මෙහිදී ශ්‍රද්ධාව සහ සිතීම අතර මෙයසූ සිදු කරන බෙදීම තරමක් පැහැදිළි කිරීම ප්‍රයෝජනවත්ය. එය මා යොදා ගත්තේ – මෙයසූ ගේ ඉලක්කයෙන් තරමක් වෙනස් ලෙස – අපේ රටේ වමේ දේශපාලනයේ එක් මුඛ්‍ය ගැටලුවක් සම්බන්ධයෙන් අදහසක් කියන්නට යි. නමුත් මෙයට වඩා ඍජු ලෙස මෙයසූ ගේ විශ්ලේෂණය අපට අපේ රටේ වමේ දේශපාලනයට සම්බන්ධ කරුණක් සඳහා අදාළ කරගත හැකිය. අපි නිදර්ශන දෙකක් ඇසුරින් මෙයසූ ගේ තර්කය සාරාංශ කරමු.

මෙයසූ ට අනුව කිසියම් අදහසක් ‘සිතීමට’ අයත් ද ‘ශ්‍රද්ධාවට’ අයත් ද යන්න තීරණය වන්නේ අදහසේ ඇතුලත් වන්නේ කුමකින් ද යන්න නොව එය අනෙකා වෙත සම්ප්‍රේෂණය වන්නේ කෙසේ ද යන්න මතයි. මා කියනා අදහස ඔබට හමු වන්නේ ඔබට වුවත් තනිවම සිතා බලා ලබාගත හැකිව තිබූ අදහසක් ලෙස නම්, එය ‘සිතීමකි’. එම අදහස කෙතරම් සංකීර්ණ ද යන්න මෙහිදී අදාළ නොවේ. නිදර්ශනයක් ලෙස කාටිසියානු ආත්මය පිළිබඳව අදහස ගන්න. දැන් මෙය ඉතාම ලස්සන අදහසක් මෙන්ම දර්ශනයේ ඉතිහාසය සසල කළ අදහසක් බව ද අපි දනිමු. නමුත් මෙම අදහස අපට දැන් ඉතා පහසුවෙන් තේරුම් ගැනීමට හැකිය – ‘ඕනෑම මෝඩයෙක් ට’ මෙය තේරුම් ගැනීමේ කිසිදු අපහසුවක් නැත. ඩෙකාට් ගේ තර්ක පිළිවෙල අනුගමනය කරන්නේ නම් එම අදහස වෙත ඕනෑම කෙනෙක්ට ළඟා විය හැකිය. ඒ සියලු අදහස් අප ගාව ද තිබෙන නිසා අපට වුවත් එය සිතා ගත හැකිව තිබූ බව පැහැදිළි වේ. වෙනත් විදියකට කියන්නේ නම් ඩෙකාට් හට මේ අදහස් පහළ වීමේ කිසිදු අනිවාර්යතාවයක් තිබෙනවා කියා අපට පෙනෙන්නේ නැත. සිතීම ලෙස නම් කරන්නේ මෙලෙස අපට අනෙකා වෙත මුළුමනින් සම්ප්‍රේෂණය කළ හැකි දෙයයි.

නමුත් ශ්‍රද්ධාව මගින් යෝජනා කරන්නේ මේ ආකාරයේ අදහස් නොවේ. ඒවා අනෙකා වෙත සම්ප්‍රේෂණය වන්නේ අනෙකා ට ද, මූලධාර්මිකව, ස්වාධීනව වටහා ගත හැකි දෙයක් ලෙස නොවේ. ඒ වෙනුවට ශ්‍රද්ධාවේ දී හමු වන ස්වාමියා ගේ දැනුම යනු විශේෂිත දැනුමකි. නිදර්ශනයක් ලෙස සද්ගුරු ගේ සුප්‍රකට ‘එන්ලයිට්න්මන්ට්’ එක පිළිබඳව කතාව ගන්න. ඔහු එක්තරා දිනක කඳු මුදුනකට ගොස් අසුන් ගනියි. හදිසියේ ඔහුට ඔහුගේ ස්වකීයත්වය පිළිබඳව තිබෙනා අවබෝධය වෙනස් වී අවට තිබෙනා සියල්ල ‘තමා’ බවට පත් වේ. ඉන් පසුව කාලය අත්දකින ආකාරය ද වෙනස් වෙයි. පැය ගණනක් ගත වුවත් ඔහුට සිතෙන්නේ විනාඩි පහක් ගත වූ බවයි. ඉන් පසුව ඔහුට පෙර ආත්ම ද පෙනෙන්න ගනියි. ඔහු ගේ අතීත ගුරු කවුද යන්න ද සිහි වේ. දැන් මෙම අත්දැකීම ඉහත ඩෙකාට් ගේ අදහස වැනි එකක් නොවන බව පැහැදිළි වේ. මෙහිදී ස්වාමියා ගේ වැටහීම වෙත අපට ළඟා වීමට හැකි වන්නේ නැත. අපට ද භාවනා කළ හැකි බව සැබෑවකි. නමුත් එමගින් අප සත්‍ය වශයෙන්ම සද්ගුරු ලැබූ අත්දැකීම ලැබුවා ද කියා තේරුම් ගැනීමට ක්‍රමයක් නැත. අනෙක් අතට – අවම වශයෙන් සාතිශය බහුතරයකට – පෙර ආත්මය වැනි දේ නම් කිසි සේත් ස්මරණය වන්නේ නැති බව පැහැදිළි වේ. එය සද්ගුරුට පමණක් හැකි – එසේත් නැතිනම් එවැනි සීමිත පිරිසකට හැකි – වරප්‍රසාදිත හැකියාවකි. එම නිසාම අප කෙදිනකවත් සමාන වන්නේ නැත.

