f14008eaf551623cbcfd10c0f989047e

කොන්ටෙන් මෙයසූ ගේ දර්ශනය කේන්ද්‍ර කරගෙන අප විසින් ගොඩ නැගීමට උත්සාහ කරනා සංවාදයේ කොටසක් ලෙස ඔහුගේ අදහස් සම්බන්ධයෙන් එල්ල වූ විවේචන කීපයක් සලකා බැලීම බෙහෙවින් ප්‍රයෝජනවත් වනවා කියා අපි සිතමු. මෙයසූ ගේ සංවාදය මෙරට දැනට තිබෙනා බුද්ධිමය සංවාදය සමග ස්පර්ශ වන්නේ නලින් ද සිල්වා විසින් ගොඩ නැගු ඥානවිභාගාත්මක කතිකාව සමග වුවත් එම අර්ථයෙන් පමණක් ගත්විට මෙයසූ ගේ සංවාදයට හිමිවන්නේ නිශේධනාත්මක කාර්යභාරයක් පමණි – මෙයසූ ගේ දර්ශනය මගින් සිදු කළ යුත්තේ නලින් ද සිල්වා ගේ දාර්ශනික ආස්ථානය අසාර්ථක වන ලක්ෂ්‍යය පෙන්වා දීමයි.

කෙසේ වුවත්, එම සීමිත අර්ථයෙන් ගත්විට, මෙයසූ සම්බන්ධ වී සිදු කළ මැදිහත්වීම ඉතාම සාර්ථක වූ බව කිව යුතුය. නලින් ද සිල්වා ඇතුළුව ඔහුගේ අදහස් වෙනුවෙන් පෙනී සිටින කිසිවෙකුට මෙයසූ ගේ කේන්ද්‍රීය තර්කයට – හුදු අපහාස කිරීම් හැර – ප්‍රතිචාර දක්වන්නට නොහැකිව තිබෙනවා පමණක් නොව මේ කිසිවෙක්, අවම වශයෙන්, “පරිමිතත්වයෙන් පසු” කෘතිය කියවා හෝ නොමැති බව ඉතාම හොඳින් පැහැදිළි වේ (අප දන්නා ආකාරයට මෙයට තිබෙන්නේ එකම එක ව්‍යාතිරේකයක් පමණක් වන අතර ඒ නලින් ද සිල්වා නොවේ). නලින් ද සිල්වා ගේ දාර්ශනික ආස්ථානය මෙයසූ හමුවේ බිඳ වැටුණු මේ සමස්ත සංවාදයේ අවසානය සහ එය ඉක්මවා අප විසින් යෝජනා කරනා දර්ශනය කුමක්ද කියා නුදුරේදී ප්‍රකාශ වීමට නියමිත කෘතියකින් ඉතා හොඳින් පැහැදිළි වනු ඇත. එතනින් එහා මේ අය සෙල්ලම් කිරීමට සාදාගෙන ඇති ‘බටහිර දර්ශනය’ නම් වූ සෙල්ලම් කාර් එක අකණ්ඩව බිම දිගේ යවන්නට අවස්ථාව ලබා දී අප ඉදිරියට යා යුතුය. මේ සටහන තබන්නේ එයට ආරම්භක පියවරක් ලෙසයි.

