Breughel 1

Ja’පුර සිදුවූයේ හදිසි අනතුරක් ද නැති නම් ඝාතනයක් ද කියා තර්ක කිරීම ප්‍රශ්නය නැට්ටෙන් අල්ලා ගැනීමකි. ඒ තර්කයට අනුව මේ සිදුවීමේ වරදකරුවන් අල්ලා  යුක්තිය ඉටු කිරීම වෙත යෑම ගත හැකි සාමාන්‍ය ක්‍රමවේදයයි.  එම ක්‍රමවේදය සාර්ථක වුවත් නොවූවත් අනාගතයේ තවත් බොහෝ දේ සිදුවීම නියතය. සාමාන්‍යයෙන් මෙවන් සිදුවීමක් අවබෝධ කරගත හැකි පදනම සපයා ගත හැක්කේ     එය සමස්ත ශිෂ්‍ය දේශපාලනයේ සන්දර්භයේ මත තබා බැලීම තුළින් ය. එහෙත් බොහෝ මිනිසුන් එසේ නොකරයි.

සැබැවින්ම එවන් සන්දර්භයක් විභාග කළ හැක්කේ ශාස්ත්රීය උනන්දුවක්  මත පිහිටාය. එනම් ලංකාවේ ශිෂ්‍ය දේශපාලනය සමාජ විද්‍යාත්මක ප්‍රපංචයක් ලෙස ගැනීම මගිනි. එහෙත් එවැනි අවශ්‍යතාවයක් ගැන කිසිවෙකු මතු කළත් එහි ඇති නිරර්ථකභාවය  සමාජය විසින් නිරන්තරවම මතු කරනු ඇත.  රටේ  දේශපාලන පක්ෂවල මතවාද අනුව යමින්  ඒවායේ ටෙරටරි රැක ගැනීම වෙනුවෙන් කරන සාමාන්‍ය කුටුම්භගත  සහයෝගීතාවාදී දේශපාලනය,  ශිෂ්‍ය දේශපාලනයට පහර ගසනු ඇත්තේ එවන් විද්‍යාත්මක කියවීමක් සිදු නොවන  තාක් දුරටමය.

අනෙක් අතට කොයිම මොහොතකවත් විශ්ව විද්‍යාලය මහා දේශපාලනයෙන් තොර වීමක් ගැන සිතා ගන්නටවත් නොහැකිය. රටේ ජනප්‍රිය පක්ෂ දේශපාලනයට අනුව රටම බෙදී පවතින විට විශ්ව විද්‍යාල ඉන් සම්පූර්ණයෙන්ම නිදහස් යැයි සිතීම කළ නොහැක්කකි. එසේ නිදහස් යැයි කෙනෙකු සිතන්නේ නම් ඔහු ඒ සඳහා මොනවා හෝ තර්කයක් ගොඩ නගන්නේ නම් අප එය හඳුනා ගත යුත්තේ ශිෂ්‍ය දේශපාලනය කියාය.  නමුත් එතැනදීත් එවන් ස්වාධීනත්වයක් පහසුවෙන්ම ගොනු වෙන්නේ  උපසංස්කෘතික කාරණාවක් ලෙසය.

ඇත්තෙන්ම දේශපාලනික දේ   සංස්කෘතිමය දේ බවට පරිවර්තනය කර ගැනීමට සිදුවීම තරම් මෑත කාලීන ශිෂ්‍ය ව්‍යාපාරය අනා ගත් තවත් විශිෂ්ට අවස්ථාවක් නැති තරම් ය. ඔවුන් දිගින් දිගටම කීවේ ශිෂ්‍ය දේශපාලනය යනු උප සංස්කෘතියක් බවත් නවක වදය එහි අනිවාර්ය වතාවක් බවත් ය.

මේ අනාගැනීම කළේ වාමාංශික පක්ෂ වල නායකයන්මය. ඔවුන් ද මේ උප සංස්කෘති සංකල්පය සුජාත කරවීම වෙනුවෙන් ඉදිරි පෙරමුණ ගත්හ.  ශිෂ්‍ය දේශපාලනයේ අගතීන් මෙන්ම සුරතීන් කැඩපත්කරණය කළේ එවැනි  රොමෑන්තික සෞන්දර්යවාදයක ගිල්වාය. මේ වෙද්දී එය උඩ සිට පහළට වේගයෙන් පෙරළෙන   ටයරයක සෞන්දර්ය  යොවුන් රණ කාමයේ උච්චතම අවස්ථාවක් බවට පත් වී එය පාලනයෙන් තොර තත්වයකට පැමිණ ශිෂ්‍යයෙකුගේ ජීවිතයක් අනතුරේ හෙලන්නට තරම් සෞබාග්‍ය සම්පන්න විය.

