Anxiety - I Have Enough Guilt

ඊයේ දිනයම වාගේ ගත කළේ මා මේ දිනවල – දෛවයේ සරදමක් ලෙස – ලියමින් සිටින මරණය පොතේ වැඩ කරමින් ය. එසේ වුවත් මෙවැනි පරිසරයක සිට මේ තේමාව සම්බන්ධයෙන් ලිවීමේ විශාල අස්වැසිල්ලක් තිබෙනවා කියා සිතමි. මෙම පොතේ විශාල අවධානයක් යොමු කරන්නේ මරණය සම්බන්ධයෙන් මාටින් හෛඩගර් ගේ සුප්‍රකට විශ්ලේෂණය සහ ඒ සම්බන්ධයෙන් පැමිණි පසුකාලීන අර්ථකථන – විශේෂයෙන් ඩෙරීඩා ගේ – පිළිබඳවයි. මා මේ කරුණ සටහන් කළේ මෙවැනි පොතක් පිළියෙළ වෙමින් තිබෙනා බව – පමණක් – කියන්නට නොවේ. ඒ වෙනුවට මට අවශ්‍ය වන්නේ අප සිටිනා අවස්ථාව පිළිබඳව අපට කිව හැකේ දේ පිළිබඳව මූලික ඉඟියක් ලබා දීමටයි.

මරණය සම්බන්ධයෙන් හෛඩගර් පෙන්වා දෙන ලස්සන අදහසක් වන්නේ ‘මා මරණයට බිය නැත’ කියා ප්‍රකාශ කිරීම අර්ථ විරහිත බවයි. එක අතකින් මරණයට අප බිය වනවාද නැතිද යන්න මගින් ඇති වන විශේෂ වෙනසක් නැත (මා හොල්මන් චිත්‍රපටි වලට බය වනවානම්, නිදර්ශනයක් ලෙස, එය නොබල සිටිය හැකිය; එහෙත් මරණයට බිය වනවා කියා මෙවැනි තෝරා ගැනීමක් ලැබෙන්නේ නැත). ඒ වෙනුවට එමගින් සිදු වන්නේ අප මරණය සම්බන්ධයෙන් සිතිය යුත්තේ කෙසේද කියා කල්පනා කිරීමේ වගකීමෙන් අපව නිදහස් කිරීමයි. අප මරණයට බිය නැති නිසා ඒ ගැන නොසිතා සිටිය හැකිය – මේ ප්‍රවේශයේ අවසාන ඉලක්කය වන්නේ මෙයයි. එම නිසා, හෛඩගර් යෝජනා කරන ලෙසට, මරණය සම්බන්ධයෙන් නොසිතා සිටීමට අපට සාමාන්‍යයෙන් ඇති පෙළඹවීමේ එක් මාදිලියක් ලෙස අප මෙය හඳුනා ගත යුතු බවයි. දාර්ශනික අර්ථයෙන්,එම නිසා, වඩා වැදගත් වන්නේ මරණයට බිය වීම / නොවීම නොව මරණය යනුවෙන් අදහස් කරන දේ සම්බන්ධයෙන් අපට කිව හැකි දේ සිතා බැලීමයි.

පොදුවේ ගත්විට මරණය මගින් අප ඉදිරියේ තබන්නේ සදාකාලික වූ ප්‍රශ්නයකි: මාගේ පැවැත්ම මෙතනින් රැඩිකල් ලෙස අවසාන වනු ඇතිද? ගැටලුව වන්නේ මෙයට නිශ්චිත පිළිතුරක් අප කිසිවෙක් ට නොමැති වීමයි. මේ විශ්වය මෙසේ තිබීමට හෝ මට මෙවැනි පැවැත්මක් උරුම වීමට හෝ අනිවාර්ය හේතුවක් නොමැති වනවා කියා අපට, අඩු වැඩි වශයෙන්, නිශ්චිතව පෙන්වා දිය හැකිය. එම නිසාම දෙවි කෙනෙක් – අවම වශයෙන් ලෝක පාලන, සර්ව බලධාරී, අපේ ජීවිත තීරණය කරන දෙවි කෙනෙක් – හෝ කර්මය වැනි අපගේ ක්‍රියාකාරකම් වලට අර්ථයක් ලබා දෙන වෙනත් අනිවාර්යතාවයන් නොමැති වේ කියා ද පෙන්වා දිය හැකිය. මේ නිසාම අපගේ ජීවිත වලට ගැඹුරු අර්ථයක් නොමැති වනවා කියා ද, අවම වශයෙන් අනිවාර්යතාවයක් නොමැති වනවා කියා ද නිගමනය කිරීමට අපට හැකිය. අප අර්ථ විරහිත ලෙස ඇති වී, අර්ථ විරහිත ලෙස නැති වී යා හැකිය. එසේනම් අප කළ යුත්තේ කුමක්ද?

