පහතින් තිබෙන්නේ ලුවී අල්තුසර් ගේ අවමංගල්‍යය සභාව අමතා ජාක් ඩෙරීඩා විසින් සිදු කරන ලද කතාවේ මුල් කොටසේ ඉක්මන් පරිවර්තනයකි. සාමාන්‍යයෙන් ඩෙරීඩා ගේ ලිවීම් වල දක්නට ලැබෙනා ශෛලිමය ලක්ෂණ මෙහිද තිබෙනා හෙයින් මෙහි සමහර කොටස් සිංහල නැගීම බොහෝ දුෂ්කර විය. විශේෂයෙන් මෙහි අවසන් වැකිය ලෙස තිබෙන්නේ ඉතා දීර්ඝ, සම්පූර්ණ ඡේදයකි. එම නිසා මෙහි ප්‍රමුඛතාව දෙන ලද්දේ කෙසේ හෝ මූලික අර්ථයේ කොටසක් ඉතිරි කර ගැනීමටයි. නමුත් ඩෙරීඩා බොහෝ විට පෙන්වා ඇති ලෙසම පරිවර්තනය කිරීම යනු වෙනස් කිරීමක් (transformation) යන්න මෙහිදී ද සිහිපත් කිරීම වැදගත් වේ. කෙසේ වුවත් මේ තිබෙන්නේ පසුගිය සියවසේ කේන්ද්‍රීය චින්තකයන් දෙදෙනෙකුගේ මිත්‍රත්වයේ අවසන් හෝරාවා ගැන ලියවුනු කියවන්නා කම්පනය කරනා ලියවිල්ලකි. 

***

අද මට කතා කරන්න නොහැකි වෙන බව, නිවැරදි වචන සොයා ගත නොහැකි වන බව මම කලින්ම දැන සිටියා.

මම ලියල තියෙන එකක් කියවන එකට ඒ නිසා සමාව දෙන්න. ඒත් මම කියවන්නේ මම කිව යුතුයි කියල විශ්වාස කරන එක නෙමෙයි (මෙවැනි අවස්ථාවන් වල අපි කිව යුත්තේ කුමක්ද කියල කවදාවත් දැන ගන්න පුලුවන්ද?). මම කියවන්නේ අනිත් සියල්ල පරාද කරලා නිහඬබව ජය ගන්න එක නවත්තන්න – සැකයකින් තොරවම මෙතන ඉන්න අනිත් අය වගේම මමත් මේ මොහොතේ දී ගිලී වැසී යාමට කැමැත්තෙන් ඉන්න නිහඬ බවෙන් ඉරා ඉවතට ගන්න මට පුළුවන් වුනු පුංච් ඇබිත්තක් මේ.

ලුවී ගේ මරණය ගැන මම දැන ගත්තේ පහුගිය පැය විසි හතරේ, ප්‍රාග් වල සිට නැවත පැමිණි පසුව – මට දැන් ඒ නගරයේ නම දැනෙන්නේ ප්‍රචණ්ඩ, උච්චාරණය කළ නොහැකි දෙයක් විදියට. නමුත් මම දැනගෙන හිටිය මම ආපසු පැමිණි විට ඔහුට දුරකථන ඇමතුමක් ගත යුතු බව: මා එය පොරොන්දු වුනා.

මම ලුවීට අවසන් වරට දුරකතනයෙන් කතා කළ විට ඔහු අසල සිටි මෙතන අද ඉන්න කෙනෙක් ට බොහෝ විට මතක ඇති – මම මගේ ගමන ගොස් ආපසු පැමිණි විට ඔහුට දුරකථන ඇමතුමක් දෙනවා සහ ඔහුව බලන්න එනවා කියල පොරොන්දු වූ විට, මට අවසන් වරට ලුවී ගේ මුවින් අසන්නට ලැබුණු වචන වුනේ මෙයයි: “මම ජීවත් වෙලා හිටියොත්, ඔව්, කෝල් එකක් දීල එන්න”. මගේ තිබුණු කාංසාබව සහ දුක වසා ගන්නත් එක්ක මම විහිළුවක් කරන විදියට කිව්වා “හරි, මම කෝල් එකක් දීල ගිහින් යන්න එන්නම්”.

