98201030_243639243587564_840791937555365888_n

ජාතිකවාදියා ගේ මූලික යෝජනාව මෙයයි: ලෝකයේ සෑම රටක්ම සිය ජාතිකත්වයේ මූලයන් වෙත යා යුතුය. මෙතනදී එසේ ජාතිකත්වය මූලයන් වෙත යාමට අයිතිය තිබෙන්නේ කාටද යන්න සංකීර්ණ ප්‍රශ්නයකි. පැහැදිළි එකම කරුණ වන්නේ එය ජාතිකවාදියා පමණක් දන්නා බවයි. එම නිසාම එයට කිසිදා ‘විශ්වීය එකඟතාවයක්’ ඇති විය නොහැකිය. ‘විශ්වීය එකඟතා’ පිළිබඳව ජාතිකවාදියා විශ්වාස කරන්නේ නැත. මෙලෙස, නිදර්ශනයක් ලෙස, සිංහලයන් ට අනුව ලොව පැරණිම ජාතිය වන්නේ සිංහලයන් සහ චීන ජාතිකයන් ය. නමුත් මෙය පදනම් වන්නේ ජාතිය සම්බන්ධයෙන් ඔවුන්ම ලබා දෙන නිර්වචන, ඉතිහාසය අර්ථකථනය කරන ආකාරය ආදිය මත වන හෙයින්, අවසානයේ දී මේවා එතරම් තීරණාත්මක වන්නේ නැත. තීරණාත්මක වන්නේ ජාතිකවාදියා විසින් එය එසේ වන බව තීරණය කිරීමයි (“ඒවං මේ සුතං”). ඒ අනුව සෑම ජාතියක්ම සිය වාර්ගික උත්තරීතරත්වය මෙන්ම එහි ඉතිහාසයේ විශාලත්වය ගැන තමන්ගේ ආඛ්‍යානයක් ගොඩ නගා ගෙන තිබේ.

මෙලෙස අනෙක් ජාතීන් සිය ස්ව-අනන්‍යතාවය සම්බන්ධයෙන් ගොඩ නගා ඇති ආඛ්‍යාන ජාතිකවාදියා ට සාමාන්‍යයෙන් ප්‍රශ්නයක් වන්නේ නැත. එය ප්‍රශ්නයක් වන්නේ ජාතිකවාදියා ගේ ස්ව-අනන්‍යතාවය පිළිබඳව ආඛ්‍යානයට ඍජුව අභියෝගයක් වන වෙනත් ජාතික ආඛ්‍යානයක් තිබෙන්නේනම් පමණි. බොහෝ විට මෙය සිදු වන්නේ භෞමිකව ආසන්නව සිටිනා වාර්ගික කණ්ඩායම් අතරයි. එවැනි අවස්ථාවකදී, නැවතත්, අනෙක් වාර්ගික කණ්ඩායමට සිය ජාතික මූලයන් වෙත යාමට ඇති අයිතිය තීරණය කරන්නේ ජාතිකවාදියා ය. මෙතැනදී අතරමැදි විසඳුම් නොමැති වන නිසා ජාතිකවාදියා එවැනි අවස්ථාවකදී තෝරා ගන්නේ යුද්ධයයි. එම නිසාම ජාතිකවාදයේ අත්‍යන්ත රණකාමී මානයක් තිබේ.

ජාතිකවාදියා අවසානයේ සිහින දකින්නේ ලෝකය මේ ආකාරයට අව්‍යාජ භූමි පුත්‍ර ජාතීන් විසින් පාලනය කරන ක්‍රමයකි. ‘ව්‍යාජ ජාතික අභිලාශ’ පරාජය කර, ඉතිහාසය පිළිබඳව ජාතිකවාදියා ගේ කියවීමට අනුව, භූමිය සඳහා දීර්ඝම ඓතිහාසික උරුමය හිමි වන ජාතීන් වෙත මෙලෙස පාලනය යා යුතුය. එවිට ඒ ඒ ජාතියේ දාර්ශනික/ආගමික විශ්වාසයන්ට ගැලපෙන ලෙස දේශපාලන ක්‍රමය, නීතිය, අධ්‍යාපනය, ජන මාධ්‍ය භාවිතය ආදිය සකස් විය යුතුය.

