මෙහි දැක්වෙන්නේ පසුගිය 09 වන දා 16 වන දා වංගීස සුමනසේකර හා ශිරන්ත චාරම අතර පැවැති විවාදය සම්බන්ධව පළ වූ ෆේස්බුක් සටහන් කිහිපයක් මෙසේ ගොණු කරමු. මේ සමඟ ඉතා ඉකමනින් විවාදවල යූ ටියුබ් සැබඳියද පළ කිරීමට නියමිතය. ඒ වන තුර බටහිර ඉවුරේ දර්ශනය නම් ෆේස්බුක් පිටුවෙන් මේ එම විවාද ඔබට නැරඹිය හැකිය. පළමු විවාදය https://www.facebook.com/118794856520492/videos/1386376895049555 දෙවන විවාදය https://www.facebook.com/118794856520492/videos/708231166510394

තර්ක කිරීම අකැප දාර්ශනිකයන්

පසුවුණු සතිදෙක ඇතිළත සිදුවුණු විවාදය සම්බන්ධයෙන් පළ වූ විවිධ අදහස් අතුරින් මාගේ අවධානය යොමූ වූයේ අන්ත දෙකක් නියෝජනය කළ අදහස් දෙකක් වෙතයි. ඉන් එකක් වනුයේ දර්ශනය එයට කැප ‘අතාර්කික’ සමපේක්ශණයට සීමා ව අන් සියල්ලෙන් ඉවත්ව සිටි යුතු බවය. අනෙක් අන්තය ඉදිරිපත් කළේ දර්ශනය විසින් සිදු කරන ‘වමාරා කෑම’ හෙවත් නැවත නැවත තාර්කික හා න්‍යායික ගවේෂණයන් කිරීම පිළිබද විවේචනයකි. මෙම ආස්ථාන දෙකෙන් ඉදිරිපත් කරන අවසාන, අවාසනාවන්ත ප්‍රශ්නය වනුයේ ‘දර්ශනයේ ප්‍රයෝජනයක් ඇත්ද ? එසේනම් එය කුමක්ද යන්නයි’. ශිරන්ත චාමර, චින්තන ධර්මදාස, තමලු මලිත්ත පියැදිගම, නලින් ද සිල්වා වැන්නවුන් නොවන – අදහසක් සැලකීමට ගෙන, චින්තකයාගේ චින්තනයේ ගැටලු කෙබදු වූවත් එයට ගෞරවයක් ලෙස ප්‍රථමව එය සැලකීමට ගෙන පසුව එය හා එකග වනවාද නැතිද යන තීරණය ගැනීමට තරම් හික්මීමක් හා ශාස්ත්‍රීය ශික්ෂණයකින් යුතුව අපට යුක්ති සහගත ලෙස සිතිය හැක්කේ කුමක්ද යන ගැටලුව විමසිය හැකි පරපුරක් බිහිවීමට නම් මෙම ප්‍රශ්නය බාර ගැනීම අත්‍යවශ්‍යය. තක්කඩි සහ උද්දඡ්ච ලෙස තමා එකග නොවන සෑම ආස්ථානයක්ම ‘මෝඩ’ ලෙස ගෙන ( මෙයට බාක්ලි, ඩෙකාට්, කාන්ට් , හයිඩැගර් මෙයසු සියලු මෝඩයන් ඇතුළත්ය ) ”මෙහි ප්‍රයෝජනය කුමක්ද’ යැයි ව්‍යන්ගයෙන් අසන ප්‍රශ්නයට දෙන පිළිතුර ප්‍රචණ්ඩ විය යුතුය.