මෙයසූ ගේ කෘතියට ඉතාම ඉහළ පිළිගැනීමක් ලැබී ඇති බව බොහෝ දෙනා දන්නවා කියා සිතමු. සාමාන්‍යයෙන් දාර්ශනිකයන් තමන්ට සමකාලීන වන වෙනත් දාර්ශනිකයන් සමග දිගු සංවාද කිරීම දර්ශන ඉතිහාසයේ දුලභ අත්දැකීමකි. ඩෙලර්වූස් ප්‍රකට ලෙස කියූ පරිදි ‘සංවාදයක්’ සඳහා කෙනෙක් ආරාධනා කළ සැනින් ඔහුගේ ප්‍රතිචාරය වන්නේ හැකි ඉක්මනින් මේසය මත තිබෙන සිය තොප්පිය ගෙන හිසේ පළඳා නැගිට එතනින් දිව යාමයි. දාර්ශනිකයන් බොහෝ විට සංවාද කරන්නට ප්‍රිය කරන්නේ වසර දහස් ගණනකට නැතිනම් සියවස් ගණනකට කලින් මිය ගොස් සිටින දර්ශනයේ ඉතිහාසයේ එන චරිත සමග පමණි. ඔවුන් සංවාද කරන්නේ ඇරිස්ටෝටල් සමගිනි, නැතිනම් කාන්ට් සහ හේගල් සමගිනි, එසේත් නැතිනම්, අවම වශයෙන්, හෛඩගර් සමගිනි. යන එන ගමන් තබනා සටහනක් ඉක්මවා ගොස් සිය සමකාලීනයෙක් ගේ අදහස් සමග දීර්ඝව අභිමුඛ වීමට දාර්ශනිකයන් බොහෝ විට උත්සාහ කරන්නේ නැත.

මෙයට හේතුව කුමක්ද කියා තේරුම් ගැනීම එතරම් අපහසු නැත. එක අතකින් මෙවැනි දෙයක් කිරීම විශේෂයෙන් අවධානම්සහගත වැඩකි. ඇරිස්ටෝටල් නැතිනම් කාන්ට් සම්බන්ධයෙන් තිබෙනා සාමාන්‍ය, ප්‍රමිතිගත කියවීම කුමක්ද කියා මේ වනවිට හොඳින් ස්ථාපිතව තිබේ. ඒ සම්බන්ධයෙන් ඇති ජනප්‍රිය එහෙත් විකල්ප අර්ථකථන සොයා ගැනීම ද කිසිසේත් අපහසු නැත. අනෙක් අතට මේ ආකාරයේ චින්තකයන් කියවීමට කාලය වැය කිරීම අපගේ ශ්‍රමය නිරපරාදේ නාස්ති කිරීමක් ද නොවේ. ඔවුන්ගේ අධිකාරිත්වය සහ වැදගත් බව තිබෙන්නේ හොඳින් ස්ථාපිතවයි. දාර්ශනිකයන් මෙවැනි අතීත චරිත සමග අභිමුඛ වීමේ උනන්දුව මේ ආකාරයට පැහැදිළි කරගත හැක.

අනෙක් අතට, සමකාලීන දාර්ශනිකයෙක් ගේ සිතීමේ ඇති නවීනත්වය කුමක්ද කියා එතරම් හොඳින් ස්ථාපිත වී නොමැත. එවැනි අය කියවන කෙනෙක් ඒවා සම්බන්ධයෙන් සමාරම්භක අර්ථකථනකරුවන්ගේ ගොඩට අනිවාර්යයෙන් ඇතුලත් වන්නේ මෙම නිසාය. එනිසාම එවැනි සිතීමක් නිවැරදි ලෙස ග්‍රහණය කරගෙන තිබෙන්නේ ද කියා අපට සහතික කර ගැනීමට ක්‍රමවේදයක් නැත. එමෙන්ම, සහ මෙයට සම්බන්ධ ලෙස, සමකාලීන චින්තකයෙක්, ඇරිස්ටෝටල් හෝ කාන්ට් හෝ වැනි චින්තකයෙක් ට සාපේක්ෂව කෙතරම් වැදගත් වන්නේ ද යන්න සම්බන්ධයෙන් අපට තිබෙන්නේ ද එතරම් නිරවුල් චිත්‍රයක් නොවේ. සමහරවිට, අප මේ අත්දකිමින් තිබෙන්නේ දාර්ශනික විලාසිතාවක් පමණක් විය හැකිය. සෑම විලාසිතාවකටම අවසානයේ දී උරුම වන ලෙසට එය අනිවාර්යයෙන් අනාගතයේ කිසියම් දිනක ජනප්‍රියත්වයන් හීන වී ගොස් භාවිතයෙන් ඉවත් වනු ඇත. මෙවැනි අවධානමක් සහිත සමකාලීන චින්තකයෙක් ගේ අදහස් සමග අභිමුඛ වීමේ වාසිය කුමක්ද? දාර්ශනිකයන් බොහෝ විට සිතන්නේ මේ ආකාරයටයි.

