Peries, Ivan, 1921-1988; Monk on the Seashore at Dehiwala

කැතරින් මැලැබූ ගේ අදහස් සම්බන්ධයෙන් අප ආරම්භ කළ සංවාදයට තාවකාලික විරාමයක් ගැනීමට නව වෛරසයක ප්ලාස්ටිකත්වය විසින් බල කර තිබේ. එම ලිපි මාලාව මගින් – උත්ප්‍රාසජනක ලෙස – ඉලක්ක කළේ අන්තර්ජාලයෙන්, ෆේස්බුක් එකෙන් එළියට පැමිණ අප හමු වන අවස්ථාවකදී ප්‍රයෝජනවත්, ඵලදායි, නිෂ්පාදනීය සංවාදයකට පසුබිම සකස් කිරීමයි. එම හමුවේ දී අප විසින් සිංහලට පරිවර්තනය කර තිබෙන මැලැබූ ගේ රචනයක් කියවීමට නියමිත වූ අතර ඒ සඳහා මැලැබූ ගේ දර්ශනය පිළිබඳව පූර්ව දැනුමක් අපේක්ෂා කළ නිසා අප ආරම්භ කළ ලිපි මාලාව මගින් එම අඩුව පිරවීමට උත්සාහ ගැනුනි.

දැන් තිබෙන්නේ මෙය සිදු කිරීම කළ නොහැකි තත්වයක් බව අපි දනිමු. නුදුරු අනාගතයේ දී අපගේ වගකීම වන්නේ එකිනෙකා හමුවීම නොව හැකිතාක් මෙවැනි හමුවීම් නොමැතිව හුදෙකලා වීමටයි. රාත්‍රියේ නිවසට ඇතුළු වන සොරෙකු සේ අනපේක්ෂිත ලෙස අපගේ ලෝකය වෙත ඇතුළු වීමට ‘වයිරසය’ සූදානමින් සිටියි. එය අපට මරණය ගෙන දෙනු ඇතිද? එය අප ආදරය කරන අනෙකන් මරණයට රැගෙන යනු ඇතිද? අප දැන් පසු කරමින් සිටින්නේ මෙවැනි ප්‍රශ්න වලට උරුම වන බිය සහ කාංසාව එක්ව තිබෙනා මොහොතකි. එනිසා මේ කාලය ‘බිය’ සහ ‘කාංසාව’ (‘anxiety’) සම්බන්ධයෙන් මාටින් හෛඩගර් ගේ සෞත්‍රික විශ්ලේෂණය පිළිබඳව සාකච්ඡාවක් සඳහා වඩාත් යෝග්‍ය වනවා කියා අපි සිතමු. තවත් දේ අතර මේ පිළිබඳව සටහන් මාලාවක් ද ඉදිරි දින කීපය තුළ ‘බව’ හී බලාපොරොත්තු වන්න.

එයට පළමුවෙන්, මේ තිබෙන්නේ පවත්නා අවස්ථාව සම්බන්ධයෙන් කැතරින් මැලැබූ විසින් ඊයේ දිනයේ පළ කරන ලද රචනයක සිංහල පරිවර්තනයයි (මුල් ඉංග්‍රීසි රචනය මෙතැනින්). මේ පිළිබඳවත් වැඩිදුර සාකච්ඡාවක් ඉදිරියේ දී සිදු කිරීමට අපි බලාපොරොත්තු වන්නෙමු. වර්තමාන අර්බුධය සම්බන්ධයෙන් ලොව ප්‍රකට චින්තකයන් ඉදිරිපත් කළ අදහස් අතරින් වඩාත් දාර්ශනික වන්නා වූ අදහස මෙය බවට සැකයක් නැත. එම නිසා මෙයට පෙර ඉදිරිපත් වූ වඩාත් දේශපාලනික, ආර්ථික විශ්ලේෂණාත්මක, සමාජ විද්‍යාත්මක, දෘෂ්ඨිවාදී විචාරයන් ට වඩා මෙය අනිවාර්යයෙන් හොඳ වනවා කියා මෙයින් අදහස් නොවේ. නමුත් අවම වශයෙන් මෙය අප විසින් යෝජනා කරන ප්‍රවේශය ඇසුරින් මේ ප්‍රශ්නය වෙත අවතීර්ණ වීමට වඩා සුදුසු වන බවනම් පැහැදිළි වේ. අනෙක් අතට, මැලැබූ මෙහි දී පැහැදිළි කරන ආකාරයට දාර්ශනික සිතීමකට ඉඩ ලබා දෙනවා යනු පුද්ගලවාදී වනවා යන්න නොව එහි පරිපූර්ණ ප්‍රතිපක්ෂය වෙයි – එමගින් අපව විවෘත කරන්නේ රැඩිකල් අනේකත්වය දෙසටයි. මැලැබූ යනු අපේ යුගයේ චින්තනයේ ස්පිරිතුව නියෝජනය කරන චින්තිකාවක් යන්න සම්බන්ධයෙන් නම් සැකයක් ඉතිරි වන්නේ නැත.

