[Image: Pablo Picasso, “The Kiss” (1931)]

අපගේ පැවැත්ම සහ අප ගණුදෙනු කරමින් සිටිනවා කියා පෙනෙන මෙම ලෝකය සම්බන්ධයෙන් අපට තිබෙන්නේ අසම්පූර්ණ අවබෝධයක් යනු පරිමිතත්වය පිළිබඳව දාර්ශනික අදහසේ මූලිකම මානය කියා අපට කිව හැකිය. එක් අතකින්, මා හට මෙවැනි පැවැත්මක් උරුම වන්නේ කෙසේ ද යන්න අපට පැහැදිළි වන්නේ නැත. මාගේ මතකය සීමා සහිත, එනම් පරිමිත, වන්නකි. එක්තරා සීමාවකට පසුව මට එහි අතීතය ගැන කිසිවක් කිව නොහැකිය. අනෙක් අතට, මාගේ පැවැත්මේ ආරම්භය ගැන අදහස් ප්‍රකාශ කිරීමේ ව්‍යුහාත්මක ගැටලුවක් ඇති බවත් මට පෙනී යයි. මට අදහස් ප්‍රකාශ කළ හැක්කේ මාගේ පැවැත්මට – මාගේ සිතීමට – සාපේක්ෂව පමණක් වන නිසා එම සිතීමට ‘පූර්වත්ය’ යනු කුමක්ද කියා මට කිසිදා සිතා ගත හැකි නොවේ. මන්ද, ඒ ගැන මා සිතනවා යනුම එය තවදුරටත් මාගේ සිතීම ඇති වීමට පෙර පැවති තත්වය නොව මාගේ සිතීමට සාපේක්ෂව පමණක් සිතා ගත හැකි තත්වයකි. එම නිසා මාගේ සිතීම නොමැති තත්වයක් පිළිබඳව සිතීම යනුම විසංවාදයකි.

දෙවනුව, මාගේ සිතීම පැවතිය හැක්කේ ඒ වනවිටත් මා සිටිනා ‘බාහිරත්වයක්’ සමග අනිවාර්යයෙන් ගැට ගැසී පමණක් බවත් අපට පැහැදිළි වේ. මෙම ‘බාහිරත්වය’ යන අදහසම මුළුමනින් වලංගු වන්නේ මාගේ සිතීමට සාපේක්ෂව පමණක් යන්න මෙමගින් ප්‍රතික්ෂේප නොවේ. එම සිතීම නැති වූ විට මෙවැනි බාහිරත්වයක් තිබෙනවා කියා හෝ අපට පැවසිය නොහැකි වන්නේ එවැන්නක් දැන ගැනීම තබා එවැනි ‘නිරපේක්ෂ බාහිරත්වයක්’ යන්න සිතා ගැනීමට හෝ අපට නොහැකි නිසාය. එතැනදී අප ඉහතින් පෙන්වා දුන් ව්‍යුහාත්මක සීමාව මුළුමනින් වලංගු වේ. නමුත් මෙමගින් අදහස් වන්නේ අපගේ පැවැත්ම හඳුනා ගන්නා අති මූලික ස්වරූපයක් ලෙස තිබෙන ‘මම’ සහ ‘බාහිර ලෝකය’ අතර මෙම බෙදීම අපට අමතක කළ හැකි බව නොවේ. ඉතා පැහැදිළිව අපට මේ ලෝකය මූලික වර්ගීකරණයකට යටත් කළ හැකි බව පෙනී යයි. එක් පසකින් තිබෙන්නේ අපගේ ‘ස්වකීයත්වය’ ලෙස හඳුනා ගන්නා දේ වන අතර අනෙක් පසින් තිබෙන්නේ එම ස්වකීයත්වයෙන් ‘බාහිර ලෝකයයි’. එම බාහිරත්වය අප හඳුනා ගන්නේ මට සාපේක්ෂව පමණක් වනවා යන්නෙන් මා නොවන බාහිර ලෝකයක් අප හඳුනා ගන්නවා යන කරුණ ප්‍රතික්ෂේප වන්නේ නැත.