නමුත් සමකාලීන දාර්ශනික සංවාදයට මෙයසූ ගේ නාටකීය ආගමනය සමග මෙම සාමාන්‍ය තත්වයේ වෙනසක් වූ බව අපි දනිමු. ඔහුගේ මැදිහත්වීමේ සුවිශේෂත්වය අපට සලකුණු කළ හැක්කේ මේ අනුවයි. මෙයට සරල හේතුව වන්නේ මෙයසූ විසින් සමකාලීන දර්ශනයේ පර්යේෂණ ගැටලුව මුළුමනින් නව ආකාරයකට ලියා තැබීම කියා කිව හැකිය. ජිජැක් කියනා ලෙසම “අද දවසේ ප්‍රධානම දාර්ශනික ගැටලුව: පූර්ව-උත්තරානුභුතික යථාර්ථවාදයකට ආපසු යන්නේ නැතිව (ලෙනින් කළ ලෙස) ‘උත්තරානුභුතික සහසම්බන්ධතාවාදය’ යනුවෙන් කොන්ටෙන් මෙයසූ නම් කරන දෙයින් ගැලවී භෞතිකවාදී ආස්ථානයක් වෙනුවෙන් පෙනී සිටින්නේ කෙසේද” යන්නයි.

මෙහි ප්‍රතිඵලයක් ලෙස හදිසියේ, මෙයසූ හමුවේ පිළිතුරු බඳින්නට, බොහෝ දෙනෙකුට සිදු විය. එසේ නොමැති වන්නේනම් සිය දාර්ශනික සංවාදය නොවැලක්විය හැකි ලෙස කල් ඉකුත්ව යාමේ අවධානමක් ඇති බව වටහා ගැනීමට මේ කිසිවෙක්ට එතරම් අපහසු වූයේ. එම නිසාම මෙයසූ ගේ අදහස් ප්‍රශ්න කරමින් අතිවිශාල පර්යේෂණ පත්‍රිකා ප්‍රමාණයක් සහ සිය ගණනක පොත් ප්‍රමාණයක් පළව තිබේ. මෙයින් අදහස් කරන්නේ මේ සෑම දෙයක්ම එක හා සමාන ලෙස ගුණාත්මක අතින් යහපත් වනවා යන්න නොවේ. නමුත් මේ අතරින් නිශ්චිත ප්‍රමාණයක් මෙයසූ ව ඉතා තියුණු ලෙස ප්‍රශ්න කිරීමට ලක් කරනා බව පැහැදිළි වේ. අප සිතනා ආකාරයට මේ අතරින් වඩාත් වැදගත් වන්නේ කැතරින් මැලැබූ, ස්ලැවෝයි ජිජැක්, ඇලෙන්කා සුපාන්ශිෂ් සහ ග්‍රැහැම් හාමන් යන අයගේ ප්‍රශ්න කිරීම් වෙයි.

මේ අනුව මෙයසූ පිළිබඳව සංවාදය, ජාතික චින්තනවාදයේ සීමිත ලෝක දැක්මට ඔබ්බෙන්, ඉදිරියට ගෙන යාම සඳහා අපට තිබෙනා මාවත කුමක්ද කියා සිතා ගැනීම එතරම් අපහසු වන්නේ නැත. අප දැන් කළ යුත්තේ අපේ යුගයේ මේ වැදගත් සිතන්නන් හමුවේ මෙයසූ ගේ දර්ශනය ප්‍රශ්න කිරීමට ලක් වන්නේ කෙසේද කියා විමසා බැලීමයි.

