84704253_2816188971761254_1825551745808334848_n

මිනිසුන් ජීවත් වන්නේ සතුට වෙනුවෙනි. අප කරන සියලුම දේ දිශානත වී ඇත්තේ සතුට වෙත ය. නමුත් අපගේ ජීවිතය තුළ විශාල පරාසයක අපට හමුවන්නේ සතුටේ ප්‍රතිපක්ශයයි. එනම් දුක ය. කාංසාව ය. මිනිසා ජිවිතය ආරම්භ කරන්නේ කාංසාව තුළ සිට ය. කාංසාව යනු කුමක්ද යන්න වඩාත් හොඳින් නිරීක්ෂණය කළ විට දැකගතහැකි වන්නේ එය ලෝකය පිළිබඳ අප තුළ ඇති නොදැනුම බව ය (ඒ පිළිබඳ වැඩිදුර කියවීම් සඳහා මෙතැනින්). මිනිසාට අවශ්‍ය වන්නේ මෙම නොදැනුමෙන් ගැලවීමට ය. සැබැවින්ම සතුට යනු ලෝකය පිළිබඳ ඇති නොදැනුම හෙවත් කාංසාවෙන් දුරස් වීම ය. ඒ සඳහා අපට කළ හැකි එකම දෙය ලෝකය තුළ ඇති විවිධ කරුණුමය පැවැත්මවල් සමඟ බැඳීම් ඇති කර ගැනීමයි. අප ජීවිතයේ අරමුණු වශයෙන් දකින්නේ මෙම කරුණුමය පැවැත්මවල් ය. එය විභාගයකින් සමත් වීමක්, නිවසක් සෑදීමක්, වාහනයක් මිලදීගැනීමක් හෝ මෙවැනි ඕනෑම දෙයක් විය හැක. අප කුඩා කල සිට මෙම අරමුණු හඹා යන්නෙමු. නමුත් අවසානයේ එම අරමුණු ලඟා කර ගැනීමෙන් පසුව ලබන සතුට තාවකාලික ය. එසේ වන්නේ අප ලඟාකරගත් කරුණුමය දෙය පිළිබඳවද අපට නොදැනුමක්, අසම්පූර්ණ බවක් ඇතිවන බැවිනි. අවසානයේ නැවතත් අපගේ ජීවිතය කාංසාවට ලඟා වෙයි. මෙම තත්ත්වය සමනය කර ගැනීමට මිනිසා ආගමට සමීප වෙයි. ඕනෑම ආගමක ඉගැන්වෙන්නේ ලෝකය පිළිබඳ නොදැනුම/කාංසාවට හේතුවකි. නමුත් මෙම හේතුව මිනිසාට අනුභූතිකව අත්දැකිය නොහැකි සීමාවක පවතී. ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධ සමාජය තුළ නම් මෙම හේතුව අර්ථදක්වන්නේ සසර දුක ලෙස ය. ක්‍රිස්තියානි හෝ මුස්ලිම් සමාජය තුළ නම් එම හේතුව අර්ථදක්වන්නේ දේව කැමැත්ත ලෙස ය. අනවරත ලෙස අපගේ ජීවිතය තුළ සිදුවන මෙම සතුට හඹා යාම, සතුට අහිමි වීම සහ නැවත දුකට පත් වීමේ ක්‍රියාවලිය සසර දුක, පින පව හෝ කර්මය නිසා සිදුවන්නක් බව සිංහල බෞද්ධයා වටහා ගනී. මෙම අදහස අපගේ එදිනෙදා ජීවිත තුළදී මෙන්ම කලා කෘති තුළත් දැකිය හැකි වේ. උදාහරණයක් ලෙස, බන්දුල නානායක්කාරවසම් විසින් රචිත, සුනිල් එදිරිසිංහ විසින් ගායනා කරන ‘රෑ වැඩ මුරය අවසන් වන කණිසමට’ ගීතයේ එක් තැනක ‘අරුණලු කැරළි වැටෙනා කළ අලුයමට, නුඹේ ලොවට රෑ වෙයි පෙර කළ පවට’ යනුවෙන් සඳහන් ය. මේ ආකාරයෙන් සෘජුවම නොවුනත් බෝහෝ ගීත වල මෙවැනි අදහස් ඇත. සිංහල බෞද්ධ සමාජය තුළ ඇති මෙම අදහසින් අපට යෝජනා කරන්නේ සසර දුක යන පරම සත්‍යය හේතුවෙන් අප මේ සියල්ල විඳ දරාගත යුතු බව ය. එය තවදුරටත් ප්‍රශ්න කළ යුතු නැත. නමුත් ඉතාම කලාතුරකින් මෙම අදහස ප්‍රශ්න කරන නිර්මාණයක් අපට දැකිය හැක. ලූෂන් බුලත්සිංහල විසින් රචිත, ගුණදාස කපුගේ විසින් ගායනා කරන ‘දවසේ කරදර කර උඩ’ නම් ගීතය මෙයට එක් උදාහරණයකි.