 

***

 

නිරෝධායනය වෙත, නිරෝධායනයේ සිට: රූසෝ, රොබින්සන් කෲසෝ සහ ‘මම’

 

1743 මැයි මාසයේ දී කෝෆු (Corfu) දූපතේ සිට පැමිණි නවුකාවක් ඉතාලියේ මෙසීනා වරායට සේන්දු විය. එම නෞකාවේ සේවය කළ මිනිසුන් කිසියම් අබිරහස් රෝගයකින් මිය ගොස් තිබුණි. නැව සහ එහි තිබූ බඩු සියල්ල ගිනි තැබූ මුත් අමුතු අලුත් රෝගයක් ගැන වාර්තා රෝහලෙන් මෙන්ම නගරයේ දුගීන් සිටි ප්‍රදේශයේ සිට අසන්නට ලැබුණි. ගිම්හානය වන විට බිහිසුණු වසංගතයක් හට ගත් අතර එයින් මිනිසුන් හතලිස්දහසක් සහ පනස්දහසක් අතර ගණනක් මරණයට පත්විය. නමුත් එය සිසිලියේ අනෙක් පැති වලට පැතිර යන්නට පෙර අවසන්ව ගියේය. රූසෝ සිටියේ පැරීසියේ සිට වෙනීසියට ගමන් කරමිනි. වසංගතය නිසා ඔහුට ජෙනෝවා (Genoa) නගරයේ නවාතැන් ගැනීමට සිදු විය. ඔහුගේ නිරෝධායනය ඔහු විසින් සිය ‘Confessions’ කෘතියේ දී වාර්තා කරන්නේ (1782) මෙසේ ය:

“එය මෙසීනා වල වසංගත සමය විය. එහි වරායේ නැම්ගුරම් ලා සිටි ඉංග්‍රීසි නාවුක සේනාංකයක් මා සිටි කුඩා රුවල් නැවට ගොඩ විය. මෙම තත්වය නිසා අප දිගු සහ අපහසු චාරිකාවකට පසුව ගමනාන්තයට පැමිණි විට දින විසි එකක් නිරෝධායනයට ලක් වීමට සිදු විය.

නැවේ සිටි අයට තෝරා ගැනීමක් තිබුණි. නිරෝධායනය නැවේ සිටම ගත කිරීමට හෝ තවමත් බඩු මූට්ටු හරියට නොමැති වසංගත රෝහලේ (Lazaretto) ගත කිරීමට හෝ තෝරා ගත හැකි විය. දරාගත නොහැකි උණුසුම, ඉඩකඩ අඩු වීම, එහි ඇතුලත ඇවිදින්නට නොහැකි වීම සහ එහි පිරී සිටි කෘමීන් සහ මීයන් නිසා වසංගත රෝහලේ නැවතීමේ අවධානම ගැනීමට මට  සිදු විය. ඒ අනුව මාව විශාල දෙමහල් ගොඩ නැගිල්ලකට රැගෙන යන ලදී. එය හිස් ගොඩ නැගිල්ලක් විය. එහි ජනේලයක්, ඇඳක්, මේසයක්, පුටුවක් හෝ අඩුම තරමින් කුඩා බංකුවක් හෝ පිදුරු මිටියක් හෝ තිබුනේ නැත. මගේ රාත්‍රී ඇඳුම් සහ ට්‍රන්ක පෙට්ටි දෙක ලැබුණු අතර ලොකු අගුල් සහිත විශාල දොරවල් දෙකකින් මා ඇතුලට දමා වසන ලදී. මට අවශ්‍ය ආකාරයට කැමති කාමරයකට සහ කැමති තට්ටුවකට ඇවිද යාමට නිදහස ලැබුණි. සෑම තැනකම හමුවූයේ එකම හුදෙකලා බව සහ නග්නබව පමණි.

