා බැලීමටයි. අපගේ දෛනික ජීවිතයේ තාර්කිකත්වය යනු කුමක්ද? එය වෙනස් නොවන යථාර්ථයක් ලෙස පවතින්නේ ඇයි? එය වෙනස් කළ නො හැකිද? එය මීටත් වඩා වෙනස් ලෙස දැකිය හැක්කේ කෙසේද? මේ ආකාරයට අපගේ නග්න බව අප ඉදිරියට ගෙනවිත් යළි අප තුළ ම පරික්ෂා කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන සකස් කරන සිදුවීමක් ලෙස ඇබ්සර්ඩ් රංග කලා නිර්මාණයක් හැඳින්විය හැකි ය. අවසාන අර්ථයෙන් එමගින් අපගේ ජීවිතය පිළිබඳ ඓතිහාසික නිරාවරණයක් වීමක් සහ වර්තමානය තුළ වැසී ගිය අරමුණු නො කරන ලද කලාපයක් වෙත අප වීසිකර දමයි නැතිනම්  අපට ජීවිතය සහ ලෝකය පිළිබඳ යළි සිතා බැලීමට යෝජනා කරයි.

අද දවසේ පවතින ස්වතන්ත්‍ර නාට්‍ය හිඟය සහ ඊට ආයෝජනය කළ යුතු අප්‍රතිහත ධෛර්‍යය සහ කාලයට අනුව එම අර්ථයෙන් අප සුදත්ට මෙම උත්සාහයට ණය ගැති වෙමු. නමුත් ඔහු පිටපත රචනයෙහිදී දෙබස් මසුරු ලෙස ඇසුරු නො කට ඉතා නිර්ලෝභී ලෙස දෙබස් භාවිතා කර ඇත්තේ සාමාන්‍ය දෛනික ජීවිතය තුළ පවා අපට අත්විදිය හැකි කාව්‍යාත්මකබව පවා අමතක කරමිනි. ඔවුන් නිකරුණේ බොහෝ විට එක ම කරුණක් හෝ යම් යම් සිදුවීම්වල පවතින සංකීර්ණත්වය සනාථ කිරීමට එක දිගට දෙබස් හසුරුවයි. කලාතුරකින් උවත් කාර්ය බහුල ටෙලි නාට්‍ය නළු නිලියන් රංගනයෙන් දායක වන නාට්‍යවල මංගල දර්ශනයක තිබිය හැකි දෙබස් නිරායාසයෙන් ගලාගෙන එනු වෙනුවට පෙළ කියවන්නාට සවන් දී දෙබස් කියන ප්‍රමාදයට වඩා එසැන නිරූපණ මගින් මෙන් දෙබස් කියැවෙන බවක් නාට්‍යයේ බොහෝ ස්ථානවල අසන්නට ලැබුණි. අප එලෙස අනුමාන කළත් නො කළත් වේදිකාව මත ඒවා එසේ සිදුවුවත් නොවුණත් ඒ සියල්ල බැර වන්නේ පිටපත් රචකයාගේ ගිණුමට බව ඔහු ම අධ්‍යක්ෂවරයා වන මොහොතක සැලකිලිමත් විය යුතු කරුණකි. සමස්ථයක් ලෙස ‘ගිනි ගිනි මාලේ’ නාට්‍යයේ රූපණ කාර්යයට මෙය තදින් බලපා ඇත. අම්මා, අක්කා සහ තාත්ත යන චරිත සීරුවෙන් සිටීම හා එවැනි ඉරියව්වක සිට පිළිතුරු ලබා දීම වැනි අවස්ථාවල අපට මුණ ගැසෙන්නේ ව්‍යාජ රංගනයකි. එහි ඇත්තේ ගැඹුරක් නොමැති, තරමක ලාමක පෙනී සිටීමකි. චරිතයට අනුව ඔවුන් සිටින්නේ යම් ව්‍යාජ අනුකරණාත්මක හැසිරීමක බව සත්‍යයකි. නමුත් එම ව්‍යාජ අනුකරණාත්මක හැසිරීම ප්‍රේක්ෂකාගාරය වෙත ඉදිරිපත් වීම ඊට වඩා දැරිය නො හැකි ව්‍යාජයක් ඇති කිරීම නාට්‍යයේ සමස්ථ රූපණ ක්‍රියාවලිය ම විශාල අනතුරකට ගෙන යයි. එම නිසා ම පිටපත විසින් ප්‍රකාශ කිරීමට උත්සහ ගන්නා සමාජ යථාර්ථය සහ නිෂ්පාදන සංකල්පයේ සන්නිවේදය ගුණය අතිශය කෘෂ වෙයි. මෙය මීට පෙර මා සඳහන් කළ නිවැරදි තානය අල්වා ගැනීමේ අභියෝගය සමග බැඳී පවතින්නකි.