ඩෙලර්වූස් පැවසූ අන්දමට ‘’ දර්ශනයෙහි එකම ප්‍රයෝජනය වනුයේ චින්තනයේ සියලුම ආකාරයේ අනර්ථකාරී දේවල් (baseness) අනාවරණය කිරීමයි. මුග්ධතවයේ සහ අනර්ථයේ සංකලනය යනු හුදෙක්ම වුවමනාවෙන් කරන ලද ව්‍යාකූල කිරීමක් බව නිරාවරණය කිරීමයි’වෙනත් අපේක්ෂාවන් සහ වුවමනාවන් ඇති රාජ්‍යය හෝ පල්ලිය වෙනුවෙන් දර්ශනය සේවය කරන්නේ නැත. එය ස්ථාපිත වූ කිසිදු බලාධිකාරියකට ගැතිකම් කරන්නේ නැත. එය ප්‍රයෝජනවත් වන්නේ මුග්ධ බවට (stupidity) හානි කිරීමටයි. එනම් මුග්ධකම නින්දාසහගත දෙයක් බවට පත් කිරීමටයි.. දර්ශනය හැරුනු කොට සියලුම ව්‍යාකූල, මුලාකරවන සුළු දේවල් විවේචනය කරන්නා වූ, ඒවායේ මූලාශ්‍ර සහ ඉලක්කයන් ගැන කිසිදු සැලකීමක් නොකොට විවේචනය කරන්නා වූ වෙනත් විෂය පථයක් තිබේද ? දර්ශනය හැරුණු කොට සමාජයේ පවත්නා ප්‍රතික්‍රියක බලයන්හි පැවැතමට අවශ්‍ය වන්නා වූ කල්පිතයන්, ප්‍රබන්ධයන් නිරාවරණය කරන්නා වූ වෙනත් ශාස්ත්‍රයක් තිබේද ?අවසානයේදි දර්ශනයේ අරමුණ වනුයේ චින්තනයන් බලපෑමක් ඇති කළ හැකි, ක්‍රියාකාරී සහ තහවුරු කරන්නා වූ දෙයක් බවට පරිවර්තනය කිරීමයි. නිදහස් පුද්ගලයන් බිහි කිරීමටයි. මින් අදහස් කරනුයේ රාජ්‍යයේ ප්‍රතිලාභ, සදාචාරය සහ ආගම යනාදිය සංස්කෘතියේ අරමුණු ලෙස පටළවා නොගන්නා පුද්ගලයන් නිර්මාණය කිරීමයි. මේ සියල්ල කෙරෙහි උනන්දුවීමක් ඇත්තේ දර්ශනයට මිස අන් කවරකටද? දර්ශනයේ වඩාත්ම සාධනීය වනුයේ විචාරය කරන්නක් ලෙසය.ව්‍යාකූල බව සහ ගුප්ත බව නැති කරන්නා වූ ව්‍යාපෘතියක් ලෙසය.