ලුවී, ඒ කාලය අද අප අතර තව දුරටත් නැහැ. මට ඔබට දුරකථන ඇමතුමක් දෙන්න තවදුරටත් ශක්තිය නැහැ. කාටවත් කතා කරන්න ශක්තිය නැහැ – ඔබ සමගවත් (ඔබ එක්වරම වුවමනාවට වඩා නොමැති වෙනවා සහ වුවමනාවට වඩා සමීප වෙනවා: ම තුළ, මගේ අභ්‍යන්තරය තුළ). ඊටත් වඩා ඔබ ගැන වෙන අය ඉදිරියේ කතා කරන්න, ඒ අය, අද මෙතන ඉන්න අය වගේ, ඔබේ මිතුරන්, අපේ මිතුරන් වුවත්, මට ශක්තිය නැහැ.

මට පරණ දේවල් මතක් කරන්න හරි මළ ගෙදර කතාවක් හරි කරන්න හිත දෙන්නේ නැහැ: කියන්න තියෙන දේවල් වල සීමාවක් නැහැ සහ මේ ඒකට වෙලාව නෙමෙයි. මෙතන අද ඉන්න අපේ මිතුරන්, ඔබේ මිතුරන් දන්නවා, දැන් කතා කරන එක එක්තරා විදියකට ලැජ්ජ නැති වැඩක් වෙන්නේ ඇයි කියන එක – විශේෂයෙන් අපේ වචන තවදුරටත් ඔබ වෙත ඍජුව ආමන්ත්‍රණය කරන එක. ඒත් නිහඬ බවත් ඒ තරම්ම දරා ගත නොහැකි දෙයක්. මට නිහඬ බව කියන අදහස දරා ගන්න බැහැ. හරියට මා තුළ ඉන්න ඔබටත් එය දරා ගන්න බැහැ වගේ.

අපට සමීප කෙනෙක් හෝ මිතුරෙක් මිය ගිය විට, අප ඔහු සමග බොහෝ දේ බෙදා ගත් විට (මෙතන දී මම බොහෝ වාසනාවන්ත වෙලා තියෙන්නේ, වසර තිස් අටක් මගේ ජීවිතය සිතා ගත නොහැකි දහස් ආකාරයකින් ලුවී අල්තුසර් සමග සම්බන්ධ වී තිබෙන නිසා; 1952 වසරේ දී තරුණ ශිෂ්‍යයෙක් විදියට ඔහුගේ කාර්යාලයට මා ඇතුළු වූ දින සිට, සහ ඊට පසුව එතනම ඔහු අසල සිට වසර විස්සක් වැඩ කල නිසා), කෙනෙක්ට මතක තියන කොට සැහැල්ලුවෙන් ගත කරපු නිමේෂ, නිදහස් සිනහවල්, සහ, ඒ වගේම මහන්සි වී කළ වැඩ, ඉගැන්වීම්, සිතීම්, දාර්ශනික සහ දේශපාලනික වාද විවාද, සහ තවදුරටත්, සිදු වූ තුවාල සහ දරුණු සිත් රිදීම්, නාටකීය මොහොතවල්, වේදනාවෙන් සිටි මොහොතවල්, මේ මිතුරා ගේ මරණය හමුවේ ඔබ දන්නවා සෑම විටම වගේ වැරදිකාරී හැඟීමක් තියෙනවා; මේ හැඟීම මමංකාරයක් බවට සැකයක් නැහැ, මේක ස්වරූප රාගී දෙයක් වෙන්නත් පුළුවන්, නමුත් මේක අමතක කරන්න බැහැ, මේකේ අඩංගු වෙන්නේ තමන්ට පැමිණිලි කරන එක සහ අනුකම්පා කරන එක, ඒ කියන්නේ තමන්ට අනුකම්පා කරන එක තමන්ටම පවරාගෙන, මෙහෙම කියන්න පුළුවන් (මම මේක කරන්නේ, මොනවා වුනත්, මේ සම්ප්‍රදායික යෙදුම මේ සානුකම්පාවේ සත්‍ය කියා පාන්න සමත් වෙන නිසා): “මගේ ජීවිතයේ පරිපූර්ණ පදාසයක්, මගේ ජීවත් වෙන ස්වකීයත්වයේ දිගු සහ තීව්‍ර ගලායාමක්, අද දවසේ කණ්ඩනය වී තිබේ, අවසන් වී තිබේ සහ ලුවී සමග මියගොස් තිබේ; ඒ ඔහු අසලින් ඉස්සර වගේම හිඳිම වෙනුවෙන් – එහෙත් දැන් ආපසු පැමිණීමකින් තොරව සහ පරම ව්‍යාකූලත්වයේ සිතිජය වෙත”.

පරි. වංගීස සුමනසේකර