‘බාහිරින්’ එන දේට ජාතිකවාදියා මූලධාර්මිකව විරුද්ධ වන්නේ නැත. නමුත් එය සිදු විය යුත්තේ ජාතික සංස්කෘතියට ගැලපෙන ආකාරයට පමණි. එමගින් එම සංස්කෘතියේ මූලධාර්මික දාර්ශනික ස්ථාවරයන් අභියෝගයට ලක් නොවිය යුතුය. මේ අනුව වෙළඳාම සඳහා ද ජාතිකවාදියා විරුද්ධ වන්නේ නැත. නමුත් එය කිසි සේත්ම ධනේශ්වර තර්කණය මත සිදු විය යුතු වෙළඳාමක් නොවේ. මෙයට සරල හේතුව වන්නේ ජාතිකවාදය පදනම් වන දාර්ශනික මූලය ආගමික සත්‍යයක් මත පදනම් වීමයි. නමුත් ධනවාදය මෙවැනි ආගමික සත්‍යයක් සමග කිසිදා සමපාත විය නොහැක්කේ එමගින් ද ජීවිතය සම්බන්ධයෙන් විකල්ප ආචාර ධර්මයක් යෝජනා කරනා නිසාය. එම විකල්ප ආචාර ධර්මයට අනුව ජීවිතයේ අර්ථය වන්නේ හැකිතාක් මුදල් රැස් කිරීම සහ අධික පරිභෝජනයයි.

ජාතිකවාදයට ධනවාදය සමග ඉතා සංකීර්ණ සම්බන්ධයක් තිබෙන්නේ මෙම නිසාය. එක අතකින් එය ධනවාදය සමග හොඳින් අතිනත ගෙන තිබේ. ජාතිකවාදය වෙනුවෙන් එක්තරා දුරකට පෙනී සිටීමට ධනවාදයද කැමති වන්නේ එමගින් එයට නව වෙළඳපොළක් විවෘත වන නිසාය (‘අපේකම’ අගයන වෙළඳපොළ). එම නිසාම ජාතිකවාදය සහ ධනවාදය අතර මෙම සම්බන්ධය සිදු කිරීමට සමත් නව පාලන ප්‍රජාවක් වේගයෙන් ඇති වෙමින් යයි. ට්‍රම්ප්, බොරිස් ජොන්සන්, බොල්සොනාරෝ, පුටින්, සෞදි රජ පවුල, මෝදී, රාජපක්ෂ පවුල ආදිය ‘කිසියම් ජාතිකත්වයක් ඇති’ පිරිස් ලෙස ජාතිකවාදියා හඳුනා ගනියි. නමුත් මේ කිසිවෙක් ජාතිකවාදියා ගේ දාර්ශනික අභිලාශ විසින් නියෝජනය කරන ආචාර ධාර්මික ජීවිත වෙනුවෙන් පෙනී සිටින අය නොවන බවත් ජාතිකවාදියා දනියි. එම නිසා අවසානයේ දී ජාතිකවාදියා සිහින දකින්නේ කවදා හෝ, මතුයම් දවසක දී, ධනවාදයේ ග්‍රහණයෙන් මිදුණු ජාතිකවාදයේ දාර්ශනික-ආචාර්ය ධාර්මික පාලනයට යටත් වූ, සමාජ ක්‍රමයකි.

මෙහි ගැටලුව වන්නේ ධනවාදය සමග සම්මුතියකින් එන ‘අතරමැදි ජාතිකවාදය’ බහුතරයක් සාමාන්‍ය ජනයාට බෙහෙවින් ආකාර්ෂණීය තෝරා ගැනීමක් වීමයි. එක අතකින් එමගින් අධික ලෙස සැප සම්පත් සොයා යාමට ඉඩ දෙන අතරේම මරණින් මතු ආගමික විමුක්තිය පිළිබඳව බලාපොරොත්තුව ශක්තිමත් ලෙස ඉතිරි කරයි. මෙවැනි ජීවිතයක් ප්‍රතික්ෂේප කර ජාතිකවාදියා සිහින දකින ජාතික සංස්කෘතික ජීවිතය වෙනුවෙන් ජනයා සංවිධානය කිරීම එතරම් පහසු නොවේ. මෙයට ප්‍රධාන බාධාවක් වන්නේ ජාතිකවාදය ද අත්‍යන්තයෙන් සංරක්ෂණවාදී (conservative) වීමයි. එය පෙනී සිටින්නේ දෙන ලද ලෝකය ආරක්ෂා කිරීම වෙනුවෙන් මිස රැඩිකල් සමාජ පරිවර්තන වෙනුවෙන් නොවේ. එම නිසා මේ තිබෙන ‘ධනේශ්වර අපේකම’ ආරක්ෂා කර ගැනීම හැර විකල්පයක් ජාතිකවාදියාට නැත.

