[Image: George Dureau, “David and Danny Jones”, vintage gelatine silver print, (1977)]

මෙය තරමක් ඉක්මනින් වුවත් කෙටියෙන් හෝ ලියා තැබීම ප්‍රයෝජනවත් වන්නේ මෙයසූ යනු ජාතිකවාදයට – විශේෂයෙන් ආගමික වාර්ගික ජාතිකවාදයට – එරෙහිව සිට ගන්නා චින්තකයෙක් පමණක් ලෙස බහුලව හඳුනා ගැනෙනා නිසාය. ඔහු මෙයට එරෙහි වන බව ඉතාම පැහැදිළි වේ. නමුත් මින් අදහස් වන්නේ මෙයසූ යනු කිසිදු අයුරකින් ලිබරල්වාදියෙක් වනවා යන්න නොවේ. සත්‍ය වශයෙන්ම මෙයසූ හඳුන්වා දිය හැක්කේ, එක්තරා අර්ථයකින්, ඉතාම සම්ප්‍රදායික මාක්ස්වාදියෙක් ලෙසටයි – ඔහුට අවශ්‍ය වන්නේ මාක්ස් ගේ උරුමය සමහරවිට මාක්ස් ට පවා දරා ගත නොහැකි තරම් රැඩිකල් මානයකට ඔසවා තැබීමයි.

එම කරුණ කෙසේ වුවත් ලිබරල්වාදය සම්බන්ධයෙන් මෙයසූ ගේ මූලික ස්ථාවරය මෙසේ සාරාංශ කළ හැක. පළමුවෙන් ඔහු නෙදර්ලන්ත, ඉංග්‍රීසි සහ ඇමරිකානු විප්ලව වලින් ප්‍රංශ සහ හයිටි විප්ලව වෙන් කරයි. මෙයට හේතුව වන්නේ දේශපාලන විශ්වීයත්වයේ ආරම්භය ලෙස ප්‍රංශ සහ හයිටි විප්ලව සැලකිය හැකි වීමයි. මෙහි මූලික ලක්ෂණය වන්නේ කිසිදු වෙන් කිරීමකින් තොරවම සියලු මනුෂ්‍යයන් සමාන ලෙස හඳුනා ගැනීමයි. විමුක්තිය (emancipation) යනුවෙන් හඳුන්වන්නේ මෙයයි.

නමුත් ඇමරිකානු, ඉංග්‍රීසි වැනි ලිබරල් විප්ලව සෑම විටම නියෝජනය කරන්නේ එක්තරා සුවිශේෂ පිරිසකගේ සමාන අයිතිවාසිකම් දිනා ගැනීමේ හැකියාවයි. එම නිසාම ඇමරිකානු විප්ලවය මගින් නිදහස හිමි වන්නේ සුදු ජාතිකයන්ට මිස සියලු මිනිසුන්ට නොවේ. සත්‍ය වශයෙන්ම ඇමරිකානු විප්ලවයෙන් පසුව ඇමරිකාවේ වහලුන් ලෙස සැලකු මිනිසුන් සංඛ්‍යාව අතිශය වැඩි ප්‍රතිශතයකින් වැඩි වේ (මෙයසූ දෙන සංඛ්‍යා දත්ත අනුව ඇමරිකානු විප්ලවයට පෙර ලක්ෂ තුනක් වූ මෙම ගණන දහනමවන සියවසේ මැද වනවිට මිලියන හයක් පමණ දක්වා වර්ධනය වේ).

