දුර තියෙන වස්තුවක් ළඟට ගන්නවා කියන්නේ එක්තරා විදිහකට අපි ඒ වස්තුවේ දිශාවට යම් දුරක් ගෙවා ගෙන (විස්ථාපනය වී) ඒ වස්තුවට වඩා ළං වීමක්, සමීප වීමක්. දුරේක්ෂයකින් වෙන්නේ ඔය සමීපතාව ඇති කිරීම. කුඹුරක් හේනක් කරං ඉන්න පුළුවන් වෙලාවේ දුරේක්ෂයක් වගේ එකක් හදන්න/වැඩි දියුණු කරන්න හිතෙන්නේ මොන වගේ සමාජ-දේශපාලන-සංස්කෘතික පසුබිමක ඉන්න මිනිස්සුන්ට ද කියලා නිවාඩු පාඩුවේ අපට හිතලා බලන්න පුළුවන්. ඊට විවිධ පිළිතුරු ලැබෙන්නත් පුළුවන්. දුරක් ගෙවං කරදර වෙන්න කැමති නැති අලස මිනිස්සු, අනුන්ගේ ඕපදූප හොයන්න කැමති මිනිස්සු, කරන්න වෙන වැඩක් නැති මිනිස්සු, අපේ පරණ පුස්කොළ පොත් ටිකට වැඩේ දීපු මිනිස්සු වගේ විවිධ පිළිතුරු ඊට ලැබෙන්න පුළුවන් (විවිධ කයි කතන්දර අපට ගොතන්න පුළුවන්). දුරේක්ෂය ගලීලේඕ ගලීලේයිගේ (ගැලීලියෝ ගැලීලිගේ) නව නිර්මාණයක් නොවේ. නමුත් අනුන්ගේ කුණු හොයන්න කියාපු ම භාණ්ඩයක් වැඩි දියුණු කරලා අහස දිහාවට ඉස් ඉස්සෙල්ලා ම කරකවන්නේ ගලීලේයි.ගලීලේයිලා පල්ලියට විරුද්ධ වුණත් අපි වගේ දෙයියන්ට විරුද්ධ වුණේ නෑ. ගලීලේයිලාගේ දෙයියා හිටියේ අහසේ. අහස දිහාවට කරකවපු දුරේක්ෂය නිසා ගලීලේයිට හිතෙන්න ඇති මහා පොළොවේ අටෝලා තියෙන පල්ලියට වඩා මිනිහා දෙයියන්ට ළං වුණු බවක්. දෙවියන්වහන්සේට ළං වීම කියන්නේ ගලීලේයිලාට අනුව සත්‍යයට ළං වීම මිස අනෙකක් නොවේ.

හැබැයි එහෙමයි කියලා විද්‍යාව ගොඩනැඟීමට, නූතනත්වය ඇති වීමට ගලීලේයිගෙන් වෙච්ච දායකත්වය අපට සුළු කොට තකන්න බෑ. ගලීලේයි විසූ සමාජයේ ඇතැමෙකුට දෙවියන් යනු තට්‍ටු කොට ඇරගත යුතු සත්‍යයේ දොර‍ටුවක් නොවේ, දෙවියන් යනු ම පරම සත්‍යයයි. ගලීලේයි නොහිටින්න නිව්ටෝනීය යාන්ත්‍රිකයක්, ගතිකයක් බිහි නොවෙන්ට ඉඩ තිබුණා කියලා මං විශ්වාස කරනවා. ඊට ම විසංවාදී වෙමින් ලොවෙහි කිසිවෙකු අනිවාර්යය නොමැත කියලත් මං විශ්වාස කරනවා (ඒත් ලෝකෙ කාටවත් හැමදේම විශ්වාස කරන්නෙකු වෙන්න බෑ. හැමදේම විශ්වාස කරන්නෙකුට හැමදේම ප්‍රතික්ෂේප කරන්නෙකු ද වෙන්න වෙනවා. එක් කතාවක් අනෙක් කතාව බොරු කරනවා. නැත්තං මං කිසිවක් විශ්වාස කරන්නෙකු වත් අවිශ්වාස කරන්නෙකු වත් නොවේ කියලා පෙරදිග පඬි ටෝක් දෙන්න වෙනවා… ආයි යමු ගලීලේයිට).