සමස්ත විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ ඇති අනිවාර්ය වර්ගවාදයක් වන්නේ නැව් පැමිණීමයි. නැව් යනු වැඩිහිටි ශිෂ්‍ය කණ්ඩායමක් වයසින් අඩු නව ශිෂ්‍ය කණ්ඩායමක්ව හඳුන්වන නමයි. මෙ වැනි නම් වෙනුවෙන් නිර්මාණශීලීත්වය ලැබෙන්නේ ඒ ව්‍යුහාත්මක තෙරපුම තුළින් මිස අනෙකකින් නොවේ.  අප විශ්ව විද්‍යාලයෙන්  පිටත සිට හැමදාමත් ශිෂ්‍ය දේශපාලනයෙන් බලාපොරොත්තු වූ සාමකාමී කරුණාබර සාමකාමිත්වය නවක සිසුන් විශ්ව විද්‍යාලයට පැමිණෙද්දි ලැබෙන්නේ නැත්තේ ඒ ව්‍යුහාත්මක තෙරපුම නිසාය. එවන් සහයෝගීතාවයක්  තරමක් කල් ගන්නා ව්‍යාපෘතියක් බව දැන් අප හැමෝම දන්නා එකකි. අර කී  උප සංස්කෘතිය පිළිබඳ ප්‍රවාදය ඇරඹෙන්නේ එවැනි තෙරපුමක් සාධාරණය කරන්නට යන රොමෑන්තිකවාදී ප්‍රවේශය නිසාය.

එබැවින් මේ විශ්ව විද්‍යාල උප සංස්කෘතිය යන්න රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය පිළිබඳව කරන තවත් කලු අර්චනකාමයක යෙදෙන ප්‍රචාරක පටයක් බව කිසිවෙකුත් සිතන්නේ නැත.    එනම් අවසානයේ නවක වදයේ සිට  ටයර් පෙරළීමේ ප්‍රවේගකාරී  අනුරාගයක් සහිත මිතුදමක් ශිෂ්‍ය කණ්ඩායම් දෙකක් අතර ඇතිවෙන්නට කල් ගන්නා වැඩ බිම උප සංස්කෘතියක් ලෙස උසස් අධ්‍යාපනය ප්‍රමිතිගත වීමයි. ඒ කාලය තුළ මනුෂ්‍ය ඝාතන පවා සිදු විය හැකි තරමට තෙරපුම උඩු දුවන්නේ තියුණු අධ්‍යාපනික වර්ගවාදයක ආනුභාවයෙන් බව කිසිවෙකුත් නොසිතයි. එහෙත් වරදකරුවන් ඉක්මනින් සොයාගනියි. විශ්ව විද්‍යාලය යනු උප සංස්කෘතියක් බවට වූ අවසාන ගොනු කිරීමේ ස්වභාවය සහ සීමාව එයයි.

Ja’පුර ශිෂ්‍යයාට සිදුවූ සිදුවීමත් ශිෂ්‍ය නායකයින් ඒ පිළිබඳව කළ ප්‍රකාශත් අතර සංවාද අවකාශය පුරවන ඉන් පිටතට සිටින්නන්ගේ පීඩනය ද මෙහිදී අතහැරිය නොහැක. නවක වද විරෝධී අය සිතන්නේ මෙය පුද්ගල වැරැද්දක් බවට ඉක්මනින් ලඝු කිරීමයි. එය කොහොමත් අතේ පත්තු වෙන විලාසිතා මානවවාදයකි.  සමස්තයකට එරෙහි වීම සහ එය ජෝක් කිරීම මගින් සමස්තය ගැන අදහස මග හැරීම එවන් විරෝධයන් යුහුසුළුවෙයි. එහෙත් අනෙක් අතට එයින් පිලිඹිබු වන්නේ එවන් විරෝධයන් දක්වන අය ඉන්නා ගැටලුවක් ප්‍රකාශයට පත් වීමකි. සමස්තතා විරෝධි වූ තමන්ගේ ස්වයං ආරක්ෂක නාසිස්මය මත හොඳින් පිහිටා ගැනීමකි. සමස්තතාවාදය එරෙහි වීමම බුරුෂුවාවාදයේ පූජනීයම චාරිත්රයකි. එනම්  C C T V විසඳුම් ඉල්ලා සිටින අදූරදර්ශී මානවවාදයට පැලවෙන්නට අවශ්‍ය අදහස්මය තිප්පොළවල් හදා දීමයි. වාසනාවට මගේ මිතුරන් බොහෝමයක් එවැනි අය යි. මට   කළ හැක්කේ එවන් අය ඉන්නා එදිනෙදා ජීවන ආවේගය නිරාවරණය වන පරිදි තියුණු සමස්තතාවාදයක් තුළ පිහිටා කරන පහර ගැසීමකි. අවශ්‍ය නම් එය ඕනෑම වේලාවක කළ හැක.

