හෛඩගර් මනෝභාවය (State-of-mind) ලෙස නම් කරන්නේ අපට අප ජීවත් වන ලෝකය නිරාවරණය වීමයි. තවත් ආකාරයකට කියන්නේ නම් අප ජීවත් වන ලෝකය යථාර්ථයක් ලෙස අපට අභිමුඛ වීම සහ ලෝකය-තුළ-පැවැත්ම (Being-in-the-world) හෙළිදරව් වීමයි. මේවා තාක්ෂණික වචන ලෙස තේරුම් ගැනීම සේම දෛනික ජීවිතයේ අප භාවිත කරන වචන ලෙස තේරුම් ගැනීම බොහෝ දුරට මෙම ලිපිය සඳහා ප්‍රමාණවත් වේ.

තවදුරටත් මනෝභාවය යන්න පැහැදිලි කරන්නේ නම් එමගින් කියා සිටින්නේ අප මේ මොහොතේ සිටිනා තැන පිළිබඳ – බොහෝ දුරට – නිශ්චිත අදහසකි. හෛඩගර්ට අනුව අප මෙලොවට පැමිණි ආකාරය හෝ අපගේ පැවැත්ම අවසන් වන ආකාරය පිළිබඳ කිසිදු දැනුමකින් තොරව සිටියද අප මේ මොහොතේ කිසියම් ලෝකයක් තුළ අනෙකුන් සහ විවිධ උපකරණ (මේවා ස්භාවියක දේවල්ද විය හැකිය) සමග ගනුදෙනු කරමින් සිටිනවා යන්න අපට නිරාවරණය කරන්නේ මනෝභාවය මගිනි. තවත් ආකාරයකට කියන්නේ නම් ඔබ මේ මොහොතේ මේ ලිපිය කියවිමින් සිටින විට ඔබ වෙනත් දෙයක් පිළිබඳ සිතීම පටන් ගන්නේ නම් – ඔබ ඔබගේ කාර්යාලය ගැන හෝ නිවස පිළිබඳ සිතන්නේ නම් – ඒ මොහොතේ ඔබගේ පැවැත්ම පවතින තැන (ඔතැන) අපට නිරාවරණය කරන්නේ මනෝභාවයයි. මෙය අපගේ පැවැත්මේ මූලධාර්මික චරිත ලක්ෂණයකි. තේරුම් ගැනීමේ පහසුව සඳහා පමණක් කියන්නේ නම් ඔබ මේ මොහොතේ සිතමින් සිටිනා පසුබිම – එම තැන – මනෝභාවය ලෙස ඉතාම සරල අර්ථයෙන් හැඳින්විය හැකිය.

මෙම මනෝභාවයන් අතර අතිශය වැඩි තීව්‍රතාවයකින් ක්‍රියාත්මක වන මනෝභාවය වන්නේ බිය (බිය වී සිටීම) නම් මනෝභාවය යි. අපගේ පැවැත්ම හානිකර දෙයක් වෙත අප අභිමුඛ වන විට අප සිටින්නේ බියෙනි. මන්ද අපගේ ජීවිත තුළ අපගේ සමස්ත ක්‍රියාවලියේ තාර්කික අවසානය වන්නේ අපව රැකබලාගැනීමයි (Care). එලෙස අපව රැකබලාගැනීමේදී අප වඩා සංවේදී වන්නේ අපගේ පැවැත්මට විය හැකි අනතුරක් සම්බන්ධයෙන් ඇති වන බිය වෙතයි. එසේ නම් මේ බිය හටගන්නේ සාත්‍රගේ වචනයෙන් කියන්නේ නම්: ලෝකය නිශ්චිතව, පැහැදිලිව, නොවෙනස්ව පවතින්නේ නම් අප බිය විය යුතු නැත. නමුත් අප ජීවත් වන ලෝකය යනු අනිවාර්ය ලෙස නො වෙනස්වන ලෝකයක් නොවේ.  