මෙයට ප්‍රධාන හේතුව වන්නේ ජාතිකවාදයේ ප්‍රධාන සතුරා ලෙස විශ්වීයත්වයේ දේශපාලනය එමගින් හඳුනා ගැනීමයි (ලිබරල්වාදය මෙන්ම මාක්ස්වාදය). එවැනි දේශපාලනයක් මගින් අවසානයේ පෙනී සිටින්නේ ජාතිකවාදයේ දාර්ශනික/ආගමික මූලයන්ට එරෙහිව බව එය දනියි. ජාතිකවාදියා ට කිසිදා ඇදහිය නොහැකි කරුණ වන්නේ සිය මූලධාර්මික දාර්ශනික/ආගමික ස්ථාවරය වැරදි විය හැකිය යන්නයි. එය ප්‍රශ්න කිරීමකින් තොරව විශ්වාස කිරීම සියලු ජාතිකවාදී දේශපාලනයන් යටින් දිව යන්නේ මෙම නිසාය. විශ්වීයත්වයේ දේශපාලනය විසින් නිශ්චිත වශයෙන්ම යෝජනා කරන්නේ මෙලෙස කිසිදා සිදු විය නොහැකිය කියා ජාතිකවාදියා යෝජනා කරනා දාර්ශනික විකල්පයම වේ. ලිබරල්වාදයට වඩා මෙහිදී මාක්ස්වාදය සහ එහි සමකාලීන ස්වරූපයන් වලට ජාතිකවාදියා එරෙහි වන්නේ ද මෙම නිසාය. ආගමික සත්‍යයන් ඉදිරියේ ලිබරල්වාදය උභයාර්ථවේදී වුවත් මාක්ස්වාදය (එහි සමකාලීන විකාශනයන්) නිශ්චිතවම එයට එරෙහි වෙයි. ලිබරල්වාදයට වඩා මාක්ස්වාදය සඳහා මූලධාර්මික සද්භාවවේදී දාර්ශනික ස්ථාවර තිබීම අත්‍යවශ්‍ය වන්නේ ද මෙම නිසාය (ලෙනින් කියූ ලෙස ඉංග්‍රීසි දේශපාලන-ආර්ථිකය, ප්‍රංශ කම්කරු ව්‍යාපාරය හා සම ලෙස, මාක්ස්වාදයේ තුන්වැනි ප්‍රධාන මූලාශ්‍රය වූයේ ජර්මන් විඥානවාදයයි).

මෙයට එරෙහිව ජාතිකවාදියා ‘ධනේශ්වර අපේකම’ සමග සම්මුතියක් ඇති කර ගනියි. නමුත් එතනින් එහා තවත් පියවරක් තැබීම අපට පෙනෙන අතීතයේ සිදු වීමට අවශ්‍ය කොන්දේසි කිසිවක්ම නොමැති වෙයි. නමුත් එය ගැටලුවක් නොවන්නේ ජාතිකවාදයේ කේන්ද්‍රීය සාධකයක් ලෙස අන්ධ විශ්වාසය / භක්තිය ක්‍රියාත්මක වීමයි. එම නිසාම දෙන ලද තත්වයේ ඇති සීමාවන්ට වියහැකිභාවය යටත් විය යුතුය කියා ජාතිකවාදියා විශ්වාස කරන්නේ නැත. එම භක්තියේ පරිවර්තනය එන තුරු තමන්ට හිමි කුඩා දේ ආරක්ෂා කර ගැනීමට ජාතිකවාදියා අනාගතය දෙස බලාගෙන සිටියි.

වංගීස සුමනසේකර