මාගේ මිතුරකු මට රාජ්නීෂ් හදාරන්න කියා ආරාධනාවක් කර තිබේ. රාජ්නීෂ් ලියා කියා තිබෙනා සැම දේම මා කියවා නැත. මට සිතෙන්නේ එවැනි අය මේ ලෝකයේ නම් නැති බවයි. කෙසේ වුවත් X කණ්ඩායමේ සහ රෝහානියානු සංවාද අවකාශයේ සිට මම ‘රාජ්නීෂ් වටය’ හොඳින් පැදකුණු කර තිබේ. මා කියනා දෙය කිසි සේත් වැරදි වන්නේ නැති බව මා දන්නේ එම නිසාය. මේ සඳහා එක, තීරණාත්මක නිදර්ශනයක් දෙන්නට ඉඩ දෙන්න.

නමුත් එයට පෙර මෙහිදී මා, මෙයසූ ඇසුරින්, එල්ල කරන න්‍යායික විවේචනය නැවතත් සිහිපත් කිරීම ප්‍රයෝජනවත් ය. මෙයසූ මෙහිදී ‘සිතීම’ සහ ‘ශ්‍රද්ධාව’ අතර බෙදීමක් ඇති කරන්නේ කිසියම් අදහසක අන්තර්ගත කුමක්ද යන්න මත නොවේ. ඒ වෙනුවට මෙහිදී තීරණාත්මක වන්නේ එම අදහස සම්ප්‍රේෂණය කරනා මාදිලිය (mode of transmission) කුමක් ද යන්නයි. එම අදහස පළමුවෙන් යෝජනා කරනා පුද්ගලයා එය අත්දැක තිබෙන්නේ සාමාන්‍ය සංකල්ප සහ තර්ක ඇසුරින් ද, එසේත් නැතිනම් අපට තේරුම් කළ නොහැකි විශේෂ ආකාරයකට ද? වැදගත් ප්‍රශ්නය වන්නේ මෙයයි. මේ කරුණේ දී රාජ්නීෂ් අයත් වන්නේ ‘ශ්‍රද්ධාව’ පැත්තට යන්න ඉතාමත්ම පහසුවෙන් පෙන්වා දිය හැකිය. රජ්නීෂ් ගේ සමහර අදහස් වල ගත යුතු දෙයක් තිබෙන්නේ ද යන්න මෙහිදී අදාළ වන ප්‍රශ්නය නොවේ. රාජ්නීෂ් යනු දක්ෂ මිනිසෙක් යන්නත් ඔහුට ආකර්ෂණීය අදහස් ප්‍රකාශ කළ හැකි බවත් ඉතාම පැහැදිළි වේ. නමුත් මෙහිදී මතු කරන න්‍යායික ගැටලුව වෙන එකකි.

මෙය පැහැදිළි කර ගැනීම සඳහා අපි රාජ්නීෂ් ගේ ‘එන්ලයිට්න්මන්ට්’ එකේ කතාව සිහිපත් කරමු. මෙය සිදු වන්නේ 1953 මාර්තු 21 දා ය. මෙය සිදු වන්නේ රාජ්නීෂ් සිය අධ්‍යාත්මික සොයා යාම අත්හැර ගිය පසුවයි. හදිසියේ ඔහුට යමක් උත්පාද වන බව දැනේ. ඔහු තුළ යමක් පිරී ඉතිරි යනවා වැනි හැඟීමක් ඇති වේ. ඉන් පසුව තමා නොපැවැත්මක් බවට පත්වනවා රාජ්නීෂ් ට දැනී යයි. ඉන් පසු ඔහු නින්දට යයි. හදිසියේ රාත්‍රී 12 ට පමණ ඔහුගේ දෑස ඉබේම හැරෙයි. ඔහු අවට ඇති සියල්ලෙහි යථාර්ථය නැති වී යයි (කාමරයේ බිත්ති නොපෙනී යයි, ආදී ලෙස). මේ බුදුන් විසින් ‘මායා’ ලෙස හැඳින්වූ තත්වය බව රාජ්නීෂ් කියයි. මෙය සාමාන්‍ය තත්වයේ දී වැටහෙන්නේ නැති බව ද ඔහු ඉතා පැහැදිළිව කියයි…

මෙය තවත් විස්තර කළ හැකිය, නමුත් මේවා ඕනෑ තරම් පහසුවෙන් සොයාගෙන කියවන්න හැකි නිසා මා ඒ ගැන එතරම් මහන්සි වන්නේ නැත. මේ ආකාරයේ තවත් කතා තිබේ. රාජ්නීෂ් සිය අතීත ආත්ම ගැන කරන විස්තර, ඔහුගේ පෙර භවයේ මව ගැන කතාව ආදිය ද මෙයට ඇතුලත් කළ හැක.