සාමාන්‍යයෙන් මෙවැනි ප්‍රශ්න වලට අප පිළිතුරු දීමට උනන්දු නොවන්නේ මේවා මග හැර සිටීමට අපට පහසුවෙන් අවස්ථාව ලැබෙන නිසාය. මරණය සම්බන්ධයෙන් හෛඩගර් සිදු කරන තවත් නිරීක්ෂණයක් වන්නේ එයයි. මරණයේ එක් චරිත ස්වභාවයක් වන්නේ එය අපෙන් සැඟවී, වැසී තිබීමයි. මරණය අපට දෘශ්‍යමාන වන්නේ සෑම විටම සැඟවී ඇති, තිරය පසුපස යාන්තමින් දෘශ්‍යමාන වන ප්‍රපංචයක් ලෙසයි. එම නිසාම එය අපට ඉතා පහසුවෙන් මග හැරී යා හැකිය – සාමාන්‍ය තත්වයන් යටතේදී.

නමුත් අප දැන් ජීවත් වෙන මොහොතේ තිබෙනා එක විශේෂත්වයක් වන්නේ මෙලෙස මරණය වසා තිබෙනා තිරය හදිසියේ එයින් ඉවත් වී අපට අනපේක්ෂිත ලෙස අප ඉදිරියේ ප්‍රශ්නයක් බවට එය පත්වීමයි. නමුත්, සත්‍ය වශයෙන්ම, හෛඩගර් ගේ ප්‍රවාදය ගැඹුරින් සලකා බැලූ විට, අවසානයේ දී මෙහි ඇති අති විශේෂ වෙනසක් නොමැත. මරණයේ තවත් තීරණාත්මක ලක්ෂණයක් වන්නේ එය ඕනෑම මොහොතක අප කරා පැමිණිය හැකි වීම (කොවිඩ් 19 ඇතිව හෝ නැතිව හෝ) මෙයට හේතුවයි. එය සාමාන්‍යයෙන් තිරයකින් වැසී, ආවරණය වී ඇති නිසා මෙලෙස ඕනෑම මොහොතක අප කරා පැමිණිය හැකිය කියන සත්‍යය අපට මග හැර යා හැකිය. නමුත් අප දැන් මුහුණ දී ඇති අවිනිශ්චිතතාවය විසින් අනාගතත්වය පිළිබඳව සියලු සැලසුම් සහ බලාපොරොත්තු බිඳ දමමින් මරණය පමණක් අප ඉදිරියේ බැරෑරුම් අභියෝගයක් ලෙස තිබේ. එනිසා දැන් එය ඕනෑම මොහොතක පැමිණිය හැකිය කියන දෙය අපට පෙනෙන්නට තිබේ. මරණයේ සැඟවුණු ස්වභාවය වෙනස් වී තිබේ. එයට අමතරව මෙහි ඇති විශේෂ වෙනසක් නැත. මෙවන් තත්වයක් හමුවේ අපට කළ හැක්කේ කුමක්ද?

