[Louise Lawler, “Who Says, Who Shows, Who Counts”; Set of three Chablis glasses with glass shelf, brackets (1990)]

ලැක්ලාවූ සහ මූෆ් එක අතකින් සහ නෝමන් ජෙරාස් තවත් අතකින් New Left Review සඟරාවේ සිදු කළ ජනප්‍රිය විවාදය සම්බන්ධ කෙටි සටහනක් දැමීම ප්‍රයෝජනවත් වන්නේ මෙයසූ පිළිබඳව සංවාදයේ වපසරිය පුළුල් කිරීම වෙනුවෙනි. රමිඳු පෙරේරා සහෝදරයා ගේ මූෆ් පරිවර්තනය ඉදිරියේ දී පැමිණීමට නියමිත බැවින් මේ සම්බන්ධයෙන් න්‍යායික සංවාදයක් ඇති වන්නේ නම් එය අපේ පොදු සංවාදය වර්ධනය වීමට උපකාර කරනු ඇත.

ලැක්ලාවූ සහ මූෆ් ට එරෙහිව නෝමන් ජෙරාස් අතර පැවති විවාදයේ තිබෙනා සිත්ගනා සුළු කරුණක් වන්නේ කතිකාවෙන් පරිබාහිර වූ යමක පැවැත්ම පිළිගැනීම යන කරුණ යටතේ මෙම පාර්ශව දෙකම එකම ආස්ථානයක සිටීමයි. ජෙරාස් ගේ චෝදනාව වන්නේ ලැක්ලාවූ සහ මූෆ් අතින් මෙවැනි ආකාරයේ පැවැත්මක් පිළිගත හැකි කිසිදු කොන්දේසියක් ඉතිරි නොකරනවා යන්නයි. එක්තරා අර්ථයකින් මෙහි සත්‍යයක් තිබේ. ලැක්ලාවූ සහ මූෆ් ඉතා දක්ෂ ලෙස පෙන්වා දෙන ලෙස පැවැත්ම සම්බන්ධයෙන් අපට කිව හැකි සියලුම දේ අයත් වන්නේ අරුත්සහගත කතිකාමය ලෝකයකටයි. මෙම අදහස එහි තාර්කික අවසානය වෙත ගෙන ගිය විට අපට ඉතිරි වන්නේ මෙම අරුත්සහගත කතිකාමය අවකාශයෙන් ඔබ්බෙහි තිබෙනා කිසිවක්ම පිළිබඳව අපට අදහස් දැක්විය නොහැකි බව පිළිගැනීමයි. නමුත් මෙම අදහස ලැක්ලාවූ සහ මූෆ් පිළිගැනීමට සූදානම් නැත. ඒ වෙනුවට ඔවුන් සිදු කරන්නේ පැවැත්ම (being/esse) සහ භූතාර්ථය (entity/ens) අතර මධ්‍යතන දර්ශනයේ – විශේෂයෙන් තෝමස් ඇක්වයිනාස් තුළ – ඇති බෙදීම ජෙරාස් අතින් පටලවා ගෙන ඇති බව ප්‍රකාශ කිරීමයි. නමුත් මේ වෙනස – ‘esse’ සහ ‘ens’ අතර වෙනස – හඳුන්වා දීමෙන් අප මුහුණ දෙන ප්‍රශ්නයට පිළිතුරක් නිර්මාණය වන ආකාරය කිසිසේත් පැහැදිළි නැත. සත්‍ය වශයෙන්ම මෙහිදී විඥානවාදියෙක් ට ඉතා පහසුවෙන් මේ බෙදීම ද කතිකාමය බෙදීමක් බවත් එම නිසාම එය අර්ථවත් විය හැක්කේ ඒ වනවිටත් සකස් වී ඇති කතිකාමය සම්බන්ධතා තුළ පමණක් බවත් පහසුවෙන් පෙන්වා දිය හැකිය.