මේ සියල්ලෙන් කියන්න තිබෙන්නේ එක කරුණකි. රාජ්නීෂ් යනු සත්‍යයේ විශේෂ සාක්ෂිකරුවෙකි. එහි තිබෙන්නේ සිතීම මගින් වටහා ගන්නා සත්‍යයක් නොව විශේෂ හෙළිදරව්වක් මගින් වටහා ගන්නා සත්‍යයකි. එම නිසාම රාජ්නීෂ් කෙදිනකවත් අපේ සාමානයෙක් වන්නේ නැත – ඔහු අපේ ‘ගුරු’ පමණක් වෙයි. මෙහි ගොඩ නැගෙන්නේ බල ධූරාවලියකි. මේවා අපට කිසිදා තේරුම් ගත නොහැකි නිසා අපට රාජ්නීෂ් සමග සම්බන්ධ විය හැක්කේ ‘ශ්‍රද්ධාව’ මත පමණි. රාජ්නීෂ් අවුරුදු 50 ක් ‘හැදෑරුවත්’ මෙහි වෙනසක් වන්නේ නැත.

මෙයසූ මෙහිදී මතු කරන්නේ මෙවැනි ආකාරයේ ප්‍රපංච මතු වීම සම්බන්ධ දාර්ශනික පසුබිම පිළිබඳව ප්‍රශ්නයකි. නිදර්ශනයක් ලෙස රාජ්නීෂ් අපේ රටේ වාම කතිකාවට ඇතුළු වන්නේ කවර මොහොතකදී ද? ඉතා පැහැදිළිවම මෙය පැරණි ට්‍රොට්ස්කිවාදී සංවාදයේ කොටසක් නොවීය. මෙය අපට එන්නේ ට්‍රොට්ස්කිවාදී ඥානවිභාගය අපේ රැඩිකල් වාම කතිකාවේ පසුපසට ගොස් එතැනට නව ‘පශ්චාත් නූතනවාදී’ කතිකාව ඉදිරියට පැමිණෙන මොහොතේ දී ය – ලෝකය ගැන ‘වාස්තවික යථාර්ථය’ වෙනුවට ලෝකය එක් එක් කෙනා ‘සාපේක්ෂ ලෙස පමණක්’ වටහා ගන්නවා යන අදහස අධිපති වූ මොහොතේ දී ය. මෙයසූ මතු කරන දාර්ශනික ගැටලුව මෙයයි. මේ පුළුල් සාකච්ඡාව මොහොතකට පසෙකින් තබා, මාගේ මිතුරා මාක්ස්වාදයට පක්ෂපාත වන හෙයින්, මට ඉතාම මෝඩ ප්‍රශ්නයක් ඔහුගෙන් අහන්න ඉඩ දෙන්න: මිතුර ඔබ හිතන්නේ මාක්ස් හෝ ලෙනින් හෝ රාජ්නීෂ් ගේ මේ ඉහත ආකාරයේ කතා වලට කුමක් කියනු ඇති ද?

මේ රාජ්නීෂ් උරුමය අද කර තියන් යන චින්තන ධර්මදාස වැනි අයගෙන් අපට අනුභූතිකව පැහැදිළි වන්නේ මෙයයි. මේ තිබෙන්නේ පවත්නා වෙළඳපොල ධනවාදය සමග හොඳටම පෑහෙන අතීත දීප්ති-රොහාන් කතිකාවේ උරුමයයි. මා සිතන්නේ මේ කොටස වෙනුවට අප එහි අනෙක් පාර්ශවය වන නිව්ටන් ගුණසිංහ ගෙන් ඇරඹි බටහිර මාක්ස්වාදී උරුමය සහ ප්‍රංශ දාර්ශනික උරුමය වෙනුවෙන් අද දවසේ සටන් කළ යුතු බවයි. චින්තන ධර්මදාස ට X එකෙන් ‘රාජ්නීෂ්’ උරුම වනවිට මට X එකෙන් උරුම වන්නේ ‘ඩෙරීඩා’ ය. මේ බෙදීම අපේ රටේ අනාගතයට තීරණාත්මක වනු ඇත.

වංගීස සුමනසේකර