දවසේ කරදර කර උඩ

ගෙට ඇවිදින් ගෙයි පිළ උඩ

මුහුදේ කරවටක් ගිලී ඉර හිනැහෙන්නේ

සසර දුකට මේ හැටි ඇයි අපි ළතැවෙන්නේ

 

හෙන්දිරික්කා මල් පිපේවි

පන්සල් ගන්ඨා වැදේවි

රෑන ගිරව් හිනා වෙවී ගෙදර ගියාවේ

ඉගිලෙන්නට බැරි අපටත් තටු මැවුනාවේ

බණ්ඩි පැටව් මඟට ඒවි

උන් අම්මා පිළට ඒවි

හිස් අත් දෙක කියන කතා රස දැනුනාවේ

අග හිඟකම් මුතු වැස්සේ අපි තෙමුනාවේ

පළමුවෙන්ම කිව යුත්තේ, මෙම ගීතයෙන් බෞද්ධාගමේ ඉගැන්වෙන සසර දුක, පින පව, හෝ කර්මය වැනි සංකල්ප ප්‍රතික්ෂේප නොවන බවයි. නමුත් වෙනත් නිර්මාණ සහ සමාජයේ පොදු අදහසින් වෙනස් වූ අදහසක් මෙම නිර්මාණය තුළ ඇත. එනම්, අපගේ දුකට හේතු වන සසර දුක වැනි අදහස් අප මෙතරම් බැරෑරුම් ලෙස භාර ගත් යුත්තේ ඇයිද යන ප්‍රශ්න කිරීමයි. මෙම ගීතයෙන් කියවෙන්නේ ජීවිතයේ අනේක කරදර කම්කටොළු, ප්‍රශ්න වලට මුහුණ දී අවසානයේ කිසිදු විසඳුමකින් තොර අවස්ථාවකට පැමිණි පුද්ගලයෙක් පිළිබඳව යැයි අපට සිතිය හැක. තම දරුවන්, බිරිඳ ආදී මේ සියල්ලන්ම ඔහුගේ පිහිට පතා බලා සිටී. තව මොහොතකින් හිරු ගිලී ගොස් ලෝකයම අඳුරුවන්නාක් මෙන් ඔහුගේ ලෝකයද මොහොතකින් අඳුරු වීමට නියමිත ය. කිසිදු විකල්පයක් නැති ‘බිත්තියටම හේත්තු වුණ’ අවස්ථාවකට ඔහු පැමිණ ඇත. ඔහුට ඇසෙන දකින දේවල් වලින් පවා නිරූපණය වන්නේ ඔහු පත් වී ඇති තත්ත්වයයි. කෙළවරක් නොමැති ප්‍රශ්න අවසානයේ විසඳුමක් නොමැති සැඳෑවකට ඔහු එළඹ ඇත. අඳුර වැටී සියල්ල නැතිවී යාමට ඇත්තේ තව ටික වේලාවකි. නමුත් මෙතෙක් කල් ප්‍රශ්න වලින් දුකට කම්පාවට පත් වූ ඔහු දැන් පැමිණ ඇත්තේ අකම්පිත, හිස් උදාසීන මනෝභාවයකට ය. තව දුරටත් ඔහුට දුකක් හෝ සතුටක් නැත. ඔහු වටා සිදුවන සියලු දේ දෙස ඔහු උපේක්ෂාවෙන් බලා සිටී. ඔහු දුකට පත් වූයේ සසර දුක නිසා නම් ඔහු තව දුරටත් කුමක් කරන්නද? එය ලෝක ස්වභාවය නම් ලෝක ස්වභාවයට ඉඩදීම හැර ඔහු තව කුමක් කරන්නද? එනිසා ඔහු පත්වී ඇති, එහෙත් ඔහුගේ හෝ සමාජයේ ක්‍රියා කලාපයෙන් ස්වායත්ත වූ හේතුවක් (සැබෑ දේශපාලනික හේතුව අමතක කළහොත්) නිසා සිදු වූ දෙයකට ඔහුට කළ හැකි කිසිවක් නැත. සසර දුක පරම සත්‍යයක් යැයි පිළිගෙන එයට මුහුණදීම හැර ළතැවී පලක් නැත.  පතුළක් නොපෙනෙන ප්‍රපාතයක් අසල ඔහු සියදිවි නසාගැනීම හෝ මහණ වීම විකල්ප ලෙස භාර නොගෙන බලා සිටී. සමහරවිට මෙවැනි තත්ත්ව අපගේ ජීවිත තුළද මතු විය හැක. එය රැකියාව, මුදල් වැනි ආර්ථිකමය ප්‍රශ්න වලට පමණක් සීමා වන්නේ නැත. ආදරණීයයකුගේ වියෝවක්, පෙම් සබඳතාවයක් බිඳවැටීමක් වැනි අවස්ථාවකදී වුවද මෙම අරුත්සුන් හිස් බව අපට අභිමුඛ විය හැක. දුක අප එකිනෙකාට සාපේක්ෂ ය. එම දුකෙහි හේතුව අපට පාලනය කල නොහැකි ‘සසර දුක’ හෝ ‘දේව කැමැත්ත’ වැනි සාධකයක් නම් තවදුරටත් ඒ පිළිබඳ ළතැවී පලක් නැත. දුකට පත් වීම හැර වෙනත් විකල්පයක් නැත. සසර දුක හැර වෙනත් හේතුවක් වේ නම් ඒ පිළිබඳව සිතීම අප සතු දෙයකි.

දිනිත් සුමනසේකර