දර්ශනය කිරීම එක් අතකින් තීරණයකි – අනිත් අතින් මග හැර යා නොහැක්කි තත්වයකි. දාර්ශනය යනු හුදෙක්ම ‘කල්ට්’ බවක් ගන්න ක්‍රියාවක් බවත්, සැම විටිම ඒ හා සම්බන්ධ අධිකාරිත්වයක් ඇති බව මෙන්ම එමගින් ‘විකල්ප’ අවකාශයක සිටීම අත්‍යවශ්‍ය බව හගවන්නා වූ දර්ශනය වෙනුවෙන් මට කළ හැකි එකම දෙය දර්ශනය දර්ශනය ලෙස හැදෑරීමට පසුබිම සැකසීමයි. එවැනි හැදෑරීමකින් තොරව කැපවීමකින් තොරව දර්ශනයේ ‘විවහාරික’ මානය ක් ඇත් ද ? එය කුමක් ද? භාවිතය න්‍යායට පරස්පර නැතිද යන ප්‍රශ්න මතු කිරීමට වත් මට සාධාරණ අයිතියක් නැති බව මගේ වැටහීමයි. දර්ශනයේ භාවිතය පිළිබද ප්‍රශ්න කිරීමට හැකියාව ලැබීමට එය විසින් ඉල්ලා සිටින අධ්‍යනික හික්මීම අවශ්‍යය. දර්ශනය කිරීමට අවශ්‍ය පසුබිම සැකසීම අත්‍යවශ්‍යය. පුද්ගලත්වය අභිබවා ගිය, පුද්ගලික ඉතිහාසයන් අතික්‍රමණය කළ වගකීමක් දර්ශනය සම්බන්ධයෙන් මා තුළ ඇති බව මාගේ විශ්වාසයයි. මොනා හරි මගුලක් කියල දාන්න’ එන ගුරු ගැත්තෙක්, තමාට එරෙහිව එන විවේචන පිළිගැනීමට නොහැකි තරම් අහංකාරයකින් යුතුව නහයෙන් ඇඩීම තවමත් අධ්‍යාපනය ලබන ශිෂ්‍යාවක ලෙස මට බලා සිටීමට ලැජ්ජය. අප්‍රසන්නය (තමලු පියැදිගම පෙර විවාදයේදි දාර්ශනික ප්‍රතිවාදයෙක් ලෙස කරුණු මත පිහිටා තර්ක කළ බව සහ ඊට මා ගෞරව කරන බවද පවසා සිටිය යුතුය) මේ සම්බන්ධයෙන් ගත් කළ දර්ශන්යේ අසාර්ථක වීම පිළිබද ප්‍රකාශ කිරීමට අප අනවශ්‍ය ලෙස හදිසි විය යුතු නැත. මුග්ධබව සහ අනර්ථය කෙතරම් ශේෂ්ඨ ලෙස පැවතියද, ඒවාට අවශ්‍ය ලෙස තව තවත් ඉහළ නැගීම වළක්වනු පිණිස මොන යම් හෝ දර්ශනයක් තිබුණේ නැති නම්, මේ වන විට ඒවා තවත් ශ්‍රේෂ්ඨ වනු ඇත. දර්ශනය කිසි සේත් නොතිබුණි නම් මුග්ධ බව මෙන්ම දුෂ්ට බව ට අවශ්‍ය පරිද්දේන් මෝඩ සහ දුෂ්ට වීමට හැකියාව ලැබෙණු ඇත. ඒවා සීමාවන් ඉක්මවා යාම යම් තාක් දුරකට වැළකී ඇත් නම්, ඒ දර්ශනය හා දර්ශනය නිසා පමණක්මය.

ශලිනි සමරනායක

විවාදයට පසු සටහනක්

විවාදයක උණුසුම පවතින්නේ එයට සහභාගී වන්නන් පෙනී සිටින මතවාදය හා එම පුද්ගලයන් පිළිබඳ දැනට තිබෙනා සමාජ කියවීම්වලට අනුවය. වංගීස මීට පෙර විවාදවලට සහභාගී වී තිබුණද ශිරන්ත සම්බන්ධයෙන් පැවතියේ වංගීස විසින් ම සිදු කර තිබූ – නලින් ද සිල්වා අනුව යමින් – තක්සේරුව පමණයි. ඊට අමතරව ජාතික චින්තන කඳවුර තුළ ඔහුට යම් පිළිගැනීමක් තිබෙනා බවද ඒත්තු යන සංවාද හා පෙනී සිටීම් දැක ගන්නට ලැබුණි. එම නිසා විවාදය තීරණාත්මක එකක් වේවි යැයි බලාපොරොත්තුවක් කා අතරත් පවතින්නට ඇත.

නමුත් අවසනාවට විවාද දෙකෙහිම ශිරන්තගේ මැදිහත්වීම උදාසීන මට්ටමක පැවති බව ඕනෑම කෙනෙකුට පැහැදිලි ව පෙනෙන්නට තිබුණි. ඒ ඔහුගේ අදහස් දැක්වීම්වල අව්‍යාජ හැසිරීම වන්නට ඇත. නමුත් කරුණුමය අතින් ඔහුගේ විග්‍රහ කිරීම් හා ඔහුගේ විවේචන එතරම් සාධනීය මට්ටමක පැවතියේ නැත. ඊට සාපේක්ෂව වංගීස විවාද දෙකම අතිශය බැරෑරුම් ලෙස භාරගෙන ඇති බව පැහැදිලිවම පෙනෙන්නට තිබුණේ ඔහු විසින් කළ ඉදිරිපත් කිරීම් හා ඔහු ඔහුගේ කාලය කළමනාකරණය කර ගැනීම පිළිබඳ දැක්වූ සවිඤ්ඥාණිකත්වය නිසාය.