නූතන විද්‍යාවේ, නූතන භෞතික විද්‍යාවේ, විද්‍යාත්මක ක්‍රමයේ, නිරීක්ෂණාත්මක තාරකා විද්‍යාවේ කියන හතරේ ම පියා තමා ගලීලේයි. ගණං කළ හැකි යම් නිරීක්ෂණ ප්‍රමාණයකින් උද්ගමනය පාවිච්චි කරලා නිගමනවලට එන්න පුළුවන් විදිහ තමා (විවියානි තරයේ ම ප්‍රකාශ කරන විදිහට) එදා ඇලවුණු පීසා කුලුනේ දී ගලීලේයි පෙන්වලා දුන්නේ. නෙළුම් කුලුනේ වාටිය උඩ ඉඳං ඔය පරීක්ෂණය කළත් ඔය කතන්දරේ වෙනස් වෙන්නේ නෑ. එහෙම කොහොමද තව ම නොකරපු (කරන්න හිතල වත් නැති) පරීක්ෂණයක් ගැන මං තක්කෙට ම කියන්නේ? ඒක තමයි ගලීලේයිලා අපට දීපු “ආත්ම-විස්වාසේ”. අපේ පඬියන් කාලි පැණි වගේ කෙබර ප්‍රොමෝට් කළාට කොන්ද කෙලින් තියං කියන්න පුළුවන් දෙයක් අපට තව ම දීලා නෑ. උද්ගමනයේ ප්‍රශ්න නැත්තේ නෑ. නමුත් තියෙන ප්‍රශ්න ලෙහා ගන්න උද්ගමනය පාවිච්චි කිරීමේ ප්‍රශ්නයක් නෑ. යම් තාක් දුරකට අපට වියුක්තකරණය අවශ්‍ය වෙනවා. නිව්ටන් අනුව යන කෙනෙක්ට නම් ඇපල් ගෙඩිය වැටෙන්න තිබ්බ හේතුව ම දෙල් ගෙඩිය, කොස් ගෙඩිය, පොල් ගෙඩිය, පාන් ගෙඩිය වැටීම පැහැදිලි කරන්ටත් පාවිච්චි කරන්න වෙනවා. ගෙඩියෙන් ගෙඩියට ප්‍රවාද හදාගන්න ගියොත් වෙන වැඩක් නැති වෙනවා. වියුක්ත ප්‍රවාද ඕන වෙන්නේ ම ගෙඩියෙන් ගෙඩියට පැන පැන කාලෙ කකා ඉන්න ගියා ම ඇති වෙන ප්‍රායෝගික ගැටළුව නිසා ම තමා. ඉතිං ‘යම් වස්තුවක්’ කියලා ගලීලේයි ගත්ත වියුක්ත වස්තුවේ කිසිම වරදක් මට පේන්නේ නෑ.

අද ගලීලේයිගේ ජන්ම දිනය (පෙබරවාරි 15). අපට දෙයක් ඉගෙන ගන්ට බැරි තරමේ අඥානයෙකු අපට කවදා වත් හම්බ වෙන්නේ නෑ. එහෙමයි ගලීලේයි හිතුවේ… ඒකයි ගලීලේයිගේ හ්යුමිලිටිය… ඒක ම යි අපේ පඬියන්ට වඩා ගලීලේයිලාගේ තියෙන වෙනසත්…. කොන්ටෙන් මෙයසූගෙන් වුණත් ගන්න තියෙන දේ අපි ගමු. මෙයසූව දැකලා නැති අය Steve Waugh කියලා ගහලා ගූගල් කරන්න. එතකොට එනවා මෙයසූ වගේ ම වෙන එකෙක්.

අද (පෙබරවාරි 16) කොන්ටෙන් මෙයසුගේ ‘පරිමිතත්වයෙන් පසු’ කෘතිය පිළිබඳ විවාදය – වංගීස සුමනසේකර (පක්ෂව) හා ශිරන්ත චාමර අතර.

ගැලීලියෝට සුබ උපන්දිනයක්!

ලකීෂා ක්‍රිස්ටන්