නමුත් මේ නිසා නැවේ සිටින්නේ නැතිව වසංගත රෝහල තෝරා ගැනීම ගැන පසුතැවීමට මා යොමු කළේ නැත. තවත් රොබින්සන් කෲසෝ කෙනෙක් ලෙස, මගේ මුළු ජීවිත කාලයටම සූදානම් විය යුතු ආකාරයට මගේ දින විසි එකට මා සූදානම් විය. පළමුවෙන්, නෞකාවෙන් සිට මගේ බඩු අතරට රිංගා ගත් කෘමි සතුන් විනාශ කිරීමේ සතුට මට ලැබුණි. මගේ ඇඳුම් පැළඳුම් මාරු කරමින් මේවායින් ගැලවුණු පසුව මා පරිහරණයට තෝරා ගත් කාමරය එකලස් කිරීම ඇරඹුවේය. මගේ බැනියම් සහ කමිස වලින් හොඳ මෙට්ටයක් සාදා ගන්නා ලදී. මගේ ලේන්සු එකට මසා දමමින් පෙරවීමට රෙද්දක් නිර්මාණය කළේය. මගේ රාත්‍රී කබාය ඇඳ ඇතිරිල්ලක් ලෙසත් උඩින් දමන කබාය කොට්ටයක් ලෙසත් සකස් කළේය. මගේ එක ට්‍රන්ක පෙට්ටියක් බිම අතුරා එය ආසයනක් බවටත් අනෙක් ට්‍රන්ක පෙට්ටියේ කෙලින් සිටුවා මේසයක් බවටත් හරවා ගන්නා ලදී. ලිවීම සඳහා කඩදාසී කීපයක් සහ තීන්ත පෑන සහ තීන්ද බඳුන එළියට ගෙන මා සතුව තිබූ දුසිමක් පමණ වූ පොත් ටික පුස්තකාලයක් සේ අසුරා ගත්තෙමි. කෙටියෙන් කියන්නේනම් ජනෙල් තිර සහ ජනේල හැරුණු විට අන් සියල්ල මා කොතරම් හොඳින් සකස් කළේ ද යත් මා පැරිසීයේ සුවපහසු නවාතැනක සිටිනවා සේ එහි සිටින්නට හැකි විය. මගේ රාත්‍රී ආහාර ලැබුනේ අනවශ්‍ය තරම් සෝභන වැඩත් සමගිනි. ඒවා ගෙන එන විට තුවක්කු අතින් ගත් සන්නද්ධ භටයන් දෙදෙනෙක් ද පැමිණියෝය. මගේ ආහාර ගන්නා කාමරය වූයේ පඩි පෙළයි. පඩි පෙළ ඉහළින් අවසන් වන තැන මගේ මේසය ලෙස ගෙන පඩි මගේ ආසන ලෙස වාඩි වීමට යොදා ගැනුනි. මගේ රාත්‍රී ආහාර ගෙන ආ සැනින් සීනුවක් නාද වූයේ මට ආහාර ගැනීමට හැකි බව දැනුම් දීමටයි.