මේ සඳහා ලැක්ලාවූ සහ මූෆ් ගේ පිළිතුර වන්නේ කතිකාව යන්න සකස් පවත්නා ආකාරය හරහා අපට විඥානවාදයෙන් ගැලවිය හැකි බවයි. මන්ද, කතිකාව යන්න අනිවාර්යයෙන් අසම්පූර්ණ වන අතර එය පැවතිය හැක්කේ ස්ථාපනීය පරිබාහිරත්වයක් සමග පමණි. මෙම තර්කය පදනම් වන්නේ අතිශය ජනප්‍රිය සෝශීයරියානු වාග්විද්‍යාත්මක තිසීසය මතයි. කතිකාවේ සෑම සංඝටකයකම වටිනාකම තීරණය වන්නේ එය තවත් සංඝටක සමග දක්වන වෙනස්කම් අතර සම්බන්ධය මතයි. එම නිසාම සෑම එක් සංඝටකයකම අනන්‍යතාවය කිසිදා පරිපූර්ණ වන්නේ නැත. එය අසම්පූර්ණ මෙන්ම ඉක්මනින් නැති වී යා හැකි අනන්‍යතාවයකි. ලැක්ලාවූ සහ මූෆ් භෞතිකවාදය ලෙස නම් කරන්නේ මේ කතිකාමය ගොඩනැංවීම් වල ඇති සම්බන්ධතාමය අනන්‍යතාවය සහ ඒවායේ ඇති අසම්පූර්ණ බවයි. එම නිසාම ඔවුන් කතිකාවෙන් පරිබාහිර වූ, ඔවුන්ගේම වචන වලින් කියන්නේනම්, ‘භූතාර්තයන්’ (‘entities’) පිළිබඳව සිතීම භෞතිකවාදය නොවේ යනුවෙන් නම් කරයි. නමුත් මෙය කිසිදු අයුරකින් සාර්ථක විසඳුමක් නොවන බව පැහැදිළි වේ. විඥානවාදියෙක් හට ඉතා පහසුවෙන් මෙම කතිකාවේ අසම්පූර්ණ බව සහ සම්බන්ධතාමය අනන්‍යතාවය යනු, සෑම විටම ඒ වනවිටත්, ‘ආත්මයකට සාපේක්ෂව’ පමණක් ඇති වන දෙයක් පමණක් බව පෙන්වීම අපහසු නොවේ. කතිකාමය අර්ථය ජනනය වන ආකාරයේ පැවැත්මක් – සරල ලෙස ‘මිනිසුන්’ – නොමැති තත්වයක් තුළ කතිකාවේ අසම්පූර්ණත්වය ‘භෞතික ලෙස පවතින්නේ’ නොමැති බව පැහැදිළි වේ. තවත් සරල ලෙස, අප වැනි මිනිසුන් මෙන්ම සකලවිධ ජීවය අතුරුදහන් වූ විශ්වයක් සිතන්න. එවැනි විශ්වයක දී අනිවාර්ය ලෙස අසම්පූර්ණ වූ කතිකාමය ගොඩනැංවීම් භෞතික වනවා යන්නෙහි අර්ථය කුමක්ද?

ජෙරාස් ගේ පිළිතුරු ලිපියේ (මා දන්නා තරමින් ජෙරාස් ගේ මෙම පිළිතුරැ ලිපියට නැවත ප්‍රතිචාරයක් ලැක්ලාවූ සහ මූෆ් ලබා දෙන්නේ නැත) දී මෙම පරස්පරය ඔහු හොඳින් පෙන්වා දෙයි. සත්‍ය වශයෙන්ම සම්භාව්‍ය මාක්ස්වාදීන් ඉදිරියේ විඥානවාදය/භෞතිකවාදය විවාදය පහසුවෙන් මග හැර යා නොහැකි වන්නේ මේ නිසාය. නමුත් ලෙනින් ගේ සිට නොර්මන් ජෙරාස් දක්වා සම්භාව්‍ය මාක්ස්වාදීන් ගේ සීමාව වන්නේ කතිකාවෙන් පරිබාහිර සැබෑ පැවැත්මක් තිබෙනා බව ඔවුන් නිකන්ම පිළිගැනීමයි. ලැක්ලාවූ/මූෆ් සහ නෝමන් ජෙරාස් අතර ඇති සමානකම වන්නේ ද මෙයයි. සියලු දෙනා එවැනි පැවැත්මක් ඇති බව නිකන්ම පිළිගනියි.

වෙනත් ආකාරයකට කියන්නේනම් ඔවුන් විඥානවාදියාගේ තර්කය සමග තර්ක කිරීම ප්‍රතික්ෂේප කරයි. ඒ වෙනුවට ඔවුන් කරන්නේ සැබැවින්ම යමක් තිබෙනා බව ආධානග්‍රාහී ලෙස බාර ගැනීමයි. මෙම ප්‍රවේශය නිසා අවසානයේ සිදු වන්නේ කුමක්ද කියා තේරුම් ගැනීමට ලංකාවේ ජාතික චින්තන ගුරුකුලය ඉතාම හොඳ නිදර්ශනයක් කියා සිතමි. ඔවුන් කිසිදු ආකාරයකින් පිළිනොගන්නා නිශ්චිත කරුණ වන්නේම මෙයයි. මෙහි දේශපාලනය ප්‍රතිවිපාක වන්නේ මොනවාද? ඉදිරියේ දී මේ ගැන සාකච්ඡා කරමු.

වංගීස සුමනසේකර

සටහන: ශාන්තාල් මූෆ් ගේ  ‘වාමාංශික ජනප්‍රියවාදයක් සඳහා’ කෘතියේ සිංහල පරිවර්තනය මාර්තු 5 වෙනිදා විදර්ශන ප්‍රකාශනයක් ලෙස එළි දැක්වේ. පරිවර්තනය රමිඳු පෙරේරා. පූර්ව ඇණවුම් සඳහා පහත සබැඳියෙන් විදර්ශන වෙබ් අඩවියට පිවිසෙන්න.