මෙහිදී මනෝභාවය ලෙස හෛඩගර් නම් කරනා දෙය දරා සිටින්නේ විශාල නොදැනුමක් සහිත පසුබිමක් විසින්ය. තවත් ආකාරයකට කියන්නේ නම් අප ජීවත්වන ලෝකය පිළිබඳ අදහස මනෝභාවය තුළින් නිරාවරණය කළද එහි ආරම්භය හෝ අවසානය සමස්තයක් ලෙස අපට ඇත්තේ අප අසරණය කරන සුලු නොදැනුමක් තුළය. එම නිසාම අප මුහුණ දෙන සෑම ගැටලුවකම (විශේෂයෙන් යුක්තිය හෝ විමුක්තිය පිළිබඳ සංකථන තුළ පවා) තාර්කික අවසානය ලෙස ඉතිරි වන්නේ විශාල නොදන්නා කමකි. අප නිරුත්තර වීමකි. තවත් ආකාරයකට කියන්නේ නම් අප යම් දෙයක් කිරීමේ අර්ථය කුමක්ද? එහි තාර්කික අවසානය ලෙසද ඉතිරි වන්නේ අර්ථ විරහිත භාවයයි. මේ නිසා ම අපගේ පැවැත්ම විශාල වරදකාරීත්වයක් දරාගෙන සිටියි. ටෝල්ස්ටෝයිගේ යුද්ධය සහ සාමය කෘතියේ වෙළුම් 10 ම කියැවීමට නොහැකි වීම විශාල වරදක් ලෙස පෙනීමට සහ එසේ කියවීමේ අර්ථය හෝ අනෙක් කාර්යයන් අතපසු කරමින් එය කියවීමේ අර්ථය අප නිශ්චිත ලෙස තහවුරු කරන්නේ කෙසේද? කොයි අත බැලුවද තිබෙන්නේ වරදකාරීබවකි (Guilt). මන්ද ඒ අප මෙහි පැමිණි ආකාරයක හා නික්ම යන ආකාරය පිළිබඳ ඇති අනවබෝධය යි. මේ සඳහා ආගමික අර්ථයෙන් පුරා කතා මෙන්ම විවිධ භක්තිමය ඉගැන්වීම් ඇත. නමුත් තාර්කික ලෝකයක් තුළ අපට මුණ ගැසෙන්නේ අර්ථ විරහිතභාවය තුළ පවතින වරදකාරී හැඟීමකි. මේ සඳහා ඇත්තේ එක් පියවරකි. එනම් අපගේ පැවැත්ම පිළිබඳ වඩා තාර්කික ගැඹුරු දාර්ශනික සිතීමක් වෙත යාමයි. එමඟින් ලැබෙන පිළිතුර තාර්කික අවාසනයේදී යළිත් ප්‍රශ්න කළ නොහැකි (ද්විගුණ කළ නොහැකි) ආකාරයේ පිළිතුරක් විය යුතුය.

එහෙත් ලෝකය යනු එවැනි ස්ථිතික අනිවාර්ය ලෙස එකම දෙය සිදුවන යථාර්ථයක් නොවේ. එය අපට සිතා ගත නොහැකි ලෙස වෙනස් වෙයි. අපගේ ලෝකය තුළ සියල්ල නොමැති වීම වෙනුවට කිසිවක් පැවතීම නම්  විශ්මය සිතන විට ලෝකය ඕනෑම ආකාරයකට වෙනස් වීමේ විභවයක් පවතියි. නමුත් අනිවාර්ය වන එක් දෙයක් පවතියි. කොන්ටේන් මෙයසු නම් සමකාලීන ප්‍රංශ දාර්ශනිකයා විස්මිත ලෙස සූත්‍ර ගත කර පෙන්වන ලෙස එය අහඹුබවයි. කිසිවක් අනිවාර්ය නොවන යථාර්ථයක අනිවාර්ය වන්නේ අහඹුබව පමණයි. මෙම සූත්‍රගත කිරීම සඳහා මෙයසුගේ පරිමිතත්වයෙන් පසු කෘතිය – සිංහලයටද පරිවර්තනය වී ඇත – කියවිය හැකිය. නැතිනම් බව හි පළ වූ සහ බටහිර ඉවුරේ දර්ශනය නම් යූ ටියුබ් නාලිකාවෙන්ද ඒ පිළිබඳ විධිමත් පැහැදිලි කිරීමක් ලබාගත හැකිය. ඉහත අපගේ සුවිසල් නොදැනුම වෙත අහඹුභාවය යන්න යොදන්නේ නම් එම සුවිසල් නොදැනුම සඳහා අපට තාර්කික අනිවාර්යතාවක් සහිත පිළිතුරක් ඉතිරිවේ. එය පැවැත්ම ලෙස නම් කළ හැකිය. තවත් ආකාරයකට කියන්නේ නම් අප බිය වන්නේ අපගේ පැවැත්ම ඕනෑම මොහොතක නැති වී යාමේ විභවයක් පවතින නිසාය. එය අහඹුභාවය ලෙස අප තේරුම් ගන්නේ නම් හෛඩගර්ම ප්‍රකාශ කරන අව්‍යාජ පැවැත්මක් වෙත ලගා විය හැකි අධිෂ්ඨානශීලී පූර්වාපේක්ෂාවෙන් යුතුව කටයුතු කිරීමට අවශ්‍ය පසුබිම නිරාවරණය වෙයි. ඒත් සමගම අපගේ ජීවිතයේ අර්ථවිරහිතත්වය පිළිබඳ ස්වයං අවලෝකනයක් කිරීමට ඉඩක් ඉතිරි වේ. එවිට අප දැන් සිටින්නේ කොතැනද යන්න වඩා විශ්වසනීය ලෙස සළකුණු කිරීමේ වරප්‍රසාදය අපට හිමි වේ.

රංග මනුප්‍රිය