ආහාර වේල් අතරතුර, කියවීමට, ලිවීමට හෝ මගේ නවාතැන පිළිසකර කිරීමට උත්සාහ නොකරන විට මා රෙපරමාදු කිතුනුවන් භූමදානය කරන තැන ඇවිදින්නට ගියේ එය මගේ ගෙවත්ත ලෙස ගෙනයි. මෙතන ඉහලින් එල්ලා ඇති ලන්තෑරුමක් වෙත නැගී වරාය දෙස බලන්නට හැකි විය. නැව් එන සැටි සහ යන සැටි මට දැක ගත හැකි විය. මේ ආකාරයට දින දාහතරක් ගත විය.”[i]

වසංගතය නිසා ඉතිරි මිනිස් වර්ගයාට මෙන් “ගෙදර ඉන්න” කියා අණ කර ඇති විට මට පළමුවෙන්ම සිහිපත් වූයේ ‘Confessions’ කෘතියේ ඉහත කොටසයි. රූසෝ සමග එම අවාසනාවන්ත ඉරණමට ලක් වූ අනෙක් සියලු දෙනා එකට නැවේ සිටින්නට තෝරා ගත් විට රූසෝ තීරණය කළේ ලසරේටෝව සිරගත වීමටයි. ලසරේටෝව යනුවෙන් හඳුන්වන්නේ බෝවෙන රෝගයක් වැළඳී ඇති අයට ඇති රෝහලකි. නිරෝධායන ක්‍රියාවලියක් සඳහා මධ්‍යධරණීය රුවල් නෞකාවක් ද යොදා ගත හැකිය. ජෙනෝවා වෙත යාත්‍රා කරමින් සිටි මගීන් ට මේ තෝරා ගැනීම් දෙක ලබා දී ඇති බව පැහැදිළි වේ. රූසෝ තීරණය කර තිබෙන්නේ රුවල් නැව අත්හැර ගොඩනැගිල්ලේ තනිවම සිටීම වඩා යහපත් වන බවයි.

කෙනෙක් ට මේ සිදුවීම තෝරා ගැනීම පිළිබඳව අදහස වෙත අවධානය දෙමින් පමණක් කියවිය හැකිය: සීමා වී සිටින (confinement) කාලයකට වඩාත් ගැලපෙන්නේ කුමක්ද? අනෙක් අය සමග එකට නිරෝධායනය වීමද? මෙවැනි තෝරා ගැනීමක් ගැන සිතමින් මමත් කල් ගත කළ බව කිව යුතුයි. මේ තෝරා ගැනීම් දෙක අතරින් එකක් මට තිබුනේ නම් මා කුමක් කරනු ඇති ද? (ඒ එක්කම මේකත් කියන්නම් – මම ඉන්නේ තනියම, කැලිෆෝනියාවේ අර්වීන් හි, මුළුමනින් ම වාගේ හුදෙකලාවේ).