මේ මගින් අපට අත්වන විශේෂ වාසිය වන්නේ කුමක්ද කියා තේරුම් ගැනීම ද කිසි සේත් අපහසු වන්නේ නැත. අපට දැන් මෙයසූ ඇසුරින් සමකාලීන දාර්ශනික සංවාදයේ විවිධ ආස්ථානයන් මොනවාද කියා විමසා බැලීමට අවස්ථාවක් තිබේ. සිංහල භාෂාවෙන් තිබෙන දාර්ශනික සංවාදයට උරුම වී ඇති එක තැන පල් වීමෙන් එය ගලවා ගත හැකි වන්නේ මේ ආකාරයේ විවිධ අස්ථාන හා නවීනත්වයන් මෙයට එකතු කිරීමෙන් සහ ඒවා අතර විවිධ උරගා බැලීම් සිදු කිරීමෙන් පමණි. සමකාලීන ලෝකයේ තිබෙනා මූලික දාර්ශනික ව්‍යාපෘති වන්නේ මොනවාද? ඒවා නියෝජනය කරන චින්තකයන් / චින්තිකාවන් කවුද? මේ ප්‍රශ්න වලට පිළිතුරු බොහෝ දෙනෙක් දැන ගන්නා තුරු අපට අර එක තැන පල් වීමෙන් ගොඩ ඒමට හැකි වන්නේ නැත.

මෙහි ප්‍රතිඵලයක් ලෙස මෙයසූ ගේ අදහස් විචාරයට බඳුන් කරමින් තිබෙනා මූලික ලියවිලි වල සිංහල පරිවර්තන ඇසුරින් එක් දින වැඩමුළු කීපයක් සංවිධානය කරන්නට අපි සූදානමින් සිටිමු. මෙයට සහභාගී වීම මගින් සමකාලීන දර්ශනයේ එක් නිශ්චිත ආස්ථානයක් සම්බන්ධයෙන් මෙන්ම එය මෙයසූ ගේ දර්ශනය සමග සම්බන්ධ විය යුතු ආකාරය ගැනද අදහසක් ඇති කරගැනීමට අවස්ථාව් හිමි වනු ඇත.

මෙහි සමාරම්භක පියවර ලෙස කැතරින් මැලැබූ ගේ ‘Can We Relinquish the Transcendental?’ රචනය කියවීම පදනම් කරගත් එක් දින වැඩ මුළුවක් ඉදිරියේ දී සංවිධානය කරමු. එයට පෙර මැලැබූ ගේ දර්ශනය සම්බන්ධයෙන් ඉතාම සරල හැඳින්වීමක් මෙන්ම ඇය විසින් මෙයසූ විවේචනය කරනා ආකාරය දැක්වෙන සටහන් මාලාවක් මෙහි පළ කරන්නට සැලසුම් කර තිබේ. මෙවැනි සටහන් මගින් මැලැබූ ව ‘තේරුම් ගත හැකිය’ කියා එමගින් අදහස් කරන්නේ නැත. අප හැමදාම පෙනී සිටියේ දර්ශනය කියවීම යනු ඒ ගැන ඇති හැඳින්වීමේ ග්‍රන්ථ කියවීම ඉක්මවාලු භාවිතයක් වනවා යන්නයි. මේ සඳහා මැලැබූ කියවීම කිසිදා මග හැර යා නොහැකි වන්නේ – මැලැබූ කියවීමට මැලැබූ කියවීම කිසිදා මග හැර යා නොහැකි වන්නේ – මෙම නිසාය. නමුත් මෙමගින් අදහස් වන්නේ අපට සරල හැඳින්වීම් සිදු කිරීම, සාරාංශ සිදු කිරීම කිසිදා කළ නොහැකි බව නොවේ. සත්‍ය වශයෙන්ම මේ සියල්ල අවසානයේ දී දිශානත වන්නේ මැලැබූ ගේ ම රචනයක් කියවීමට වන හෙයින් මේ කිසිවක් ගැටලුවක් වන්නේ නැත. මේ තිබෙන්නේ අප යුගයේ වඩාත් නිර්මානාත්මකම් ගතික, විප්ලවකාරී සිතීමක් සිංහලෙන් ගොණු කිරීමට ගන්නා පුංචි උත්සාහයකි. එම සිතීමේ සිතීමේ විශාලත්වය සොයා යන්නට කෙනෙක් උත්සාහ කරන්නේනම් මේ මහන්සිය අපතේ නොයනු ඇත.

 

 

***