[Image: Supun Cooray, “Yellow Divider”; (2019)]

බොහෝ දෙනෙකු අසා තිබෙනා ආකාරයට කාන්ට් ගේ දර්ශනය තුළ පවත්නා ලෝකය මූලික කොටස් දෙකකට බෙදයි. එකක් වන්නේ අපට අනුභූතිකව අත්දැකිය හැකි ප්‍රපංචමය ලෝකය වන අතර අනෙක් පසින් තිබෙන්නේ දෙවල්හී-එහිම-ස්වරූපය අයත් ලෝකයයි. නමුත් මේ දෙවැනි ලෝකය ගැන අපට කිසිවක් ම දැන ගත නොහැකි බව කාන්ට් පෙන්වා දෙයි. ඒ වෙනුවට අපට කිව හැකි වන්නේ ඒවා තිබෙනා බව පමණි. එසේ කියන්නට අපට අවස්ථාව ලැබෙන්නේ එසේ නොමැති වනවා යනු දෘශ්‍යමාන වන දේ පසුබිමේ කිසිවක් නොමැතිව දෘශ්‍යමානයන් පමණක් තිබෙනවා යන විකාරරූපී නිගමනයට පැමිණීමට අපට සිදු වන නිසාය. මෙම විකාරරූපී නිගමනය මග හැරීම සඳහා අප කළ යුත්තේ, කාන්ට් ට අනුව, දෘශ්‍යමාන දෙය පසුපස සැබෑ දෙය ඇති බව සිතා බැලීමයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස කාන්ට් විසින් අපගේ සමපේක්ෂී තර්ක බුද්ධිය අපට අත්දැකිය හැකි වස්තු වෙත පමණක් අදාළ වන්නක් කියා සීමා කෙරෙයි.

මෙම සීමා කිරීම යුක්තියුක්ත කිරීම සඳහා කාන්ට් විසින් අමතර තර්කයක් එකතු කරන්නේ ඉන් පසුවයි. එයට අනුව මේ ආකාරයේ බෙදීමක් පවත්නා දේ සඳහා සිදු කළ නොහැකි නම් අපගේ නිදහස පිළිබඳව අදහස බරපතල ලෙස අර්බුධයට යනු ඇත. මන්ද, එවිට අප කිව යුතු වන්නේ පවත්නා සියල්ල හේතුඵල සම්බන්ධතා අනුව නීර්ණය වන බවයි. එම නිසාම අපගේ සිතීම පමණක් මෙයින් විනිර්මුක්ත වන්නේ ඇයිද කියා අපට පැහැදිළි කිරීමට අපහසු වනු ඇත.

නමුත් කාන්ටියානු විචාරය හමුවේ දෘෂ්‍යමානය සහ එහිම-ස්වරූපය වෙන් කිරීමෙන් පසුව අපට පැහැදිළි වන්නේ හේතුඵල සම්බන්ධ ඇතුළු ස්වභාවික නීති අදාළ වන්නේ අපේ අත්දැකීම් හා බැඳුනු වස්තු වලට පමණක් බවයි. එම නිසාම අපගේ සිතීම එහිම-ස්වරූපයෙන් ගත්විට එම නීති වලට යටත් වන්නේ නැත. වෙනත් ආකාරයකට කියන්නේ නම් අපගේ පැවැත්ම එහි සැබෑම ස්වරූපයෙන් අත්‍යන්තයෙන් නිදහස් වන්නක් බව අපට නිගමනය කළ හැකිය. මෙයට හේතුව, උක්ත බෙදීම නිසා, අපගේ පැවැත්ම එක්වරම නීති වලට යටත් වන සහ නීති වලට යටත් නොවන පැවැත්මක් වේ යන විසංවාදී නිගමනය වෙත පැමිණීමට අපට අවශ්‍ය නොවීමයි.

මෙහි දී මතු කර පෙන්විය යුතු මූලික අදහස වන්නේ මෙයයි: නිදහස පිළිබඳව ප්‍රශ්නය දාර්ශනිකව ගත්විට එහිම-ස්වරූපය පිළිබඳව ප්‍රශ්නය සමග අත්‍යන්තයෙන් ගැට ගැසී ඇත. එම නිසාම අපට නිදහස ලැබිය හැකි වන්නේ අපගේ අත්දැකීමේ ලෝකයේ ඇති නීති රීති වලින් රැඩිකල් ලෙස වෙනස් වූ විකල්පයක් පිළිබඳව සිතීමේ හැකියාව සමග පමණි. නිදහස ගැන එවැනි සිතීමකට ‘ජාතික නිදහස් දිනය’ යොදා ගත හැකි නම් එය ප්‍රයෝජනවත් ක්‍රියාවක් වනු ඇත.