සත්‍ය වශයෙන්ම මෙම බාහිරත්වය යන අදහස නොමැතිව අපට අපගේ පැවැත්ම කිසිදා සිතා ගත නොහැකි බව පහසුවෙන් තේරුම් ගත හැකිය. අපගේ සිතීම සෑම විටම තිබෙන්නේ එම සිතීමට පූර්වයෙන් තිබෙනවා කියා අපට පෙනී යන සන්දර්භයක මත පමණි. කෙදිනකවත්, පළමුවෙන් මා ‘පාරිශුද්ධ සිතීමක්’ සිදු කර, ඉන් පසුව එහි දෙවැනි පියවර ලෙස මේ ‘ලෝකය’ හා සම්බන්ධ වන අයුරු අපට සිතා ගත නොහැක. ඒ වෙනුවට මගේ සිතීම යන්න මට හඳුනා ගත හැක්කේ ඒ වනවිටත් මේ ලෝකයේ කොටසක් ලෙස තිබෙනා බව පමණි. නැවතත් මෙය කුඩා චිත්ත පරීක්ෂණයකින් පහසුවෙන් තේරුම් ගත හැක. ඔබේ සිතීම ආරම්භ කළ හැකි ආකාරය මදක් කල්පනා කර බලන්න – ඔබට සිතිය හැකි වන්නේ ඔබ කොතැනක හෝ ඒ වනවිටත් සිටිනවානම් පමණි යන කරුණ ඉක්මනින් පැහැදිළි වනු ඇත. ඔබ දැන් සිටින්නේ පුටුවක අසුන් ගෙන, ඇඳක දිගා වී, එසේත් නැතිනම්, හිටගෙන කුමකට හෝ හේත්තු වෙමින් ශරීරයේ බර දෙමින් විය හැකිය. එම තැන කුමක් වුවත් ඔබ කුමන හෝ තැනක සිටිනා බවත්, එය ඔබේ සිතීම ආරම්භ වීමට පෙර පැවතිය යුතු කොන්දේසියක් බවත් පැහැදිළි වේ. අනෙක් අතට ඔබේ මතකය ඔස්සේ කෙතරම් අතීතයකට ගිය ද ඔබ සිටිනා ආකාරය ඔබට සිතා ගත හැක්කේ සෑම විටම මෙවැනි පසුබිමක් මත පමණක් බව පැහැදිළි වේ. අපේ සිතීම හා බැඳුනු දෙවැනි ව්‍යූහාත්මක සාධකය ලෙස අප නම් කළ යුතු වන්නේ මෙයයි. අපේ සිතීම තිබිය හැක්කේ ඒ වනවිටත් එයට බාහිර වූ පසුබිමක් මත සිට පමණි. එයට පූර්ව වූ ‘පාරිශුද්ධ සිතීමක්’ කියා දෙයක් අපට කිසිදා සිතා ගත නොහැකි වේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස මගේ සිතීම සෑම විටම ආරම්භ විය හැක්කේ මේ ලෝකය සමග ඇති සම්බන්ධය මත පදනම්ව පමණක් කියා අපට පැහැදිළි වේ.

නමුත් අප මෙහිදී ඉතා වැදගත් මෙම කරුණ නැවතත් සිහිපත් කළ යුතුය: සැකයකින් තොරවම මෙම ලෝකය, මෙම බාහිරත්වය, ගැන මට සිතා ගත හැක්කේ මගේ සිතීමට සාපේක්ෂව පමණක් වන අතර මගේ සිතීම නොමැති විට මේ ලෝකය කෙසේ පවතිනු ඇති ද කියා මට කිසිවක්ම කිව නොහැකිය. සත්‍ය වශයෙන්ම, එවැනි ‘තත්වයක්’ යනුවෙන් අදහස් වන්නේ කුමක්ද කියා හෝ මට සිතා ගත නොහැක. අප දුටු පරිදි පරිමිතවාදයේ රැඩිකල් නිගමනය වන්නේ මෙයයි. අපේ සිතීම තිබෙන තාක්, එම සිතීමට සාපේක්ෂව අපට සියල්ල ගැන කතා කිරීමට හැකි අතර එම සිතීම නොමැති වීම යනු අපේ අදහස් දැක්වීමේ හැකියාවේ රැඩිකල් කණ්ඩනය වීමකි. නූතන දර්ශනය විසින් ‘චින්තනය නොමැති විට පවතින්නේ කුමක්ද යන්න පිළිබඳව සිතා බැලීමට ඇති හැකියාව නිශ්චිත ලෙස තහනම්’ කරනවා කියා මෙයසූ කියන්නේ මෙම නිසාය (“පරිමිතත්වයෙන් පසු”, පි. 157). නමුත් මෙම ‘තහනම’ යනු කිසි සේත් හිතුවක්කාරී නීතියක් ලෙස යෝජනා වන්නක් නොව අපට අනිවාර්යතාවයක් ලෙස මුණ ගැසෙන්නකි. එමගින් අපට සිහිපත් කරන්නේ අප අපගේ සිතීමේ හැකියාවන් ඉක්මවා යාම මගින් අපගේ කතිකාවේ යුක්තිසහගත බව ඉක්මනින් නැති වී යනවා යන කරුණයි.

වංගීස සුමනසේකර