නමුත් සමහරවිට මේ උපුටනයේ වඩාත් ගැඹුරු තවත් දෙයක් තිබේ. ඒ තමයි නිරෝධායනය දරා ගත හැකි වන්නේ ඔබ එමගින් ඔබව නිරෝධායනය කර ගන්නේනම් පමණි යන්න. එක්තරා ආකාරයකට කියන්නේනම් ඔබ නිරෝධායනය වන අතරම නිරෝධායනයෙන් ද නිරෝධායනය කරගත යුතු වේ. ලසරේටෝව මගින් නියෝජනය කරන්නේ මෙම සාමූහික හුදෙකලා වීමෙන් හුදෙකලා වීමට රූසෝ හට ඇති ආශාවයි. හුදෙකලාව අභ්‍යන්තරයේ සිට දූපතක් නිර්මාණය කර ගැනීමයි. මෙලෙස සිර වී සිටින අවස්ථාවක තිබෙනා වඩාත් අභියෝගාත්මක කරුණ විය හැක්කේ මෙයයි: ප්‍රජාවෙන් ඒ වනවිටත් වෙන් වී සිටින අවස්ථාවකදී ම තමන්ට පමණක් සිටිය හැකි අවකාශයක් සකස් කර ගැනීම. තව කීප දෙනෙක් සමග බෝට්ටුවක ගොඩ ගසා තිබීමෙන් පරාරෝපණයක් ඇති වීම අනිවාර්ය වුනත් පරාරෝපණය කියන්නේ හුදෙකලාව නෙමෙයි. නමුත් සීමාවීම අපට සැබැවින්ම දරා ගැනීමට ඉඩ දෙන්නේ හුදෙකලාව පමණයි. කෙනෙක් ඒ වනවිටත් තනිවම සිටියත් මේ කරුණ මෙලෙසම වලංගු වේ. මගේ හුදෙකලාවීම දරා ගැනීමට ඉතාම අපහසු දෙයක් බවට පත් වූයේ මා වෙතට පලා යාමට මට නොහැකි වූ නිසා බව මට පැහැදිළි විය. මෙම හුදෙකලා ලක්ෂ්‍යය සොයා ගන්න – මගේ ස්වකීයත්වය බවට (my self – in two words) බවට පත් වන්න. මා මෙහිදී කතා කරන්නේ අව්‍යාජබව සම්බන්ධයෙන් නොවේ. ඒ වෙනුවට මා කතා කරන්නේ තමන්ගේ ගෙදර වාසාස්ථානයක් ගොඩ නැගීමට ඉඩ දෙන, යම් ක්‍රියාකාරකමක් කිරීමට – මගේ පැත්තෙන් නම් ලිවීම – හැකි මානසික අවකාශය ලකුණු කිරීමෙන් මේ නිවස ජීවත් වීමට සුදුසු තැනක් බවට පත් කිරීම සඳහා ඉඩ දෙන ආත්මයේ රැඩිකල් නග්නබව සම්බන්ධයෙනි. මා නිරීක්ෂණය කළ දෙයක් වූයේ ලිවීම වියහැකි වන්නේ මේ සීමා වීම තුළ සීමා වන ලක්ෂ්‍යය සොයා ගන්නා විට බවයි. එය වෙන කිසිවෙක්ට ඇතුළු විය නොහැකි තැන තිබෙනා තැනකි. නමුත්, ඒ සමගම අනෙකන් සමග මගේ ගණුදෙනු වල කොන්දේසිය වූයේ ද මෙයයි. මට ලිවීම තුළ මුළුමනින් නිමග්න වීමට හැකි වූ විට, නිදර්ශනයක් ලෙස, ස්කයිප් මගින් සිදු කළ සංවාද වෙනත් දෙයක් බවට පත්විය. ඒවා සැඟවුණු ස්වයංකථන නොව සැබෑ සංවාද විය. ලිවීම වියහැකි වූයේ හුදෙකලාව විසින් මාව වෙන්වීමෙන් ආරක්ෂා කළ විටයි. අප අනෙකාගෙන් වෙන් වූ පසුවත් අපගේ පැවැත්මට ඇලී තිබෙන අර්ථවිරහිත කතා බස්, ආවරණ, ඇඳුම්, තිර රෙදි සහ වෙස් මුහුණු අප ගලවා ඉවත් කළ යුතුය. දුරක සිටින විට සමාජීය දෙයින් ඉතිරි වන දෙය ගලවා ඉවත් කිරීමට සමාජ දුරස්ථ කිරීම කිසිදා සමත් වන්නේ නැත. තැනක නිවාස අඩස්සියේ සිටීම අනිවාර්යයෙන් රැඩිකල් රොබින්සන් කෲසෝ අත්දැකීමක් විය යුතුය. කිසිවක් නොමැති තැනක තමන්ගේම නිවසක් තනන්නට එම අත්දැකීම ඉඩ දිය යුතුය. අලුතෙන් පටන් ගන්න. එහෙමත් නැතිනම්, යළි මතකයට නගා ගන්න.