අනෙක් පැත්තෙන් Ja’පුර සිදුවීම අරබයා එහි  ශිෂ්‍ය නායකයින් අතින් ප්‍රකාශයට පත් වූ දේවල් මෙකී බුරුෂුවා කොටස් වල අර්ථකතනයට ලක්වූයේ ආවේගශීලිව මෙන්ම උපහාසාත්මක ලෙසය. ඊට හේතුව වූයේ ශිෂ්‍ය දේශපාලනය විසින් තමන්වම නිරන්තරවම අර්ථ ගන්වා ගන්නට කැමති උප සංස්කෘතික තර්කනය නිසාය. ඇත්තෙන්ම තමන් පිළිබඳව ඇති අවබෝධය හුදු සංස්කෘතික විලාසිතාමය චාරිත්රයකට කොටු කර ගැනීමට සිදුවීම නිසා සිදුවූයේ ශිෂ්‍යයන් මහා සමාජය ඉදිරියේ පච වීමය. දෙගුණයකින් කිච වීමය. මේ ලියන්නේ ඒ පච වූ ශිෂ්‍යයන් අතරේ මුල් බැසගත් ඔවුන්ව නිරුත්තර කරවූ අධ්‍යාපනික වර්ගවාදයට පැලැස්තර දමන ඔවුන්ව හැමදාමත් ගඟේ යැවු ‘ශිෂ්‍ය දේශපාලනය යනු උප සංස්කෘතියකි’ නම් තර්කනයට එරෙහිවය.

ටයර් පෙරළීම් වැනි ප්‍රාථමික සාමුහික ආවේගයන් සංකේතනය කර ගත හැකි එකම ආකාරය වන්නේ තමන් පිළිබඳව ඇති අවබෝධය මුලු මුනින්ම වෙනස් කර ගැනීමයි.    එනම් ඇත්තෙන්ම ශිෂ්‍යය දේශපාලනය මුලින්ම කළ යුත්තේ උප සංස්කෘතික ලේබලයෙන් තමන්ව මුලු මුනින්ම ගලවා ගැනීමය. එයින් මිදී තමන්ව දේශපාලනික වශයෙන් ස්වාධිපත්‍යයික ප්‍රජාවක් ලෙස පුළුල් කර ගැනීමය . පවතින තත්වය අර්බුදයක් නම්, එය අර්බුදයක් බව පිලිගන්නේ නම් එය විසඳිය හැක්කේ  පවතින සමස්ත ආරෝහණික පිළිවෙළ වෙනස් කිරීම මගින්ය.  එනම් ශිෂ්‍යයන් විසින්  අලුතින් ඇති විය යුතු තත්වයක් ගැන ප්‍රකාශ කළ යුතුය යන්නයි. අප කියනා ශිෂ්‍යය ස්වාධිපත්‍යයේ සමාරම්භය එයයි.

උදාහරණයක් ලෙස  ශිෂ්‍ය දේශපාලනය විශ්ව විද්‍යාල තුළින් මුලු මුනින්ම විසුරුවා දැමීමම පවා ස්වාධිපත්‍යයික තීරණයක්ය.  නමුත් එවන් තීරණයක් ගත් විට ඊ ළඟ කොටස වඩාත් සංකීර්ණ කල්පනාවකට අපව ගෙනත් දමන බව නම් නියතය. එහෙත් Ja’පුර සිදුවීමේ දී  ශිෂ්‍යයන් අතින් ප්‍රකාශයට පත් වූයේ වරදකරුවන්ව කිසිවිටෙකත් පාවා නොදෙන මිත්රත්වයේ සදාචාරයක් පමණි. පිටත සමාජය ඊට වඩා අවස්ථාවාදයක් සහිත දෘෂ්ටිවාදයකින් වෙලී මිතුදම් පවත්වමින් ඔබ වෙත පහර ගසමින් ඇත.  නීතියට සහ වෙස් ගැන්වූ බුරුෂුවා  සමාජය අදහස් හමුවේ නිරුත්තර වීම හැර යා හැකි දුරක් පවතින ශිෂ්‍ය දේශපාලනයේ ව්‍යුහයට නැත.  මාධ්‍යයට හා යුක්ති ගරුක සමාජයට ඔබේ සදාචාරය පහසුවෙන්ම කුඩු පට්ටම් කර දැමිය හැක. එසේම එය ඔවුන් අතින් සොම්බීන් මෙන් කිසිඳු සමාවක්  නැතිව කරමින් ද ඇත.

කේ. කේ. ශ්‍රීනාත් චතුරංග 

 

 

 

 

***