පළමු විවාදය වෙත යන්නේ නම් ‘මගේ ලෝකය’ කෘතිය පිළිබඳ විවාදය කවුරුත් බලාපොරොත්තු වූයේ කලෝ ෆොන්සේකාගේ සිට නිර්මාල්ගෙන් පසු නලින් ද සිල්වාගේ අදහස් පිළිබඳ යළි උණුසුම් සංවාදයක් දිගහැරෙනු ඇත යන්නයි. නමුත් අවාසනාවකට ශිරන්ත, වංගීසගේ විවේචනය බරපතල ලෙස භාරගත්තේ නැත. ශිරන්තට අනුව එය අද වන විට නලින් ද සිල්වා විසින් අතහැර දැමූ සංකල්පවලින් සාදා ගත් විවේචනයකි. නමුත් දෙවන වටයේදී වංගීස විසින් ශිරන්තගෙන් එම අතහැර දැමූ තැන පෙන්වන ලෙස ඉල්ලීමක් කළද එය ඔහු විසින් – සමහරවිට හිතා මත පැහැර හරිමින් හෝ – පෙන්වා දුන්නේ නැත. ශිරන්ත නිරන්තරයෙන් කියූ දෙයක් වූයේ නලින්ද සිල්වාගේ අදහස්වල වඩා ආකර්ෂණීය කොටස් තිබෙන්නේ ‘අපේ ප්‍රවාද’වල යන්නයි. නමුත් දෙපාර්ශවය එකඟ වූ පරිදි සාකච්ඡාවට ලක් කිරීමට යොදා ගෙන තිබුණේ ‘මගේ ලෝකය’ වූ බැවින් ‘මගේ ලෝකය’ කෘතියට කරුණුමය වශයෙන්, විවිධ තැන් උපුටමින් වංගීස කළ විවේචන ‘මගේ ලෝකය’ තුළින්ම හෝ නලින්ද සිල්වාගේ අදහස් මතින් පිළිතුරු දීමට ශිරන්ත උත්සාහ කළේ නැත. ශිරන්තට තිබුණේ ‘මම නලින්ව හොඳටම දන්නවා ඒ මට ඇති’ වැනි අදහසකි. ඇත්තෙන්ම සංවාදයක් යනු කුමක්ද? කෘතියක් වඩා ගැඹුරින් කියවනවා යනු කුමක්ද? විසංයෝජනය කරනවා යනු කුමක්ද? මේ කිසිවක් පිළිබඳ ශිරන්තට කිසිඳු ශාස්ත්‍රලයීය අවබෝධයක් ප්‍රකට කළේ නැත.

නමුත් ශිරන්තගේම අදහස් නිරීක්ෂණය කිරීමෙන් අපට එළඹිය හැකි නිගමන – ශිරන්තට අනුව – ලෙස කිව හැක්කේ, මගේ ලෝකය කෘතිය එහි මූලික තර්කවලින් විතැන් වෙමින් විකාශනය වී ඇත බවයි. දැනට එහි පිළිගත හැකි කරුණු මොනවාද හෝ වලංගු කරුණු මොනවාද කියා වෙන් කර ගැනීමට එම කෘතියෙහි අවසාන ප්‍රකාශනය – නිල අඩංගුව – මඟින්ද නලින්ද සිල්වාගේ අදහස් නිවැරදිව ප්‍රකාශ වන්නේ නැත. එසේ නම් දිනපතා කාලය සඟරාවට ලිපි ලියන නලින්ද සිල්වාට ඔහුගේ අලුත් අදහස් යළි සංස්කරණය කිරීමට අවශ්‍ය නම් හැකියාවක් පවතින බව ඔහුගේ දෛනික මැදිහත්වීම් තුළින් පෙනෙන්නට තිබුණත් වසර විස්සකින් පමණ ඔහු එවැන්නක් සිදු කර නැත. විවාදයට අනුව වංගීස පැහැදිලිව මගේ ලෝකයේ කෘතියේ ගැටලුව පෙන්වා දී ඇත. ශිරන්තට අනුව එය දැන් ගැටලුවක් ලෙස භාරගත නොහැකි වන්නේ ඒවා අතහැර දැමූ අදහස් නිසාය. නමුත් ඒවා අතහැර ගොඩ නැගූ අලුත් අදහස් හෝ අතහැරුණු කොටස් මොනවාද යන්න පිළිබඳ පැහැදිලි විස්තරයක් අපට ලබා ගැනීමට අපහසුය. ඒ අර්ථයෙන් එම පළමු විවාදයේ ශිරන්ත පාර්ශවය වංගීසගේ විවේචනවලට යහපත් ප්‍රතිචාරයක් ලබා දීම සිදු කර නැත.