එතරම් ම හානියක් ලෙස දැකිය නොහැකි නමුත් සංකල්පීය මැදිහත්වීමකදී මගහැරිය නො හැකි එන නිසා ම අවශේෂ කරුණක් ලෙස: නාට්‍ය ආරම්භයට පෙර වේදිකාව ආලෝකමත් කර නාට්‍යයේ එකම පසුතලය නිර්මාණය කර තිබුණි. එහි ඇති විශාල භාණ්ඩ මගහැර අපගේ නෙත ගැටුණු වඩා ආකර්ෂණීය පෙනී සිටීම වූයේ සූරියකාන්ත මල් ය. සූරියකාන්ත මලින් නියෝජනය කරන්නේ නැතිනම් සුදත් අගවන්නට උත්සහ කරන්නේ කුමක්ද යන්න ඍජුව අවබෝධ කරගැනීමට අපහසුවය. එහිදී ඔහු මලක් නියෝජනය කිරීමේ අරුතින් සූරියකාන්ත යොදා ගත්තා වන්නට පුලුවන නැතිනම් ශ්‍රී ලංකාවේ වාමාංශික ව්‍යාපාරයේ මුල් යුගයේ දෙවන ලෝක යුද්ධයට විරෝධයක් ලෙස පොපි මල් වෙනුවට සූරිය මල් ලෙස මෙරට 1932-33 වර්ෂවල ක්‍රියාත්මක වූ සූරියමල් ව්‍යාපාරයේ සම්බන්ධයක් ලෙස හැර වෙනත් යමක් සිතා ගැනීමට අපහසුය. ඉර එළිය තිබෙනා පැත්තට අනුකූලතාවයක් දැක්වීම ද තවත් එක් හැගවුමක් ලෙස නම් කළ හැකි ය.

කෙසේ වෙතත් සුදත් අබේසිරිවර්ධන යනු නිසග හැකියාවක් සහිත රචකයෙක් අධ්‍යක්ෂවරයෙක් මෙන්ම මේ වන විට රංග කලාව සම්බන්ධයෙක් පර්යේෂණ කටයුතු වලද නියැලී සිටින අයෙකු බව මතක් කළ යුතුය. තවමත් අප නැරඹුවේ ‘ගිනි ගිනි මාලේ’ හි මංගල දර්ශනය පමණි. නාට්‍ය නිර්මාණයක් යනු යළි යළිත් අපව නවීනත්වයට පත් කරවන යළි යළිත් නැවුම් බවකින් අපට අභිමුඛ වන නෛසර්ගික ලක්ෂණයක් සහිත මාධ්‍යයක් නිසා සුදත්ට ‘ගිනි ගිනි මාලේ’ පෙරට වඩා ආකර්ෂණීය ලෙස අප වෙතට ගෙන ඒමට හැකි වනු ඇතැයි යන්න සැකයක් නැත. ඒ සඳහා ‘ගිනි ගිනි මාලේ’ නාට්‍ය කණ්ඩායම සමග එකතු විය හැකි එක් ආකරයකි මේ.

 

රංග මනුප්‍රිය