අපි මෙයසූ උපුටමු:

//අප ශ්‍රද්ධාව දෙසට හැරෙන්නේ නම්, අපට පෙනී යනු ඇත්තේ එහි සම්ප්‍රේෂණයේ සුවිශේෂ ලක්ෂණය ලෙස අනුගාමිකයා විසින් ස්වාමියා වෙත දෙන අනිවාර්ය භූමිකාව හඳුනා ගත යුතු බවයි. සම්ප්‍රේෂණය කරන ලද අන්තර්ගතය යනු අනුගාමිකයාට තමන් විසින් පමණක් සොයා ගත හැකි දෙයක් නොවන බව හඳුනා ගැනීම මෙහිදී අනිවාර්ය වන අතර එම නිසා අනුගාමිකයා විසින් පාරිශුද්ධ අනෙකෙක් වෙත දක්වන සම්බන්ධය මෙහි අනිවාර්ය කොන්දේසියක් වෙයි. මේ සම්බන්ධතාවය විවිධ ආකෘති – ඒකල හෝ බහුවිධ – ගත හැක: හෙළිදරව්ව (revelation), සාක්ෂිය (testimony), සම්ප්‍රදාය ආදී ලෙස. මේ අවස්ථාවේ දී අනුගාමිකයා අමතන්නේ උත්තරීතර ස්වාමියෙක් (අනිවාර්ය සහ පූජනීය) වෙත වන අතර ඔහු සමග සමානයෙක් වීම කිසිදා විය නොහැකි වේ. ඔහු සම්බන්ධයෙන් අනුගාමිකයා ගේ ආවේදනය, එහි උපරිම ආකෘතියෙන්, මිත්‍රත්වය විය නොහැකි අතර ඒ වෙනුවට එය කෘතගුණ සැලකීම, ස්ව කැමැත්තෙන් යටත් වීම සහ, සමහරවිට, බිය වැනි ආකෘති ගනු ඇත.//

මේ කරුණ විශේෂයෙන් කිව යුතුය කියා සිතුනේ මේ ‘සද්ගුරුවාදය’ අපේ රටේ විකල්ප අනාගතවාදී දේශපාලන-දාර්ශනික සංවාදයේ තවමත් භූමිකාවක් ඉටු කරනා නිසාය. සත්‍ය වශයෙන්ම මෙයට හේතුව වන්නේ මෙයසූ පෙන්වා දෙන පොදු දාර්ශනික ගැටලුවම මිස අන් දෙයක් නොවේ: නූතනවාදී දර්ශනයේ දාර්ශනික පරිමිතවාදය විසින් මෙවැනි ව්‍යාපෘති හමුවේ චින්තනය බෙලහීන කර තිබේ. ජාතික චින්තනවාදය යනු මෙහි එක් ආන්තික – දක්ෂිණාංශික අන්තවාදී – උදාහරණයක් නම් ‘සද්ගුරුවාදය’ සහ එයට පෙර තිබූ ‘ඕෂෝවාදය’ යනු මෙහි තවත් එක් පැතිකඩකි. 90 දශකයේ රොහාන් පෙරේරා සහ X කණ්ඩායමේ කතිකාවේ තිබූ ඉතාම නරක ශේෂයක් වන මේ ‘ඕෂෝවාදයෙන්’ අප හැකිතාක් ඉක්මනින් ගැලවිය යුතුය. අපට අවශ්‍ය වන්නේ සත්‍යය වෙත විශේෂ වරප්‍රසාදිත සම්බන්ධයක් ඇති ස්වාමිවරු නොව සමානයන් සේ හුවමාරුකරගත හැකි සත්‍යයකි. කොන්ටෙන් මෙයසූ ගේ දර්ශනය සියලු දෙනා කියවිය යුතුය කියා මා යෝජනා කරන්නේ එම නිසාය.

පුද්ගලික සටහනක්: මට සිටින අතිවිශාල ප්‍රතිවාදීන් සංඛ්‍යාව විසින් මගේ ලිංගික ජීවිතය සහ ලිංගික ෆැන්ටසි චිර ප්‍රසිද්ධ කිරීම නිසා මා හොඳටම කිච වී ගියත් එමගින් මට ලැබුණු අතිශය විශාල දේශපාලන වාසිය මෙයයි – කිසිවෙක් දැන් මාව ‘සත්‍යයේ වරප්‍රසාදිත ආරක්ෂකයෙක්’ ලෙස බාර ගන්නේ නැත. මම අනෙක් සෑම දෙනාම හා සම ලෙස අතිශය ව්‍යාකූල ආශාවන් තිබෙන ‘සත්‍යයේ අහඹු ආරක්ෂකයෙක්’ පමණි. මා දන්නා දෙය ‘ඕනෑම මෝඩයෙකුට’ දැන ගත හැකිය. මා උත්සාහ කරන්නේ මා දන්නා දෙය සියලු දෙනා සමග බෙදාගෙන මිත්‍රත්වයේ සමානයන් බිහි වන ලෝකයක් නිර්මාණය කිරීමටයි. මෙය ‘සිංහල බෞද්ධ රාජ්‍යය’ ගොඩ නැගීමට වඩා අතිශය ප්‍රායෝගික බව මට දාර්ශනිකව තහවුරැ කළ හැක!

වංගීස සුමනසේකර