දෙවන විවාදය සිදුවූයේ ‘පරිමිතත්වයෙන් පසු’ කෘතිය පිළිබඳවයි. එහිදී විවේචක පාර්ශවය ලෙස ශිරන්ත යළි පළමු විවාදයේදී මෙන්ම විවාදයට අදාළ වන කෘතියේ කරුණු පැහැදිලිව පෙන්වමින් ඒ තුළින් ප්‍රශ්න අසන ආකාරයක් පෙනෙන්නට තිබුණේ නැත. ඔහු විසින් විවිධ බාහිර සිදුවීම් හා පරිමිතවාදී දර්ශනයේ යම් යම් අවස්ථා අසම්පූර්ණ හා අපහැදිලි ලෙස ගොනු කිරීමට උත්සායක් ගත්තේය. නමුත් සමස්තයක් ලෙස වංගීසගේ ඉදිරිපත් කිරීමට එනම් මෙයසුගේ තර්කය කෙටියෙන් මුල සිට අගට කළ ඉදිරිපත් කිරීමට සාපේක්ෂව ශිරන්ත ඊට අදාළ බරින් කිසිදු මැදිහත්වීමක් නොකළ බව පෙනෙන්නට තිබුණි. එය අපට ඔප්පු කර පෙන්නුවේ තමලු මලිත්ත පියදිගම විසින් ම ය.

කෘතියක තර්කයක් සාරාංශ කිරීම අතිශය අපහසු කටයුත්තකි. වංගීස මගේ ලෝකය කෘතියට කළ එම සාරාංශගත කිරීම, ‘මගේ ලෝකය’ කෘතිය පිළිබඳ සංවාදයේදී ශිරන්ත වංගීසගේ ඉදිරිපත් කිරීම අනුව යමින් එහි දුර්වලතා පෙන්වා දී හෝ එය යළි වර්ධනය කරනු ඇතැයි බලාපොරොත්තු වුවත් එවැන්නක් සිදු වූයේ නැත. මෙහිදීද වංගීස විසින් සාරාංශ කළ සමස්ත කෘතියේ තර්කය ශිරන්ත අතින් යළි කිසිදු ආකාරයක විචාරයකට බඳුන් කිරීම දක්නට ලැබුණේ නැත. නමුත් ශිරන්ත නොයෙක් අදහස් සම්බන්ධයෙන් විවේචන ඉදිරිපත් කළද ඒවා පැහැදිලි ලෙස ස්ථාපති නොවුණි. සමස්තයක් ලෙස විවාද දෙකේම දක්නට ලැබුණු මූලික කරුණක් වූයේ වංගීස හා ශිරන්තගේ ප්‍රවේශ අතර තිබු විශාල පරතරයයි.

විවාදය තුළ ශිරන්ත විසින් අපට ඉඟිකළ අදහස් ලෙස මේවා නම් කළ හැකිය.