මා කල්පනා කරන්නේ ෆූකෝ සිය ජීවිතයේ අවසන් කාලයේ ස්වකීයත්වයේ ආචාර්ය ධර්ම (ethics of the self) වෙත – ස්වාකීයත්වය රැක බලා ගැනීම (care of the self), ස්වකීයත්වයේ තාක්ෂණවේදයන් (technologies of the self), ස්වකීයත්වය ආණ්ඩුකරණය කිරීම (government of the self) – අවධානය යොමු කළේ මෙම අවශ්‍යතාවය නිසාම ද යන්නයි. ඒඩ්ස් රෝගය විසින් ඔහුට තියුණු ලෙස තර්ජනය කරමින් සිටි සමාජ හුදෙකලාව අභ්‍යන්තරයෙන් ඔහුටම වෙන් වූ අවකාශයක් ගොඩ නගා ගැනීමට අවශ්‍ය වූවාද යන්නයි. සමහරවිට ෆූකෝ සොයමින් සිටියේ ඔහුගේ දූපත, ඔහු මිය යන්නට පෙර කතා කිරීමට සහ ලිවීමට ධෛර්යය දෙන පරම (ab-solutus) දේශය විය හැකිය. ඔහුගේ අවසන් සම්මන්ත්‍රණ වල දේශපාලනයෙන් ශුන්‍යතාවාදී පුද්ගලවාදී පලා යාමක් දකිනා අයට මුළුමනින්ම වැරදී තිබේ.

දහඅටවන සියවසේ රූසෝ වැනි රොබින්සන් කෲසෝවාදීන් ව කාල් මාක්ස් අතින් සරදමට ලක් වූ බව අපි දනිමු. මාක්ස් කියා සිටියේ සමාජීයත්වයේ ප්‍රභවය කිසි සේත්ම හුදෙකලාවේ සිටි මිනිසුන් එකට එක්ව ප්‍රජාවක් නිර්මාණය කරනා ස්වභාවික තත්වයක් (state of nature) ලෙස හඳුනාගත නොහැකි බවයි. සමාජයේ ප්‍රභවය හුදෙකලාව ලෙස ගත නොහැකිය.

මෙය සත්‍යය විය හැකිය. නමුත් මේ සමගම දේශපාලනයේ අර්ථය තේරුම් ගැනීම සඳහා තමන්ගේම අභ්‍යන්තරයේ තිබෙනා සමාජය කුමක්ද කියා දැන ගත යුතු බව මම සිතමි. කොවිඩ්-19 වසංගතය නිසා ඇති වූ වත්මන් අර්බුධය ගෝලීය දේශපාලනයෙන්, ධනවාදයෙන්, ව්‍යාතිරේඛයේ රාජ්‍යයෙන් (state of exception), පරිසර අර්බුධයෙන්, චීන-ඇමරිකානු-රුසියානු උපායමාර්ගික සම්බන්ධතා වලින් ආදී ලෙස විශ්ලේෂණය කිරීමට හැකි අයට මම ගෞරව කරමි. පුද්ගලිකව ගත්තොත්, මේ මොහොතේදී, ඉහත ප්‍රවණතා වලට වෙනස් ව, මා උත්සාහ කරන්නේ ‘පුද්ගලයෙක්’ (‘individual’) වීමටයි. නැවතත්, මෙසේ කරන්නේ පුද්ගලවාදයක් නිසා නොව සමාජීයබව අත් හිටුවීම, වරහන් ඇතුලට දැමීම, පැත්තකට කර තිබීම, සමහ අවස්ථාවන් වලදී අනේකත්වයක් වෙත ළඟා වීමට, මිහිමත් හුදෙකලා වී සිටිනා ජනයාට සමීප වීමට ඇති එකම මාවත කියා මා සිතනා නිසාය. එම නිසා තමයි මම මගේ තනිකම තුළ හැකිතරම් හුදෙකලා වීමට උත්සාහ කරන්නේ. එම නිසා තමයි මමත් ලසරේටෝව තෝරා ගනු ඇත්තේ.

කැතරින් මැලැබූ

23 March, 2020

සිංහල පරිවර්තනය – වංගීස සුමනසේකර

 

[i] Jean Jacques Rousseau, The Confessions, trans. pub., 2 vols. (London, 1903), 1:273-74. (සිංහල පරිවර්තනය සමස්ත රචනයේ පරිවර්තක ගේය)

 

 

 

 

***