මෙහි කිසිදු පරස්පරයක් ද නැත. ලිබරල් නිදහස යනු පුද්ගලික දේපල භුක්ති විඳීම වෙනුවෙන් පරාමධිපත්‍ය හිමි රජුට එරෙහි කැරැල්ලකි. එම නිසාම ලිබරල් මිනිසාට රාජාණ්ඩු හා බැඳුනු ආගමික විශ්වාසයන්ගෙන් ද ගැලවීමට සිදු වේ. නමුත් ආගමික විශ්වාසයන් සහ රජුගේ නියාමයන්ට අනුව ඉතාම සුළු අයිතිවාසිකම් වහළුන්ට ලැබුනේ නම් මෙම ලිබරල් නිදහසින් පසුව සිදු වන්නේ එම වහළුන් නියාමනය කිරීමේ පූර්ණ බලය ඔවුන්ගේ අයිතිකරුවන්ට හිමි වීම සහ එයට ඉහළින් කිසිදු ආගමික සදාචාර ධර්මයක් හෝ අහෝසි වීමයි. මෙම නිසා ලිබරල් සමාජ වල පැවති වහල් ක්‍රමය පැරණි රෝම සමාජයේ වහල් ක්‍රමයට වඩා බොහෝ දරුණු එකක් වනවා යන්න සම්බන්ධයෙන් පැහැදිළිව තර්ක කිරීමට සාධක තිබේ.

ලිබරල්වාදය යනු මේ අනුව සීමිත පිරිසකට නිදහස සහ එමගින් අතිශය අසාධාරණ බැහැර කිරීමකට ලක් වන පිරිසක් අතර බිහිසුණු ආධාධයකින් සමන්විත වන සමාජයකි. එම බැහැර කරනා චරිතය පමණක් ඓතිහාසිකව වෙනස් වෙයි (වහලා, සංක්‍රමණිකයා, සුළු වාර්ගිකයා ආදී ලෙස). නමුත් ලිබරල් සමාජය පවතින්නේ මේ බැහැර කිරීම සහ ඒ හා බැඳුනු සීමිත පිරිසකගේ නිදහස මතයි.

එමිල් බෙන්වෙනිස්ට් ඇසුරින් මෙයසූ පෙන්වා දෙන්නේ free යන වචනය ඉන්දු-ආර්ය භාෂාවන් වල සම්භව වන්නේ මේ අරුතින් බවයි. එමගින් අදහස් වන්නේ කිසියම් සීමාවකින් ‘නිදහස් වුවා’ යන්න නොව, උත්තරීතර ජන කාණ්ඩයක ඉපදුනු නිදහස් මිනිසෙක් වනවා යන්නයි. ‘නිදහස’ යන්න මේ අනුව ලිබරල්වාදය හා බැඳුනු බැහැර කිරීමේ මූලික ඉලක්කයයි. දේශපාලන විශ්වීයවාදය පෙනී සිටින්නේ ‘විමුක්තිය’ වෙනුවෙන් මිස ‘නිදහස’ වෙනුවෙන් නොවේ.

ලිබරල්වාදය හැමදාම ක්‍රියාත්මක වෙන්නේ ‘උන් ගෙන්’ නිදහස් වී ‘අප’ ආරක්ෂා කිරීමටයි. අද දවසේ එහි මූලික ආකෘතියක් ලෙස ‘ධනවත් රටවල්’ සහ එයින් බැහැරව සිටින – වීසා නැති, තාප්ප වලින් සීමා කර ඇති – දරිද්‍රතාවයේ ලෝකය දැකිය හැකිය. අනෙක් අතට මෙය එකම රටක් තුළ වුවත් හඳුනා ගත හැකිය (ලංකාවේ ලිබරල්වාදය අප සලකුණු කළ යුතු බෙදීම කුමක්ද කියා අප වෙනම සාකච්ඡා කළ යුතුය).

මේ ගැන තවදුරටත් කතා කළ යුතුය. මාක්ස් සම්බන්ධයෙන් සාකච්ඡාව වර්ධනය කළ හැක්කේ මේ ආකාරයෙන් පමණි. දැනට මේ ඉක්මන් සටහන තැබුවේ මෙයසූ යනු ජාතිවාදයට එරෙහි ලිබරල් පොරක් යන අදහස ඉවත් කළ යුතු නිසාය. ලිබරල්වාදය මෙන්ම ජාතිවාදය ද සුවිශේෂවාදයන් වන අතර එම නිසාම ඒවාට ඉතා හොඳින් එකට වාසය කළ හැකිය. අප මේ දෙකටම එක ලෙස එරෙහි විය යුතුය.

වංගීස සුමනසේකර