  • පරිමිතවාදයට (දාර්ශනික නූතනවාදයට) ශිරන්ත එකඟ වන බව විටෙක පැවසුවත් එහිද යම් අපැහැදිලි තැන් දක්නට ලැබේ. නමුත් අවසාන අර්ථයෙන් ඔහුට දාර්ශනික පරිමිතවාදය ගැන කිසිවක් පැහැදිලිව කිව නොහැකි විය. මෙයසුගේ කෘතිය විවේචනය කිරීමට පැමිණියද මෙයසු කරනා නාමකරණයන්, වර්ග කිරීම්, ඉතිහාසය ගොඩ නඟන ආකාරය පිළිබඳ කිසිදු වැටහීමක් ශිරන්තට නොතිබුණි.
  • ශිරන්තට අනුව හියුම් පොඩි ළමයෙකි. හියුම්ගේ අදහස් හියුම් කියවීමට පෙර හෝ හියුම් දැනගැනීමට පෙර ඔහුගේ අවබෝධයේ පරික්ෂාවට ලක් වී ඇත. බටහිර නූතන දර්ශනයේ කේන්ද්‍රය වන කාන්ට්ව ආධනග්‍රාහී නින්දෙන් අවදි කරන්නෙ හියුම්ගේ දාර්ශනික අදහස්ය. තවත් ලෙසකින් කිවහොත් නූතන බටහිර දර්ශනයේ කේන්ද්‍රීය හැරවුම් ලක්ෂ්‍යයේ සිටිනා කේන්ද්‍රීය චරිතයක් වන්නේ හියුම්ය. හියුම් පිළිබඳ ශිරන්තගේ කියවීම අප භාරගත යුත්තේ – හියුම් පිළිබඳ සිදු වී ඇති ලක්ෂ්‍ය සංඛ්‍යාත සාහිත්‍ය පර්යේෂණ ගොන්න අමතක කරන්නේ නම් – කෙලෙසෙද? මෙහි වළවක්වා ගත නොහැකි උපහාසයක් ඇත. අවාසනාවකට එය සංක්ෂිප්ත කළ හැක්කේ කද්රි ස්මයිල් වරක් කියූ ලෙස: අන්ධයින්ගේ දූපතේ එක්ස් නැමති මිනිසා යෝධයෙකි.
  • අනෙක් හාස්‍යජනක අදහස වූයේ ශිරන්තට අනුව මෙයසු මෝඩයෙකි. ශිරන්තට මෙයසුගේ සාධනය සංක්ෂිප්ත කිරීමට නොහැකි වුවත්, එහි කේන්ද්‍රීය අදහස් ඔහුගේ වචනවලින් ඉදිරිපත් කිරීමට නොහැකි ව ඒ සියල්ල අමතක කර මෙයසු පිළිබඳ විග්‍රහවලට පැමිණීම ඉහත හියුම් පිළිබඳ ඔහු තුළ ඇති හීනමානයම ප්‍රකට කරවයි.
  • අවසාන වශයෙන් මින් පැහැදිලිව පෙනෙන්නට තිබෙන්නේ නලින්ද සිල්වාගේ අදහස් දාර්ශනිකව, වඩා විධිමත්ව වංගීස විසින් පරික්ෂාවට ලක් වී ඇති බවයි. එලෙස පරික්ෂාවට ලක්වීමට ප්‍රතිපක්ෂව වංගීසට එරෙහි කිසිදු තර්කයක් ගොඩ ගැනීමට නලින් පාර්ශවය අසමත් වී ඇත.
  • මෙයසු පිළිබඳ තත්ත්වය ඒ ආකාරයමය. මෙයසුව දාර්ශනික පරික්ෂාවට ලක් කිරීම හෝ මෙයසු කියවා ගැනීම හෝ ශිරන්ත සිදු කර නොමැති බව ඔහු පෙන්වා දී ඇත. (තමලු මේ සඳහා යම් මැදිහත්වීමක් කරමින් ශිරන්තගේ සීමාව තමලු විසින්ම පෙන්දීම විවාදයට සහභාගී වූ සියලු දෙනාට මනාව වැටහුණි.)

අවසාන අර්ථයෙන් මෙය ජාතික චින්තනවාදී දාර්ශනික කඳවුරේ කඩා වැටීම වඩා විධිමත්ව සාක්ෂි සහිතව ලෝකයා ඉදිරියේ නිරාවරණය වූ වැදගත් ම මොහොතකි. එය වඩා පැහැදිලිව අප විසින් මෙලෙස සළකුණු කර තැබීම අනාගතයේදී වැදගත් වනු ඇත.

රංග මනුප්‍රිය