අවසානයේ ගත්විට, මේ සඳහා හෛඩගර් ලබා දෙන්නේ සරල විසඳුමකි. අප නියත ලෙස මරණය-වෙත-පැවැත්මක් වන්නේ නම් අප කළ යුත්තේ මෙය මග හැර යාම නොව මෙය බාර ගැනීමයි. එවිට අපට ඇති වන ප්‍රශ්නය වන්නේ මෙය අපේ පසු කර යා නොහැකි සිතිජය වන්නේනම් අප ඉන් මෙහා කළ යුතු දේ කුමක්ද කියා නිශ්චිතව තීරණය කර එය සිදු කිරීම පමණි. තරමක් මෝඩ, සාමාන්‍ය කතාවක් වුවත් මම මේ දිනවල ලියමින් සිටින පොත ගැන සටහනකින් මෙය ආරම්භ කළේ මෙයට නිදර්ශනයක් ලබා දීමටයි. මා උත්සාහ කරන්නේ මෙම පොත කෙසේ හෝ අවසන් කරන්නටයි. මට තේරෙන ආකාරයට, මෙය මට කළ හැකි විශාලතම දෙයයි – මා වෙනුවෙනුත්, මිනිස් වර්ගයා වෙනුවෙනුත් මට කළ හැකි දෙයක් තිබෙන්නේනම් ඒ මේ සිංහල පොත ලියා තැබීමයි. පසුගිය වසර 20 ක පමණ මා ඉගෙන ගත් සියල්ලේ සාරය තිබෙන්නේ මෙහිය. මට සිතෙනා ආකාරයට මෙය ‘මගේ ලෝකය’ පොත මගින් මෙරට සිංහල භාෂා දාර්ශනික කතිකාවට සිදු කළ බලපෑමට සහ අභියෝගයට තීරණාත්මක ලෙස පිළිතුරැ ලබා දෙනු ඇත (මේ බද්‍ර කල්පය තිබෙන තුරු ‘මගේ ලෝකය’ පොතට එහා දර්ශනයක් නිර්මාණය විය නොහැකිය කියා සිතනා අයට දැන් හා හා කියා සිනා සෙන රිඇක්ෂන් එකක් දැමිය හැකිය).

මට කියන්නට අවශ්‍ය වූයේ මෙවැනි අවිනිශ්චිත මොහොතක නිශ්චිත බවක් තබා ගැනීම සඳහා කුඩා අදහසකි. සැකයකින් තොරවම මට වඩා අපහසු අවස්ථාවන් වලට මුහුණ දෙන අය මෙහි සිටිනා බව මම දනිමි. මට දරුවන් නැත, මගේ දෙමව්පියන් මා මත යැපෙන්නේ නැත. එනිසා මට බොහෝ දේ අත්හැර දමා යාම එතරම් අපහසු නොවේ. එවැනි නිදසක් නැති අය මේ අභියෝගයට මුහුණ දෙන්නේ කෙසේද? මට තේරෙන ආකාරයට මෙහි විශාල තෝරා ගැනීම් ප්‍රමාණයක් නැත. එක්කෝ අප මෙය ප්‍රශ්නයක් නොවේ කියා මෙහි බැරෑරුම් කම ප්‍රතික්ෂේප කළ යුතුය. මෙය හෛඩගර් දක්ෂ ලෙස පෙන්වා දෙන මරණයෙන් පලා යාමේ සාමාන්‍ය ප්‍රවේශය සමග සම වෙයි. නමුත් එවිට සිදු වන්නේ බොහෝ තොරතුරු ප්‍රතික්ෂේප කරමින් සිටින්නටයි. අවසානයේදී මේ මගින් සිදු කරන්නේ තීරණයක් නොගෙන සිටීමයි. සාත්‍ර මෙය නම් කළේ ‘නරක විශ්වාසය’ (‘bad faith’) කියාය. අප සිටින්නේ තීරණය ගැනීම ප්‍රතික්ෂේප කරමිනි. අනෙක් පසින් තිබෙන්නේ තීරණය ගැනීමයි. මා කළ යුත්තේ කුමක්ද? මා ඕනෑම මොහොතක මිය යා හැකිනම් මා දැන් කළ යුතු, මට කළ හැකි, අන් සියල්ලට වඩා වැදගත් වැඩේ කුමක්ද? අප ඉතිරි වනවානම් ඒ ඉතිරියට මා එකතු කර යන්නේ කුමක්ද? මට සිතෙන්නේ මේ ඉදිරි සතිය මේ ප්‍රශ්නය බැරෑරුම් ලෙස ඇසීමට ඉතා සුදුසු දින කීපයක් බවයි. සමහරවිට, මෙයට වඩා විවෘත අනාගතයාකදී අපට මෙයට වඩා එකතු වී හොඳ වැඩ කිරීමට එය උපකාර වනු ඇත.

දර්ශනය බැරෑරුම් ලෙස මම බාර ගන්නෙමි. දර්ශනය බැරෑරුම් ලෙස බාර ගන්නවා යනුවෙන් අදහස් කරන්නේ එය ජීවිතයේ බැරෑරුම් ම අවස්ථාවන් වෙත යොදා ගැනීම හැර අන් කුමක්ද?

 

වංගීස සුමනසේකර 

 

 

***